අභිනික්මන ඉක්මන් කරවන යශෝධරා

 ඡායාරූපය:

අභිනික්මන ඉක්මන් කරවන යශෝධරා

චිත්‍රපට සංස්ථාව බිහිවීමටත් පෙර "සරාගී” සහ “දුෂ්කර ක්‍රීයා” යන බෞද්ධ තේමා දෙකක් රැගත් කෙටි සිනමාපට දෙකකින් සිය සිනමා චාරිකාව ඇරැඹි මහාචාර්ය සුනිල් ආරියරත්න සිනමා නිරිමාණ කිහිපයක් කළේය. ඒ ගමනේ අවසානයේදී දී ඔහු තෝරා ගත් බෞද්ධ තේමා මාවතේ පැමිණ ඔහූ “බිමිබා දේවී” හිදී සාර්ථකත්වයේ ඉවුර වෙත පැමිණ ඇති බවක් පළ කර ඇත.

“ක්‍රිස්තු චරිතය” සිනමාපටයේදි අපමණ අපේක්‍ෂා ප්‍රේක්ෂක සිත් තුළ ගොනු කර තබා පසුව එය කීතු කීතු කර ඉරා දැමු සුනිල් ආරියරත්නගේ ”බිමිබා දේවි“ කෙරෙහි එදා සැබෑ සිනමා ප්‍රේක්ෂකයා තූළ තිබුණේ දෙගිඩියාවකි. එහෙත් ඔහු ”උත්පලවන්නා“ හීදි පළ කළ ප්‍රතිභාව ඔස්සේ ඒ දෙගිඩියාව තුනී කර හැරීමට සමත්ව තිබිණි.

මෙම සිනමාපටයේදී ප්‍රධාන චරිත දෙක සඳහා රංගන ශිල්පීන් අසල්වැසි ඉන්දියාවෙන් තෝරා ගැනීමට මහාචාර්යවරයා ගත් තීරණය මෙම සිනමා චරිතයන් ද්විත්වය ප්‍රේක්ෂක සිත් පැහැර ගැනීමට ප්‍රබල හේතුවක් වූවා යැයි සිතේ. විදේශයකින් පැමිණි එම රංගන ශිල්පීන් දෙදෙනාම තම චරිත ප්‍රේක්ෂක සිත්හි නිදන් ගත කිරීමට වලබලා ගෙන තිබිණි. එසේම සිනමාපටයේ පළමු අර්ධයේදී මෙම චරිත දෙක වෙත සමීප රූප ලබා නොදී ඔවුන් මධ්‍යම රූප ඔස්සේ ප්‍රේක්ෂකයා වෙත සමීප වීමට ඉඩ සලසා අනතුරුව සමීප රූප එක් කළ ආකාරයක් ”බිමිබා දේවි“ හීදී දක්නට ලැබිණි. එහිදි ඔවුන් දෙතොල් චලනය කිරීම සිංහල වදන්වලට අනුරූපව සිදු කිරීමට අධ්‍යක්ෂවරයා වග බලා ගනු ලැබුවේ තාක්ෂණයේ මහිමයෙන් නම් එහි ගෞරවය ඩිජිටල් සංස්කරණය සිදු කළ රුක්මාල් නිරෝෂ්ට හිමි විය යුතුය. එසේ නොවේ නම් එම කැපවීමට හිමිවිය යුතු ගෞරවය මහාචාර්ය ආරියරත්නට පිදිය යුතුය. චරිතයන් සඳහා නළු නිළියන් තෝරා ගැනීමේදී කලකට පෙර රූපවාහිනී නාළිකාවක පැවැති ගායනා තරඟයක අවසන් තරඟයේදි රටේ බහුතරයකගේ පරිභව කිරීමට ලක්වු අජිත් වීරසිංහ වැන්නෙකු සුද්ධෝදන රජුගේ චරිතයට තෝරා ගැනීමට තරම් අධ්‍යක්ෂවරයා එඩිතරවීම පැසසුමට ලක්විය යුතුය.

මන්ද ”දෙවියනි ඔබ කොහිද?“ සිනමාපටයේදී එදා ඩී. ආර්. නානායක්කාර බෞද්ධ භික්ෂුවකගේ චරිතය රඟපෑ අවස්ථාවේදි ප්‍රේක්ෂකාගාරයෙන් ඊට අප්‍රසන්න ප්‍රතිචාර පළ වෙමින් උසුළු විසුළු හිමි වු අතීතයක් අපට තිබෙන බැවිනි. සුනිල් ආරියරත්නයන් ස්පර්ශ කළේ මෙරට බහුතරයක් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ චරිත කිහිපයක් සිනමාපටයකින් නිර්මාණ කිරීමටය. එහිදි එම පූජනීය චරිත සහ සිදුවීම් ප්‍රතිනිර්මාණය කිරීමේදී ජනතාවගේ චෝදනාවන්ට ලක් නොවී එය ඉටු කිරීමට ඔහු ප්‍රවේසම් වූ බවක් පෙනේ. නේරංජනා නදිය හරහා කන්ථක අසු ඉහළින් පැන තරණය කළ බවට වූ විශ්වාසය පළුදු නොවන ආකාරයෙන් ඡන්න, සහ සිදුහත් කූමරු කන්තක අසු සමඟ දිය මතින් පැමිණෙන අවස්ථාව මධ්‍යම රූපයෙන් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා උපායශීලි වී තිබේ.

බෞද්ධ සාහිත්‍යයයේ සිදුහත් කූමරු අභිනිෂ්ක්‍රමණය කරනා විට යසෝධරා රාහුල පුතු තූරුල් කර ගෙන නිදා සිටි බවට කියැවේ. එහෙත් මෙහි සිදුහත් පලා යන විට යසෝධරා ඒ දෙස බලා සිටිනා ආකාරය මෙයට පෙර බුදු චරිතය ඇසුරින් නිපැයු වීඩියෝ සිනමාපට නරඹන්නන් අතර අසීමිත ජනප්‍රියත්වයක් ලැබූ ”ලිටිල් බුද්ධ“ බටහිර සිනාමාපටයේදීද අප දුටු නිසා මෙහිදි එහි නොගැලපීමක් අපට එතරම් නොදැනේ. මෙහි යසෝධරා මුවට නැංවෙන ”සිද්ධාර්ථ යන බව මා දැන සිටියා“ යන දෙබසින්ද එම ගමන සාමාන්‍යකරණය කිරීමට අධ්‍යක්ෂවරයා සමත්ව තිබේ.

මෙහිදි සිනමා පේක්ෂකයා අපේක්ෂා කළ ඔවුනගේ දෑසට හුරු දසුන් කිහිපයක් ප්‍රතිනිර්මාණය කිරීමේදී අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නයන්ද තාක්ෂණිකව අපහසුතාවයට පත්ව ඇති ආකාරයක් දැකිය හැකිය. උදාහරණයක් ලෙස සිදහත් කූමරු කිඹුල්වත්පුරට වඩිනා ආකාරය අප සාර්ලිස් මාස්ටර් සිතුවම් කළ දර්ශනවලින් අනේකවාරයක් දැක තිබේ. “බිමිබා දේවි” සිනමාපටයේදි යසෝධරා දේවිය සඳළුතලයේ සිට රාහුල කූමරුන්ට මහමඟ වඩිනා බුදුහිමියන් පෙන්වනා දර්ශනය දකින සිනමා ප්‍රේක්ෂකයාගේ සිත තූළ මැවෙනුයේ සාර්ලිස් මාස්ටර්ගේ සිතුවම් ය. එහෙත් බුදුහිමියන් මහමග වැඩම කරන දසුන රංගන ශිල්පියෙක් බුදුහිමියන් ලෙස යොදා රූ ගත කළ නොහැකිය. එය අසම්මතයකි. මෙවන් අවස්ථාවකදී ප්‍රේක්ෂකයාට දැනෙනුයේ පිපාසයට දියපොදක් නොලැබීමෙන් දැනෙනා වේදනාවට සමාන වේදනාවකි.

එහෙත් ප්‍රේක්ෂකයාගේ මෙම පිපාසය යසෝධරා දේවිය බුදු හිමියන්ගේ පිළිරුවක පාද ස්පර්ශ කරමින් වැඳ වැටෙන ජවනිකාව තාත්වික අයුරින් ඉදිරිපත් කිරීමෙන් සන්සිඳුවීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇති ආකාරයක් විද්‍යමාන වේ. මෙහිදි බුද්ධ චරිතයේ නොව බෞද්ධ සාහිත්‍යකරුවා වෙතින් සිදුව ඇති අතපසුවීමක්ද පෙනේ. ඒ කෝලිත සහ උපතිස්ස දෙබෑයන් සැරියුත් සහ මුගලන් ලෙස පැවිදි බව ලැබීමෙන් පසු කවුරු කවුරුත් ශාසනික නාමකරණයකට ලක්වූ බුදු සසුණේ රාහුල කූමරුන් සහ දෙව්දත්ගේ නම් පමණක් බුද්ධ ශාසනික නාමකරණයකට ලක් නොවුයේ ඇයිද යනුවෙනි.

එසේම යසෝධරා වියපත්ව පරිනිර්වාණයට පත් වන විටත් එතුමිය සුන්දර යොවුන් බව රැකගෙන සිටීම ”සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුය“ යන බුදු වදනට පටහැනිය. එහෙත් අසූවියට පැමිණ මල්ලව රජ දරුවන්ගේ සල් උයනේදී පරිනිර්වාණයට පත්වන බුදුහිමියන් නව යෞවනයෙකු ලෙස සිතුවම් කර තිබෙන බෞද්ධ රටක සිනමාකරුවෙකු වූ සුනිල් ආරියරත්නයන්ට එම පාරම්පරික විශ්වාසන්ට අභියෝග කළ නොහැකි බව අප අවබෝධ කර ගත යුතුය. ඒ සැඟවුණ සත්‍යය මහාචාර්යවරයා අපට අවබෝධ කර දෙන්නේ දිගු කාලයක් පුරා පිරිනිවන් පෑ යසෝධරා භික්ෂුනියගේ සිරුර මතට පුෂ්පයන් වැටීමට සැළැස්වීමෙනි.

මෙහිදි සුප්‍රබුද්ධ රජුගේ පුත් දෙව්දත් කූමරුගේ චරිතය රඟපෑ දිනෙත් ද සිල්වා වෙතින් අධිඉන්දීය රංගන ශෛලියක් මතුව තිබුණද, ”බිමිබා දේවී“ ඉන්දීය සමාජය එසේත් නැත්නම් අතීත භාරත සමාජය පිළිබඳව කියැවෙන්නක් වන බැවින් එහි කැපී පෙනීමක් සිදු නොවීය. වේශ නිරූපණ ශිල්පි ප්‍රියන්ත දිසානායක දෙදහස් පන්සිය වසරක අතීතයක් ප්‍රතිනිර්මාණය කිරීමට අවැසි චරිත ඉස්මතු කිරීමට සිය ශිල්ප ඥානය මෙම නිර්මාණයට ලබාදී තිබිණි. එසේම කලා අධ්‍යක්ෂ විමල් දුෂ්මන්ත නිරිමාණය කළ රාජ මාලිගා සහ භූමි දර්ශන පැරණි භාරත සමාජය ප්‍රතිනිර්මාණය කිරීමක් වන බැවින් එහිද නොගැලපීමක් නොතිබිණි. එම දර්ශන අපුරුවට කැමරාවේ සටහන් කර ගත් චන්න දේශප්‍රියගේ කැමරාකරණයද ”බිමිබා දේවියට“ එක් කළේ ආලෝකයකි. එම රූපරාමු පෙළ ගැස්වීමේදීද රුක්මල් නිරෝෂ් ඕස්ට්‍රේලියාවේදී ලැබු අධිතාක්ෂණික ශිල්ප ඥාණය නිර්මාණයට අවැසි අයුරින් භාවිතා කර තිබිනි. රෝහණ වීරසිංහයන්ද සිනමා රූපය මතු කළ අදහස තිව්‍ර වන ආකාරයෙන් සිය සප්ත ස්වර ඥාණය භාවිතා කර තිබිණි.

එසේ නම් ”බිමිබා දේවී“ සිනමා නිරිමාණයේ නිර්මාණාත්මක බවට හානියක් වන දෙයක් සිදුවූයේ කවර ශිල්පියා වෙතින්ද අප තූළ ප්‍රශ්නයක් පැන නගී. මෙම වරද සුනිල් ආරියරත්න වෙතින් ”ක්‍රිස්තු චරිතය“ සිනමාපටයේදීද සිදුවිය. එම වරදම ඔහු මෙහිදීද සිදු කර තිබේ. ”ක්‍රිස්තු චරිතය“ තුළින් එදා ඔහු කතා කළේ බටහිර සමාජයේ චරිතයක් පිළිබඳවය. ”බිමිබා දේවි“ සිනමාපටයෙන් ඔහු ඉන්දීය සමාජයේ චරිතයන් පිළිබඳව කතා කළේය. එහෙත් නිර්මාණයේ මෙම පසුබිම පිළිබඳව නොසිතා මෙම සිනමාපට දෙක සඳහාම අප ”දේශයේ යසෝරාවය“ වූ නන්දා මාලිනිය නම් අතිවිශිෂ්ට ගායිකාවගේ ගීතයක් එක් කර ගෙන ඇත. සිය සිනමා නිර්මානයට නොගැලපේ නම් එය එම ශ්‍රේෂ්ඨ ගායන ශිල්පිණියට කරනා මදි පුංචිකමක් බව අධ්‍යක්ෂවරයා අවබෝධ කර ගත යුතුය. අධ්‍යක්ෂවරයා සෑම තීරණයක්ම ගත යුත්තේ සිය නිර්මාණයට අනුරූපව මිස පුද්ගලික රුචිකත්වය මත නොවේ. මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් අද ජීවත්ව සිටියේ නම් මෙම වරද ඔහුගේ විවෙිචනයට බඳුන්වනු නොඅනුමානය.

“බිමිබා දේවි” සිනමා නිර්මාණයේ රිද්මයට නන්දා මාලිනියගේ හෙළ දේශීය රන් ස්වරය එක් කර ගැනීමෙන් සිදු වූයේ එහි නිර්මාණාත්මක ගූණයට හානියකි. එයට එක් කර ගැනීමට තිබුණේ ලතා වල්පොල, සුජාතා අත්තනායක හෝ උරේෂා රවිහාරි වැනී භාරත සංගීත ඌරුව ඇති හඬකි. නන්දා මාලිනියගේ හඬ මතු කරනුයේ දේශීය අනන්‍යතාව මිස ඉන්දීය අනන්‍යතාව නොවේ. එම සත්‍යය ඔහු අවබෝධ කර ගෙන තිබුණේ නම් ”ක්‍රිස්තු චරිතය” සිනමාපටයේදීද සිදු කළ මෙම වරද ”බිමිබා දේවිය“ සිනමාපටයේදි නැවත සිදු නොවන්නට ඉඩ තිබිණි. “බිමිබා දේවි” නම් හොඳ සිනමා නිර්මාණයට ගොම බිඳක් එක් කළේ එහි අධ්‍යක්ෂවරයා විසින්ම යැයි අප පවසනුයේ ඔහුගේ එකී වැරදී තීරණය නිසාවෙනි. එම වරද ”බිමිබා දේවියට“ කළ හානිය අවබෝධ කර ගැනීම සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න මෙම සිනමාපටයේ හඬපටයට පමණක් සවන් දී බලන ලෙස අප සිනමා ලෝලිත්වයෙන් යුතුව ඉල්ලා සිටිමු.

[චලන ගූණවරුණ]

මාතෘකා