හොඳ මිසක් නරක නෙවෙයි!

 ඡායාරූපය:

හොඳ මිසක් නරක නෙවෙයි!

“ආ... උපාසක මහත්තයා! බොහොම දවසකින් නොවැ. එමු එමු මෙහාට...”

බුලත් විටක් හපමින් ඉස්තෝප්පුෙව් ඇඳි පුටුෙව් වාඩි වෙලා උන්නු ලොකු හාමුදුරුවො දැක්ක සුද්දප්පු, කරේ තිබුණු තුවාය අතට අරන් දණ ගහල වැන්දා.

“එහෙමයි හාමුදුරුවනේ... ගොයම් වැඩ නිසා කීප දොහකින් එන්න බැරි වුණා තමයි... මේං පෙරේදා කපපු කෝලිකුට්ටුවෙන් අපේ හාමුදුරුවන්ගෙ පංගුව...”

සුද්දප්පු පන්කොළ මල්ලෙන් අරන් කඩදාසියේ ඔතපු කෙහෙල් ඇවරි දෙක ටීපෝව උඩින් තිබ්බා.

“බොහෝම පින්... බොහෝම පින්... ”

“පියදාස ළමයෝ... මෙහෙ ආවනං! මේ කෙසෙල් ඇවරි දෙක දංගෙයින් තියල තේ කහට කෝප්පයක් හදාගෙන එමු අපේ උපාසක ඇත්තොට.”

“නැතත් කමක් නෑ හාමුදුරුවනේ... තව පොඩ්ඩෙන් රෑට කනවනේ... ඕං අපේ උන්දැ අද අල කොළ ඇඹුලක් උයනවා. මයෙ හිතේ පහුගියදා දානෙටත් උයලා ඇන්න ආවා...”

“ඔව්... ඔව්... බොහොම රහට තිබුණා දානෙ ටික... උපාසක මහත්තයට රෑට කන්න බැරි වෙන්නෙ නෑ, කහට කෝප්පයක් බොමු. මමත් දැන් බිව්වා විතරයි...”

“කොහොමද ඉතින්...? කුඹුරු හොඳට පැහිලද මේ පාර?”

“ඇස්වහක් කටවහක් නෑ මෙදා පාර නම් අපේ හාමුදුරුවනේ... අපි ඉතින් කුරා කූඹියෙකුටවත් වරදක් කොරනවා කියලයැ... වැස්සත් කලට වෙලාවට ලැබුණායිං හොඳට ගියා... පේරු දානෙට නොවැ හාමුදුරුවනේ අලුත් හාලෙ බත ඉව්වෙ .....”

පියදාස ගෙනාපු කහට කෝප්පෙ හකුරු කෑල්ලත් හපමින් බොන ගමන් සුද්දප්පු ගමේ තොටේ තොරතුරු කතා කරන්න පටන් ගත්තා.

“කොච්චර වැඩපොල වැඩිද කියනවා නම් ඕං කිරිහාමි බාසුන්නැහැගෙ මළගෙදරින් පස්සෙ අද තමයි පන්සල පැත්තෙ එන්ඩ ලැබුණ...”

“ඔව් හැබෑට... කිරිහාමි උපාසක නැති වෙලාත් දැන් පෝය දෙකක් ගෙවුණනේ...”

“මං මේ ඉන්න ගමන් කල්පනා කෙරුෙව් හාමුදුරුවනේ... එදා මළගෙදරදි කී දෙනෙක්නං බාසුන්නැහැගෙ ගුණ වර්ණනා කෙරුවද කියල. ඒ හුඟක් දේවල් එදා අහනකල් මම නම් දැනගෙන හිටියෙ නෑනෙ. හාමුදුරුවො අසනීප වුණ වෙලාවෙ දොස්තර වියදම්, බෙහෙත් වියදම් ඔක්කොම බාසුන්නැහැ ගෙව්වා කියල දැනගත්තෙ එදානෙ. තව කී දෙනෙකුට උදව් කරල තියෙනවා කියල කියවුණාද? ඉතින් හාමුදුරුවනේ අපි කවුරු කොච්චර ගුණ කිව්වත් බාසුන්නැහැට ඒව ඇහුණෙ නැහැනෙ... උන්දැට ඒ ටික ඇහුණා නම් කොච්චර නම් සන්තෝසයක් ඇති වෙයිද?”

