අපෙන් සමුගෙන ගිය විකුම්සිහ පරපුරේ අන්තිමයා

 ඡායාරූපය:

අපෙන් සමුගෙන ගිය විකුම්සිහ පරපුරේ අන්තිමයා

මෙය තරමක් පමා වී ලියන සටහනකි. එහෙත් පමා වී හෝ එය ලිවිය යුතු යැයි හැඟුණේ ඒ නොලියන තරමට ඒ විසල් ලේඛකයා, සැබෑ මානව ප්‍රේමියා යළි යළිත් මා අබිසයට සම්මුඛ වන බැවිනි. ඔහු පිළිබඳව නොලියා වර්තමාන සිංහල නවකතාව ගැන කථා කළ නොහැකි බැවිනි. මේ ලේඛකයා අන් කිසිවකු නොව ඉකුත් දා අප අතරින්වියෝ වූ සමරවීර විජයසිංහය. බොහෝ දෙනා දන්නා පරිදි ‘ස්වයංජාත’ නම් විශිෂ්ට නවකතාවේ රචකයාය.

සමරවීර මහතා මා පෞද්ගලිකව ඇසුරු කිරීමට ගෙන වසර පහළොවක් තරම්ය. එම කාලයේ අප අතර වාචික සන්නිවේදනයට වඩා පැවතියේ අවාචික සන්නිවේදනයකි. ඔහු ‘භාව’ සාහිත්‍ය අතිරේකයේ නිත්‍ය පාඨකයකු වූ අතර ඇතැම් විට ඇතැම් ලිපි සම්බන්ධයෙන් සිය අදහස්ද මා සමඟ පළ කළේය. අවස්ථා තුනකදී හෝ හතරකදී මා හට ඔහු විසූ බේරුවල මස්සල හන්දියෙන් හැරුණු අඹේපිටිය නිහඬ, නිසංසල ගම්පියසට යෑමටද හැකි වූ අතර එහිදී මට පසක් වූයේ ඔහු ලේඛකයකු වනවාට අමතරව කෙතරම් ඉහළ පුවත්පත් සාහිත්‍ය අතිරේක පාඨකයකුද යන්නය. ඔහු කියවන හා එකතු කළ සාහිත්‍ය අතිරේක මා වෙත නිර්ලෝභීව දිග හළ බැවිනි.

ප්‍රසිද්ධිය නොපැතීම

සමරවීර විජයසිංහ සෑම උසස් ලේඛකයකු මෙන්ම හුදකලාව සිටීමට ප්‍රිය කළ කෙනෙකි. ඔහු විසූයේ කොළඹ කලිකලයෙන් ඈත්වය. සාහිත්‍ය අතිරේක සංස්කාරකවරුන් පෞද්ගලිකව දැන හඳුනතත් ඒ කිසිවකුගෙන් ඔහු සම්මුඛ සාකච්ඡාද නොඉල්ලූ අතර නමක් ගොඩනඟාගත් ඇසිල්ලේ බැබළීමට සංවිධානවලට බැඳෙන, දේශපාලන පක්ෂවලට ‘කඩේ යන’ ලේඛකයන් සිටින පසුබිමක ඔහු ඉන් බැහැර විය. ඔහු කොළඹ සාහිත්‍ය සමාජයේ ව්‍යාජ සංවාද, පොත් දොරටවැඩුම් පිළිකෙව් කළේ තමාගේ කිසිදු පොතකටද දොරටවැඩුමක් නොගනිමිනි. තවද පළමු ස්වර්ණ පුස්තක සම්මානයේ හිමිකරුවා වුවත් ඔහු එයද විසල් කොට සැලකුවේ නැත.

