ත්‍රිමාන පරපුරක රිදීතිර ආගමනය

 ඡායාරූපය:

ත්‍රිමාන පරපුරක රිදීතිර ආගමනය

ලාංකේය විනෝද සංස්කෘතියේ චිත්‍ර කථාව ඉහළින් වැජඹුණු යුගයක් විය. එදවස ලාංකිකයන්ගේ මනදොළ සැපිරූ වීර චරිත, ප්‍රේමණීය චරිත, සතිපතා පත්තර පිටු මත චිත්‍රණය වී ඔවුන්ගේ දෝතට පත්විය. ටෝගා, මේඝ, සුහිකෝ ආදී හැඩිදැඩි වීරයන්ද තවත් සුරූපී ලලනාවන්ද බොහෝ සිටිමුත් පාඨක ලොව කිරුළු පැළැන්දේ කෙසඟ සිරුරැති හාස්‍ය රස මවන්නෙකි. හෙතෙම නමින් ගජමෑන්ය. නිකන්ම ගජමෑන් නොව කැමිලස්ගේ ගජමෑන්ය. කාලයාගේ ඇවෑමෙන් රූපවාහිනියද, ඉනික්බිති අන්තර්ජාලයද, විනෝද සංස්කෘතිය පුරා සිය ආධිපත්‍ය පතුරවද්දී ගජමෑන්ට සිය අනිකුත් සහෘද වීරයන් සමඟ ඉතිහාසයට එක්වන්නට සිදු වුණේය.

නමුත් කාලය විශ්මිත සරදම් කරන්නේය. හැත්තෑව දශකයේ බිහිවූ ගජමෑන්, රිදී තිරයට කැන්දාගෙන ඒමේ අමාරුවක් සහශ්‍රකයේ යෞවනයෙකුට සෑදෙන්නේය. ගජමෑන්ගේ අයිතිකරු හමුවට යන ඒ යෞවනයා 2010 වසරේදී දිනෙක ගජමෑන් 3D චිත්‍රපටයකට හැරවීමට ඔහුගෙන් අනුමැතිය ලබා ගත්තේය. ඉන් නොනවතින ඔහු සිය නිර්මාණයට තිර පිටපත ලිවීමේ වගකීම ඔහුට පෙර පරම්පරාවේ විශිෂ්ටයින් දෙදෙනෙකුට පවරන්නේය. ද්විමානයෙන් පාඨක ලොව දිනූ ගජමෑන් ත්‍රිමානව රිදී තිරය වෙත සම්ප්‍රාප්තිය සිදුවන්නේ එවන් පරම්පරා තුනක සුසංයෝජනයකිනි.

ගජමෑන් ලංකේය රසවතුන් හමුවට මුලින්ම පැමිණෙන්නේ 1977, සතුට පුවත්පත හරහාය. කැමිලස් පෙරේරා මහතාගේ තෙලිතුඩින් ජීවය ලබන ගජමෑන් දේශපාලනික සහ සමාජීය ප්‍රහසනයන් මනාව ලාංකිකයන් වෙත සම්ප්‍රේෂණය කරන්නේය.

ඉන් වසර 30කට පසු 2010 අගෝස්තු මස දිනකදී ස්ටුඩියෝ 101 නිර්මාණ ආයතනය හරහා ත්‍රිමාන චිත්‍රපටියකට නැගීමට මුල පුරන්නේ චානක පෙරේරා නම් තරුණ ව්‍යවසායකයායි. බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඔහු කුඩා කල සිටම ත්‍රිමාණ සජීවීකරණය පිළිබඳ උණකින් පෙළිණ. ඕස්ට්‍රේලියාවේ ස්ටීන්බර්ග් සරසවියේ බහු මාධ්‍ය (Multi Media) උපාධිය ලබා ලංකාවට පැමිණෙන ඔහුට ගජමෑන් සිංහලෙන් චිත්‍රපටියක් නිර්මාණය කිරීමේ දැඩි උවමනාවක් තිබුණි. ඒ සඳහා ගජමෑන් යෝජනා කරන්නේ ඔහුගේ මිතුරු ඉරේෂාන් නදීන් ය.

අනතුරුව කැමිලස් පෙරේරා මහතාව බැහැ දකින ඔහු සිය නිර්මාණයට ගජමෑන් යොදා ගැනීමේ අවසරය ඉල්ලා සිටින්නේය. බොහෝ අධ්‍යක්ෂකවරු තමාගෙන් ගජමෑන් ඉල්ලා සිටිමුත්, රිදී තිරයට පැමිණෙනවා නම් එය උසස් මට්ටමින් නිර්මාණය වියයුතු බැවින් ඒ සියලු ඉල්ලීම් පසෙකළු බව පැවසූ කැමිලස් පෙරේරා මහතා, චානකට තම අවසරය ලබා දෙන්නේ ඔහුගේ පෙර නිර්මාණ නැරඹීමෙන් අනතුරුවය. එතැන් සිට චිත්‍රපටිය නිමවන තෙක් කැමිලස් පෙරේරා මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම ලබා ගැනීමට චානක ප්‍රමුඛ කණ්ඩායම ගෞරවයෙන් වගබලා ගත්තේය.

තාක්ෂණය

ගජමෑන් චිත්‍රපටිය නිමවෙන්නේ ඇවටාන්, ටින්ටින්, නින්ජා ටර්ටල් වැනි විශිෂ්ට හොලිවුඩ් නිර්මාණවලට යොදාගත් මෝෂන් කැප්චර් තාක්ෂණයයි. එහි මූලික සිද්ධාන්තය සියලුම චරිතයන්ගේ චලනයක් සඳහා යොදාගනු ලබන්නේ සැබෑ නළු නිළියන්ගේ රඟපෑමය. විවිධ නවතම තාක්ෂණික උපාංග යොදා ගනිමින් සිදු වන මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපාංග සහ කැමරා ආම්පන්න ශ්‍රී ලංකාවෙන් සොයාගත නොහැකි බැවින් එක්සත් ජනපදයෙන් ආනයනය කිරීමට ද ගජමෑන් කණ්ඩායමට සිදුවන්නේය.

තිර රචනය සහ රංගනය

ලාංකේය ප්‍රහසන කලාවේ නව යුගයක පුරෝගාමීන් දෙදෙනා, චූටි මල්ලි සහ පොඩි මල්ලී නමින් ප්‍රසිද්ධියට පත් ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රාන්නද බව අවිවාදාත්මය. චානකට ගජමෑන් නිෂ්පාදනය පිළිබඳ අදහසත් සමඟ මතකයට නැඟෙන්නේ ඔවුන් දෙදෙනාය. ඔවුන් වෙත සිය නිෂ්පාදනයේ තිර රචනය සඳහාෙචානක කරන ආරාධනය පිළිගන්නා ගාමින්ද සහ සුනෙත් තිරපිටපත රචනයෙන් නොනැවතී ගජමෑන් හි ප්‍රධාන චරිතයන් හි හඬකැවීමෙන්ද සිය දායකත්වයන් ලබා දීමට නිර්ලෝභී වන්නෝය. ඔවුන් දෙදෙනාට අමතරව සුනිල් පෙරේරා, රසී පබා සන්දීපනී, යුරේනි නොෂිකා ආදී ජනප්‍රිය කලාකරුවෝද ගජමෑන්හි හඬ නළුවට දායක වන්ණේය.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, ගජමෑන්ට සිය රංගන කුසලතාවයෙන් දායකත්වය ලබා දෙන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකු වන දසුන් පතිරණය. චිත්‍රපටියේ තාක්ෂණය පිළිබඳ කිසිඳු පූර්ව අත්දැකීමක් නොතිබූ ඔහු සහ සෙසු රංගන ශිල්පීන්ට සිදුවන්නේ කුමක්ද? චිත්‍රපටියට අවශ්‍ය පරිදි සිය දායකත්වය ලබා දෙන්නේ කෙසේද? යන්න වටහා ගැනීමට යම් කාලයක් ගත කළ බව කියැවේ.

නිෂ්පාදනය

චිත්‍රපටය සඳහා රුපියල් මිලියන 75ක පමණ පිරිවැයක් 101 ආයතනය දරා ඇත.

දින කිහිපයකට පෙර අන්තර්ජාලයට මුදාහළ පූර්ව ප්‍රචාරක පටයට මේ විටත් සුභවාදී ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් ලැබෙමින් පවතින අතර 2018 වසර අවසානයේ සිනමා ශාලාවලට මුදා හැරීමට නියමිත ගජමෑන් ලාංකේය සිනමාවේ විප්ලවීය සංධිස්ථානයක් වන බවට පෙර නිමිති පහළ කොට තිබේ.

[වරුණ සුදන්ත හේරත්]

මාතෘකා