“ඒක හැබැයි... ඒක හැබැයි...”

“ඉතිං හාමුදුරුවනේ, කෙනෙක් මැරෙනකල් ඉන්නෙ නැතුව ජීවත් වෙලා ඉන්න කාලෙදිම ඇයි අපි ඒ මනුස්සයාගේ හොඳ කියන්නෙ නැත්තෙ? අපිට බැරිද හාමුදුරුවනේ එහෙම කරන්න?”

“හ්ම්.... ඒක හොඳ අදහසක් තමයි උපාසක. තමන් කළ හොඳ වැඩ ගැන හිතල සතුටු වීමත් පිනක්නේ. ඒවගෙම තව කෙනෙක් ඒ ගැන මතක් කරල කෘතගුණ සලකන එකත් බොහොම හොඳ දෙයක්. සමහර වෙලාවට තමන් කළ දේවල් තමන්ටත් අමතක වෙනවා නොවැ.”

“ඒකනේ හාමුදුරුවනේ... අපිට බැරි වෙයිද එහෙම වැඩක් කරන්ට?”

“මයෙ හිතට ආව මෙහෙම දෙයක් උපාසක... පන්සලේ දායක සබාව රැස් වුණ දවසක අපිට පුළුවනි ඕක කරන්ට... කොයිකටත් ලබන සෙනසුරාදා කාරක සබාව රැස් වුණාම මම කථා කරල බලන්නම්කො... අපේ ලේකම් මහත්තයයි කාරක සබාවයි ඔය අදහසට අකමැති වෙන එකක් නෑ... සාකච්ඡා කරල බලලා මම සෙනසුරාදා හවසට උපාසක මහත්තයට පණිවිඩයක් එවන්නම්කො.”

තේවතුරට පස්සෙ බුලත් විටකිනුත් සප්පායම් වුණ සුද්දප්පු උපාසක තැන පන්සල්වත්ත පහු කරලා ගුරු පාරට හැරුණෙ ඇඟිලි දෙක තොලට තියලා කෙළ පාරකුත් ගහන ගමන්.

කිව්වත් වගේ සෙනසුරාදා හැන්දෑකරේ හාමුදුරුවන්ගේ පණිවිඩයත් අරගෙන පියදාස, සුද්දප්පු උපාසක හමු වෙන්න ගියා. පහුවදාට පුළුවන් වෙලාවක පන්සලට ඇවිත් යන්නැයි කියලයි හාමුදුරුවන්ගේ ඉල්ලීම. සුද්දප්පුට ලොකු සන්තෝසයක් දැනුණා තමන් කරපු ඉල්ලීම හරි ගිහින් තමයි කියල.

“ඔන්න උපාසක මහත්තයාගෙ අර අපූරු අදහස ක්‍රියාත්මක වෙන්නයි යන්නෙ.”

ලොකු හාමුදුරුවො බොහොම ප්‍රසන්න හිනාවක් ඇතුව කතාව පටන් ගත්තා.

“කාරක සබාවෙ කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ මේ වැඩේට... ඇත්තම කියනවා නම් බොහොම සතුටු වුණා... මෙහෙමයි අපි සාකච්ඡා කරගත්තෙ. අපි දිනයක් නියම කරගෙන දායක සබාව කැඳවනවා. දායක සබාව කිව්වට ගමේ ඕනම කෙනෙකුට මේ දවසට සහබාගි වෙන්න පුළුවන්. එතෙන්දි එක් එක්කෙනා ගැන අපි ඒ අය කරල තියෙන හොඳ වැඩ ගැන මතක් කරනවා. කිසිම කෙනෙක්ගෙ වැරද්දක් කථා කරන්නෙ නැහැ...”

“එහෙමයි හාමුරුවනේ...”

“පෘථග්ජනයො හැටියට අපි හැමෝගෙම හොඳ නරක දෙකම තියෙනවා උපාසක. හැම මනුස්සයෙක් ඇතුළෙම බෝධිසත්වයෙක් ඉන්නවා. ඒ බෝසත් ගති වැහිලා තියෙන්නෙ කෙලෙස්වලින්. සමහරුන්ගේ කෙලෙස් බලවත් වෙලා අර බෝසත් ගුණ වහලා දානවා. තවත් සමහරුන්ගෙ කෙලෙස් පරද්දගෙන බෝසත් ගුණ මතු වෙනවා. ඉතින් අපි ඒ බෝසත් ගුණ අගේ කරන එක හොඳ වැඩක්... එතකොට ඒ අය තව තවත් හොඳ වෙන්න බලනවා... මගෙ හිත කියනව මේක අපේ සමාජෙට බොහොම හොඳ ආදර්ශයක් වේවි උපාසක...”