නිසග, අව්‍යාජ ලේඛකයා

සමරවීර මහතා නිසග ලේඛකයෙකි. රටක සාහිත්‍යයක් දියුණුවට පත් වන්නේ දේශපාලන න්‍යායපත්‍ර හෝ අන් කිසි පෞද්ගලික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට ලියන අයගෙන් නොවේ, නිසග ලේඛන ප්‍රතිභාවකින් හෙබි අව්‍යාජ ලේඛකයන්ගෙනි. කලාව කලාව සඳහා යැයි සිතන ලේඛකයන්ගෙනි. සමරවීර මහතා වූයේ එබඳු දුලබ ලේඛකයෙකි. ඔහුගේ උසස්ම නවකතාව වන ‘ස්වයංජාත’ සලකන විට ඒ බව පැහැදිලි වනු ඇත. ඔහු දේශපාලනය බැහැර කළේ නැත. එහෙත් පක්ෂ දේශපාලනය ප්‍රබන්ධයට වැද්ද ගැනීම ඔහු පිළිකෙව් කළේය. තවද සමාජවාදයේ හරයන් දුටුවද හේ ව්‍යාජ සමාජවාදයද පිළිකෙව් කළේය. ඔහුගේ අවසන් නවකතාව වන ‘තැප්පා සේම ගිනි’ කියවන විට සමාජවාදී, මාක්ස්වාදී දේශපාලන න්‍යායන් පිළිබඳ ඔහු තුළ වූ අවබෝධය පැහැදිලි වේ. කෙසේ වුව ඔහු ප්‍රබන්ධය ඔහුගේ දේශපාලනය ඒත්තු ගැන්වීමට පාවිච්චි කළේ නැත.

සිංහල බෞද්ධ සංස්කෘතික පදනම

ඔහුගේ ප්‍රබන්ධවලින් අපට ඒත්තු යන දහමක් තිබේ. එය දේශපාලනය නොව සිංහල බෞද්ධ සංස්කෘතියේ, සිංහල සම්ප්‍රදායේ අගයය. එනිසා ඔහු සැලකිය හැක්කේ මාර්ටින් වික්‍රමසිංහ මෙන් නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් පදනමේ තබාගත් ලේඛකයකු වශයෙනි. සිංහල බෞද්ධ සමාජවාදය ඔහුගේ ප්‍රබන්ධයේ කැපී පෙනෙන ලකුණකි. එහෙත් ඔහු එය සිතාමතා මතු කළේ නැත. එය එහි නිසගයෙන් මතු වන දෙයක් පමණි. එහෙත් ‘ස්වයංජාත’ නවකතාව ටෙලිනාට්‍යයක් වශයෙන් නිර්මාණය වූයේ ඊට වෙනස් ලෙසය. ‘ස්වයංජාත’ කතානායකයා වූ විභූතිරත්න මාක්ස්වාදී චරිතයක් නොවූවත් ටෙලිනාට්‍යයේ ඔහු මතු කෙරුණේ මාක්ස්වාදියකු ලෙසය. ඒ එසේ වූයේ ‘ස්වයංජාත’ තිරරචනය ලීවේ මාක්ස්වාදී කලාකරුවකු වූ තිස්ස අබේසේකර නිසාය. මේ සම්බන්ධයෙන් සමරවීර මහතා සතුටට පත් නොවූවත් ඔහු ඊට විරෝධය පෑමට ගියේ නැත. ඔහු කීවේ මෙවැන්නකි: “නවකතාව මගේ වුණත් වෙනත් නිර්මාණකරුවකුට ඒකෙන් වෙන ඕනම අදහසක් මතු කරන්න අයිතියක් තියෙනවා.” මේ ප්‍රකාශය තුළ ඇත්තේ සැබෑ නිර්මාණකරුවකුගේ පරිණත බවය.

සමරවීර විජයසිංහ අව්‍යාජ කතාකරුවෙකි. අව්‍යාජ යනු ඔහු තමාගේ සාහිත්‍ය නිර්මාණයෙන් ඉල්ලන දේ මිස තමාට ඕනෑ දේ කතාව තුළට බලෙන් ඇතුල් නොකිරීමය. විජසිංහයනට දේශපාලනයක් පැවතිණි. එය සමානාත්මතාව, අන්‍යෝන්‍ය ගෞරවය, පරාර්ථකාමීත්වය, මනුෂ්‍යත්වය හා ප්‍රේමය ආදී පුරුෂාර්ථ සහිත ලිච්ඡවී දේශපාලනයකි. ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් ගැන හෝ මාක්ස්වාදය හෝ බටහිර ලිබරල්වාදය හෝ පිළිගත්තේ නැත. එහෙත් ඔහු ලියන කිසිවකට තමාගේ බෞද්ධ අර්ථ ක්‍රමය බලෙන් රිංගවීමට හෝ තමා පිළිකෙව් කරන දේශපාලනයට පහර දෙන්නට හෝ උත්සාහ කළේ නැත. එහිදී ඔහුගේ ප්‍රබන්ධය විඥානවාදයට හෝ ආත්ම විවරණයටද හැරුණේ නැත. ඔහුගේ ප්‍රබන්ධයේ අරමුණ ජීවිත විවරණය විය. එහි සමාජ කතාවක් තිබිණි. එම සමාජ කතාව තිබුණේ ජීවිත විවරණය තුළය. ජීවිත විවරණයට ඇවැසි පමණටය.

