හඳහන් බැලිල්ල

 ඡායාරූපය:

හඳහන් බැලිල්ල

මගෙ යාළුවෙක් මෙහෙම කතාවක් කිව්වා..  

“මචං ගර්ල්ෆ්‍රෙන්ඩ් මට කියනවා කොයිකටත් හඳහන ගෙනල්ලා දෙන්නකො.. අපි ඒක බලමු.. අපේ අම්මලා කොහොමත් හඳහන් බලනවා..” කියලා..

දැන් මගෙන් ඕක ගෑනු ළමයෙක් ඇහුවනං මම ඊළඟට අහන ප්‍රශ්නෙ..

“දැං හඳහන් නොගැළපුණොත් බඳින්නැද්ද..?”

එහෙම නෑ කියනවනං එහෙම කෙනෙක්ව නොබැඳ ඉන්න එකම හොඳය..

හඳහන් නොගැළපුණත් අවුලක් නෑ කියනවනං ඊළඟට අහන ප්‍රශ්නෙ..

“අවුලක් නැත්තං මොන මගුලටද ඕයි ඕක බලන්නෙ...??”
කියන එක..

ඒ කොල්ලායි කෙල්ලයි දෙන්නම උසස් අධ්‍යාපනේටත් විද්‍යාව ඉගෙනගත්ත සහ ඉගෙනගන්න උන්....

උන්ගෙ වරදකුත් නෑ.. මේකෙ කාලයක් තිස්සෙ හදපු මැටි සංස්කෘතියට උන් මොනව කරන්නද.. ගෙදරින් එන පීඩනේට කෙල්ලත් අසරණයි..

“කලින් උඹලා දෙන්න ඕක බලලා ගැළපෙන්නෙ නැත්තං වෙන සාත්තරකාරයෙකුට ගාණක් දීලා කෙල්ලගෙ හඳහනට ගැළපෙන එකක් හදලා නැන්දම්මලට පෙන්නහන්..”
 කියල මං කිව්වා..

* * * *

අප්පිරියාවක් දැනෙන්නෙ නැද්ද ලංකාවෙ මේ ගෝත්‍රික වැඩ ගැන.. ජීවිතේ ස්වාධීන තීරණයක් ගන්න බැරි, ඒකටත් ග්‍රහයෙකුගෙ පිහිට පතන මිනිස්සු කොයිතරම් ගෝත්‍රිකද..?

ඒ ගෝත්‍රික මානසිකත්වෙ නිසා අර පෙම්වතුන් දෙන්නා වගේ කී දෙනෙක් අසරණ වෙනවද..?

ඉපදෙන දවසෙ ඉඳන් මැරෙනකන්ම ග්‍රහයෙකුට තරුවකට වහල්කම් කර කර කොහෙවත් ඉන්න සාත්තරකාරයන්ට සල්ලි පූජ කරලා ජීවත්වෙන වහල්ලු...

තමන්ගෙ දරුව තෝරගත්ත කෙනා ගැළපෙනවද, තේරුම් අරන්ද , ජීවිතේ ඉස්සරහට ගෙනියන්න උදව් වෙයිද වගේ වැදගත් දේවල් ඔක්කොම පැත්තකින් තියලා කිසිම අදාලත්වයක් නැති කොහෙවත් ඉන්න සාස්තර කාරයෙක්ගෙ කීමක් ලොකු කරගෙන ආදරණීය මානව බැඳීමක් කඩාකප්පල් කරල දාන්න තරම් වෘෂභ මානසිකත්වයක් තියන දෙමව්පියො...

ඒ වගේම හඳහන බල්ලට දාලා “ඕකෙ මොන මගුල තිබ්බත් අපිට පාන්ද ඕයි.. තමුසෙ මට කැමති නං මං තමුසෙට කැමතිනං ග්‍රහයො මොන බිබික්කමක් කරන්නද?” කියලා ස්වාධීන තීරණේකට එන්න බැරුව පිස්සො වගේ සාත්තරකාරයෙක්ගෙ කීමකට හා කියාගෙන නටන කොන්ද පණ නැති තරුණ පරම්පරාව...

ඉතින් තව මොනව කියන්නද..

මේ දූපතේ ආදරේ නෑ කියල නැටුවට වැඩක් නෑ....

සාත්තරකාරයෙක් හා කියනකන් කසාදයක් බැඳගන්න බැරි ස්වාධීන චින්තනයක් නැති කොඳු කඩාගත්ත මහජනතාවක් එක්ක රට සංවර්ධනය කරන්න කතා කරන උන්ට මුලින් මඩුවලිගෙන් ගහන්න ඕනෙ.

ඉන්දියාවෙ උන්ට වැසිකිළි නෑ කියලා හිනාවෙද්දි උන් ගූගල් මයික්‍රෝසොෆ්ට් සමාගම් එක්ක ලෝකෙම දැනුමෙන් අල්ලනවා.. අන්තර්මහද්වීපික බැලැස්ටික මිසයිල යවනවා.. අභ්‍යාවකාසෙට චන්ද්‍රිකා යවනවා..

අපි අඟහරු අපලෙට කාක්කන්ට කිරිබත් කවනවා.

“නක්ඛත්තං පතිමානෙන්තං,
අත්ථො බාලං උපජ්ජගා:
අත්ථො අත්ථස්ස නක්ඛත්තං,
 කිං කරිස්සන්ති තාරකා?”

“නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?”
( සූත්‍ර පිටකය , ජාතක පාලිය නක්ඛත්ත ජාතකය )

[සුජිත් ප්‍රියන්ත] [චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා