මැදිවහරෙන් ඓතිහාසික නවකතා ලියන්න බෑ

 ඡායාරූපය:

මැදිවහරෙන් ඓතිහාසික නවකතා ලියන්න බෑ

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ ‘මහබිසෝ ලීලාවතී’ නමැති ඓතිහාසික නවකතාව පසුගියදා පැවති සමස්ත ලංකා බෞද්ධ සාහිත්‍ය සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමට ලක් විය. සමකාලීන සමාජය පාදක කරගනිමින් ඔහු රචනා කළ ‘අමුතු තාලේ ආදර කතාවක්’ නමැති අලුත්ම නවකතාවද මේ වන විට පළ වී තිබේ. ෆාස්ට් පබ්ලිෂිං සමාගමේ සුරස ප්‍රකාශන ලෙස නිකුත්ව ඇති මේ කෘතීන් නිමිති කරගනිමින් අප පසුගියදා මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

ඔබේ ‘මහබිසෝ ලීලාවතී’ ඓතිහාසික නවකතාවට මෙවර බෞද්ධ සාහිත්‍ය උලෙළේදී විශේෂ ඇගයීමක් ලැබුණා?

ඔව්, සමස්ත ලංකා බෞද්ධ සාහිත්‍ය සම්මේලනයේ සාහිත්‍ය තරගයේදී ප්‍රථම ස්ථානය දිනාගත්තේ මම ලියූ ‘මහබිසෝ ලීලාවතී’ නමැති ඓතිහාසික නවකතාව. ඇත්තටම මම වැඩිපුරම කැමතිත් ඓතිහාසික නවකතා ගැන කතා කරන්නයි. ඓතිහාසික නවකතාවකදි ලේඛකයෙකුට මුහුණපාන්න සිද්ධ වෙන අභියෝග බොහොම බරපතළයි. ඓතිහාසික නවකතා ලියන්න අපි අතීතයට යන්න එපායැ. අතීතයේ සිද්ධ වුණු කතාවක් ගොතනකොට නියම ඓතිහාසික තොරතුරු පදනම් කරගන්නත් ඕන. ඒවගේම පරිකල්පනයත් යොදාගන්න ඕන. දැනට මේ වෙනකොට මම ඓතිහාසික නවකතා පහක් විතර ලියලා තියෙනවා. මගේ මුල්ම ඓතිහාසික නවකතාව ‘එ පුර රැජයූ ඇය’. එය ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් පොත් පහ අතරට තේරුණා. ඊට පස්සෙ මම සීගිරි කාශ්‍යප කාලය පදනම් කරගනිමින් ‘තොප වරදකින් කෙලෙසින් කිපෙම්’ නමින් නවකතාවක් ලිව්වා. ඊළඟට විජයබාහු චරිතය පදනම් කරගෙන ‘රජ විරිතින් සුරින්දු මහ විජයබා නිරින්දු’ කියලා නවකතාවක් ලිව්වා. ඊටත් පස්සෙ රචනා කළ ඓතිහාසික නවකතාව තමයි ‘රෝහණ රාජිනී’. ඒක සුගලා දේවිය ගැන ලියාපු නවකතාවක්. ඉන් පස්සෙ වලගම්බා රජතුමා ගැන මම ලියූ තවත් නවකතාවක් ‘මහාකාල’ නමින් පළ වුණා. ඒ නවකතාවට පස්සෙ තමයි ලීලාවතී බිසව ගැන ලිව්වෙ.

ඓතිහාසික නවකතා වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි?

සිංහල නවකතා සාහිත්‍යයේ එක් විශේෂ ප්‍රවණතාවක් තමයි ඓතිහාසික නවකතාවෙන් ප්‍රකට වෙන්නෙ. මුල්ම ඓතිහාසික නවකතා ලියූ අය අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නම කියැවෙනවා. එතුමාගේ මුල්ම ඓතිහාසික නවකතාව ‘රෝහිනී’. ඊට පස්සෙ එන්නෙ ඩබ්ලිව්.ඒ. සිල්වා. ඔවුන්ට අමතරව තවත් නවකතාකරුවන් ආවා. ඒත් ඓතිහාසික නවකතා සම්බන්ධයෙන් බොහෝ අය අදටත් කතා වෙන්නෙ ඩබ්ලිව්. ඒ. සිල්වා ගැනයි. එතුමා ලියාපු ඓතිහාසික නවකතා අතර ‘විජයබාකොල්ලය’ සහ පොළොන්නරු යුගය පාදක කරගත්ත ‘දෛවයෝගය’, කෝට්ටේ යුගය පාදක කරගත්ත ‘සොරාගත් රැජින’ වගේ නවකතා විශේෂ අවධානයට ලක් වුණා. එතුමා හරිම සූර කතාකාරයෙක්. එතුමාගේ කතා පාඨකයො අතර ඉතාම ජනප්‍රිය වුණා. හැබැයි පසුකාලීනව ඓතිහාසික නවකතා ගැන පාඨකයින්ගේ ඒ තරම්ම උනන්දුවක් තිබුණෙ නැහැ.

ඊට පස්සෙ ඒ.වී. සුරවීර වගේ ලේඛකයන් නිසා ඓතිහාසික නවකතාවල නැවතත් පොඩි පිබිදීමක් ඇති වුණා. ඔය අතරෙ තවත් ඓතිහාසික නවකතා කිහිපයක් ලියැවුණා. ඉස්මතුව පෙනෙන නවකතාකරුවන් කිහිප දෙනෙක් ගැන තමයි මම මේ කතා කරන්නෙ. ඒ.වී. සුරවීර මහතා ‘සදා මෙලෙස පුර දෙරණේ’ කියලා නවකතාවක් ලිව්වා. ඒ නවකතාවට සාහිත්‍ය සම්මානයකුත් හිමි වුණා. ඒ නවකතාවේ තියෙන්නෙ සීගිරි කාෂ්‍යපගේ සීගිරි බලකොටුව තැනීම පිළිබඳ කතන්දරයක්. ඊළඟට එතුමා කාලිංග මාඝගේ සමය පදනම් කරගෙන තවත් ඓතිහාසික නවකතාවක් ලිව්වා. එයින් පසුව ඓතිහාසික නවකතා එකක් දෙකක් එළියට ආවාට අපේ බොහෝ ලේඛක ලේඛිකාවන් ඓතිහාසික නවකතා ගැන එතරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ. මම හිතන විදිහට මෑත කාලයේදී මම තමයි වැඩිපුර ඓතිහාසික නවකතා ලියලා තියෙන්නෙ. මේ දවස්වලත් මම ඓතිහාසික නවකතාවක් ලියාගෙන යනවා.

ඔබ ඓතිහාසික නවකතාවලට වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි?

විශ්වවිද්‍යාලයේ සාහිත්‍යය උගන්වපු ගුරුවරයෙක් හැටියට නවකතාව ගැන උගන්වන්න මට අවස්ථාව ලැබුණා. එතැනදි ශිෂ්‍යයන්ට නියමිත වෙලා තිබුණු නවකතා අතර ජී.බී. සේනානායකයන්ගේ ‘චාරුමුඛ’ සහ ‘වරදත්ත’ වැනි ඓතිහාසික නවකතාත් තිබුණා. ඒවා ගැන හැදෑරීම් කරද්දි ඓතිහාසික නවකතා පැත්තට මගේ හිත වැඩි වැඩියෙන් යොමු වුණා. ඒ නිසාම බටහිර රටවල ලියැවුණු ඓතිහාසික නවකතාත් විශාල ප්‍රමාණයක් මම කියෙව්වා. ඊට අමතරව ඓතිහාසික නවකතා ගැන ජෝර්ජ් ලුකාස් වැනි බටහිර විචාරකයන් පළ කරලා තියෙන අදහසුත් මට කියවන්න ලැබුණා. ලුකාස් කියනවා ඓතිහාසික නවකතාවකදි අනෙක් නවකතාවකට වැඩිය ලේඛකයා හරියට පරෙස්සම් වෙන්න ඕන කියලා. සාමාන්‍ය වර්තමානය පදනම් කරගත්ත නවකතාවක් ලියද්දි ලේඛකයාට පරිසරය සහ කාලය පිළිබඳව ඒ තරම් දැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ වගේ නවකතාවක් වැඩි ආයාසයකින් තොරව සාමාන්‍ය භාෂාවෙන් ලියාගෙන යන්න පුළුවන්. හැබැයි ඓතිහාසික නවකතාවෙදි පරිසරය විතරක් නෙවෙයි, භාෂාවත් වැදගත් වෙනවා. මොකද ඒ පරිසරය ගොඩනඟන්නෙ භාෂාව පදනම් කරගෙනයි. ඓතිහාසික කතාවක් පාදක කරගනිමින් චිත්‍රපටයක් නිර්මාණය කරනකොට අධ්‍යක්ෂවරයාට පුළුවන් කලා අධ්‍යක්ෂ ලවා ඓතිහාසික පසුබිම ගොඩනඟන්න.

ඒත් නවකතාවකදි අපි ඒ පසුබිම ගොඩනැඟිය යුතු වන්නේ භාෂාව පදනම් කරගෙනමයි. වර්තමානයේ අපි කතා කරන සාමාන්‍ය මැදිවහර පාවිච්චි කරලා ඓතිහාසික නවකතාවක් ලියන්න පුළුවන්කමක් නැහැ. එතැනදි අපි භාෂාව ගැන ඉතා සැලකිලිමත් වෙන්න ඕන. ඒක එක කාරණයක්. අනෙක් එක තමයි මේ ඉතිහාසය නිතරම නැවතත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක කාලයක සිද්ධ වෙච්ච දෙයක් පස්සෙ කාලයක නැවතත් සිද්ධ වෙනවා. ඒ නිසා වර්තමානය ගැන කතා කරන්නත් ඓතිහාසික නවකතාව හරි වැදගත් වෙනවා. වර්තමානයේ අපට විවෘතව කතා කරන්න බැරි දේශපාලනය ගැන හෝ වෙනත් දේවල් ගැන ඓතිහාසික නවකතාවලින් කතා කරන්න පුළුවන්. ඒක ඓතිහාසික නවකතාකරුවෙකුට ලැබෙන ලොකු අවස්ථාවක්. එතකොට වර්තමානය ගැන විවෘතව කතා කරන්න බැරි දේවල් ඓතිහාසික නවකතාවකදි අපට කතා කරන්න පුළුවන්. මම හිතන්නෙ ඓතිහාසික නවකතා කෙරෙහි මම වැඩිපුර නැඹුරු වෙන්නත් ඒක එක හේතුවක්.

ඓතිහාසික නවකතාකරණය සඳහා අධ්‍යයන හා පර්යේෂණ අවශ්‍යද?

අනිවාර්යයෙන්ම ඒ සඳහා අවශ්‍ය තොරතුරු සොයාගැනීමට සෑහෙන වෙහෙසක් දැරිය යුතු වෙනවා. නිදර්ශනයක් හැටියට ගත්තොත් විජයබාහු රජතුමා ගැන මම ලියාපු ‘රජ විරිතින් සුරින්දු මහ විජයබා නිරින්දු’ නවකතාව සඳහා දීර්ඝ කාලයක් අධ්‍යයන හා පර්යේෂණ කටයුතු කරන්න මට සිද්ධ වුණා. ලංකා ඉතිහාසයේ මගේ වීරයා මහා විජයබාහු. මම හිතන විදිහට ඒ තරම් සිත්ගන්නාසුලු චරිතයක් අපේ ඉතිහාසයේ තිබුණෙ නැහැ. රජවරු කියන අය බොහෝ වෙලාවට පත් වෙන්නෙ පරම්පරා උරුමය අනුවයි. තාත්තා රජ වෙලා හිටපු නිසා පුතා රජ වෙන තත්ත්වයක්නෙ අතීතයේ ඉඳලාම ලංකාවෙ තිබුණෙ. හැබැයි විජයබාහු කියන්නෙ එහෙම කෙනෙක් නෙවෙයි. විජයබාහුට ලොකු පරපුරක් තිබුණෙ නැහැ. ඔහු දරුකමට අරන් හදාගත් දරුවෙක්. පසු කාලයකදි ඒ දරුවා තමයි විජයබාහු රජ්ජුරුවො වශයෙන් රජ වෙන්නෙ. ඔහු අවුරුදු දහසයේදි රජ වෙනවා. සොළීන්ට විරුද්ධව සංහාර අරඹන්නෙ එතැන ඉඳලයි. එතුමා ලියාපු සන්නසක් තියෙනවා. ඒ තමයි ලංකාවේ තියෙන තඹ සන්නස් අතරේ ඉතාම වැදගත් එකක් වන පනාකඩුවෙ තඹ සන්නස. මුලින්ම 1950 ගණන්වලදි මොරවක්කෝරලේ ගොවියෙකුට හමු වුණු ඒ සන්නස පසුව පරණවිතාන මහත්තයට බාර දීලා තිබුණා. පරණවිතාන මහත්තයා ඒක කියෙව්වා. විජයබාහු රජ්ජුරුවො තමා දුකසේ ගත කළ ළමා කාලය සහ ඒ කාලයේදී කන්න බොන්න නැතුව විඳපු දුක්පීඩා ගැන ඒ සන්නසේ සඳහන් වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් අපේ රජවරු ඔවුන්ගේ ඉතිහාසය ගැන කියන්න කැමති නැහැනෙ. ඔවුන් බොහෝ වෙලාවට නැති ඉතිහාසයක් මවනවා මිසක් නියම තත්ත්වය ගැන කියන්නෙ නැහැනෙ. ඒත් විජයබාහු බොහොම විවෘතව තමන්ගේ ඒ ඉතිහාසය පැහැදිලි කළා. එතුමා අවුරුදු හැත්තෑවක් පුරා තිබුණු සොළී පාලනය අවසන් කරලා ලක්රජය එක්සේසත් කළා. ඒ සුවිශේෂ චරිතය ගැන දැනගන්න මට මහාවංශයේ සහ චූලවංශයේ සඳහන් තොරතුරු සෑම දෙයක්ම හදාරන්න සිද්ධ වුණා. විජයබාහු රජ්ජුරුවො ආවෙ මොරොවක්කෝරළය පැත්තෙන් වීම නිසාත් එතුමා ගැන හොයලා බලන්න මගේ විශේෂ ඇල්මක් ඇති වුණා. එතුමා හිටියෙ එහෙනෙ. පනාකඩුව තඹ සන්නස හමු වුණෙත් ඒ පැත්තෙන්. එතුමා කුඩා කාලය ගත කරපු ප්‍රදේශ ගැන එහෙම හොයලා බලන්න මම ඒ සමහර ප්‍රදේශවලට ගියා. එහෙම ගිහිල්ලා ඒ ප්‍රදේශවල මිනිස්සු එතුමා ගැන කියාපු කතන්දරත් ඇහුවා. ඒ නිසා ඉතිහාසයේ එන කතන්දර විතරක් නෙවෙයි, තවත් බොහෝ මූලාශ්‍ර තොරතුරු හොයාගන්න මට හැකියාව ලැබුණා. ඓතිහාසික නවකතාවකදි සත්‍යතාව රඳා පවතින්නෙ චරිත හා සිද්ධි මතයි. ඒ චරිත හා සිද්ධි ලේඛකයාගේ පරිකල්පනයෙන් වර්ධනය කරන්න ඕන. ඒවා ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ. නිදර්ශනයක් හැටියට ගත්තොත් කාශ්‍යප රජතුමා ගැන මහාවංශයේ තියෙන්නෙ ගාථා දෙකක් හෝ තුනක් පමණයි. එතුමා ගැන කියන්න ඕන බොහෝ දේවල් මහාවංශයෙ සඳහන් වෙලා නැහැ. ඒත් එතැනට ගියාට පස්සෙ අපට පේනවා සීගිරි කාශ්‍යප කියන්නෙ කොයි වගේ මනුස්සයෙක්ද කියලා. ඔහුගේ කලාකාමීත්වය වගේ දේවල් ගැන ඉතිහාසයේ කොතැනකවත් සඳහන් වෙලා නැහැ. ඒ නිසා ඓතිහාසික නවකතා රචනා කරනකොට ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන තොරතුරු පමණක් සමහර වෙලාවට අපට ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ඒ සඳහා ජනකතා සහ ජනශ්‍රැති වගේ දේවල් පාදක කරගන්න ඕන.

