වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දයාසේන ගුණසිංහ පොදු ජනයාගේ පත්තරකාරයෙක්

 ඡායාරූපය:

වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දයාසේන ගුණසිංහ පොදු ජනයාගේ පත්තරකාරයෙක්

දෙනගම සිරිවර්ධන

කවි, කෙටිකතා, නවකතා සහ යොවුන් ප්‍රබන්ධ ඇතුළු විවිධ සාහිත්‍ය නිර්මාණ රැසක් මෙන්ම සුවිශේෂ චරිතාපදාන කෘති ගණනාවක්ද රචනා කර ඇති ප්‍රවීණ මාධ්‍යවේදී දෙනගම සිරිවර්ධන විසින් මෙරට පුවත්පත් කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ ලකුණක් සටහන් කළ අද්විතීය පුවත්පත් කතුවරයකු වූ දයාසේන ගුණසිංහ චරිතය පාදක කරගනිමින් රචනා කරන ලද ‘පොදු ජනයාගේ පත්තරකාරයා’ නමැති චරිතාපදාන කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ. ඒ කෘතිය පිළිබඳව අප පසුගියදා කතුවරයා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

මෙවැනි කෘතියක් රචනා කිරීමට ඔබ තීරණය කළේ ඇයි?

පහුගිය සියවසේ පුවත්පත් කලාව දිහා බැලුවාම පුවත්පත් කලා ක්ෂේත්‍රයේ අපට හිටපු හොඳම කතුවරයෙකු වශයෙන් දයාසේන ගුණසිංහ මහත්තයා සලකන්න පුළුවන්. කිසිදා අමතක කරන්න බැරි, පුවත්පත් කලාවේ ශ්‍රේෂ්ඨයන් වශයෙන් සලකන්න පුළුවන් අය අතර කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ඩී.බී. ධනපාල සහ මානවසිංහ වගේ බොහොම අතළොස්සක් පමණ පිරිසක් අපට ඉන්නවා. මගේ ජීවිත කාලය තුළ මට මුණගැහුණු අතිශ්‍රේෂ්ඨතම පුවත්පත් කලාවේදියා තමයි දයාසේන ගුණසිංහ කියන්නෙ. එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොදු ජනයාගේ පත්තරකාරයෙක්. එහෙම කියන එක වැරදි නැහැ. එතුමාගේ ලිපි මම කාලයක් තිස්සෙ කියවලා තිබුණා. උපාලි පුවත්පත් පටන් ගන්න කලින් සිටම ඒ ලිපි කියවලා මම එතුමා ගැන දැනගෙන හිටියා. ඊළඟට උපාලි පුවත්පත් පටන් ගත්තට පස්සෙ මට එතුමා සමඟ සෘජුවම සම්බන්ධ වෙලා වැඩ කරන්න හැකියාව ලැබුණා. එතුමාගේ පත්තරයේ විශේෂාංග රචකයෙකු වශයෙන් මම දීර්ඝ කාලයක් කටයුතු කළා. ඒ කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මම ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස වැඩ කළා. මට අදාළ වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කය වුණාට බොහෝ වෙලාවට දකුණු පළාතම නියෝජනය කරමින් වැඩ කරන්නත් මට සිද්ධ වුණා. ඒ සමීප සම්බන්ධකම් වගේම එතුමාගේ තිබුණු උතුම් මනුස්සකම් නිසාම මට හිතුණා එතුමාගේ ජීවිත කතාව පොතක් වශයෙන් පළ කළොත් හොඳයි කියලා.

පුවත්පත් කලාවේදියකු ලෙස දයාසේන ගුණසිංහයන්ගේ ඔබ දුටු සුවිශේෂත්වය කුමක්ද?

ගුණසිංහ මහත්තයා අනෙක් පත්තරකාරයින් අතර සුවිශේෂ වෙන්නෙ එතුමා තුළ තිබුණු සැබෑ මානව ප්‍රේමය නිසාමයි. ඒක ඇත්තටම මෙන්න මේ හේතුව නිසා ඇති වුණාය කියලා කියන්න පුළුවන්කමක් නැහැ. උපන්දා ඉඳලම ඒ මානව හිතවාදය එතුමා තුළ තිබිලා තියෙනවා. එතුමා ඉපදුණේ ඉංගිරියට කිට්ටු ඌරුගල කියන ගමේ. ඒ ගම කළු ගඟ අසබඩ තියෙන සුන්දර ගම්මානයක්. ඒ ගම්මානයේ මිනිස්සු හුඟ දෙනෙක් ජීවත් වුණේ ගම වටේ තිබුණු, සුද්දන්ට අයිති රබර් වතුවල වැඩ කරලයි. ගුණසිංහ මහත්තයාගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරු වෘත්තියේ යෙදුණු අය. තාත්තා විදුහල්පතිවරයෙක්, අම්මා ගුරුවරියක්. ඔවුන් ගත කළේ ඒ තරම් දුක්බර ජීවිත නෙවෙයි. ඔවුන් ගමේ යමක්කමක් තිබුණු, හොඳ පවුලක්. ඒ පවුලට ආර්ථික වශයෙන් ප්‍රශ්න තිබුණෙ නැහැ. හැබැයි එතුමා සහ විශේෂයෙන්ම එතුමාගේ අම්මා ගමේ හිටපු ඉතාමත්ම දුප්පත්, වැඩ කරන පන්තියේ ජනතාව සමඟ සමීප ආශ්‍රයක් පවත්වා ගත්තා. ඒ නිසාම ගුණසිංහ මහත්තයාට පොඩි කාලයේ ඉඳලම පහළ පන්තියේ ජීවිත පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. කාලයත් සමඟ ඒ අවබෝධය දිගින් දිගටම වර්ධනය වුණා. ඒවගේම එතුමාට ඒ ජනතාව පිළිබඳව ප්‍රේමයකුත් ඇති වෙලා තිබුණා. ඒ නිසාම එතුමා බොහෝ අවස්ථාවලදි ඒ ජනතාවගේ පැත්තෙන් හිතපු කෙනෙක් බවට පත්වුණා.

එතුමාගේ තාත්තා උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඒත් ගුණසිංහ මහත්තයා ඊට වඩා වෙනස් විදියකට හිතුවා. ගැටවර කාලයේදීම පිලිප් ගුණවර්ධනලාගේ සමසමාජ පක්ෂයේ අදහස් එක්ක තමයි ඔහු හිටියෙ. විශේෂයෙන්ම ඇන්.ඇම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන වගේ අය ඒ කාලයේ ඒ ගමට එනවා. ඔවුන්ට ලොකු ආකර්ෂණයක් ගමේ තිබුණා. ඒවගේම ගුණසිංහ මහත්තයාගේ ළඟම මිත්‍රයා සහ ඥාතියා තමයි රත්නපාල වලිසිංහ කියලා කෙනෙක්. ඔහු සහ ගුණසිංහ මහත්තයා අවුරුදු එකොළහෙ වයසෙදි කරපු වීර ක්‍රියාවක් ගැන මම මේ පොතේ මුලින්ම සඳහන් කරලා තියෙනවා. පොත පටන් ගන්නෙ ඒ කතාවෙන්. එකදහස් නවසිය හතළිස් හතේ ලංකාවේ මහා ගංවතුරක් ආවා. ඒ ගංවතුර වෙලාවෙදි අනෙක් ගංගා වගේම කළුගංගාවත් බොහොම කුපිත වෙලා මුළු පළාතම යට කරගෙන ගලාගෙන ගියා. ඌරුගල ගමටත් විශාල විපත්ති සිද්ධ වුණා. ගමට ගංවතුර එන හැටි බලන්න ගුණසිංහ මහත්තයත්, රත්නපාල වනසිංහත් ගියා.

එක අවස්ථාවකදි අවුරුදු එකොළහේ මේ ගැටවරයො දෙන්නට පේනවා ඈත ගහගෙන එන දෙන්නෙක්ව. එතකොට ගුණසිංහ මහත්තයා කියනවා, පනිමු අපි ගඟට කියලා. දෙන්නත් එක්කම වතුරට පනිනවා. පැනලා අර වතුරෙ ගහගෙන ආපු දෙන්නාව බේරගන්නවා. ඒ දියේ ගහගෙන ඇවිල්ලා තිබුණෙ පුංචි ගැහැනු ළමයි දෙන්නෙක්. ඒ ගැහැනු ළමයි දෙන්නව ගොඩට අරගෙන ඇවිල්ලා ගොඩින් තියනවා. ඊට පස්සෙ මේගොල්ලන්ට දැන් මේක ප්‍රශ්නයක් වෙනවා. ගඟට පැන්නා කියලා දැනගත්තොත් ගෙදරින් ගුටිකන්න වෙනවා. පස්සෙ ඒගොල්ලො කෑ ගහන්න පටන් ගත්තා ඈත ඉන්න මිනිස්සු වගයක් දැකලා. ඒ මිනිස්සු එතැනට ආවට පස්සෙ ඔවුන්ට අර ගැහැනු ළමයි දෙන්නව භාරදීලා මේ දෙන්නා පැනගන්නවා. ඒ කරපු වීරක්‍රියාවට ගමෙන්වත්, පාසලේ උදේ රැස්වීමෙදිවත් ඔවුන්ට අප්පුඩියක්වත් ලැබුණෙ නැහැ. අම්මයි තාත්තයි මේ සිද්ධිය ගැන දැනගත්තොත් ප්‍රශ්නයක් වෙයි කියලා ඒ ගැන කිසිදෙයක් කියන්නෙ නැතුව හංගගෙනයි හිටියෙ. හැබැයි කොහොමහරි අම්මයි තාත්තයි මේ සිද්ධිය ගැන දැනගත්තා. ඒ වුණාට ඔවුන් මේ දරුවො දෙන්නට දඬුවම් කළේ නැහැ. ඇත්තටම ඒක ලොකු වීරක්‍රියාවක්නෙ.

එදා ගුණසිංහ මහත්තයා ගැන මම ලියපු පොත දොරටවඩින දවසේ රත්නපාල වලිසිංහ මහත්තයා ඒ උත්සවයට සහභාගි වෙන්න ඇවිල්ලා හිටියා. ඔහුට දැන් අවුරුදු අසූ ගාණක් වයසයි. මම ඒ වෙලාවෙදි සභාවට කිව්වා, “අද මේ උත්සවයට රත්නපාල වලිසිංහ මහත්තයා ඇවිල්ලා ඉන්නවා, ඔහු සහ ගුණසිංහ මහත්තයා සම්බන්ධ වීරක්‍රියාවකින් තමයි මම මගේ පොත පටන් ගන්නෙ. එදා ඒ වීරක්‍රියාවට ඒ දෙන්නට අප්පුඩියක්වත් ලැබුණෙ නැහැ. ඒ නිසා අපි අද ඒ දෙන්නා වෙනුවෙන් අප්පුඩියක් දෙමු. අද ගුණසිංහ මහත්තයා නැති වුණත් ඒ යාළුවා ඉන්නවා” කියලා. එතකොට ඔහු නැගිට්ටා. ඒ වෙලාවේ මුළු සභාවම මහා අප්පුඩියක් දුන්නා. ඒ උත්සවයෙන් පස්සෙ මේ මෑතකදිත් මට දුරකථන ඇමතුමක් දීලා වලිසිංහ මහත්තයා කිව්වා, “අනේ මට හරිම සන්තෝෂයි. හුඟ කාලෙකින් මම එදා තරම් සන්තෝෂ වුණේ නැහැ” කියලා. එදා අවුරුදු එකොළහෙදි දක්වපු වීරත්වය ගුණසිංහ මහත්තයා දිගටම රඳවාගත්තා.

ගුණසිංහ මහත්තයා නැති වුණේ 1996 වසරේදියි. මැරෙන මොහොත දක්වාම ඒ වීරත්වය එතුමා තුළ නොවෙනස්ව තිබුණා. එතුමා කිසිම කෙනෙකුට අනවශ්‍ය පරිදි හිස නැමුවෙ නැහැ. මොන ප්‍රශ්න ආවත්, තමන් අන්ත දුක්ඛිත අඩියකට වැටුණත් එතුමා අදීනත්වය රැකගත්තා. කෝටිපතියො ආවා එතුමාට උදව් කරන්න. ඒත් එතුමා ඒ කිසිකෙනෙකුට නතු වුණේ නැහැ. තමන් තුළ තිබුණු වීරත්වය ජීවිතය පුරාම රැකගත්තා. ඒ වගේ වීරයෙක් ගැන පොතක් ලියන්න ලැබෙන එකත් මට ලොකු සතුටක්. මම හරිම සන්තෝෂයෙන් අවුරුදු දෙකක් තිස්සෙ මේ පොත ලිව්වා. ඒ අවුරුදු දෙක තුළ ගුණසිංහ මහත්තයාත් එක්කම ජීවත් වෙනවා වගේ හැඟීමක් මට දැනුණා. ඒ ආත්මයට මම ආවේශ වෙලා වගේ කියලයි මට හිතුණෙ.

මේ පොතේ නම සඳහා දයාසේන ගුණසිංහ මහතාගේම ‘පොදු ජනයාගේ මිනිහෙක්’ නම් පරිවර්තන කෘතියේ නමෙන් ආභාෂයක් ලැබුණාද?

ඒ පොතේ නම නම් ඇත්තටම මගේ ඔළුවට ආවෙ නැහැ. හැබැයි පොතට දාන නම ගැන අපේ හිතවතුන් කිහිප දෙනෙකු සමඟම සාකච්ඡා කළා. ‘පොදු ජනයාගේ පුවත්පත් කලාවේදියා’ සහ ‘පොදු ජනයාගේ පත්තර කලාවේදියා’ වගේ නම් කිහිපයක් යෝජනා වුණා. ‘පොදු ජනයා’ කියන කොටස නම් මුල ඉඳලම යෝජනා වුණා. පස්සෙ අපේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වන ශාන්ත කේ. හේරත් තමයි යෝජනා කළේ ‘පත්තරකාරයා’ කියන කොටස නමට එකතු කරමු කියලා.

මෙය රචනා කිරීම සඳහා ඔබ කිසියම් අධ්‍යයනයක් කළාද?

ඔව්. සෑහෙන තොරතුරු හොයාගන්න සිද්ධ වුණා. මට ඒ සඳහා විශාල වශයෙන් උදව් කළා ගුණසිංහ මහත්තයාගේ ලොකු දුව වන සොනාලි ගුණසිංහ. ඒ දරුවා අතින් වියදම් කරගෙන වාහනවලින් නොයෙක් ප්‍රදේශවලට මාව එක්කගෙන ගියා. ගුණසිංහ මහත්තයාගේ නෑදෑයින් සහ හිතමිත්‍රයින් මුණගැහෙන්න ඇය මාව එක්කගෙන ගියා. ගුණසිංහ මහත්තයාගේ ගමට ගියාට පස්සෙ එතුමාව පොඩි කාලයේ ඉඳලම ආශ්‍රය කරපු බොහෝ අය මට හමු වුණා. ඒ ගමේදි මට ගුණසිංහ මහත්තයාගේ හොඳම මිත්‍රයා වුණු පෙර කී රත්නපාල වලිසිංහ මහත්තයාවත් මුණගැහුණා. ගමේ අයගෙන් මට වැදගත් වුණු බොහෝ විස්තර ලබාගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ගුණසිංහ මහත්තයාගේ පොඩි කාලය ගැන විස්තර රාශියක් මට ඔවුන්ගෙන් දැනගන්න ලැබුණා. කම්කරුවොත් එක්ක එතුමා කුඩා කාලයේ සිට පවත්වා ගත් සමීප සම්බන්ධතා ගැනත් බොහෝ දේවල් මට දැනගන්න ලැබුණෙ ඒ ගමේ අයගෙන්. එතකොට තමයි මම තේරුම් ගත්තෙ එතුමා පොඩි කාලයේ ඉඳලම පොදු ජනයාගේ මිනිහෙක් වෙලා හිටපු බව.

එතුමාගේ සිතිවිලි ඒ පැත්තට නැඹුරු වෙලා තිබුණෙ කවුරු හරි කියපු නිසාවත්, මාක්ස්වාදී පොතපත කියවලා ලබාගත් දැනුම නිසාවත් නෙවෙයි. මුල් කාලයේ ඉඳලම ඔහුට තිබුණෙ මිනිස්සු ගැන ලොකු අනුකම්පාවක්. තමන්ගෙ ගෙදරයි, කම්කරුවෙකුගෙ ගෙදරයි අතර ලොකු වෙනසක් තියෙන බව ඔහු දැනගෙන හිටියා. තමන්ගෙ ගෙදර කුස්සියෙයි, කම්කරුවෙකුගෙ ගෙදර කුස්සියෙයි අතර වෙනස ඔහු දැක්කා. ඒ ගෙවල්වලට ඔහු නිතර ආවා ගියානෙ. ඒ නිසා මේ පංති විෂමතාව සහ පංති සටන ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. වතුකාරයො ජීවත් වෙන හැටි සහ වතුකාරයාට සල්ලි හම්බ කරලා දෙන මිනිස්සු ජීවත් වෙන හැටි අතර වෙනස ඔහු මුල ඉඳලම දැක්කා. ඒ වෙනස නැති සමාජයක් බිහි කරන්න ඕන කියන මතය ඔහුට මුල ඉඳලාම තිබුණා. ඒ දෘෂ්ටිය සකස් වීමේදී ඒ ගමට සමසමාජ පක්ෂයෙන් ආපු අදහස් ඔහුට බලපාන්න ඇති කියලා මම හිතනවා. ඒවගේම ඔහු ලොකු කියවීමේ පිපාසයකින් පෙළුණු කෙනෙක්. ඒ අතරෙ ඔහුට බොහෝ දුරට වමේ සාහිත්‍යය හමු වෙනවා. ඒ සාහිත්‍යයෙන් ඔහු පෝෂණය වුණා කියලා මම හිතනවා.

ඔබේ සෙසු චරිතාපදානවල මෙන්ම මේ කෘතියෙත් ප්‍රබන්ධාත්මක ලක්ෂණ තිබෙනවා?

ඔව්. ඒ විදිහෙ රචනා ශෛලියක් මම මුලින්ම දැක්කෙ රුසියාවේ පළ වූ ලෙනින්ගේ ජීවිතය ගැන ලියැවුණු චරිතාපදානයකයි. ඒ චරිතාපදානය ලියැවිලා තියෙන්නෙ නවකතාවක් වගෙයි. කියවගෙන යන්න ආස හිතෙන තරමටම ඒ චරිතාපදානය හරි ලස්සනයි. ලෙනින්ගෙ ජීවිතය ගැන ලියැවිලා තියෙන සාමාන්‍ය චරිතාපදානත් තියෙනවා. ඒවගේම මාක්ස්ගේ ජීවිත කතාවත් සාමාන්‍ය චරිතාපදාන ආකාරයෙන් ලියැවිලා තියෙනවා. හැබැයි අපි ඒවා කියවලා ඒ චරිත ගැන සාමාන්‍ය ශාස්ත්‍රීය දැනුමක් ලබාගන්නවා මිස ඒ චරිතවල ගැඹුරට යන්නෙ නැහැ. ඒ වුණාට නවකතාවක් විදිහට ලියැවිලා තියෙන ලෙනින්ගේ චරිතාපදානය කියවගෙන යනකොට අපි ඒ චරිතයේ යම්කිසි ගැඹුරකට යනවා. ඒ කියන්නෙ අපි ඒ කෘතිය හරහා අර චරිතය විඳිනවා. අනගාරික ධර්මපාලතුමා සහ ඩබ්ලිව්.ඒ. සිල්වා වගේ අය ගැනත් චරිත කතා ලියලා තියෙනවා. හැබැයි අපි ඒවා කියවන්නේ විඳිමින් නෙවෙයිනෙ. ඉතිහාසය හෝ භූගෝලය පිළිබඳ පොතක් කියවනකොට දැනුම ලබාගන්න කියවනවා වගේ දෙයක් තමයි ඒ චරිත කතා කියවීමේදී අපි කරන්නෙ. ලෙනින් ගැන නවකතාවක් ස්වරූපයෙන් චරිතාපදානයක් ලියන ලේඛකයා යම්කිසි විඳීමක් ලබාගන්නත් පාඨකයාට අවස්ථාවක් දෙනවා. ඒ කෘතිය කියෙව්වාම මට හිතුණෙ ඒ චරිතයේ තියෙන ගැඹුරු ගුණාංග පාඨකයාගේ හිතට ඇතුල් කරන්න පහසුයි කියලයි. එහෙම හිතලා තමයි සේනක බිබිලේ, ඔස්මන්ඞ් ජයරත්න සහ අදිකාරම්තුමා ඇතුළු තවත් අයගෙ චරිත කතා පහළොවක් පමණ මම ඒ ශෛලියෙන් ලිව්වෙ. එහෙම ලිවීම හරහා මට පුළුවන් විදිහට මම ඒ චරිත ඇතුළට ගමන් කරනවා. එතකොට මමත් දන්නෙම නැතිව ඒ කතන්දරය දිගටම ලියවීගෙන යනවා. සමහර අය මේ ගැන මට දොස් කියන අවස්ථාත් තියෙනවා. මේ පොත ගුණසිංහ මහත්තයාගේ ජීවිතයේ සත්‍යම සිද්ධි පාදක කරගත්ත නවකතාවක් කියලත් පහුගියදා කෙනෙක් කියලා තිබුණා.

අද වගේ කාලයකට මෙවැනි කෘතියක වැදගත්කම කුමක්ද?

දැන් ඇත්තටම මනුස්සයො හිඟයිනෙ. අද මනුස්සකම් හරි හිඟයි. ඒ නිසා අපට සිද්ධ වෙනවා උත්තම මනුස්ස ගතිගුණ තිබුණු චරිත පුළුවන් තරම් මේ සමාජයට හඳුන්වලා දෙන්න. රුසියාවේ විප්ලවය ජයගත්ත ගමන් ලෙනින් මැක්සිම් ගෝර්කිට කියනවා, “දැන් අපට හොඳ මිනිස්සු හදාගන්න ඕන” කියලා. හොඳ මිනිස්සු නිසා තමයි ඒ විප්ලවය ජයගත්තෙ. ඒත් විශාල වශයෙන් පැතිරිලා හිටියෙ පරාජිත ආකල්ප තියෙන මිනිස්සු. පාරෙ ඇවිද්ද පාදඩයො. එහෙම මිනිස්සු ලක්ෂ ගණන් ඒ කාලයේ රුසියාවේ හිටියා. ඒ පාදඩ පන්තියටයි ගෝර්කිත් අයිති වුණේ. ඒ මිනිස්සුන්ට ජීවිතය ජයගන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණෙම නැහැ. අන්න ඒ මිනිස්සුන්ට ජීවිතය ජයගන්න පුළුවන් කියන හැඟීම ලබාදෙන්න හොඳ පොත් ටිකක් අවශ්‍යයි කියලා ගෝර්කි යෝජනා කළා. ඔහු ඉන්පසුව බටහිර හිටපු තමන්ගෙ මිත්‍රයින්ට දන්වලා යවනවා තමන්ගේ රටේ ඉන්න හොඳම වීරයින් ගැන තොරතුරු එවන්න කියලා. ඔවුන් ඒ තොරතුරු ඔහුට එව්වාම ඔහු ඒ වීරයින් ගැන රුසියාවේ ළමයින්ට කියවන්න පොත් ලියනවා. ඒවා ප්‍රචාරය කරනවා.

ජීවිතය ජයගන්න පුළුවන්කමක් අපට නැහැ කියලා ආත්මීය වශයෙන් වැටිලා හිටපු අවස්ථාවක ඔහුට හමුවෙනවා ජෝර්ජ් ස්ටීවන්සන්ගෙ ජීවිත කතාව. ජෝර්ජ් ස්ටීවන්සන් කියන්නෙ අඟුරු පතල් කම්කරුවෙකුගෙ පුතෙක්. ඔහු අන්තිම පහළම නිර්ධන පංතියේ මිනිහෙක්. ඒත් ඔහු මුළු ලෝකයම වෙනස් කරන්න පුළුවන් ධූමරථයක් හැදුවා. ජෝර්ජ් ස්ටීවන්සන්ගෙ ජීවිත කතාව කියෙව්වාට පස්සෙ ඔහු ගැන ගෝර්කිට ලොකු පැහැදීමක් ඇති වුණා. මටත් එහෙම කෙනෙක් වෙන්න බැරිද? මාත් උත්සාහ කරලා බලන්න ඕන කියලා තමයි ඔහු හිත ශක්තිමත් කරගෙන තියෙන්නෙ. රුසියාවේ අනෙක් අයටත් ඒ හැඟීම දෙන්න ඕන කියලා හිතලා තමයි ඔහු චරිත කතා පුළුවන් තරම් ජනතාව අතර ප්‍රචලිත කරන්න ගන්නෙ.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

News Order: 
5
මාතෘකා