‘අරණකට පෙම් බැඳ’ මා දැහැන්ගත කළා රූපා ශ්‍රියානි ඒකනායක

 ඡායාරූපය:

‘අරණකට පෙම් බැඳ’ මා දැහැන්ගත කළා රූපා ශ්‍රියානි ඒකනායක

මගේ හද සසල කළ කෘතිය චින්තා ලක්ෂමි සිංහ ආරච්චිගේ ‘අරණකට පෙම් බැඳ’ නම් පරිවර්තන කෘතියයි. මේ කෘතියේ මුල් කෘතිය වංග භාෂාවෙන් ලියවුණ ‘ආරණ්‍යක්’. එය ලියැවුණේ වර්ෂ 1937 -1939 දක්වා කාලයේ. මෙහි මුල් කතුවරයා ප්‍රසිද්ධ වංග ලේඛක විභූතිභූෂණ ඛන්ද්‍යොපාධ්‍යායයි.

මේ කෘතියට මා දැඩිව ඇලුම් කරන්නේ එහි යොදාගෙන තියෙන ඉතා රසවත් භාෂා රටාව වගේම සිද්ධි විවරණයේදී යොදාගත් විවිධ රචනෝපක්‍රම නිසයි. සිංහ ආරච්චි මේ කෘතිය පරිවර්තනය කරන්නේ මුල් වංග භාෂාවෙන්ම වීමත් එයට හේතු වෙන්න ඇති. නමුත් එය ඉක්මවා ගිය කතුවරියගේ භාෂා ඥානයත්, මුල් කෘතියේ ඇති රසාලිප්තභාවයත් එයට රුකුලක් වෙන්න ඇති.

මෙහි කතානායකයා වනගත වතුයායක කළමනාකරුවෙක්. ඒ කාලයේ අක්කර දස දහස් ගණනක් වුණු විශාල වත්තකුයි ඔහුට කළමනාකරණය කරන්න සිද්ධ වුණේ. නගරයේ අධ්‍යාපනය ලබලා නගරයේ රුකියාවකට යොමුවෙන්න ඇති නොහැකියාව නිසා මුල් කාලේ ඔහුට ඒ රැකියාව රුචි නොවුණත් කල් යෑමේදී ඔහු මගින් ඒ සුන්දර වනයට පෙම් බඳින තරුණයෙක් කෘතියෙන් ඉදිරිපත් වෙනවා.

පරිවර්තිකාව මේ කෘතියේ මෙහෙම කියනවා: “විභූතිභූෂණ ඛන්ද්‍යොපාධ්‍යාය තරම් අව්‍යාජ ලෙසත්, චිත්තාකර්ෂණීය ලෙසත් ස්වභාවික පරිසරය ගැන විස්තර කළ වෙනත් ලේඛකයෙකු නොමැති බව එරට විද්වත්තු පිළිගනිති.” නමුත් මට නම් හිත‍ෙන්නේ ඒ කරුණ සිංහ ආරච්චි නම් පරිවර්තිකාවටත් ඒ ආකාරයෙන්ම ගැළපෙනවා. මොකද පාඨකයා රස‍යෙන් දැහැන්ගත කිරීමට ඇය සතු හැකියාව අද්විතීයයි.

ඒ විතරක් නෙවෙයි, මේ කෘතිය හරහා වතු ආශ්‍රිතව ගොඩනැගිලා තියෙන දිළිඳු ජන ජීවිතය, ඔවුන් තම එදාවේල සරිකරගන්න දරන වෑයම, ඔවුන්ගේ සීමාසහිත ලෝකය, සිතුම් පැතුම් ආදිය විවරණයත් ඉතාමත් සූක්ෂමව කෙරෙනවා.

අතිඋත්කර්ෂවත් වාග්මාලාවක්, සුවිශේෂි භාෂා ප්‍රයෝග සම්භාරයක් මගින් දිගහැරෙන භාවපූර්ණ නිර්මාණයක් මේ හරහා උත්පාදනය වෙනවා. ඇත්තටම මේ කෘතිය කියවගෙන යද්දි මට දැනුණේ මම පොතක් කියවනවා නෙමෙයි, සුන්දර වනයක ජීවත්වෙනවා වගේ හැඟීමක්. ඒක ඒ තරමටම අලංකාරයි. මනමෝහණීයයි. භාෂාව සිත තුළට කිඳාබහින ස්වරූපය හිතාගන්නත් බැරි තරම්. එය චිත්ත රූප මවන්නේ හරියට අපිව ඒ තැනට අරගෙන ගිහින් වගේ. ඒවගේම මෙහි මගේ හද හොරාගත් අලංකාර සිය ගණනක් තියෙනවා. ඒ අතරින් එකක් මෙන්න මෙහෙම කියන්න පුළුවන්.

“...ඒ සමඟම අන්ධකාරයෙන් වැසුණු වනාන්තරයට ඉහළින් වූ ආකාශයෙන් අසංඛ්‍ය වූ තාරකාවෝ බොහෝ ඈත විශ්වයේ ආලෝක ධූතයන් ලෙසින් පෘථිවියේ මිනිසුන්ගේ දෑස්වලට පෙනී සිටිති. තාරකා දැල්වෙන නිවෙන විදුලි පහන් සේ අහසේ දිස්වේ. හත්දින්නත් තරු ආදී මේ තරම් තරු පොකුරු මා බෙංගාලයේ සිටියදී කවදාවත් මේ තරම් හොඳින් දැක නැත. පහළින් ඝන අඳුරින් වැසුණු වනාන්තරයත්, පාළු ගුප්ත ස්වභාවයත්, අඳුරු රාත්‍රියත් මට හිතවත් සේ හැඟෙන අසංඛ්‍ය වූ තාරකා රාශියත් මා වට කර සිටී. සමහර දිනෙක අහස සමුද්‍රය අසල ඈතින් පෙනෙන ප්‍රදීපාගාරයක එළියක් සේ පෑයූ අඬ සඳ පෙනේ.”

සිංහල භාෂාවේ තිබෙන පරිපුර්ණ බ‍ව, ඒ වගේම රසවත් බව මේ කෘතිය තුළින් මනාව ඉස්මතු වෙනවා. එසේම ග්‍රන්ථකරණයට පිවිසෙන්නට බලාපොරොත්තු වන කෙනෙකුට රසවත් භාෂාවක් භාවිතයට අත්පොතක් ලෙසත් මේ කෘතිය දක්වන්න පුළුවන්.

සටහන [නිර්මාණි ඉගලහේවාගේ]

මාතෘකා