“එහෙමයි අපේ හාමුදුරුවනේ... බොහොම සන්තෝසයි.”

ඊළඟ මාසෙ දෙවෙනි සෙනසුරාදාට දායක සබාව ඇතුළු පැමිණිය හැකි සෑම සියලු දෙනාටම පන්සලට එන ලෙස ආරාධනාවක් ගැන ආරංචිය ගම පුරා පැතිරුණා. හන්දියෙ කඩේ, පාලම ගාව සැලුන් එකේ, වී මෝලෙ, තැපැල් කන්තෝරුවෙ, මෙකී නොකී හැම තැනම ‘හොඳ මිසක් නරක නෙවෙයි’ කියන සිරස්තලය යටතේ ලියැවුණු දැන්වීම් පත්‍රිකා ඇලවුණා. එතන මෙතන රැස් වුණ ගම්මු අතර මේ ආරංචිය ගැන හොඳ වගේම මේ මොන විකාර වැඩක්ද කියනවා වගෙත් කතා ඇති වුණා.

කොහොමින් කොහොම හරි ඊළඟ මාසෙ සෙනසුරාදා හවස දෙකහමාර වෙනකොට පන්සලේ දායක සබා මඩුව පිරෙන්න සෙනඟ එකතු වුණා. සබාවෙ ලේකම්, ඒ කිව්වෙ ඉස්කෝලෙ විදුහල්පති ගුණසිරි මහත්තයා බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු ටික සූදානම් කළා. සබාව අවසානයේ තේ පැන් සංග්‍රහයක් කරන්න සයිමන් මුදලාලි ස්වේච්ඡාවෙන්ම බාර ගත්තා. සබාවෙ කටයුතු පටන් ගන්න ඔන්න මෙන්න වෙලා තියෙද්දි ලොකු හාමුදුරුවො හොයාගෙන දුවගෙන දුවගෙන ගියේ සුද්දප්පු.

“ඒකයැ හාමුදුරුවනේ... අලි ජංජාලයක් නොවැ!”

“ඇයි මොකද උපාසක?”

“හරි වැඩේ කියන්නෙ අපේ හාමුදුරුවනේ... අර හිර කළු බංඩත් ඇවිත්නේ...”

“ඉතින් මොකද උපාසක? ඕනැම කෙනෙකුට සහබාගි වෙන්න පුළුවනි කියලා අපි කිව්වනේ...”

“ඉතින් මොකද කියන්නෙ හාමුදුරුවනේ? කවුද උන්දැගේ හොඳක් කියන්නේ!”

“මම කිව්ව නොවැ... කාටවත් මොකුත්ම කියන්න නැති වුණොත් මම කථා කරන්නම් කියලා...”

“ඒ වුණාට අපේ හාමුදුරුවනේ...”

“උපාසක කලබල නොවී ඉන්නකො... කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.”

හැමෝම අසුන් ගත්තාට පස්සෙ ලොකු හාමුදුරුවොත් සුදු රෙද්දක් එලපු ඇඳි පුටුවේ වාඩි වුණා. පුටු පේළි ඔක්කොටම පිටුපසින් තනියම පුටුවක් ඇදගෙන වාඩි වෙලා උන්න හිර කළුබංඩයියා අරමුණක් නැතිව ඔහේ බලාගෙන හිටියා. ඒ මූණෙ දුකක්, එහෙම නැත්නම් සතුටක්, බලාපොරොත්තුවක්, තරහවක් මොකක්වත් නැහැ නේද කියල හාමුදුරුවන්ට හිතුණා.

