සංජීවගේ වර්ණ ආඛ්‍යානය සහ දැවෙන විහඟුන්

 ඡායාරූපය:

සංජීවගේ වර්ණ ආඛ්‍යානය සහ දැවෙන විහඟුන්

සමාජ විද්‍යාත්මකව හෝ මනෝවිශ්ලේෂණාත්මකව සිනමා කෘතිය ගැන විචාරකිරීමට මාගේ පරිශීලනය තීව්‍ර නොවූවත් සිනමාත්මකව දැවෙන විහඟුන් කෘතිය ගැන විචාරය කිරීමට මාගේ සිනමා පරිශීලනය ප්‍රමාණවත් යයි සිතමි.

මෙම සිනමා රූපයේ Colourpallette එක (වර්ණ භාවිතය) ඉතා විශේෂයි. සංජීව සහ කාලිංග ඉතා සූක්‍ෂමව Red Yellow Blue යන ප්‍රථමික වර්ණයන් කෘතිය පුරාම භාවිතා කරනවා. ඒවා වර්ණවල ඇති මූලික ගුණාංග පැහැදිලව අවබෝධ කරගෙන භාවිත කිරීමක් බව පේනවා.

කහ (Yellow) - සිනමා කෘතියේ පදනම වන්නේ කහ වර්ණයි. කහ වර්ණය අපි මුලින්ම දකින්නේ ගෙදර බිත්තියෙයි. බිත්තියෙන් පටන්ගන්නා කහ වර්ණය, කුප්පි ලාම්පුවේ දැල්ල එක්ක එකතුවී හැම චරිතයකම ඇඳුම්වල වර්ණයන් හා එකතුවෙනවා. මෙහි අම්මාගේ චරිතයේ කහ වර්ණය කිලිටි වෙමින් ඇය බන්ධනාගාරගත වෙන තුරුම ඇයත් සමඟම එකට මුසු වෙනවා. අවසානයේ රත් වුණු අගේ ඇස්අවලින් කහපාට ගින්දර (reflection of fire) රූපයට නැගීම සිනමකරණයේ මා දුටු ඉතමත් තීව්‍ර අවස්ථාවක්. ඉතා දාර්ශනික සහ බලාපොරොත්තු දනවන වර්ණයක් වන කහ වර්ණය සිනමා කෘතිය පුරාම චරිත තුළ බලාපොරොත්තුවක් ඇතිකරවනවා. එම වර්ණයම නාමාවලිය සඳහා ද භාවිතා කිරීම අහඹුවක් නොවන බව ඉතා පැහැදිලියි.

නිල් (Blue) - භූමි වර්ණක සාත්තුවක් (earth colour treatment) ඇති සිනමා කෘතියක නිල් කියන්නේ රැඳවීමට ඉතා අපහසු වර්ණයක්. සංජීව මෙහිදී නිල් වර්ණය හරහා කතාන්දරයේ අවිනිශ්චිත තවකාලිකත්වය, ජවනිකාවෙන් ජවනිකාවට ගොඩනගනවා. මුලින්ම නිල් වර්ණය දකින්නේ නිවසේ දොර, ජනෙලය සහ උළුවහු. රූපරාමු ඇතුළේ අවිනිශ්චිත අනාරක්ෂිත භාවය නිවාස තුළට ඇතුළුවන්නේ මේ නිල් වර්ණය හරහායි. ඉන්පසු නිල් වර්ණය ගල් වැඩපොළෙහි කුඩා කඩයේ කණුවක දකින මොහොතේදී සිදුවන ව්‍යසනය ඉඟිකරයි. පසුව ගල්වැඩපොළ වසාදැමූ විට එහි ඇති ගේට්ටුව නිල් වර්ණය ගනී. මස් කඩයේදී අතවරයට ලක්වන්නට යන මොහොතේ අම්මාව බේරගන්නා මුදලාලි ඇය අතට දෙන්නේද නිල් පැහැති තුවායකි. එයද ඉතා භයානක අනතුරු ඇඟවීමකි. පසුව ඇය තම තන පුඩුවෙන් නිල්පාට ජෝග්ගුවකට කිරි දොවා හාමතේ සිටින තම දරුවාට පොවයි. අවසානයේදී ආයුර්වේද සම්භාහනයේ නාම පුවරුවද නිල් පාට වීම මේ වර්ණය එකතැනකට අරගෙන එයි.

රතු (Red) - භීෂණය, ජීවිතය, ශෘංගාරය සහ මරණය යන සංධිස්ථාන වලදී සංජීව රතු වර්ණය ඉදිරියට අරගෙන එනවා. කෘතියේ මුලින්ම රතු වර්ණය දකින්නේ තාත්තාගේ මරණය සහ සමූහ මිනීවල තුළයි. ඉන්පසු ජීවිකාව ගැටගසා ගැනීමට යන මස්කඩේ ඇති රුධිර ගංගාවයි. භීෂණය ජීවිතය හරහා ගොඩනැගුණු රතු වර්ණය අම්මාගේ ඇඳුම් දක්වා ශෘංගාරාත්මක මොහොතට ගෙනාවත් රතුපාට හැමවිටම මරණය සහ ඝාතනය යන දෙකම මතක් කරනවා. එය ශෘංගාරය අභිබවා යාමට තරම් සූක්ෂ්මව රූපරාමු තුළ භාවිත කර තිබෙනවා. අවසානයේ සුදු සාරිය මත ඇති ලේ පැල්ලමෙන් නැවතත් කෘතිය පුරාම තිබූ රතු වර්ණය එකතැනකට අරගෙන එනවා.

මෙසේ වර්ණ ඉතාමත් සූක්ෂ්මව භාවිත කර ඇති සිනමා කෘති ලාංකීය සිනමාවේ ඉතා අල්ප බව සඳහන් කරන්න කැමතියි. දැවෙන විහඟුන් ඉතා සරල සිනමා භාෂාවක් භාවිතා කළත් එය කියවීමේදී ඉතාමත් ගැඹුරු තැන් හමුවීම සිනමා රසිකයෙකු වශයන් ඉතා සතුටු දායක තත්ත්වයක්.

දැවෙන් විහඟුන් සිනමාපටයේ අධිතාත්විකවාදී (Surrealistic) සිනමා ආඛ්‍යාන භාවිතය සිනමාව පිළිබඳව හදාරන විද්‍යාර්ථයින් හට ඉතා වටිනා කියවිය යුතු ඉදිරිපත් කිරීමකි. සිනමාව උනන්දුවෙන් (Serious) කරන සියලු දෙනා සිනමා ශාලාවක නැරඹිය යුතුම චිත්‍රපටයකි.

[ධනුෂ්ක ගුණතිලක]

මාතෘකා