කවුළුව

 ඡායාරූපය:

කවුළුව

ටෝල්කින්ගේ කෘති රැකගත් පුතු මෙලොවින් සමු ගනී

ලොව පුරා විශාල පාඨක පිරිසක් අතර ඉතා ජනප්‍රිය වූ ‘ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්’ (Lord Of The Rings) ඇතුළු කෘති ගණනාවක් රචනා කළ ඉංග්‍රීසි ලේඛක ඡේ.ආර්.ආර්. ටෝල්කින් නමැති ප්‍රකට කතුවරයාගේ බාලම පුත්‍රයා වූ ක්‍රිස්ටෝපර් ටෝල්කින් පසුගියදා මියගියා. සිය පියාගේ කෘති රැසක් සංස්කරණය කර, ප්‍රකාශයට පත්කිරීමේ වගකීම ඉටු කරමින් සිටි ඔහු මියයන විට 95 හැවිරිදි වියේ පසුවුණා. කතුවර ටෝල්කින්ගේ සහ ඔහුගේ බිරිඳ වූ එඩිත්ගේ තුන්වැනි හෙවත් බාලම දරුවා ලෙස 1924 වසරේ එංගලන්තයේ ලීඩ්ස් නුවරදී ක්‍රිස්ටෝෆර් උපත ලැබුවා. කුඩා කල සිට ඔහුට සිය පියාගේ ‘බිල්බෝ බැගින්ස්’ නමැති රසවත් කතා පෙළට සවන් දෙන්නට අවස්ථාව ලැබුණා. පසු කලෙක ‘ද හොබිට්’ (The Hobbit) නමැති ජනප්‍රිය ළමා ප්‍රබන්ධ කෘතිය ලෙස පළ වුණේ ඒ කතා පෙළයි. සිය පියාගේ ‘ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්’ කෘති මාලාව 1954 සහ 55 අතර කාලයේදී ප්‍රථම වරට පළ වූ අවස්ථාවේ ඒ කෘති සඳහා යොදාගත් සිතියම් රැසක් අඳින ලද්දේ ඔහු විසින්මයි. ඔහුගේ පියා 1973 වසරේ මියගිය පසු පියාගේ එතෙක් පළ වී නොතිබුණු කෘති ගණනාවක් සංස්කරණය කළේත් ඔහුමයි.

එයින් පසුව එළැඹි දශක දෙකකට අධික කාලයක් පුරා ඔහු සිය පියාගේ ලිපිගොනු සහ සටහන් පොත් සියල්ල පරීක්ෂා කරමින් එතෙක් පළ නොවී පැවැති අත්පිටපත් සහ අසම්පූර්ණ කටුසටහන් යළි සකසා ප්‍රකාශයට පත් කළා. සිය පියාගේ නිර්මාණ නව පරපුර වෙත රැගෙන යෑම සඳහා ක්‍රිස්ටෝපර් ඉටු කළ අගනා කාර්යභාරය බොහෝ අයගේ පැසසුමට ලක්ව තිබෙනවා. කිසිදු අයෙකුගේ අවධානයට ලක් නොවී සැඟවී පවතින්නට ඉඩ තිබුණු ටෝල්කින් නිර්මාණ රැසක් ප්‍රකාශයට පත් වූයේ ඔහුගේ කැපවීම නිසයි. සිය පියාගේ නිර්මාණ ජනතාව අතරට ගෙනයෑමට ඔහු කටයුතු කළේ දැඩි භක්තියකින් යුතුවයි. ඒ නිර්මාණ වැඩි පිරිසක් අතරට ගෙනයෑම වැදගත් යැයි යන විශ්වාසයෙන් යුතුව ඔහු සැම විටම කටයුතු කළේ මූල්‍ය වාසි ගැන පවා එතරම් තැකීමකින් තොරවයි. ඇතැමුන් විසින් සිය පියාගේ ඇතැම් නිර්මාණ වාණිජ අරමුණු සහිතව විකෘති කරනු ලැබීම පිළිබඳව ඔහු පසුකාලීනව තදබල ලෙස කනගාටු වූ බවත් සඳහන් වෙනවා.

-----------------

බෙකට්ගේ නොබෙල් ත්‍යාගය පසුපස සැඟවුණු කතාවක්

‘වේටිං ෆෝර් ගොඩෝ’ (Waiting for Godot) යන නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ නාට්‍යය ඇතුළු ප්‍රකට නිර්මාණ රැසක් රචනා කළ අයර්ලන්ත ලේඛක සැමුවල් බෙකට් වෙත නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ අවස්ථාවේ විනිශ්චය මණ්ඩලය තුළ ඒ පිළිබඳ විවිධ මතභේද තිබී ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා. මේ තොරතුරු හෙළි වී ඇත්තේ ඔහුට නොබෙල් ත්‍යාගය පිරිනමා වසර පනහක් ගත වූ පසුවයි. නොබෙල් ත්‍යාගය පිළිබඳ සංවිධාන කටයුතු කරන ස්විඩිෂ් ඇකඩමිය 1969 වසරේ එම ත්‍යාගය ඔහුට පිරිනමමින් සඳහන් කළේ නවකතාව හා නාට්‍යය සඳහා නව ආකෘති ඔස්සේ ඉදිරිපත් කර ඇති ඔහුගේ රචනා ශෛලිය විශේෂ ඇගයීමට ලක් කළ යුතු බවයි. එහෙත් එය හුදෙක් ත්‍යාගය පිරිනැමීම සඳහා සකසන ලද ව්‍යාජ ප්‍රකාශයක් බව දැන් හෙළි වී තිබෙනවා. ඒ වසරේ නොබෙල් ත්‍යාගය ඔහුට පිරිනැමීමට ස්වීඩිෂ් ඇකඩමියේ ඇතැමුන් තරයේ විරුද්ධ වූ බවයි සඳහන් වන්නේ. එය හිමි විය යුත්තේ ඔහුට නොව, ආන්ද්‍රේ මාර් මැල්රෝ නමැති ප්‍රංශ ලේඛකයාට බවයි ඔවුන්ගේ අදහස වුණේ.

ඒ වසරේ නොබෙල් ත්‍යාගය සඳහා සිමොන් ඩි බෝවා, හොර්හේ ලුයී බෝර්හේස්, පැබ්ලෝ නෙරුඩා සහ ග්‍රැහැම් ග්‍රීන් යන ලේඛක ලේඛිකාවන්ද නිර්දේශ ලබා තිබුණා. කමිටු සාමාජිකයින් සිව්දෙනෙකු බෙකට් වෙනුවෙන් පෙනී සිටි අතර, දෙදෙනෙක් මැල්රෝ වෙනුවෙන් පෙනී සිටියා. නොබෙල් ත්‍යාගය සඳහා බෙකට් සුදුසු නැති බව කියමින් ඔහුට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කර තිබුණේ නොබෙල් කමිටු ප්‍රධානියා වූ ඇන්ඩර්ස් ඕස්ටර්ලින්ග් බවයි කියැවෙන්නේ. එයට පෙරත් වසර ගණනක්ම ඔහු ඒ විරෝධතාව පළ කර තිබුණා. බෙකට් රචනා කර ඇති සෘණාත්මක හෙවත් නස්තිකවාදී කෘති මඟින් නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් නොබෙල් අපේක්ෂා කළ පරිදි, සාහිත්‍ය ක්ෂේත්‍රයේ පරමාදර්ශී ඉලක්ක සපුරාලන්නේ දැයි ඔහු ප්‍රශ්න කර තිබුණා. එහෙත් බෙකට් වෙනුවෙන් පෙනී සිටි සෙසු කමිටු සාමාජිකයන් පෙන්වා දී තිබුණේ ඔහුගේ කෘති මඟින් ඉදිරිපත් වන්නේ නාස්තිකවාදය නොව, දරුණුතම ආකාරයට උල්ලංඝනයට ලක්ව ඇති මනුෂ්‍යත්වයම වන බවයි. එයට වසරකට පෙර, 1968 වසරේදීත් නොබෙල් ත්‍යාගය සඳහා බෙකට් නිර්දේශ ලබා තිබුණා. නමුත් එවරත් ඔහුට ඒ ත්‍යාගය හිමිව තිබුණේ නැහැ. ඉන් පසුව එළැඹි වසරේ අර්බුදකාරී තත්ත්වයක් තිබියදී පවා ඔහුට නොබෙල් ත්‍යාගය හිමි වුණේ එවැනි පසුබිමක් තුළයි. කෙසේ වුවත් ඒ වසරේ ඔහුට ත්‍යාගය පිරිනමන අවස්ථාවේදී තමන් විසින් පැවැත්වීමට නියමිතව තිබුණු නිල දේශනය ඉදිරිපත් කිරීම පවා ඕස්ටර්ලින්ග් ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ දේශනය පවත්වා තිබුණේ බෙකට් වෙනුවෙන් පෙනී සිටි කාර්ල් රැග්නාර් ගියරෝව් නමැති කමිටු සාමාජිකයෙක් විසින්. නොබෙල් කමිටුව තුළ උද්ගතව පැවති මතභේදය ගැන දැන සිටි නිසාදෝ බෙකට් ඒ ත්‍යාගය භාරගැනීමට හෝ ත්‍යාගලාභියා විසින් පවත්වනු ලබන දේශනය ඉදිරිපත් කිරීමට ස්ටොක්හෝම් නුවරට ගියේ නැහැ.

මාතෘකා