වික්‍රමසිංහ ‐ විජයසිංහ සමානතා

ඔහු තමාගේ ප්‍රබන්ධකරණයට ආදර්ශ කරගත්තේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතා හා කෙටිකතාය. එනිසා වික්‍රමසිංහ ප්‍රබන්ධයේ වූ සියලු අංග ලක්ෂණ ඔහුගේ ප්‍රබන්ධයේද විය. වික්‍රමසිංහයන්ගේ ප්‍රබන්ධයේ වූ ගොරහැඩි බස සමරවීර විජේසිංහයන් අතින් සුමට වූ අතර වික්‍රමසිංහයන් මේ දක්වා ජීවත් වූයේ නම් ඔහු අතින් ලියවීමට තිබූ බොහෝ දේ විජේසිංහයන් අතින් ලියවුණා වැනි විය.

අනෙක් අතට වික්‍රමසිංහයන්ගේ අත්දැකීම් පරිසරයද විජේසිංහයන්ගේ අත්දැකීම්වලට බොහෝ දුරට සමාන විය. දෙදෙනාම හැදී වැඩුණේ දකුණු පළාතේ වෙරළබඩ ගම්පියස්හිය‐ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පියස කොග්ගලය. සමරවීර විජයසිංහයන්ගේ ගම්පියස ඉඳුරුව ගෝනගලය. තවද වික්‍රමසිංහ යම් සේ සිංහල බෞද්ධ අර්ථ ක්‍රමය පිළිගත්තේද විජයසිංහද එසේම ඒ අර්ථ ක්‍රමය පිළිගත්තේය. වැදගත්ම කරුණ දෙදෙනාම තමාගේ පෞද්ගලික මතිමතාන්තර, දේශපාලනය ප්‍රබන්ධයට ඇතුල් නොකිරීමයි. එසේ බැලූ විට ඔවුන් දෙදෙනාගේ පෙනෙන්නේ විස්මයාවහ සමානතාවකි.

‘ස්වයංජාත’ ආරම්භක ඡේදය විමසීමෙන් මේ බව හොඳින් පැහැදිලි වේ:

“බක්කි කරත්තය ගම්සභා පාරෙන් දකුණට හැරී අතුමඟට වැටුණු බව අඩ නිදිමතින් පසු වූ එරෝලිස් අප්පු වෙදරාල දැනගත්තේ මේ දක්වා එක දිගට ඇසුණු වැලි බොරළු කපා ගෙන යන රෝද හඬ එක්වරම නොඇසී ගිය බැවිනි. අඳුරු පැහැති වියළි තද මඩ පසින් හා තණ ඇතිරියෙන් යුතු අතුමඟෙහි ගමන් කරන විට, තෙතබරිත ගෝනි පලසක් මත ගමන් කරන්නාක් මෙන් කරත්ත රෝදවලින් එවැනි ගොරහැඩි හඬක් නොනැඟෙයි. නිදිමත පලවා හැර අවට බලන වෙදරාලට තම දෑස් ඉදිරියෙහි දිස්වන්නේ ඈතට පැතිර ගිය දවස දෙවේලේ දැක පුරුදු විසල් වෙල්යායයි. පාරෙහි එක් පසෙකින් මේ මහවෙල්යාය වූ අතර අනෙක් පසින් අතරින් පතර උස් ගස් සහිත ලඳු කැලෑවෙන් ගැවසීගත් ගොඩබිම් පෙදෙස පිහිටා තිබිණි. කොස්, දෙල්, පොල්, පුවක්. අඹ, දඹ, වෙරළු ආදී උස් ගසින් සෙවණ වූ මේ ලඳුකැලෑ සහිත බිමෙහි එකිනෙකට ඈතින් ඉදි කළ පළ දෙකේ පොල් අතු සෙවෙණි කළ වරිච්චි ගෙවල් කීපයක් හා ඒ අතර උළු සෙවෙණි කළ ගෙයක් දෙකක් දක්නට ඇත.”

