තොරතුරු අයිතියෙන් වැඩ ගත් පුංචිබණ්ඩා | ඇස පාදන රැස


තොරතුරු අයිතියෙන් වැඩ ගත් පුංචිබණ්ඩා

 ඡායාරූපය:

තොරතුරු අයිතියෙන් වැඩ ගත් පුංචිබණ්ඩා

කදුහා විජේකෝන්ලාගේ පුංචි බණ්ඩා මහතා (53), කන්තලේ සීනිපුර ජනපදයේ ගොවියෙක්. ඒ වගේම ඔහු රටේ-තොටේ සිදුවන දේ ගැන උනන්දු, තමන්ට හැකි පමණින් ගමේ රටේ ගැටලුවලට විසදුම් සොයන්න වෙර දරන සමාජ ක්‍රියාකාරිකයෙක්.  

 අංක 103, ගම්පුබුදු මාවත, සීනිපුර, කන්තලේ කියන්නේ පුංචි බණ්ඩාගේ ගෙදර ලිපිනය. මුළු ලෝකයෙන්ම ගෙයින් ගෙට ගිහිල්ලා ලියුම් බෙදන රටවල් අතරෙ ශ්‍රී ලංකාව මුල් පෙළේම ඉන්නා බව කියැවුණත් පුංචි බණ්ඩාගේ ගෙදර ඇතුළු සීනිපුර ගමේ ගෙවල් 30කට විතර ඒ විදියට ලියුම් ලැබෙන්නෙ නැහැ. හැම ගෙදරකටම යන්න පාරක් තිබුණත්, ඔවුන්ගේ ලියුම් ලැබුණේ 85 හන්දියේ‍ ‘බැරියර්’ එකට. නැත්නම් ඒ අසල වෙනත් කඩයකට. මේකට හේතුව මොකක්ද කියල කව්රුවත් දැනගෙන හිටියෙ නැහැ.  

පුංචි බණ්ඩාට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන මුල්වරට දැනගන්න ලැබෙන්නේ ඒ ගැන පැවැත්වූ මහජන වැඩමුළුවකදී. මේ ලියුම් පලහිලව්ව ගැට පොටක් පාදගන්න තොරතුරු අයිතිය පාවිච්චි කරල බලන්න ඔහු කල්පනා කළා.

වැඩමුළුවේදී ලබාගත් දැනුම ප්‍රායෝගිකව පාවිච්චි කරමින් සීනිපුර ගමට පත්කර සිටින තැපැල් පියුන් මහතාට පැවැරී ඇති නිල රාජකාරිය පිළිබදවත්, පිරිසකට නිවසටම ගොස් ලිපි බෙදද්දී සීනිපුර ගමේ තමන්ගේ නිවස ඇතුළු අසල්වාසී නිවෙස්වල ලියුම් ගෙදරටම ලබානොදී ‘බැරියර් එකේ තබා යෑමට හේතුව පිළිබදවත් තොරතුරු විමසමින් පුංචි බණ්ඩා මහත්තයා කන්තලේ තැපැල් කාර්යාලයේ ප්‍රධානියා වෙත තොරතුරු අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළා.  

පුදුමෙක මහත! තොරතුරු අයදුම්පත ඉදිරිපත් කරලා සති දෙකක් යන්න මත්තෙන් පුංචි බණ්ඩා මහත්තයාගේ ගෙදරට විතරක් නෙවෙයි, ගමේ මෙතෙක් ගෙදරටම ලියුම් නොලැබුණ 30ටම ගෙදරටම ලියුම් ලැබෙන්න පටන් ගත්තා.  
 “ ඇත්තටම මට හරි සතුටුයි. මේ තොරතුරු පනත අපි වගේ අයට හරි වටින පනතක්. මගේ තොරතුරු අයදුම්පත්‍රයට උත්තර ලැබෙන්නත් කලින්ම දැන් අපේ ගෙවල්වලටම ලියුම් ලැබෙනවා.” ඔහු සිය අත්දැකීම අපට විස්තර කළා.  

පුංචි බණ්ඩාගේ පුංච් වැඩේ මේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතයට ගැනීම පිළිබද ප්‍රමුඛතම උදාහරණයක්. තොරතුරු අයිතිය ගැන කෙරෙන සම්මන්ත්‍රණවලදි සීනිපුරේ පුංචි බණ්ඩා ගැන නිතර සඳහන් වෙනවා. ඉංදීය තොරතුරු පනත සමාජගත කරන්න බෙහෙවින් ඉවහල් වූ ‘නන්නු’කියන ගොවියාගේ කතාව වගේම සීනිපුරේ පුංචි බණ්ඩාගේ කතාවත් දැන් වේගයෙන් සමාජගතවීමට පටන් අරන්. මේ දිනවල මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද ඒකකයේ මැදිහත්වීම මත සීනිපුරේ පුංචි බණ්ඩාගේ අත්දැකීම ගැන කෙටි වාර්තා චිත්‍රපටයකුත් සම්පාදනය වෙමින් පවතිනවා.

ශ්‍රී ලාංකීය පුරවැසියන් තොරතුරු දැනගැනීමේ අයිතිය හිමි කර ගෙන මේ වන වසරකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. ඊට වසර 250කට කලින් තමයි, ලෝකයේ මුල්වරට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබදව පනතක් ක්‍රියාත්මක වන්නේ. ඒ 1766  වර්ෂයේ ස්වීඩනයේදී. දකුණු ආසියාවේ අවසන් වරට තොරතුරු අයිතිය හිමිවූ  රට ශ්‍රී ලංකාවයි. ලෝකයේ  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම  පිළිබදව පනත් ක්‍රියාත්මකවන රටවල් අතර  ශ්‍රී ලංකාවට හිමි වන්නේ  110 වන ස්ථානයයි. එහෙත් ලෝකයේ දැනට පවත්නා තොරතුරු පනත් අතර ප්‍රබලත්වය අතින් අපේ පනතට 03 වැනි ස්ථානය හිමි වෙනවා.

ඕනෑම පනතක් ගත්තොත්, ඒ පනතින් කරන්නේ රාජ්‍යය මගින් මහජනතාව පාලනය කිරීමයි. ඒත් මේ තොරතුරු පනත මගින් මහජනතාවට රජය සහ නිලධාරීන් පාලනය කිරීමේ  අවස්ථාව  සැලසී තිබෙනවා. ඒ වගේම  කිසියම් මහජන අවශ්‍යතාවයක් හරිහැටි ඉටු නොවන විට තොරතුරු අයිතිවාසිකම  භාවිත කර ඒ ගැන විමසීම් කරමින්  එම අඩුපාඩු නිවැරදි කර ගැනීමටත්, පුරවැසියන් ලෙස  පාලනයට මැදිහත් වීමටත් මෙමගින්  අවස්ථාවක් සැලසෙනවා. පුංචි බණ්ඩාගේ කතාව ඊට කදිම උදාහරණයක්.

 තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතයට ගැනීම පිළිබද මෙවැනි අත්දැකීම් ඔබ සතු නම්, ‘රැස’ට කියන්න.   

දුරකතන- 0112429209  
ඊමේල්- [email protected]

[ආනන්ද ධර්මප්‍රිය ජයසේකර]