ඒ කියන්නේ ඓතිහාසික නවකතා රචනයට අමතර ආයාසයක් දැරිය යුතුයි?

ඔව්, හැබැයි ඒ ආයාසය දරන්න මම කැමතියි. ගයිගර් පඬිතුමා කියාපු හැටියට මහාවංශයේ කියලා තියෙන දේවල් ගැන නෙවෙයි, නොකියපු දේවල් ගැන තමයි අපි වැඩිපුර හොයන්න බලන්න ඕන.

ඉතිහාසයත් ප්‍රබන්ධයක් විය නොහැකිද?

ඉතිහාසය දිහා අපි බලන්න ඕන වර්තමාන මිනුම්දඬුවලින් නෙවෙයි. මහානාම හාමුදුරුවෝ මහාවංශය ලිව්වේ ඉතිහාසය ලියන්න ඕනකමට නෙවෙයි. ඒකෙ ඉන්නවා වීරපුරුෂයෙක්. ඒ තමයි දුටුගැමුණු. එතුමාගේ වීරත්වය ඔප් නංවන්න තමයි මහානාම හාමුදුරුවෝ මහාවංශය ලිව්වේ. ඒ ගැන ලියනකොට අනෙක් රජවරු ගැනත් කියන්න සිද්ධ වුණා. හැබැයි ඒ කියපු විස්තර බොරු නෙවෙයි. අපට සැකසංකා පහළ වෙන සමහර කරුණුත් ඒ අතර තියෙන්න පුළුවන්. ඒවා ඒ කාලයේ හැටියට අපි අරගන්න ඕන. දැන් ඉතිහාසය මනින මිම්මෙන් මහාවංශය, දීපවංශය හෝ ථූපවංශය මනින්න අපට පුළුවන්කමක් නැහැ. ඒවා ලියපු අයගෙ අරමුණු එකිනෙකට වෙනස්. ඒත් ඒ තියෙන දේවල් බොරු කියලා කියන්න කාටවත් පුළුවන්කමක් නැහැ. මහාවංශයේ ද්‍රවිඩ ආක්‍රමණ ගැන තියෙන දේවල් ඒ කියන විදිහට ඒ කාලවල සිද්ධ වෙලා තියෙනවනෙ. චූලවංශයේ සඳහන් වෙන හැටියට කාලිංග ඹාඝ ආක්‍රමණ සහ පොළොන්නරුව යුගයේ ඇති වූ විදේශීය ආක්‍රමණ ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා. දකුණු ඉන්දියාවේ තියෙන සමහර සෙල්ලිපි වගේ දේවල්වලින් ඒවා සනාථ වෙනවා. නීලකණ්ඨ ශාස්ත්‍රී වගේ ඉතිහාසඥයෝ බොහොම පැහැදිලිව කියනවා ඒවා සම්බන්ධයෙන් ඉතා නිරවද්‍ය විදිහට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා කියලා.

ඉතිහාසය ඉක්මවා යන ප්‍රබන්ධ කෘති පළ වීමේ ප්‍රවණතාව ගැන ඔබේ අදහස කුමක්ද?

ඒක ඒ තරම් අගය කළ යුතු ප්‍රවණතාවක් නෙවෙයි. ලෝකයේ ලියැවුණු හොඳම ඓතිහාසික නවකතා දිහා බලනකොට පරිකල්පනය යොදාගත්තට අනවශ්‍ය ආකාරයට සීමාවෙන් ඔබ්බට ගිහින් නැති බව පෙනෙනවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ වෝල්ටර් ස්කොට් රචනා කළ ‘අයිවන්හෝ’ (Ivanhoe) වගේ නවකතාවක් හෝ චාල්ස් ඩිකන්ස් ඒ කාලයේ ලියූ නවකතා ඒ සඳහා හොඳ උදාහරණ හැටියට සලකන්න පුළුවන්. ඉතාලි ජාතිකයින් පවා ඒ වගේ හොඳ ඓතිහාසික නවකතා විශාල වශයෙන් රචනා කරලා තියෙනවා. ඔවුන් ඉතිහාසයට අදාළ සිද්ධි විකෘති නොකර ඉදිරිපත් කළා. එක් අතකට ඓතිහාසික නවකතාවකින් කෙරෙන්නේ ජාතියේ පෞඪත්වය ඉස්මතු කිරීමක්. ඒකත් හරි වැදගත්. ඊළඟ පරම්පරාවට ඉතිහාසයේ පෞඪත්වය ගැන කතා කරන්න ඒක අවශ්‍ය වෙනවා. ඒක ඓතිහාසික නවකතාකරුවෙකුගෙන් ඉටු විය යුතු කාර්යභාරයක්. ඓතිහාසික නවකතාවකදි පරිකල්පනය සත්‍යය අභිබවා ගියොත් එතැනදි කෙනෙකුට කෘතිය ගැන අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ජෝර්ජ් ලුකාස් කියන ආකාරයට ඓතිහාසික නවකතාවක සම්පූර්ණ විශිෂ්ටත්වය රඳා පවතින්නේ විශ්වසනීයත්වය පදනම් කරගෙනයි. විශ්වාස කරන්න බැරි නම් එවැනි නවකතාවක් ප්‍රතික්ෂේප වෙනවා.

මෑතකදී පළ වූ ඔබේ අලුත් නවකතාව ගැනත් යමක් කියනවා නම්?

‘අමුතු තාලේ ආදර කතාවක්’ ඇත්තටම අමුතු කතාවක්. ඒ නවකතාව ලියලා තියෙන්නේ මැදිවහරෙන්. මම කාලයක් මරදානෙ ජීවත් වුණානෙ. ඒ කාලයේ මම ඇසුරු කරපු මිනිස්සු, ඔවුන්ගේ බස, වටපිටාව, සිරිත්විරිත් සහ ආකල්ප ගැන කතාවක් තමයි ඒ නවකතාවේ තියෙන්නෙ. සිංහල, බෞද්ධ, පහළ මධ්‍යම පාන්තික තරුණයෙක් කතෝලික ලංසි තරුණියක් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගන්නවා. එයින් පසුව ඒ තරුණිය ගැබ් ගන්නවා. ඒ නිසාම ඔවුන් බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා. ඒ තත්ත්වය හමුවේ මොනවද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව ඔවුන් අසරණ වෙනවා. අද වගේ කාලයක නම් එවැනි තත්ත්වයක් ඇති වුණාම යොදන නොයෙකුත් පිළියම් තියෙනවනෙ. හැබැයි පනහ හැට දශකයේ ඒ වගේ දේවල් තිබුණෙ නැහැ. නවකතාවේ තියෙන්නෙ පනහ හැට දශකය පාදක කරගත් කතාවක්. තරුණයා තීරණය කරනවා ඒ තරුණියව විවාහ කරගන්න. එයින් පසුව දෙමව්පියො, සහෝදරයො සහ අසල්වැසියො ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර නිසා ඇති වන තත්ත්වය ගැන තමයි නවකතාවෙන් කියැවෙන්නෙ. ඇත්තටම ඒ නවකතාව මරදාන ගැන කරපු බොහොම හොඳ අධ්‍යයනයක් කියලත් කියන්න පුළුවන්.

ඒ නවකතාවට ලැබෙන ප්‍රතිචාර සතුටුදායකද?

ඔව්. බොහෝ අයට තියෙන ප්‍රශ්නය මම වගේ කෙනෙක් මේ වගේ කතාවක් ලිව්වේ ඇයි කියන එකයි. අවුරුදු හැත්තෑ ගණනක් වෙන මිනිහෙක් මේ වගේ ප්‍රේම කතාවක් ලිව්වේ ඇයි කියලයි ඔවුන් අහන්නෙ. අපේ බොහෝ අය හිතන්නෙ මනුස්සයෙක් වයසට ගියාට පස්සෙ උපාසකයෙක් වගේ ඉන්න ඕන කියලනෙ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නෙ.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

News Order: 
2
මාතෘකා