‘නිම්නාගේ ඉතිහාසය’ ආශාවේ ඉතිහාසයක්

 ඡායාරූපය:

‘නිම්නාගේ ඉතිහාසය’ ආශාවේ ඉතිහාසයක්

කෞශල්‍ය කුමාරසිංහ

කෞශල්‍ය කුමාරසිංහගේ දෙවැනි නවකතාව ‘නිම්නාගේ ඉතිහාසය’ ජනවාරි 14 වෙනිදා සවස 3.30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත වේ. ඔහුගේ පළමු නවකතාව වූ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ කෘතිය 2015 වසරේ ෆෙයාවේ සම්මාන උලෙළේ අවසන් වටයට නිර්දේශ වූ කෘතියකි. මේ වන විට එම කෘතිය හින්දි, දෙමළ හා උර්දු යන භාෂාවන් ත්‍රිත්වයටම පරිවර්තනය වීද ඇත. මේ, ඔහුගේ අලුත්ම නවකතාව පිළිබඳව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඔබේ මේ කෘතිය එළිදකින්නෙ පළමු නවකතාව පළ වී වසර හතරකට පසුයි?

‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ පොත මුද්‍රණය කරන්නෙ 2014 සැප්තැම්බර්වල. ඒක ලියලා අවුරුද්දකට විතර පස්සෙ මේ පොත ලියන්න පටන් ගන්නවා. එය අවසන් කරන්න අවුරුදු හතරකට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා අවුරුදු පහකට පස්සෙ තමයි මේ පොත මුද්‍රණය කරන්නෙ.

නවකතාවකින් සෘජුවම ලිංගිකත්වය ගැන කතා කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

අපි අපේ පැවැත්ම ගැනයි, අපේ ජීවිතය ගැනයි නවකතාවකින් කතා කරන්නෙ. එතකොට sexuality ගැන කතා කරනවා කියලා වෙනම එකක් නෑ. ඒක ඒ සමස්තය තුළට කාවැදුණු දෙයක්. නමුත් අපි සරලව sexuality වෙන් කරලා ගත්තොත් මං හිතන්නෙ මේ යුගය අපි ලිංගිකත්වය ගැන වැඩි වැඩියෙන් කතා කරන්න ඕන කාලයක්. මොකද මීට අවුරුදු 10කට 15කට කලින් වගේ නෙවේ දැන්. දැන් ලිංගිකත්වය රාමුගත වෙන්නෙ pornographyවලින්. ඒ සඳහා ඕනම කෙනෙකුට ඉතා ලේසියෙන් ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. කවර කලෙකටත් වැඩියෙන් ඒ අවස්ථාව තියෙනවා. එතකොට කලා කෘතිවලින් සංකීර්ණ විදියට ලිංගිකත්වය කතා නොකළොත් පාඨකයාට ඉතුරු වෙන්නෙ pornography විතරයි. ඒ නිසා මේ යුගය තුළ ලිංගිකත්වය, ආශාව, ආදරය පිළිබඳ අපේ ප්‍රවේශයන් වෙනස් වෙලා තියෙන්නෙ කොහොමද, ඒ වෙනස්කම් අපේ ජීවිතවලින් ප්‍රකාශමාන වෙන්නෙ කොහොමද, ඒවා විසින් ඇති කෙරෙන අනාගත හැඟවුම් මොනවාද ආදිය සෞන්දර්යාත්මකව රාමුගත කරන්න උත්සාහ කිරීම මේ යුගයේ කලාව විසින් කළ යුතු දෙයක්.

අනිත් කාරණය තමයි, යම් පිරිසක් ඉන්නවා ලංකාවේ ඒ අය ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීම වටහාගන්නෙ ලිංගික තෘප්තිය දෙන්න කරන දෙයක් හැටියට. මං හිතන්නෑ අපි කවුරුවත් පාඨකයාට ලිංගික තෘප්තිය දෙන්න නවකතා ලියනවා කියලා. ඒකට වෙනම මාධ්‍යයන් තියෙනවා. ලිංගිකත්වය හා ලිංගික තෘප්තිය පටලවා ගැනීම ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. අපි දන්නවා පැරණි සාහිත්‍ය විචාරය තුළ 'රස' ගැන කතා කරනවා. ශෘංගාර රසය කියන්නෙ එයින් එකක්. ඒක අපට තිබෙන අධිපති රසයක්. නමුත් ඒක නෙවේ පස්සෙ කාලෙක නවකතාවට එන්නෙ. නවකතාවක ශෘංගාරය තිබුණොත් ඒ හරහා උත්සාහ කෙරෙන්නෙ අපේ ජීවිතවල අත්දකින ශෘංගාරයේ නොපෙනෙන පැති පෙන්වන්නයි. මං නවකතාවක් ලියද්දි තේරුම් ගන්නෙ ඔය කාරණයයි. ලිංගිකත්වය කියන්නෙ ජීවිතය කියන සමස්තය තුළ ඉතාම වැදගත් දෙයක්. අපි මෙහෙම ජීවත් වෙන්නෙ ඇයි කියන එකට කේන්ද්‍රීයව අදාළ දෙයක්. ලිංගික තෘප්තිය හා ලිංගිකත්වය පටලා ගැනීම නිසා තමයි ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. නැත්නම් ඔය ප්‍රශ්නය සාහිත්‍යය සම්බන්ධයෙන් ඇහෙන්න ඕන ප්‍රශ්නයක් නෙවේ.