මේ ඉන්නෙ දැනට අවුරුදු දොළහකට කලින් හිටි කළුබංඩා නෙවෙයි. ඒ කාලෙ උන්දැ හේන් කුඹුරු ගොවිතැනක් කරගෙන තමන්ගේ පාඩුවේ උන්නු මනුස්සයා. උන්දැගේ හාමිනේ දයාවතීත් බොහොම කඩිසරව ගෙදර දොරේ වැඩ කරගෙන පන්සලට දානෙත් උයාගෙන උන්නු උපාසිකාවක්. කාගේ අවාසනාවකට හරි ගමට අලුතෙන් ආව සරණපාල, තරුණ බිරින්දෑවරුන් දිහා හොරෙන් බලන අනංගයෙක් වුණා. කළුබංඩාට වඩා අවුරුදු 8කින් බාල දයාවතී, සරණපාලගෙ දැලට අහුවෙන්න වැඩි කලක් ගියෙ නෑ. එහෙන් මෙහෙන් කීප දෙනෙක් මේ ගැන කසුකුසු ගෑවාට කළුබංඩගෙ කනට නම් වැටුණෙ නැහැ.

ඒත් දවසක් රෑ කළුබංඩා හේනෙ පැලේ ඉඳල ඉසේ කැක්කුමක් නිසා මහ පාන්දර ගෙදර ඇවිත් දොර අගුල අරිනකොට දඩි බිඩි ගාල ජනේලෙන් පනින්න හැදුවෙ සරණපාල. යකා වැහිච්ච කළුබංඩා ඇඳයට තිබ්බ කඩුව ඇදලා අරන් කෙටුවත් කකුලෙ මස් වැදැල්ලක් කපාගෙන සරණපාල පැනලා ගියා. බයෙන් ගැහි ගැහී දොර මුල්ලට වෙච්චි දයාවතීට ලේ පෙරාගෙන බිම වැටෙනකල් කඩු පාර වැදුණා. කලබගෑනියෙ ගෝසාවට එකතු වෙච්ච වටේ පිටේ කට්ටිය දයාවතීව ඉස්පිරිතාලෙ අරගෙන ගියත් මඟදිම ඈ අවසන් හුස්ම හෙළුවා. වචනයක් කථා කරගන්න බැරුව ගල් ගැහිලා උන්නු කළුබංඩව පොලිසියට අරන් ගියා. හදිසි කෝපය නිසා මිනී මැරීමේ වරදට කළුබංඩා අවුරුදු පහළොවකට හිරේ ගියා. යහපත් කල්කිරියාව හින්ද අවුරුදු දහයක් හිරබත් කාලා ගමට ආව කළුබංඩගෙ නම, හිර කළුබංඩා වුණා.

එදා ඉඳන් කාත් එක්කවත් වැඩි ආස්සරයක් නැතුව කළුබංඩා හෙමිහිට ආයෙත් ගොවිතැන් වැඩ කරන්න පටන්ගත්තා. හංදියෙ කඩේට වුණත් ආවෙ වැඩි සෙනඟක් නැති වෙලාවක් බලාගෙන. කාගෙ හිතෙත් උන්දැ ගැන පොඩි අනුකම්පාවක් තිබුණත් වැඩි බජනෙට යන්න කවුරුත් ආවෙ නැහැ. මේ අවුරුදු දෙකටම පන්සල පැත්තෙත් ගියේ දෙපාරක් විතරයි. වෙච්චි සිද්ධිය සහසුද්දෙන් දන්න හාමුදුරුවෝ, කිසිම වෙනසක් නොපෙන්නා කළුබංඩ උපාසක පන්සලට පිළිගත්තා.

සබාවෙ වැඩ ආරම්භ වුණා. අද රැස්වීමට කාරණය මේකයි... මේ අදහස අපේ සුද්දප්පු උපාසක මහත්තයාගෙයි ... ආදී වශයෙන් හාමුදුරුවො සබාවට පැහැදිලි කිරීමක් කළා.

“හොඳයි. ලේකම් මහත්මයා විසින් මේ වාඩි වෙලා ඉන්න පිළිවෙලට මේ ඇත්තන්ගේ නම් කථා කළාම කරුණාකරල ඒ කෙනා නැඟිටින්න. සබාවෙ ඕනම කෙනෙකුට ඒ තැනැත්තා ගැන යම්කිසි හොඳ මතකයක් තියේ නම් නැඟිටලා ඒ ගැන කියන්න. කෙනෙක් ගැන අනෙක් අයට එහෙම මතකයක් නැත්නම් මට කථා කරන්න වාරය ලැබේවි...”

හාමුදුුරුවෝ එහෙම කාරණාකරණ පැහැදිලි කළාට පස්සෙ මුලින්ම නම කියවුණේ දාවිත් මාමගේ. බයිසිකලේ පැදගෙන ගම පුරා පාන් විකුණන දාවිත් මාමා, දවසක් ට්‍රැක්ටරෙන් වැටිලා කකුල කඩාගත්තු සාගර ළමයව බයිසිකලේම තියාගෙන දොස්තර ගාවට අරන් ගිය හැටි සාගරගේ අම්මා මතක් කළා. පන්සලේ අලුත්වැඩියා වැඩ කරන දවස්වල දාවිත් මාම බොහොම උදව් කළ බව හාමුදුරුවන්ගෙන් කියැවුණා.

ඊළඟට නම කියවුණේ සයිමන් මුදලාලිගේ. බොහොම සාධාරණව සිල්ලර කඩේ වෙළඳාමක් කරගෙන ඉන්න මුදලාලි ගැන බොහොමයක් හොඳ කියවුණා.

“අනේ අපේ මුදලාලි හැම සිංහල අවුරුද්දටම බරබාගේ පුරවගෙන ගෙවල් ගානෙ තෑගි දීගෙන යනවා අපේ හාමුදුරුවනේ... සීනි, තේකොළ, කරවල, බිස්කට් පැකට්... සමහර දාට කිරිපිටි පැකට් එකකුත් අපිට ලැබුණා... අනේ බොහොම පින් මුදලාලි!”

එහෙම කිව්වෙ කොන්ද එක අතකින් අල්ලගෙන අමාරුවෙන් පුටුවෙන් නැඟිටපු ඇල්පි නෝනා.

හාමුදුරුවො කිව්වත් වගේ හැමෝම ගැන කාගෙන් හරි හොඳක් කියවුණා. මහන්සියක් නොබලා අනිත් හැමෝගෙම ගොයම් හැදිලි, ගොයම් කැපිලිවලට උදව් වෙන සුද්දප්පු ගැනත් බොහොමයක් හොඳ අහන්න ලැබුණා.

මෙහෙම ගිහින් අන්තිමට ආවේ හිර කළුබංඩගෙ වාරෙ. නම කියවුණාම වටපිට බලලා හෙමීට නැගිට්ට කළුබංඩා ඔහේ ඉස්සරහ බලාගෙන හිටියා. සබාව මීයට පිම්බා වගේ වුණා. තත්පර පහක්... දහයක්... විස්සක්... මිනිත්තුවක් වගේම ගෙවිලා ගියා. “මම නම් හිතුවා ඕක වෙයි කියල...” සුද්දප්පු හිතෙන් කියාගත්තා.

මෙහෙම බලාගෙන ඉඳලා හාමුදුරුවො කට අරින්න හැදුවා විතරයි, කවුද නැගිට්ටා. කවුද? සබාව මැද පේළියක උන්නු සඳරුවන්. සඳරුවන් ගමේ ඉස්කෝලෙන් උසස් පෙළ සමත් වෙලා දැනට විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න හොඳ හැදියාවක් තියෙන තරුණයෙක්.

ඒ එක්කම වාඩි වෙලා හිටිය පුටුවෙන් නැඟිටින්නත් කලින් කථා කරන්න පටන් ගත්තෙ සිරියාවතී උපාසකම්මා. පුතා ලොකු මහත් වෙලා මේසන් බාස් වැඩ ඉගෙන ගෙන මිනිහෙක් වෙලා ගේ පොඩ්ඩ හදන්න කලින්, අකල් මරණයකින් සැමියා නැති වුණ සිරියාවතී, පුතත් එක්ක ජීවත් වුණේ කටුමැටි පැලක.

“මම කියන්ඩ හදන්නෙ මේකයි අපේ හාමුදුරුවනේ... අපි ඒ දවස්වල උන්නු කටුමැටි ගේ කෑල්ල කොයි කාටත් මතක ඇති නොවැ. ඕං දවසක් ඉල් මහේ වැහි කාලෙක හුළඟට වහළෙ අතු ටික ඉගිල්ලිලා බිච්චි ටික තෙමෙද්දි මං කොලුවත් එක්ක හූල්ල හූල්ලා අඬා වැටුණා. අපේ කළුබංඩයිය ඔතනින් යන්ට ඇවිත්... අනේ අප්පේ! වැහිපොදවත් නොබලා වහලෙට ගොඩ වෙලා ෙපාල්අතු ටික හෙවිල්ලලා දුන්නනේ... එදා එහෙම නොවුණා නං... මායි කොලුවයි තෙමිලා නහින්න ඉඩ තිබුණා නොවැ... අනේ උඹට පින් කළුබංඩයියා...!”

