වලි නම් ජොලිද

 ඡායාරූපය:

වලි නම් ජොලිද

පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුව දැක ලිවීමට සිත් විය..  

කුඩා අවදියේ පාසලේ උගන්වා ඇති ආකාරයටට රටේ උත්තරීතරම ආයතනය පාර්ලිමේන්තුවයි. රටේ මහජනතාවගේ ඡන්දයෙන් පත්කර යවනු ලබන මැති ඇමතිවරුන්ගේ ප්‍රධාන කාර්‍යය ලෙස මා අසා ඇත්තේ රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම රටේ දියුණුවට අවශ්‍ය කරන ප්‍රතිපත්ති සාකච්චා කිරීම, තීන්දු තීරණ ගැනීම වැනි ක්‍රියාමාර්ගයි.

දැන් දැන් මට වැටහෙන ආකාරයට පාසල් ගුරුවරුන් අප හට උගන්වා ඇත්තේ පට්ට පල් බොරු ය. අපට ඉගැන්වූ ගුරුවරු වැඩිහිටි සියලුම දෙනා අපව රවටා ඇති බවක් මා හට හැඟේ.

පසුගිය සතියේ රූපවාහිනියෙන් එම සිද්ධිය නරඹන විට මීට කාලයකට ඉහතදී අපේ ගමේ සිද්ධ වූ සිදුවීමක් මතක් විය. ගමේ නම ගිය අප්පුසිංඥ්ඥෝ නැමති කසිප්පු මුදලාලි කෙනෙක් සිටී දිනක් එහා ගමෙන් පැමිනි ගුණසිංහ නැමති තවත් කසිස්සු පෙරන මුදලාලි කෙනෙක් අප්පුසිංඤ්ඤෝගේ තිප්පලට හොරෙන් පැන හසුවිය. ඒ සිදුවීමෙන් පසු දෙදෙනා අතර සිදු වූ බහින් බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුර දිග ගිය අතර එක පාර්ශ්වයකින් "අප්පු කසිප්පුවා" ලෙසද අනෙක් පාර්ශවයෙන් "ගුණේ කසිප්පුවා" ලෙසද කෑගසමින් වලියට මුල පිරීය. නමුත් දෙදෙනාම කසිප්පු මුදලාලිලා බව ගම් වැසියන් හොඳාකාරවම දන්නා කාරණයකි. එම ගාල ගෝට්ටිය දුටු ගම් වැසියන් 119 සේවය අමතා කසිප්පු මුදලාලිලා දෙන්නා පොලීසියට කොටුකර දෙන ලදි. කලහකාරී ලෙස හැසිරීම නීතිය කැඩීම පුද්ගලයකුට පහරදීම වැරදි බව ගම් වැසියන් තේරුම් ගත් නිසාවෙන් යැයි මට හැඟේ.

පසුගිය සතියේ පාර්ලිමෙන්තුව තුළ සිද්ධිය රූපවාහිනියෙන් අපූරුවට නැරඹූ බොහෝ දෙනා ඉතා හයියෙන් කොක් හඬලමින් සිනා සෙනු දුටුවෙමි. එමෙන්ම "අන්න ගැහුවා කන පැලෙන්න නියමයිනෙ..."
"අපේ කෙනා මෙහෙම කිවුවා ඒක පට්ට කතාව" වැනි කතා මාලාවක්ද අසන්නට ලැබුණි.

ගමේ අප්පුලා ගුණේ ලා රණ්ඩු කරන විට නීතියට හසුකර දෙන, රටේ උත්තරීතරම ආයතනය තුළ තමන්ගේ ඡන්දයෙන් පත්කරගත් නියෝජිතයින් එම සිදුවීමම සිදුකරන විට මහ හයියෙන් හිනා වෙන, රස කර කර තලු මරන හේතුව නම් මට තවමත් වැටහෙන්නෙ නැත. ඇතැම් විට ඒ සිනහව තමාටම වන සිනහවක්දැයි සිතෙන අවස්තා නැතුවාමද නොවේ.

කෙසේ වෙතත් එක දෙයක් පමනක් මට වැටහේ. තුන්වන ලෝක යුද්ධය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමෙන්තුව තුලින් 'ලොකුම හොරා' කවුද යන්න තෝරා බේරා ගැනීමට නොහැකිව පටන් ගන්නා බවය.

[සුජිත් ප්‍රියන්ත, චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා