මුව කමල් - මුව දොර මුව මී හා මරු මුව

 ඡායාරූපය:

මුව කමල් - මුව දොර මුව මී හා මරු මුව

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

කට හැඳින්වීම පිණිස යෙදෙන තවත් පදයක් 'මුව' යන්න යි. එය තද්භව පදයකි. ඊට මූලාශ්‍රය වුණු තත්සම පදය 'මුඛ' යන්න යි. එය පාලියෙහි මෙන් ම සංස්කෘතයෙහි ද යෙදෙන්නකි.

කවියාට මුව පෙනෙන්නේ මලක් වශයෙනි. එබැවින් ඊට 'මුව කමල', 'මුව තඹර', 'මුව පියුම' වැනි රූපක යෙදේ.

මුව කමල - 'මුව කමල' යන රූපකයෙන් ද කියවෙන්නේ මුව කමල් මලක් වැනි බව යි.

මුව තඹර - පිපිණු පියුමක් වැනි මුව 'මුවපුල් තඹුරු' ය. කථා කිරීමට රජතුමා සතු දක්ෂතාව මුවදෙව්දා කවියා වර්ණනා කරන්නේ මෙසේ ය:

"වසතෙ නරවරණා මුවපුල් තඹුරු ගැබෙහි

මහබඹ නොලද විදුනා සරසවිය වල්විදුනා" (40)

කතා කිරීමට රජතුමා සතු චාතුර්යය වර්ණනා කරන කවියා කියන්නේ සරසවිය ඔහුගේ මුව ගැබෙහි වාසය කළ බව යි. ඒ හේතුවෙන් බ්‍රහ්මයාට සරසවියගේ වල් විදුනාවෙන් පවන් සලා ගත නොහැකි වූ බව යි.

'තඹුරු' යන්න 'තඹර' යනුවෙන් ද යෙදේ.

සියබස්ලකර කවියා සිය කෘතිය ආරම්භ කරන්නේ කාව්‍යාදර්ශයෙහි ආ පළමුවෙනි ශ්ලෝකයෙහි ආ "චතුර්මුඛ මුඛාම්භෝජ" යන පාඨය "සදාවා මුව තඹර" යනුවෙන් සිංහල කව් ලැකියට නැගීමෙනි.

මුව පියුම - මුඛය පද්මයක් යැයි කීමට 'මුව පියුම්' යන රූපකය සිංහල කවියෝ යෙදූහ.

මුව මඬල - වටකුරු වූ මුහුණ 'මුව මඬල' යි. ඇතැම් විට එය 'මුව සඳ මඬල' බවට ද පත් වේ.

මුව මී - 'මුව මී බොනවා' යනු සිප ගැනීම කවියා දකින සැටිි යි. වරක් තිහාරියේ මානෙල් පෙරේරා කවියා කවි මඩුවක දී හිටිවන කවියකින් මා හඳුන්වා දුන්නේ මෙසේ ය:

"දැක දැන නිබඳ සරසවි ළඳුනගෙ නා බී

සිත් සන්තොසින් උන් දුන් මුව මී බී

කලිසම ඇඳන් හෙළ බස රැකපන් ජේ. බී."

කව්සිළුමිණි කවියා කුසරජු පබවතියගේ මුව මී බිවු බව කියන්නේ තවත් ආකාරයකිනි:

"රතොට රත ඇදීයෙම්"

'රතොට' යනු රත් පැහැ ගත් තොල් ය. 'ඔට' යනු තොල හැඟවීම පිණිස සංස්කෘතයෙහි යෙදෙන 'ඕෂ්ඨ' යන පදය ඇසුරින් සිංහල කව් ලැකියට ආ පදය යි. රත් පැහැ ගත් 'ඔට' හැඳින්වුණේ 'රතොට' යනුවෙනි. කුසරජු රත් පැහැ ගත් තොල් දෙකේ රත් පැහැ ඇද ගත් බව මෙයින් කියවේ. එසේ වන්නේ තොල් සිප ගැනීමෙනි.

මුව දොර - ඇළක් දොළක් හෝ ගඟක් වැනි දිය පාරක් මුහුදට වැටෙන තැන 'මුව දොර' යි. ඒ දෙ පදය 'මෝදර' යනුවෙන් සන්ධි වේ. කොළඹ සිට ගාල්ලට යන මහා මාර්ගය ආරම්භ වන ස්ථානයට 'ගාලු මුව දොර' යන නම වැටිණ. ඊට 'Galle Face' යන ඉංගිරිසි නම වැටිණ. ඒ අයුරින් ම 'මුව විට' යන දෙපදය 'මෝවිට' වේ. 'මෝදර' යනුවෙන් හැඳින්වෙන ස්ථාන රාශියක් අපේ රටෙහි වේ.

එකක් කෙළඹට ආසන්නයෙහි පිහිටි 'මෝදර' යි. ඊට පරංගීන් දුන් නම ' මුට්වෝල්' (Mutwal) ය. ගාල්ලෙහි මහ මෝදරක් ඇත. ඒ 'ගාලු මහ මෝදර' යි. ඊට අමතරව 'කහඳා මෝදර', 'කළුවා මෝදර' යනුවෙන් හැඳින්වෙන ස්ථාන කීපයක් ද වේ.

මුවග - 'මුව අග' යනු කටේ කෙළවර යි. 'මුව අග' යන දෙ පදය 'මුවග' යනුවෙන් සන්ධි වේ. තරුණියකගේ 'මුවග රැඳි සිනාව' කොතෙක් දේ නොකියා කියා පායි ද? සමහරු මේ පදය 'මුවඟ' යනුවෙන් සඤ්ඤක ග-යන්නකින් ලියති. ඒ සදොස් ය.

සිව් මුව - මුහුණු හතරක් ඇත්තා 'සිව් මුව' නමි. ඒ මහා බ්‍රහ්මයා ය.

ස මුව - මුහුණු හයක් ඇත්තා 'සමුව' නමි. ඒ කඳකුමරු ය.

මරු මුව - මාරයාගේ මුඛය 'මරු මුව' යි. මහාචාර්ය සරච්චන්ද්‍ර මහතාගේ 'මනමේ' නාටකයෙහි කුමාරිය වැදි රජුට දොස් කියන්නේ

"මට පෙම් කළ ඒ මනමේ රජිඳා -

සටනට පොලඹා ගත්තේ ඔබ නේ

මා ගලවා ගන්නට ගොස් මා හින්දා -

මරු මුව වැටුණා මරු මුව වටුණා"

'මුව' යන පදයෙහි තවත් අරුත් කීපයකි. එකක් 'මුව' යන නමින් හැඳින්වෙන සතා ය. ඒ පදය සිංහලයට ආවේ 'මෘග' යන සංස්කෘත පදය අසුරිනි. 'මුව' යන පදය මුල් කොට සැදුණු සමාස පද සමහරක් මතු දැක්වේ.

මුව අං - මුවාගේ අං 'මුව අං' ය. ඒ මුව අඟකින් වැඩුණු අත්ත 'මුව අං දලුව' යි.

මුව දඩයම - තිස්ස රජ තුමාට මිහිඳු මා හිමියන් හමු වුණේ 'මුව දඩයමෙහි' යෙදී සිටි අවස්ථාවක ය.

මුව දෙන - මුවාගේ ගැහැනු සතා 'මුව දෙන' යි.

මුව පොව්වා - මුව පැටියා 'මුව පොව්වා' ය.

මුව රජ - මුව රැළේ ප්‍රධානියා 'මුව රජ' ය.

මුව වැද්දා - මුවන් මරන වැද්දා 'මුව වැද්දෙක්' ය.

මුව හසර - මුවන්ගේ හැසිරීම මෙන් ම මුවන් යන මඟ ද 'මුව හසර' යි.

සා මුවා - 'සා මුවා' යනු මුවෙක් නොවේ, වඳුරෙක් ය. සංස්කෘත භාෂාවෙන් වානරයා හැඳින්වෙන්නේ 'ශාඛා මෘග' යන පදයෙනි. ගස් අතු සෙලවෙන්නේ වඳුරන්ගේ පැනීම නිසා බව කව්සිළුමිණි කවියා කියන්නේ "සා මුවන් පින්මෙන්" (329) යනුවෙනි.

 

මාතෘකා