සමරවීර විජයසිංහයන්ගේ ප්‍රබන්ධයක කොටසකියි නොපැවසුවේ නම් මේ ඡේදය කියවද්දී හැඟෙනුයේ එය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රබන්ධයක් ලෙස නොවේද? එය එතරම් සමාන නිසාය.

සුවඳ

විජයසිංහ මහතාට වික්‍රමසිංහ ප්‍රබන්ධය ආභාස වුවත් ඔහු එය අනුකරණය කළේ නැත. අනුකරණය යන්න ඔහුට රුචි යමක් නොවීය. අනුකරණය කරන කිසිවකින් සුවඳක් වහනය නොවන අතර විජයසිංහ ප්‍රබන්ධයෙන් ඉතා දැනෙන සුවඳක් වහනය වේ. ඒ සුවඳ ඔහු නිර්මාණය කරන කල්පනා ලෝකයත්, චරිතත් ඇසුරින් උපන්නකි. වික්‍රමසිංහයන්ගේ ප්‍රබන්ධයෙන්ද මෙබඳුම සුවඳක් නැඟෙද්දී ඔහු ආභාස වූ විජයසිංහයන්ගේ ප්‍රබන්ධයෙන්ද සුවඳක් නැඟිණි. ඉහත ඡේදය කියවන විටමත් ඒ සුවඳ කෙතරම් දැනෙනසුලුදැයි පසක් වේ.

නිර්මල චරිත

සමරවීර මහතා සිංහල සාහිත්‍යයට නිර්මල චරිතද හඳුන්වා දුන්නේය. වික්‍රමසිංහ ‘විරාගය’ ඔස්සේ අරවින්ද හා සරෝජිනී චරිත දෙක හඳුන්වා දුන්නා සේ සමරවීර විජයසිංහ මහතා ‘ස්වයජාත’ ඔස්සේ විභූතිරත්න හා පබාවතී යන චරිත දෙක අපට හඳුන්වා දුනි. එහිදී අරවින්ද හා විභූතිරත්නත්, සරෝජිනී හා පබාවතීත් සපුරා වෙනස් චරිත වුවත් ඒ දෙකෙහි කිසියම් නිර්මලත්වයක් තිබිණි. සමාජ කෙලෙස්වලින්, පුද්ගල ආත්මාර්ථයෙන් ඒ නොකිලිටි විය. එනිසා එම චරිත අපගේ චිත්ත සන්තානයේ ගැඹුරටම කිඳා බසිනුයේ සදාතනිකව ජීවත් වන මිනිසුන් වශයෙනි - සෑම පිරිමියකුම අපේක්ෂා කරන යුවතිය සරෝජිනී, පබවාතී වෙද්දී සෑම ගැහැනියකම අපේක්ෂා කරන පිරිමියා අරවින්ද, විභූතිරත්න වන ලෙසකි. මෙහි දෛවෝපගත යමක්ද වේ. මේ නවකතා දෙකම තිරයට නැඟුණේ සිනමාවේදී තිස්ස අබේසේකර අතින් වීමය. අනෙක එහි කතානායකයන් දෙදෙනාම මාක්ස්වාදී චරිත නොවූවත් ඔහු අතින් තිරයට නැඟෙද්දී ඔවුන් මාක්ස්වාදී චරිත වීමය.

සන්දර්භවාදීන්

සමරවීර මහතාත් වික්‍රමසිංහ මහතාත් සන්දර්භවාදීන් වීමද වෙසෙසකි. එනම් ඔවුන් අවධානය යොමු කළේ සන්දර්භය කෙරෙහි මිස ආකෘතිය කෙරෙහි නොවේ. ඔවුන්ගේ කිසිදු ප්‍රබන්ධයක් ආකෘතික සැරසිලිවලින් විච්චූර්ණ වූයේ නැත. මින් හැඟවෙන්නේ ඔවුන් නිර්මාණ උත්තේජනයට පත් කළේ පුද්ගල ජීවිතයම බවය. සැබැවින්ම ලේඛකයකුට මනුෂ්‍ය ජීවිතය මිස අනෙකක් නිර්මාණකරණයට බලපාන්නේ නැත.

ඔවුන් මෙසේ සන්දර්භවාදී වූ නිසාම ඔවුන් සිය චරිත විවරණය කළේ එහි කළු සුදු දෙකම මතු වන ලෙසටය. කිසිදු චරිතයක් එහිදී තනිකර කළු හෝ තනිකර සුදු වූයේ නැත. තවද කළු ප්‍රමුඛ වන චරිතයක් දෙස වුව ඔවුන් දෙදෙනා හෙළුවේ සානුකම්පිත දෘෂ්ටියකි. සන්දර්භයට හා තේමාවට වැඩි අවධානයක් යොමු කිරීම නිසා මේ දෙදෙනාගෙන්ම ගිලිහුණු දෙයක්ද විය. ඒ, චරිත පිහිටුවන පරිසරය අනුව භාෂා ශෛලිය, රිද්මය, වර්ණය ආදිය වෙනස් කිරීමයි. නිදසුනකට ඇල්බෙයා කැමූගේ මෙන් නවකතා බසක්, රිද්මයක්, ශෛලියක් ඔවුන්ගෙන් බිහි වෙතැයි සිතීම උගහටය. එහෙත් කෙසේ හෝ ඔවුන් එසේ ශෛලිගත තේමා ඔවුන්ගේ ප්‍රබන්ධයට උපයෝගී කර නොගත් අතර ඒ තුළ ඔවුන්ගේ ප්‍රබන්ධයට උචිතම ආකෘතියකි, ගොඩනැඟුණේ.

ගැමි චරිත සහ බාහිර ගැටුම

සමරවීර මහතා සිංහල බෞද්ධ සංස්කෘතිය හා සාරධර්ම කෙරේ නැඹුරු වූ ලේඛකයකු බව මුලින් කීවෙමු. එබඳු සාරධර්ම ඔහුගේ ප්‍රබන්ධයෙන් පැනනඟින්නේ ඇයි? ඒ, ඔහුගේ ප්‍රබන්ධ චරිතවලද ස්වභාවය නිසාය. ඔහුට හැම විටම වස්තු වූයේ ගැමි සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ පය ගසා ගත් චරිතය. ඒ චරිත ගැමි චරිත වූවා සේම බොදු පිළිවෙත ඇසුරෙන් හික්මවුණු සහ හික්මවීමට බැරි වුණු චරිත විය. එනිසා ඉන් හැම විටම ගැමි සුවඳක් වහනය විය. තවද ඔහුගේ ප්‍රබන්ධයේ යම් තැනක හාමුදුරුවන් වහන්සේ කෙනෙකු, නැත්නම් පන්සල ඇසුරෙන් ගොඩනැඟුණු චරිතයක්ද බොහෝ විට දැකිය හැකි විය.

ප්‍රබන්ධයක සාමාන්‍ය ලක්ෂණය එහි ගැටුමක් තිබීමයි. ඇතැම් ලේඛකයක්ගේ එය චරිතවල ඇතුළත ගැටුමක් වෙද්දී සමරවීර මහතාගේ ප්‍රබන්ධයේ ගැටුම චරිතවල පිටතින් විය. පිටත ගැටුමට සාමාන්‍යයෙන් පාදක වන්නේ සමාජ ප්‍රශ්නයකි. එනිසා සමරවීර මහතාගේ ප්‍රබන්ධයටද බලපෑවේ සමාජ ප්‍රශ්නයකි. ‘කෙලෙස් පර්වත’, ‘ස්වයංජාත’, ‘තැප්පා සේම ගිනි’ යන නවකතා විමසන විට ඒ සමාජ ප්‍රශ්නය දැකිය හැකිය. එහිදී ‘කෙලෙස් පර්වත’ නවකතාවේ කිසියම් වෙනසක් ඇත්තේ එහි බාහිර ගැටුම මතින් පැනනැඟුණු අභ්‍යන්තර ගැටුමක්ද තිබීම නිසාය.

රූප මැවීම හා සිතුවම්කරණය

සමරවීර ප්‍රබන්ධයේ වෙසෙස් ස්වභාවයක් නම් එහි විස්තර වන සෑම අවස්ථාවක්ම පාඨකයාට දෘශ්‍ය රූප ලෙස පෙනී යෑමයි. ටෙලිනාට්‍යකරුවන්, සිනමාකරුවන් ඔහුගේ ප්‍රබන්ධ තිරයට නැඟීමට තැත් කළේද මෙනිසා විය හැකිය. ඔහුගේ කවර හෝ ප්‍රබන්ධ කතාවක් කියවද්දී පාඨකයාට දැනෙනුයේ තමා සිනමාපටයක් නරඹන්නා සේය. මෙවැනි කුසලතාවක් සෑම ලේඛකයකුටම ඇත්තක් නොවේ. එය උසස් ලේඛකයන් අතරද ස්වල්ප දෙනෙකුටය, ඇත්තේ.

කෙසේ වුව මෙවැනි දෘශ්‍ය රූප මැවීමේ කුසලතාව වෙසෙසින් වැදගත් වන තැනක් තිබේ. ඒ, ඓතිහාසික පසුබිමක පිහිටුණු කතා සාහිත්‍යයට නැඟීමේදීය. සැබැවින්ම මෙරට ‘71 චේගුවේරා කැරැල්ල පසුබිම් කරගත් ‘තැප්පා සේම ගිනි’ වැනි නවකතාවක් සමරවීර මහතා අතින් ලියවීම වැදගත් වන්නේ ඔහු අතින් එදා පරිසරය, එදා ජීවිතය ඒ ලෙසටම එහිදී රූපගත වී ඇති නිසාය. තවද දකුණේ වෙරළබඩ ගමක යටත්විජිත සමාජ පරිසරය එසේම මතු කිරීමට ‘ස්වයංජාත’ නවකතාවෙන් ඔහුට හැකි වී ඇත. විභූතිරත්න හා පබාවතී වැනි චරිත පාඨක සන්තානයේ මුල්බැස ගැනීමට ඔවුන්ගේ රූපකායන් පැහැදිලිව පෙනී යෑමද හේතුවක් විය හැකිය.

සමරවීර මහතා අතින් මෙසේ ප්‍රබන්ධකරණයේදී දෘශ්‍ය රූප මතු වන්නේ කෙසේද? මට හැඟෙන ලෙස ඊට ඔහුගේ ඉහළ ලේඛන ප්‍රතිභාව මෙන්ම ඔහු තුළ වූ දක්ෂ චිත්‍ර ශිල්පියාද ඉවහල් විය. සැබැවින්ම අප සමරවීර විජයසිංහ කතාකරුවා ගැන නොදන්නා දෙයක් නම් ඔහු දක්ෂ සිත්තරකු බවය. ඔහුගේ බොහෝ නවකතාවල පිටකවර හා ඇතුළත චිත්‍ර නිර්මාණය කර ඇත්තේ සමරවීර මහතා විසින්මය. එම සිතුවම් දකින කවර රසිකයකුට එහි නිමැවුම්කරුවා කෙතරම් උසස් කෙනෙකුදැයි අවබෝධ වනු ඇත.

නිරීක්ෂකයා

සමරවීර ප්‍රබන්ධයේ සිද්ධි ඉදිරිපත් කරන්නකු මෙන්ම නිරීක්ෂකයකු සිටින බවද පෙනී යයි. ‘ස්වයංජාත’ ගත්තද එහි කතානායක විභූතිරත්න සිදු වන දේ බලා සිටින්නෙකි. ඔහු ක්‍රියාත්මක වී අවස්ථාවකට මැදිහත් වන්නේ බැරිම වෙලාවක පමණි. ඔහුගේ ප්‍රබන්ධවල අව්‍යාජත්වයටද ඒ නිරීක්ෂක ස්වභාවය හේතු වනු ඇත. ‘කෙලෙස් පර්වත’ නවකතාවේ කතානායකයාද හැසිරෙන්නේ නිරීක්ෂකයකු ලෙසය. ඔහු හැඟීම් මුදා හරින්නකු නොව හැඟීම් තමා වෙතම රඳවා ගන්නෙකි. ඒ හැඟීම් අන්තරාවර්තනය චරිතවල පමණක් නොව සමස්ත කතාවේද දක්නට ලැබීම හරිම අපූරුය. චරිත අන්තරාවර්තී වීමත් කතාව අන්තරාවර්තී වීමත් එහි සම සමව ඇත. මෙවැනි ලක්ෂණයක් මාර්ටින් වික්‍රමසිංහ ප්‍රබන්ධයේද දක්නට ඇත්තේ ‘විරාගය’ නවකතාවේ පමණි. නිරීක්ෂක ස්වභාවය සමරවීර විජයසිංහ මහතාගේ පෞද්ගලිකත්වය තුළත් දක්නට ලැබීම තවද දුලබ ලකුණකි. වික්‍රමසිංහයන් නම් තමා තුළ නැඟුණු විරෝධතා, හැඟීම් එකෙණෙහිම ප්‍රකාශ කළේය. සමරවීර මහතා ඒ තමාටම හකුළාගෙන සිටියේය. එහෙත් මේ නිහඬ නිරීක්ෂකයා - ඈත සිට බලන්නා - ඔහුගේ ප්‍රබන්ධවල විශාල කාර්යභාරයක් ඉටු කළේය. එනම් තමා තුළට සංකෝචනය වූ හැඟීම් ඔහු ප්‍රබන්ධයේදී චරිත හරහා මුදා හළේය. එහෙත් ඒ සිදු වූයේද නිරීක්ෂක භූමිකාවේ සිටමය.

සුහද සබඳතාව

සමරවීර මහතා කොළඹින් බැහැරව ඈත සිටියෙකු බව මුලින් කීවෙමු. එහෙත් ඔහු සැබැවින් සිටින දුරට වඩා බොහෝ දුර බැහැර සිටින්නකු ලෙසය, ජීවත් වූයේ. ඔහු විසූයේ බේරුවලය. බේරුවල සිට කොළඹට කිලෝමීටර පනහකට වඩා දුර නැත. එහෙත් ඔහු කොළඹ ආවේ පොතක ප්‍රකාශන කටයුත්තකට අත්පිටපත බාර දීම සඳහා පමණි. ඔහුගේ නිත්‍ය ප්‍රකාශකයා සූරිය ප්‍රකාශන ආයතනයේ ප්‍රධානී අතුල ජයකොඩිය. ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුවද ඔහු ලොකු ප්‍රකාශකයන් වෙත ගියේ නැත. තමා පාඨකයාට හඳුන්වා දුන් අතුල ජයකොඩි වෙතම ඔහු රැඳුණේය. අතුලද ඔහු වෙත පෑවේ සිය වැඩිමහල් සොහොයුරකුට දක්වන ගෞරවයය. කර්තෘභාගයටවත්, වෙනත් ප්‍රකාශන කාර්යයකදීවත් ඔවුනතර ගැටලු, ගැටුම් ඇති නොවූ බව මම දනිමි. නිසැකවම ලේඛකයින් - ප්‍රකාශකයින් අතර ඇති විය යුත්තේ මේ ආකාර සබඳතාවකි.

මුලින්ද කී ලෙස සමරවීර මහතාත් මාත් අතර පැවතියේ වාචික සන්නිවේදනයට වඩා අවාචික සන්නිවේදනයකි. එහෙත් ඒ අවාචික සන්නිවේදනය තුළ වුව අප එකිනෙකා දොඩමළු විය. එකිනෙකා අදහස් හුවමාරු කර ගති. අතුල ජයකොඩි සොහොයුරා විජයසිංහයන්ගේ අභාවය පිළිබඳ දැනුවත් නොකළේ නම් තවමත් මා සිතනුයේ අප එකිනෙකා අවාචික සන්නිවේදනයක නියැලෙන බවය. එකිනෙකා නිහඬව කතාබහ කරන බවය. එහෙත් ඔහු සදාකාලයටම අපෙන් වෙන් වී ඇතැයි නොසිතෙන්නේ ඔහු නිමවූ චරිත, ඔහුගේ කල්පනා ලෝකය හැම මොහොතකම පණ ගසා නැඟිටින බැවිනි.

[රවීන්ද්‍ර විජේවර්ධන]

News Order: 
8
මාතෘකා