ඇයි ඔබ ගැහැනු ගැන ලියන්නෙ?

නවකතාවක් කියන්නෙ එක අතකින් ජීවිතේ ජීවත් වන විට අත්දකිනවාට වඩා ටිකක් තීව්‍ර විදියට අත්විඳින්න පුළුවන් සෞන්දර්යාත්මක අවකාශයක්. එතනදි ගැහැනුද, පිරිමිද, වෙනත් අනන්‍යතාවන්ද වගේ කොටස් කරන එක අසීරුයි. ඇත්ත. මේ පොතේ වැඩියෙන් තියෙන්නෙ ස්ත්‍රී චරිතවලට පිවිසීමක්. ප්‍රධාන චරිතය ගැහැනියක්. ඇයි එහෙම ලියන්නෙ කියන එක මං දන්නෑ. මං හිතන්නෙ නවකතාවක් ලියද්දි අපි කරන්නෙ යම් යම් චරිත හා සිදුවීම් නිර්මාණය කරමින් ඒගොල්ලන්ට ජීවිතේ දැනෙන්නෙ කොහොමද, ඒ චරිත හැසිරෙන්නෙ කොහොමද කියන දේ පරිකල්පනය කරන එක. පිරිමියෙක් ස්ත්‍රියකට ආවේශ වෙලා ලිවීම අභියෝගාත්මකයි සහ එතන වෙනම රසයකුත් තියෙනවා. පිරිමියෙක් හැටියට ගැහැනියකට දැනෙන්නෙ කොහොමද, ගැහැනියක් හිතන්නෙ කොහොමද කියන එක තේරුම්ගන්න අසීරුකමක් තියෙනවා. ඒ නිසා තමයි හුඟක් වෙලාවට ගැහැනු සම්බන්ධයෙන් පිරිමි ලියන පොත්වලට විවේචන තියෙන්නෙ. ස්ත්‍රියගේ ආත්මීයත්වය ස්පර්ශ කරන්න පිරිමියෙකුට බැරි වෙයි කියන එක සාධාරණ විවේචනයක් වෙන්නත් පුළුවන්. ඒක ලේඛකයා තමාගේ අත්දැකීම්වලින්, කියවූ දේ ඇසුරෙන් ලබාගන්න දෙයක්. ඉතිං ඒ විය නොහැකි සෞන්දර්යාත්මක අත්දැකීමට මං කැමතියි.

ඔබ කතුවරයා හැටියට 'නිම්නාගේ ඉතිහාසය' දකින්නෙ කොහොමද?

නිම්නා උපදින්නෙ බර්ලින් තාප්පය බිඳ වැටුණු දවසෙ. යම් විදියකට කියනවා නම් කිසියම් සියවසක් අවසාන වූ අලුත් සියවසක් ආරම්භ වූ දවසක්. කැලැන්ඩර් දිනවලින් නෙවේ, න්‍යායිකව සියවස් ගැන හිතුවොත් සමාජවාදී කඳවුර බිඳ වැටීමත් එක්ක ලෝකයේ එක්තරා සියවසක් අවසන් වෙනවා. 1989 නොවැම්බර් 09 කියන්නෙ ඒ බිඳවැටීමේ සංකේතාත්මක දිනය. ඒක ඓතිහාසික සංඥාවක්. නිම්නා උපදින්නෙ එවන් දවසක. එතකොට මේ උපදින දැරිය අත්විඳින යුගය, අලුත් සියවසක් තුළ ජීවිතය මොන වගේද යන්න මේ තුළ ලියන්න උත්සාහ කරලා තියනවා. ඒ එක්කම සියවසක් පැරණි ඉතිහාසයක සෙවණැලි මේ සියවස තුළට වැටෙමින් තමයි කතාව දිවයන්නෙ.

පරම්පරා කිහිපයක තරුණයන්ගේ හැඟීම් ප්‍රකාශ වන අතරේ ඒ තුළ සිදු වන වෙනස්කම් එක්ක මේ කතාව ගොඩනැඟී තියෙනවා?

එක්තරා කාලෙකට පස්සෙ අපට මානව සම්බන්ධකම් තේරුම් ගන්න ලැබෙන භාෂා ලෝකය වෙනස් වෙනවා. ඒක වෙන්නෙ යටත්විජිතකරණත් එක්ක. ඒක මිලිටරි ආක්‍රමණයකටත් වඩා චින්තනමය ආක්‍රමණයක්. ඒ ආපු අර්ථ ලෝකය තුළ අපි හදාගත් සමහර දේවල් නිසා තමයි සමහර ප්‍රශ්න අපට තවම විසඳගන්න බැරි වෙලා තියෙන්නෙ. එහිදී ජාතිය කියල එකක් හැදුණා. 'අපේකම' කියල එකක් හැදුණා. මේවා හැදෙන්නෙ මේ මොහොතෙයි. ඒක තමයි යටත්විජිතකරණයත් එක්ක අප ඇතුළු වන කතිකාව. එතකොට යටත්විජිතකරණයට පෙර හා පසු විවාහය, ලිංගිකත්වය වගේ දේවල් ගැන අපි දැකපු විදිය වෙනස්. රැල්ෆ් පීරිස් වගේ අය 'උඩරට සමාජය' ගැන ලියල තියෙන දේවල් කියෙව්වොත් අපට පේනවා ඒ අයට ඒ කාලෙ විවාහය ගැන තිබිලා තියෙන්නෙ බොහොම ලිහිල් අදහසක් කියල. 'එක ගැහැනියක්', ' එක ජාතියක්', 'එක ආගමක්' වගේ දේවල් මේ තරම් පැහැදිලිව සලකුණු වෙන්න පටන් ගන්නෙ යටත්විජිත නූතන ලෝක දැක්මේ බලපෑමත් එක්ක. ඊට කලින් එක ගෙයි කෑම වගේ දේවල් තිබුණා. මිනිස්සු ජාතිය කිව්වෙ කුලයට. 'එයා අපේ ජාතියේ නෙවේ' කියන්නෙ අපේ කුලයේ නෙවේ කියන එක. එතකොට ජාතිය පිළිබඳ අපට තිබුණු අදහස පවා වෙනස්.

අපි ලෝකය දැකපු විදිය අපිටම නොතේරී වෙනස් වෙනවා. අපිට අලුත් අධ්‍යාපන ක්‍රමයක් ලැබෙනවා. නූතන විද්‍යාව කියල එකක් අපි ඉගෙන ගන්නවා. කලින් යකැදුරුකම් තිබුණා නම් පස්සෙ ඒ වෙනුවට මානසික රෝහල් එනවා. ඒ වගේම දේවල් ප්‍රකාශ කිරීමට භාෂාවකුත් ලැබෙනවා. ඒක දරුණු චින්තනමය වෙනසක්. මේ නවකතාව ගත්තොත් මිලිනෝනා කියන්නෙ ඒ චින්තනයට අහු වෙච්ච කෙනෙක් නෙවේ. ඒත් ඇගේ සැමියා ටිකක් විතර ඒ චින්‍තනයට අහු වුණු කෙනෙක්. මිලිනෝනාගෙන් පස්සෙ පරම්පරාව ඔය 'එක' කියන කෑල්ල නඩත්තු කරනවා. නමුත් ඔවුන්ට සමහර හැඟීම් කියාගන්න භාෂාවක් නෑ. ඒත් නිම්නාගේ පරම්පරාවට දේවල් ප්‍රකාශ කරන්න භාෂාවක් තියෙනවා. ලිංගිකත්වය, විවාහය, ආදර සම්බන්ධතා වගේ දේවල් බෙදාගන්න පිරිසක් පවා ඇය වටා ඉන්නවා. ඒවා නිම්නාගේ පරම්පරාවට මැජික් එකක් නෙවේ. ඉතිං එක්තරා විදියකට මේක ආශාවේ ඉතිහාසයක්.

ඔබේ ප්‍රකාශන මාධ්‍යය ලෙස ඔබ නවකතාව තෝරාගන්නෙ ඇයි?

මුලින්ම ලියන එකට මං ආසයි. මගේ ප්‍රකාශන මාධ්‍යය ප්‍රබන්ධය. එතනදි මං මුලින්ම ලියන්නෙ කෙටිකතා. නමුත් මං නවකතාවට වඩාත් කැමතියි. මොකද නවකතාව එක්ක කාලයක් ගත කරන්න පුළුවන්. ඒ ගත වන කාලයට මං කැමතියි. නවකතා ලියද්දි අලුත් චරිත එන විදියට, ඒ චරිත කතුවරයාව පුදුමයට පත් කරන විදියට මං කැමතියි. ඒ ලියන මොහොත මං ජීවිතය තීව්‍රව විඳින මොහොතක්. සමහර වෙලාවට මං දන්නෑ ඊළඟට එන චරිතය මොකක්ද කියලා. ලියන්න පටන් ගනිද්දි මට තියෙන්නෙ පළවෙනි වාක්‍යය විතරයි. දළ සැකැස්මක් තිබුණාට ලොකු ප්ලෑන් එකක් නෑ. මාව පුදුමයට පත් කරමිනුයි චරිත බිහි වෙන්නෙ. උදාහරණයක් විදියට මේ කතාව ඇතුළෙ මට මුලින්ම ඕන උනේ නිම්නා ගැන කතාවක් ලියන්න. නමුත් සමහර චරිත පැමිණීමත් එක්ක මුළු කතාවම වෙනසකට ලක් වෙනවා. ඒ අත්දැකීමට මං කැමතියි. මට ගොඩක් වද විඳිමින් රස විඳින්න පුළුවන් දෙයක් තමයි නවකතා ලිවීම.

සාකච්ඡා කළේ [පාඨලී අබයරත්න]

News Order: 
7
මාතෘකා