ඒ නාලනී තමයි

 ඡායාරූපය:

ඒ නාලනී තමයි

“ඒ නාලනී තමයි.”

ඒ ඇස් දෙක හරියට නාලනීගේ ඇස් වගේම යැයි, කළු ඉංගිරි⁣යාවේ පරාවර්තනයට ඒ ඇස් තවත් දීප්තිමත් වන්නේ යැයි තේනබන්දුට සිතිණි. දුම්රියේ යකඩ ගැටෙන සද්දයද සමඟ තේනබදු දුම්රිය ආසනයෙන් එහා තිබූ අවකාශයට ඇස් දෙක යොමු කළේ නාලිනීගේ මතකය ඈතට දිය කර හරින්නටය. වංගු අතරින් නැවෙන දිගහැරෙන උඩරට මැණිකේ මීදුම් හී කඩාගෙන ඉදිරි⁣යට ඇදේ.

“මේ විදියට මට ජීවත් වෙන්න බෑ නාලනී. ඔයා ඔයාගේ මතයෙ විතරයි ඉන්න හදන්නෙ.”

“බන්දු, මේ අහන්න. මම කියන්නෙ මගෙ හිතට අවංකවම දැනෙන දේ. එහෙම නැතුව මට මගෙ මතය විතරක් උලුපන්න ඕන නෑ.”

“ඔයා දන්නවා හොඳටම මගේ ක්ෂේත්‍රය ගැන. මට එහෙම පැත්තක් ගන්න බෑ. මං මගෙ විෂයට බැඳිලයි ඉන්නෙ. ඒ නිසා ඔයා දැනගන්න ඕන මගේ විදියට අනුකූල වෙන්න.”

හිස් අවකාශයෙන් මිදීමට නොහැකි වන පරිදි විවිධාකාර සිතුවිලිවලින් තේනබන්දුගේ මනස පිරෙන්නට වෙයි. තට්ට හිසෙන් මඳක් මැදට හීනියට වැවුණු අකීකරු හිසකෙස් කවුළුව අතරින් එන සිහිල් සුළඟට එහෙ මෙහෙ වන්නට විය. රැලි වැටුණු මුහුණේ බැරෑරුම් පෙනුම ඔහුට වඩ වඩාත් උචිත යැයි හැඟෙන්නේ ඔහුගේ නිහඬ බව නිසාම යැයි සිතේ. එක්වරම ගැස්සී හිටි තැනටම පතිත වන අසුන ගැන කනස්සල්ලක් සිතේ ඇති කරගත්තත් ඇගේ කළු ඉංගිරියාව මතින් පරාවර්තනය වන ඒ ඡායාව නාලනී ගැන මතකය නැවතත් ආවර්ජනය කරයි. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකුව සිටි කාලයේදී විවාද කණ්ඩායමේ නායිකාව වූයේ නාලනීය. ඇගේ තර්ක බිඳීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ යැයි තේනබන්දුට සිතුණු අවස්ථා අපමණය. එහෙත් එක් අවස්ථාවක තේනබන්දු සාර්ථක විය.

“රළු ගලක් බඳු හිතක් උණු කරන්න සියුමැලි මටසිලුටු හිතකට පුළුවන් නම් ඒ හිත සෙමින් සෙමින් පිරිමදින්න. එවිට නොදැනීම ඒ ගල දියවේවි.”

“මම කෙල්ලෙක් වුණාට මගෙ හිත මටසිලිටු සියුමැලි නෑ. මම කල්පනා කරන්නෙ ඇයි මම කෙල්ලෙක් වෙලා ඉපදුණෙ කියල.”

“ඔයාට ජයගන්න තිබුණු එකම මඟ තර්කය විතරයි නාලනී. තර්ක නිසා තමයි අද ඔයා මෙතැන ඉන්නෙත්.”

“මම පිළිගන්නවා බන්දු. අන්න එතැනයි මට වැරදුණේ. තර්කය හැම නිතරම නිවැරදි නෑ. ඒත් අනේ මන්දා. මං කොහොමද මෙතනින් ගැලවෙන්නෙ?”

නාලිනීගේ ඒ ප්‍රකාශයත් සමඟ තේනබදුට ඇගේ හිත ඩැහැගැන්මට හැකි විය. ඔහු සියුම් ලෙස ඇගේ තර්කය බාල කිරීමට සමත් විය. ඒ හේතුවත් සමඟ නාලනී තේනබන්දු කෙරේ විශේෂීකරණයක් දක්වන්නට විය. දුම්රිය අසුනේ සැතපී නින්දත් අඩ නින්දත් අතරේ හුන් තේනබන්දු නැවතත් කළු ඉංගිරියාවේ පරාවර්තනයට නතු විය. තලෙලු වර්ණයෙන් හා කෙසඟ සිරුරකින් හෙබි ඒ කත ඔහුගේ ග්‍රහණයෙන් මිදීමට උත්සුක වුවත් තේනබන්දු ඒ ග්‍රහණයේම සිටියේය.

“නාලනි….”

ඔහු උස් හඬින් ඇයට ඇසෙන පරිදි කී විට ඈ කලබල ස්වභාවයකට පත් වූවාය. ඒ සමඟම තේනබන්දු ඈ ඉදිරියට ගිය විට ඔහු මඟඇරීමට ඈ සෙනඟ පීරාගෙන ඉදිරියට ගියාය.

“ඇයි මාව මඟඅරින්නෙ නාලනී....?”

තේනබන්දු ආයාචනාත්මකව ඇයට පැවසුවේය.

“මොන නාලනියෙක්ද? ඔහේට පිස්සුද?”

ඈ පැවසුවාය.

“නාලනී, මම තේනබන්දු. ඇයි මාව මඟඅරින්නෙ?”

“මේ ඔහේට පිස්සුද? මං ඔහේගේ නාලනී නෙවේ.”

“සන්ධ්‍යා මොකද මේ? කවුද මේ මනුස්සයා?”

මැදිවියේ සිටි පුද්ගලයෙක් එකවරම ඈ ඉදිරියට විත් කියන්නට විය.

“අනේ මං දන්නෑ වීරේ. තේනබන්දු කියල කෙනෙක් මට නාලනිලු.”

ඇය නොසන්සුන්කමින් තෙපලන්නට විය. තේනබන්දු වියවුල් මනසින් යුතුව ඒ මේ අත නලියන්නට විය. ඇත්තටම එයා නාලනීම තමයි. ඇයි මට බොරු කිව්වේ? වෙන්න බෑ. සන්ධ්‍යා කියලයි අර මනුස්සයා කිව්වෙ.

ස්වයං තර්කයක යෙදුණු තේනබන්දු තමා අසල සිටි යුවල ගියේ කොහිදැයි සෙවූවත් ඔවුන් සිටින තැනක් නොවීය. ඔවුන් දුම්රියේ සිටි තැන හා යන්නට ඇති තැන බොහෝ වේලාවක් පිරික්සූ තෙනබන්දු නැවත හුන් අසුනට ආවේය. එහෙත් ඔහුගේ යටි සිත තවමත් නාලනී සමඟය. කවුළුව අතරින් හමා එන අකීකරු සුළඟත් නාලනීගේ මතකය මෙන් උස් පහත් වෙමින් හමයි. මට විස්වාසයි. ඒ නාලනීම තමයි. මට ඒ කළු ඉංගිරියාව එහෙමමයි.

“මහත්තයා අර හිටිය ගෑනු කෙනා දන්නවද?”

තේනබන්දුගේ අසුනට යාබද අසුනේ සිටි අයෙක් ඔහුගෙන් විමසීය.

“ඔව්. එයා වගේ තමයි. ඒත් එයාද මන්ද?”

“මම ඒ ගෑනු කෙනාව දන්නවා මහත්තයා.”

අසල්වැසියාගේ ප්‍රකාශයෙන් තේනබන්දු අසුනෙන් ඉදිරියට ආවේය.

“මොකක්? දන්නවා.”

“ඔව්. එයා සන්ධ්‍යා. එයා ඉන්නේ අපේ අධිකාරියේ.”

“එහෙමද?”

තේනබන්දුගේ කන් කඩාපත් විය. මුහුණ මැලවිණි. නැවතත් ඔහු සන්සුන් විය.

“නාලනී කිව්වෙ කවුද මහත්තයා?”

ඔහු විමසූ නමුත් තේනබන්දු ඊ⁣ට පිළිතුරු දෙන්නට ගියේ නැත. උපැස් යුවල පැලඳ ගත් තේනබන්දු නැවතත් කල්පනාවකට වැටුණේය. යකඩ යකා මීදුම කඩාගෙන හූ හඬ තලමින් ඉදිරියට යයි.

“මං ඔයාට දෙයක් කියන්නද? බන්දු, අපේ ගෙදරින් ඔයාගෙයි මගෙයි සම්බන්ධයට විරුද්ධයි. ඒත් මං ගත්ත තීරණයක් වෙනස් කරන කෙල්ලෙක් නෙවෙයි කියල ඔයා හොඳටම දන්නවනෙ. මට වැරදුණෙ තර්කයයි.”

“නාලනී, ඔයා දන්නවා මට කාත් කවුරුත් නෑ කියල. ඒ නිසා වෙන්න ඇති ඔයාගෙ ගෙදරින් මට විරුද්ධ වුණේ. නමුත් ඔයා මට විශ්වාසයි.”

“මට සහතික කරල කියන්න බෑ ඔයාව අද හෙටම මට මැරි කරන්න පුළුවන් වෙයි කියල. ඒත් මං තීරණ වෙනස් කරන කෙල්ලෙක් නෙවෙයි.”

අවුරුදු දාහතකට මත්තෙන් වු පොරොන්දුවක් පිළිබඳව තේනබන්දු සිහිඑලවා ගනී. උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු නාලනී දුෂ්කර සේවයේ පත්වීමක් ලැබ නීති ක්ෙෂ්ත්‍ර්‍රයට අදාළ වෘත්තියකට ගියේ සියලු දේ කැපකරමිනි. තමාගේ රාජකාරියට ප්‍රමුඛත්වය දුන් ඇය පුද්ගලික ඡීවිතය දෙවැනිකොට සැලකුවාය. තේනබන්දු පරිපාලන සේවයේ වෘත්තියක් ලැබූවත් ඉන් ඔහුට තෘප්තියක් නොලබුණේ නාලනී තම ජීවිතයෙන් ඈතට ගිය නිසාවෙනි. අවුරුදු දාහතක් යනු සුළුපටු කාලසීමාවක් නොවේ.

“නාලනී, අද රෑට මම එද්දි ටිකක් පරක්කු වෙයි. ඔයා කෑම කාලා නිදාගන්න.”

මෙතෙක් තමා හෝ දොඩමලු වූ යාබද අසුනේ දුම්රිය මගියා සිය දුරකථනයෙන් පැවසූ දේ ඇසී තේනබන්දු ගල් විය.

“ මොකක්ද තමුන්නාන්සෙ කිව්වෙ? නාලිනී....”

“ඔව්. ඒ මගේ වයිෆ්.”

“මට බැරිද ඒ නාලිනීව පොඩ්ඩක් බලන්න යන්න?”

දුම්රිය මගියා එක්වරම තේනබන්දුගේ මුහුණ දෙස බැලුවේ විපිළිසරවය.

“මාව වරදවා ගන්න එපා. මං හුඟක් කාලයක් තිස්සෙ නාලනීව සොයනවා.”

“මහත්තයාගේ ගම් පළාත කොහෙද?”

“මම රදාවානේ.”

“මම රාගම මහත්තයා.”

“කොහෙද රස්සාව කරනවා කිව්වෙ?”

“මම නිවාස අධිකාරියේ.”

“බැඳලද ඉන්නෙ?”

“ඔව් මහත්තයා.”

“ඉතිං මට බැරිද ඒ නාලිනීව පොඩ්ඩක් බලන්න යන්න?”

තේනබන්දුගේ බලවත් පෙරැත්තය මගියාට අහක දැමීමට නොහැකි විය. අවසන ඔහු මෙසේ පිළිවදන් දුනි.

“හරි යමු අපේ ගෙදර.”

තේනබන්දු සිත මතුපිටින් සීතල හිමකන්දක් පැවතියත් ඔහු ඇතුළත වූයේ ගිනිකන්දකි. ලෝදිය වැක්කෙරෙන තරමට ඒ ගිනියම් වී ඇත. තම සමීප හිතවතෙකුගේ නිවසක් කරා යමින් සිටි තේනබන්දු දැන් ඒ ගමන අවලංගු කර ඇත. අතරමඟ නැවතූ දුම්රිය ස්ථානයෙන් ඔහු දෙදෙනාටම ආහාරයට ගැනීමට ක්ෂණික කෑමක්ද ගත්තේය.

“මම කැන්ටිමෙන් ගත්තා ෂෝටීස්. කන්න.” තේනබදු එය මගී මිතුරාට දිගු කළේය.

එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

අලුත් දුම්රිය ස්ථානයෙන් මගී මිතුරා තවත් දුම්රියකට ගොඩ වීම තේනබන්දු වික්ෂිප්ත කළේය.

“මිස්ටර් කොහෙද මේ අපි යන්නේ?”

“වයිෆ්ගේ ⁣මහ ගෙදර.”

මගියා තනි වචනයෙන් පිළිතුරු දුන්නේය.

“ආපහු කොළඹට යද්දි ගොඩක් රෑ වෙයි නේද?”

“ඔව්. හුඟක් දුරට.”

“කමක් නෑ. මිස්ටර් යන්න මට ගෙදර ලිපිනය දෙන්න. මම හෙට එන්නම්.”

තේනබන්දු මගී මිතුරාට කීවේය.

“නෑ. පරක්කු වෙන්නෙ නෑ. ඊළඟ කෝච්⁣චියෙ ආපහු යමු.”

තේනබන්දුට ඔහුගේ වචනයෙන් පිට කතා කිරීමට නොහැකි විය. එවේලේ මගී සහායකයාගේ මුහුණ බැරෑරුම් වෙසක් ගත්තේය. දෙදෙනාම කතාවක් බහක් නැතිව දෙපසට වී ආපසු කොළඹ කරා ඇදෙන දුම්රිය ගමනේ නිරත ෙවති. ඔවුන් දෙදෙනා ඉදිරියෙන් තරමක් මැදිවිය පෙනුමැති කාන්තාවක් හිඳ ගත් අතර ඇය සමඟ අවුරුදු හත අටක පෙනුමැති පිරිමි දරුවෙක්ද හිඳ ගත්තේය. තෙනබන්දු ඈ කෙරෙහි තියුණු බැල්මක් හෙළීය. ඒ අතර තමා කැටුව යන මගී හිතවතා දෙස බැල්මක් හෙළූ තේනබන්දුට දැකගත හැකි වූයේ ඔහු නින්දකට වැටී ඇති අයුරුය.

නැවත වරක් අර කාන්තාව දෙස ඔහු බැලුවේ උපැස් යුවළ ඉහළ කෙළවරිනි. ඇගේ කළු ඉංගිරියාෙව් පරාවර්තනයට ඔහු නොදැනුවත්ම නතු විණි. නාලනීගේ ස්වරූපයත් එක්ක ඇය සංසන්දනය කිරීමට තේනබන්දු උත්සුක විය.

ඇයි දෙයියනේ මෙයා මං දිහා බලන්නැත්තෙ? නාලනීගෙ නහයමයි. අර ඇස් බැමි දෙක, තොල් දෙක තව චුට්ටක් විතර හීන් වුණා නම් ඇරපු අතක් නෑ නාලනීමයි.

“අම්මේ මට බඩගිනියි.”

කාන්තාව හා සිටි පොඩි එකා මවට කීවේ ඇගේ අඟේ දැවටෙමිනි. ඇය බෑගයෙන් කෑමට යමක් ගෙන දරුවාට දුන්නාය. පොඩි එකා එය ප්‍රතික්ෂේප කළේ “මට ඕවා කන්න බෑ” යි කියමිනි. තේනබන්දු ඔහු වෙත නැඹුරු වී කාන්තාවට ඇසෙන පරිදි “පුතා මේක කන්න” යි කැන්ටිමෙන් මිලදී ගත් මාළුපාන් ගෙඩියක් දිගු කළේය. පොඩි එකාද සිනාසෙමින් එය අතට ගත්තේය. එහෙත් ඔහුගේ මව ඊට දරුවාට නොරිස්සුම් බැල්මක් හෙළුවේය.

“මම කියල තියෙනවා නේද අඳුරන්නැති අය දෙන කෑම කන්න එපා කියලා.”

කාන්තාව දරුවාට සැර කළේ තේනබන්දු ආපසු තමාගේ අසුන වෙත හැරුණු පසුය. තමාගේ සිතට වද දෙන නාලනිය සොයා යන මේ ගමන කොතෙක් නම් දුෂ්කරද? මේ ගමන ⁣ප්‍රතිඵලදායකද? ගැටලු සමුදායක් තේනබන්ධුගේ හිතේ පැලපදියම් වී ඇත. හැරෙන දිග ඇරෙන වංගු මතින් ඇදී යන දුම්රිය, නැවතුම්පොළවල් පසු කරමින් නාලනියක් සොයා යන බැව් දන්නේද? මායාවක් හෝ ඡායාවක් නොදැක පුද්ගල නමකට හිතක් මේ තරම් කැලඹිය හැකිද? මගේ හිත ඇයි මේ තරම් නාලනි ඩැහැගත්තේ? ඒක මට තවම නොතේෙරන සත්‍යයකි. තේනබන්දුගේ මනෝභාවයන් ෙම් ලෙස හැසිරෙන අතරතුර ගමනාන්තයේ අවසන් මිනිත්තු කීපයද ගෙවෙ⁣යි. මගී හිතවතා තිගැස්මකින් දෑස් පොඩිකර අවදි වූවේය.

“බහින්න කිට්ටුද? තව කොච්චර වෙලා යයිද?”

තේනබන්දුගේ මුවින් වදන් වැලක් පිට විය.

අසල්වාසියා නිහඬවම සිටී. තේනබන්දු ඉදිරියේ හුන් කාන්තාවද දරුවාද දැන් අසුනේ නැත. එම මතකයද පුස්සක් සේ වළ දැමූ තේනබන්දු තැන්පත් අයුරින් සිටියේය. සිතීමට බොහෝ දේ තිබුණත් ඒ සිතීමෙන් ඵලක් නැතැයි ඔහුට සිතිණි. සිතුවිලි පිබිදෙන හිතේ සබන් බෝල වැනි එක් බලාපොරොත්තුවක් ක්‍ෂණයකින් බිඳ වැටේ. විඩාබර ඇඟේ තෙහෙට්ටුව මෙන්ම හිතේ විඩාවද එලෙසමය. විටෙක වම් අත ඉදිරියට ගෙන ෙව්ලාව බැලූ තේනබන්දු කනස්සලු ස්වභාවයෙන් අත පහතට හෙළුවේය. කෙමෙන් කෙමෙන් අන්දකාරය මතු වී දුම්රියේ තැනින් තැන විදුලි බුබුලුවලින් ආලෝකමත් වේ.

“ඉස්සරහ ඉස්ටේෂමෙන් බැහැගන්න ඕන. යමු ඉස්සරහට.”

අසල්වැසියාගේ විධානය නිසා තේනබන්දුගේ හිසේ මලක් පිපුණාක් වැනි විය.

යුහුසුලුව ඔහුත් සමඟ දුම්රිය ස්ථානයෙන් බැසගත් තේනබන්දු නිහඬවම අැවිද යන්නට විය. වචනයක් හෝ ඔවුන් දෙදෙනාම දෙඩීමට යුහුසුලු නොවේ. පොඩි එකෙකු වැඩිහිටියෙකු පිටුපස යනවාක් මෙන් තේනබන්දු සිය සහායකයාගේ පසුපස ගමන් කරයි.

“නොදන්න මිනිහෙක් එක්ක නේද තමුන් මේ නොදන්න ගෙදරකට යන්නෙ? ඇත්තටම මට පිස්සුද?”

තේනබන්දු තනිවම සිතුවේය.

තම නිවස ඉදිරිපිට ඇති ගේට්ටුවට තට්ටුවක් දැමූ මගියා මිනිත්තු කීපයක් ඒ ඉදිරිපිට බලා සිටියේය. එකෙණෙහි කොණ්ඩය දිගට හෙළාගත් කෙසඟ කාන්තාවක් - නාලිනී විධියටම - ඉදිරියට එනු තේනබන්දු අඩ අඳුර අතරින් හඳුනාගත්තාය.

“තිලක්, ඔයා කිව්වේ එද්දි ගොඩක් රෑ වෙයි කියලනේ.”

ගේට්ටුව විවෘත කළ ඇය හිස එසෙව්වාය.

“ඔව්. ඒත් ගමන කැන්සල් වුණා.”

“මේ කවුද තිලක්”

තේනබන්දු පෙන්වා ඇය විමසුවාය. නාලනී කෙට්ටු වෙලා.! දෙයියනේ! ඒත් මාව මෙයා අඳුරගත්තෙ නෑනේ. ඒ කටහඬ මට ඇහුණෙ කොච්චර කාලෙකින්ද? අඩ අඳුරට කාන්තාවගේ මුහුණ හරිහැටි නොපෙනේ.

“මේ මං හඳුනන කෙනෙක්.”

මිතුරා කාන්තාවට තේනබන්දු විස්තර කළේය. අනතුරුව තිදෙනාම නිවසට ඇතුළු විය. දහඩියෙන් තෙත් වුණ ගතේ විඩාවෙන් ප්‍රේමයේ හිරිගඩුත් සමඟ තේනබන්දුට නාලිනී මැවී පෙනෙන්නට විය. ගනඳුරු රාත්‍රියක සඳ කෙමෙන් වලාකුළු අතරට ඇදී යන්නාක් මෙන් තේනබන්දුගේ බලාපොරොත්තුවත් ඒ අසලටම පැමිණ ඇත. එය බලාපොරොත්තුවේ අඳුරු සෙවණැල්ලක්ද සුබ ⁣පණිවිඩයක්ද කියා ඔහු තවම නොදනී.

ඔහු උත්තර සොයන්නේ ඇසීමෙන් පමණකි. දකින දේ දුටුව දේ හා සසඳා බලා ඔහු එමගින් ප්‍රතිඵලය බලාපොරොත්තු වන කෙනෙකි. පැසුණු හිතේ ආශාව නාලනි වුවත් ඔහුගේ ඒ ප්‍රකම්පනය තව තව හිතේ මෝරද්දි ඔහුගේ ප්‍රතිභාව අතීතය කරා දිවෙන්නට විය.

“මේ අයිෂේ, තමුෂෙට පයිත්තියන්ද? මේ ඉන්නෙ මගෙ වයිෆ් හෂීමා. මේ වද නොදී යනවා වෙඩැක් බලාගෙන.”

“නෑ. නෑ. මිස්ටර්, නාලනී බලන්නෙත් ඒ විදියට තමයි. පිටිපස්සෙන් මම යද්දි ඔය විදියටමයි එයාගෙ ගමනත්.”

“මේ අයිෂේ, එක විදියට යන ගෑනු මිනිස්ෂු කොයි තරම් ඉන්නවද ආ...?”

තේනබන්දුගේ මානසික ව්‍යාකූලත්වය ඔහු දිනක් ලැබූ අත්දැකීමක් සිහි කැඳවයි. ඒ, මුස්ලිම් විවාහක කාන්තාවකට නාලනිය වරදවා ගත් අවස්ථාවකි. එහෙත් ඇගේ කළුඉංගිරියාවද නාලිනී හා සම නොවීද?

මෙවර දුම්රිය සගයා හඳුන්වා දුන් කාන්තාවගේ කළු ඉංගිරියාව දෙස එක එල්ලේම තේනබන්දු බැලූ මුත් එහි ඔහුට හුරුපුරුදු බවක් නොපෙනිණි. තමාගේ බලාපොරොත්තු කඩ වූවා වැනිව ඔහු හුනස්නේ හිඳ නිවසේ බිත්තියේ එල්ලා තිබූ රාමු කරන ලද පින්තූරය දෙසට හිස යොමු කළේය. දම් පාට මල් වැටුණු සාරියකින් හා රන් වළල්ලකින් සැරසී සිටි සේයාරුවේ කාන්තාව දයාබරව මඳ සිනා පාමින් තේනබදු දෙස බලන්නට විය. ඔහු ඉන් ගැස්සී ගියේය. ඒ මුහුණේ දෑස්වල කැටිව තිබූ දයාබරත්වය පරයා බැරෑරුම් බවක සෙවණැල්ලක්ද එහි විය. හිසේ සිට දෙපතුල දක්වා ඒ ඇස්වල කළු බෝල දෙක ගමන් කළේය. ඒ රාමු කරන ලද පිංතූරයට වැටුණු සුදුපාට පිච්ච මල් මාලය ඔහු දුටුවේ අනතුරුවය. ඒද මගී මිතුරාගේ ඇමතීමෙන් පසුවය.

“ඒ තමයි නාලනි!”

“එයා මුල් දවස්වල මාත් එක්ක හිනාවුණේ ඔහොමම තමයි. ඒත් එයා වැඩිය පිංතූරවලට පෙනී හිටිය කෙනෙක් නෙවෙයි. එකපාරක් නම් මට පිංතූරයක් දෙන්න කියල එකක් ගත්තා මතකයි. ඒකත් ඉතින් මට දුන්නෙ නෑනෙ. මං වෙලාවකට මහ බොළඳ විදියට හිතනවා කියල මට හිතෙනවා.”

අසල්වැසියාගේ ඒ වචන කීපය අතර අතරමං වූ තේනබන්දුගේ නළලතේ රැලි තරමක් දිගු විය. ඔහු නැවත වරක් නාලනී දෙස අඩවන් නෙතින් බැලුවේය.

මධුරංග සෙනාල්

------------------------------------

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප වෙත යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන්, වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

News Order: 
11
මාතෘකා