තල් පැණි පහසින් කුල්මත්ව කැෂුරිනා මුහුදේ නෑමට ගිය අපි...

 ඡායාරූපය:

තල් පැණි පහසින් කුල්මත්ව කැෂුරිනා මුහුදේ නෑමට ගිය අපි...

අළුපාට යාපනයක් දකින්නට ගිය සංචාරයේ කතාව - අවසාන කොටස

යායට කෝවිල් තිබෙන බිමක නිස්කලංක බව බිඳින්නට තරම් සමත් නොවුණත්, යාපනයට හිමිදිරිය උදාවුණේ ඇහෙන නොඇහෙන සීනු නාද සහ ස්තෝත්‍ර ගායනා මධ්‍යයේ.. අකුණු පිපුරුණේ නැතත් ගෙවුණු වැහිබර රැය උදෑසන යාපනය “සීතල නුවරඑළියක්”. තෙතබරිත උදෑසනේ කඩිසර බව ගිලිහිලා තිබුණත් උදේ හත විතර වෙනකොට ගමන් නඩය ඇහැරවගන්න සංවිධායක මණ්ඩලයට පුළුවන් වුණා…

පාන්පිටි ඉඳිආප්ප, තෙම්පරාදු සම්බෝල, කිරිහොදි එක්ක උදේ කෑම කාපු අපි දෙවැනි දවසේ සංචාරයට පිටත් වුණේ උදේ අටට විතර.

මුලින්ම අපි ගියේ වෙරළ පාර දිගේ යාපනය නගරයට ඔබ්බෙන් වූ යාපනය කොටුවට. කොටුව කෙළවරෙන් වන සිව්මංසලෙන් වමට හැරුණහම මණ්ඩතිව්, කයිට්ස් ඇතුළු දූපත් කරා යන මාර්ගය.. මුහුද දෙබෑකරගෙන තැනුණු මහපාර දිගේ දෙපස බලමින් මේ මාර්ගයේ යන්නට ඇත්නම් ඒක සුන්දර අත්දැකීමක්…

යාපනයට බටහිරෙන් දූපත් ගණනාවක් තියෙනවා.. නාගදීපය පිහිටි නයිනතිව්, ඩෙල්ෆ්ට් හෙවත් නෙඩුන්තිව්, පුන්කුඩුතිව් වගේ දකුණේ පවා කියැවෙන ඇසෙන දකින නම් ඇති දූපත් වගේම එළුවයිතිව්, අනලයිතිව් වගේ නම් ඇති සහ වැලිපර වැනි මිනිස් වාසයෙන් තොර අප්‍රසිද්ධ දූපත් ගණනාවකුත් ඊට අයත්. ඒ අතර කතෝලික පල්ලියක් පමණක් ඇති කුච්චතිව් දූපතත් සුවිශේෂී එකක්.

අපි මේ දූපත් කරා වැටී ඇත් පාර දිගේ පාගමනින් යන්න තීරණය කළා… ඒ උදෑසනින්ම ධිවර කටයුතුවල යෙදෙන ධීවරයන් දකින්නත්, එළැඹෙමින් තිබුණූ සංචාරක සමයේ වීසා රහිතව මෙරටට ආ කළපු ආශ්‍රිතව වෙසෙන සංචාරක කුරුල්ලන් දකින්නත් අරමුණු කරගෙන…..

යායට තියෙන ඉස්සන් කොටු, ඒ අතරින් කරවටක් මුහුදේ බැස දැල් ලෙහන ධීවරයන්, තමන්ම තනාගත් අපූරු වල්ලම්වල මුහුදට යන ධීවරයන්…. වචනයෙන් කියන්න බැරි සුන්දරත්වයක්… හිරු එළිය මනාව වැටී තිබුණනම් අපූරු ඡායාරූප පෙළක්… ඒත් හරස්වූ සොබාදහමෙන් අපූරුවට වැඩ ගන්න පුළුවන් ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකුම දෙනෙතින් දකින දේ තිනෙතින් සුසර කරමින්, නාභිගත කරමින් උන්නා.

යුද්ධය අවසන් වූ පසු මෙම පාරවල් විවෘත වූ අලුත පාපැදිවලින් පිරී තිබූ මේ මාර්ගය අද වන විට පිරී ඇත්තේ ස්කූටිවලින්.. සොලවා වීසි කළ ජිල්බෝල අහුරක් වගේ පාර දිගේ එහෙන් මෙහෙන් ඇදී යන ස්කූටිවලින් බේරි පාරදිගේ යන එක ලොරි බස්වලින් පරෙස්සම් වී යන එකට වඩා අමාරු බව අවබෝධ වුණේ අපේ පාගමනෙදි….

දෙපැයක් පමණ ගතකරමින් ඡායාරූප ගත්තත් වැඩි වෙහෙසක් නොදැනෙන්නේ හිරු එළිය නොමැති නිසා… අවසානයේ කිලෝමීටර දෙකක් පමණ දුරින් ඇති මණ්ඩතිව් කරාම පා ගමනින් ගොස් තිබුණු අපි බස් රථය එහි ගෙන්වාගෙන වඩුක්කෝඩෙයි දෙසට යන්නට පිටත් වුණා…

නල්ලූර් කෝවිලේ පූජාවන්ගෙන් අනතුරුව “දියකැපීම” සිදුකරන්නේ මුහුදෙදි… ඒ යාපනයට ගඟක් නැති නිසා වෙන්න ඕන.. හරියටම යාපනේ කොටුවට උතුරෙන් පිහිටි ස්ථානයක වූ දියකැපුම් තොට දැකගත් අපි එතැනින් වමට හැරුණේ කැසුරිනා වෙරළට යන්නට…

යාපනේ නාම පුවරුවල තිබෙන සුවිශේෂතාවය තමයි වැරදි සිංහලෙන් හෝ සටහන් කරතිබීම. අතීත සිංහල පුවරුවල සිංහල නිවැරදි වුණත්, අලුත් පුවරුවල සිංහල වචන නිසි ලෙස සටහන් නොවුණත්, ඔවුන් ගන්නා ඒ උත්සාහය අගය කළ යුතුයි.

වෙරළ අයින දිගේ ඉදිරියට යන අපට නොගැඹුරු මුහුදේ හෝ ඒ ආශ්‍රිත කළපුවල, වගුරුවල වෙසෙන ගව රංචු ගණනාවක් දකින්නට ලැබුණා… හින්දු සංස්කෘතිය අනුව ගවයාට සලකන්නේ දේවත්වයෙන්. ලෝකයේ තෙවන විශාලම ආගම විදිහට සැලකෙන හින්දු ආගම හරිම සංකීර්ණ එකක්… ඒ තුළ තිබෙන ඇදහිලි හා විශ්වාසයන් ගැන හරියට පැහැදිලි කරන එක හින්දු ආගමිකයකුට වුණත් අසීරු වැඩක්… ලිපියට අදාළව විස්තර ටිකක් හොයන්න උත්සහ ගත්තත්, ඒක අතහැර දැම්මේ මටත් හරි වැටහීමක් ගන්න බැරි වුණ නිසා…

හින්දු ආගම සංකීර්ණ වුණාට, මිනිස්සු හරිම සරලයි, සුන්දරයි. අපිට ඒක ඔප්පුවුණේ නාවල්තුරෙයි හන්දියේදි.. එදා පොළ දවස. බස් එක ටිකක් එපිටහට වෙන්න නවත්වලා අපිත් බැස්සා පොළට… දෙමළ බහුතරයක් සහ මුස්ලිම් සුළුතරයක් විතරක් ජීවත්වෙන ඒ නගරයේ වෙළෙන්දන්ගෙන් බහුතරයක් මුස්ලිම්. සාමාන්‍ය අපේ සතිපොළක් වගේම තැනක්… තමන්ම වගාකරගන්නා ගොවි නිෂ්පාදන අලෙවි කරන පිරිසත්, නගරයෙන් නගරයට පොළවල්වල වෙළඳාමේ යන වෙළෙන්දොත්, අවශ්‍යතා මිලදී ගන්නට ආ ගනුදෙනුකරුවෝත් අතරින් එහා මෙහා ගිය අපි ඒ ජන හැසිරීම් දැක බලාගත්තේ සැහැල්ලුවෙන්.

පොළේ ඉස්සරහම හිටිය මුස්ලිම් වෙළෙන්දා රට පුරාම ඇවිදින කෙනෙක්. ඒ නිසාම ඔහුට සිංහල කතා කරන්න පුළුවන්කම තිබ්බා…

යුද්ධයට කලින් ගොඩනඟාගත් දේ විනාශ වූ බවත්, ඉන් අනතුරුව ගතවූ අට වසරේදී යළි ජීවිතය ගොඩනඟා ගත් බව කී ඔහු, යුද සමයේ කොළඹ හෝටලයක සේවකයකු ලෙස ජීවිතය ගැටගසාගත් බවත් අපට කිව්වා...

අපේ ඊළග නැවතුම වුණේ කාකතිව් ධීවර වරාය. වෙරළට රැගෙන ආ මාළු අස්වැන්නෙන් හොඳම කොටහ ගන්නට එන ගනුදෙනුකරුවන්ගෙන් පිරීතිබුණු එතැන පුංචි පොළක් නිර්මාණය වෙලා තිබුණා… ඈත පළාත්වලට මාළු විකුණන්නට යන වෙළෙන්දන් හෙට්ටු කරමින් මාලු මිළදී ගන්නා එතැනත් හරි අපූරු තැනක්… පැරණි වධකයන් සිහිපත් කරමින් ලොකු පිහියකුත් ළඟතබාගෙන “රාජසිංහ” ලීලාවෙන් සිටි වෙළෙන්දෙක් අපේ කැමරාකරුවන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබුණා..

ඊළඟට අපි ගියේ වඩුක්කොඩෙයිවලට. හැත්තෑවේ දශකයට කළින් එහි පිහිටි දෙමළ විද්‍යාලය නිසා ප්‍රසිද්ධව තිබූ වඩුක්කොඩෙයි, 1976 වසරෙහි මැයි 14 වැනිදාට පසුව ප්‍රසිද්ධ වුණේ, එදින එහි පැවැති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සම්මේලනය නිසා… එදා ඒ සම්මේලනයේදී එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ යෝජනාවක් විදියට “ස්වාධින දෙමළ රාජ්‍යය” සංකල්පය ඉදිරිපත්ව සම්මත වුණා. එහි ප්‍රතිඵලයක් විදියට ඒ වන විට යාපනයේ ප්‍රබලම දේශපාලන පක්ෂය වුවත්, එයම පාරාවළල්ලක්ව දේශපාලනයේ විනාශය කරා ළඟාවෙන්නට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට සිදුවුණා.

යාපනය මහා නගරයක් වුණාට, වඩුක්කෝඩෙයි පට්ට ගමක්… යායට තියෙන කුඹුරු . හතරමං හන්දියෙන් වමට හැරුණොත් අරාලි තුඩුව හරහා යළි කයිට්ස්වලට. දකුණට හැරුණොත් මාදගල්වලට. කෙළින්ම ගියොත් කන්කසන්තුරේට.

මොනවා කරන්නත් කලින් “පොඩි බඩගින්න” මකාගන්න තේ එකක් බොන්න ඕන කියල හිතපු අපි ළඟම තිබුණු කඩයකින් වඩයක් කාලා ප්ලේන්ටියක් බිව්වා…

කැෂුරිනා වෙරළ යාපනයේ තියෙන සුන්දරම වෙරළ තීර කහිපයෙන් එකක්. එය පිහිටා ඇත්තේ කරෙයිනගර් දූපතේ උතුරු කෙළවරේ. කෝවලම් වෙරළ එතරම් ප්‍රසිද්ධියක් නැති තවත් සුන්දර වෙරළක්. එය පිහිටා තියෙන්නෙත්, කරෙයිනගර්වලම බටහිර දෙසින්. මේ වෙරළ තීරයන් සාමාන්‍ය දවසට රළ නොනඟින නිසල වෙරළක් වුවත්, හදිසි කුණාටුවකින් චණ්ඩ වුණු අද දවසෙදි නම් ටිකක් සසල වෙලා ඇති කියලයි අපි විශ්වාස කළේ….

“සසල වෙරළට - නිසල විදියට ගිහින් වැඩක් නෑ” කිව්වේ නඩේගුරා දුලිප්ම තමයි…

ඒ නිසාම ළඟම තියෙන රා තැබෑරුම හොයාගන්න අපි කැමැති වුණේ, යාපනයේ තල් රා උගුරක රස නොබැලුවොත් ඒක අඩුපාඩුවක් නිසා… කෝටකාලි වැව අද්දර මුහුද පැත්තට තිබුණු රා තැබෑරුම ගාව බස් එක නතර වුණේ අපේ ඉල්ලීමට එකඟ වෙමින්.

යුද සමයේ එදිනෙදා පරිහරණයට පමණක් නිෂ්පාදනය වූ තල් රා, අද වන විට බෙදාහැරීම් ජාලයක් තියෙන හොඳ ව්‍යාපාරයක්. “රා සමුපකාර සමිති” පවා යාපනයේ තියෙනවා.. බෝතල් කළ රා රටේ බොහෝ ප්‍රදේශ වලට යවන බවයි, එම තැබෑරුමේ භාරකරු අපිට කිව්වේ.

අප ගිය රා තැබෑරුම, ඇත්තටම රා එකතු කරන තැනක්. එතැනට නිෂ්පාදකයන් ගෙනෙන රා එවෙලෙම පෙරා පිරිසුදු කොට වීදුරු බෝතල්වල අසුරනවා…

අපි නම් ගත්තේ ටිකක් ළපටි රාවලින්… බෝතලයක් රුපියල් අනූවක්. රස බලන්න විතරක් බෝතලයක් ගත්තු අපි, එහි රස සමෝසමව බලමින් කැෂුරිනා වෙරළට ගියා….

මුහුද චණ්ඩ වුණත්, සංචාරකයන් දෙතුන් සියයක් එහි රිසිසේ විනෝද වෙමින් හිටියා… අපිත් එහි කොටස් කරුවන් වී පැයක් දෙපැයක් නා කියාගත්තේ විනෝදයෙන් සහ සැහැල්ලුවෙන්… නාවික හමුදා කිමිඳුම්කරුවන් සහ ජීවිතාරක්ෂකයන් සිටි නිසා ඒ සැහැල්ලුව විඳින්නට, අපටත් අන් හැමටත් එකසේ අවස්ථාව ලැබුණා…

දෙපැයක පමණ කාලයකින් පසු යළි පිටත්වූ අප යාපනය නගරයට ආසන්න අවන්හලකින් ඉස්සන් මුසුකළ බත් වේලක රස බැලුවේ, එයත් යාපනයේදී ලැබිය යුතුම අත්දැකීමක් නිසා….

යළි නවාතැනට පැමිණි අපි, රැගෙන ආ දේ යළි බෑග් මලුවල අසුරාගෙන ආපසු ගමනට සූදානම් වුණේ, එය අනිවාර්ය සමුගැනීමක් විය යුතුම නිසා…. යළි දවසක තව තවත් හොඳින් යාපනය දකිනු රිසින්,නඟරය හරහා චුන්නාකම් දක්වා ගිය අපි රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹට එන්නට පිටත් වුණා.

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම රැස පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාර වල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව දුම්බර කඳුවැටියේ සැඟවුණු කඳුමුදුනකට….

Eternal Traveller අපේ සංචාර ගැන

ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 077 90 16 752

දුලිප් 0777 043 804 / 0759 043 804

සටහන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

[email protected]

ඡායාරූප - Eternal Traveller වෙනුවෙන්

ප්‍රදීප් මල්ලිකාරච්චි සහ ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

 

මාතෘකා