සඳරුවන් කටහඬ අවදි කළා.

“මම හතරෙ පන්තියෙ ඉන්නකොට දවසක් ඉස්කෝලෙ යන ගමන් කඩේට ගොඩවැදුණා පැන්සලක් ගන්න. කළුබංඩ මාම එතන බංකුව උඩ ඉඳගෙන ආප්ප කකා හිටියා. උදේට කෑමක් නැතුව ආපු මට ආප්ප සුවඳට හුඟක් බඩගිනි දැනුණා. මාමට ඒක තේරිලා වගේ ළමයො අාප්ප කමුද කියල ඇහුවා. මට සල්ලි තිබුණෙ පැන්සලක් ගන්න විතරයි. මම කිව්ව ඕන නෑ මාමෙ කියල. මෙන්න මෙහෙ වරෙන් ළමයො කියල මාව ළඟට ඇදගෙන මාමගෙ ආප්ප පිඟාන මට ළං කළා. තව ආප්ප කීපයකුයි තේ වතුරයි අරගෙන මාමා මම කන කල් හිනා වෙවී බලාගෙන හිටියා. එදා විතරක් නෙමෙයි, කීප දවසක් මට කඩෙන් කෑම ජාති පොත්, පැන්සල් අරන් දීලා තියෙනවා. කළුබංඩ මාමාට බොහොම පින්!”

සඳරුවන්ගෙ කතාවට කීප දෙනෙක්ම හැරිලා කළුබංඩ දිහාවට කරුණා මුසු බැලුම් හෙළුවා. කළුබංඩා කරේ තිබුණු තුවායෙන් ඇස් පිහදා ගත්තා.

ඉන් පස්සෙ හාමුදුරුවො කථා කළා.

“හැම මනුස්සයෙක් ඇතුළෙම බෝධිසත්වයෙක් ඉන්නවා උපාසක. මං කලින් කිව්වා වගේ අපි කවුරුත් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නෙ හොඳම අරගෙන නෙවෙයි. සමහර වෙලාවට අපේ නරක මතු වෙලා අපේ බෝධිසත්වයා මරා දමනවා. ඒත් කා තුළත් බොධිසත්වයෙක් ඉන්න බව අපි අමතක කරන්න නරකයි.”

හාමුදුරුවො තවත් දිගට දේශනා කළා. ඒ මුළු කාලයම කළුබංඩා, කරේ තුවාය අතට අරගෙන නොසෙල්වී ලොකු හාමුදුරුවන් දිහා බලාගෙන සිටියා.

මාලා විජේකෝන් - උතුරු කැලිෆෝනියාව

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

***********

විමසුම

පන්සල සහ ගැමියා පිළිබඳ කතාන්දරය සිංහල කෙටිකතාවේ ඉතා සුලබ ෙත්මාවකි. එහි බොහෝ විට තුන්කොන් සබඳතාවක් ඇත. එක් කොනක පන්සලේ ලොකු හාමුදුරුවන්ය. තව කොනක ගැමියෙක්ය. අනෙක් කොනේ ගමය. මෙම කෙටිකතාවේද එම ත්‍රිකෝණ සබඳතාව ඇත. එහෙත් මින් ඉදිරිපත් වන්නේ පරණ කතාව නොවේ. එය අලුත් කතාවකි. සැබෑ ලෝකයේ එවැනි කතාවක් සිදු වූයේදැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතු විය හැකිය. එහෙත් මෙම කතාවට එය අදාළ නැත. මින් විශාල වින්දනයක් හා ජීවිතය පිළිබඳ දයානුකම්පිත හැඟීමක් ඇති වේ. එනිසා මෙය සාර්ථක කෙටිකතාවකි.

එහෙත් මෙහි ගැටලුවක්ද ඇත. මෙහි කතාව ප්‍රබන්ධයක් දක්වා වඩා වර්ධනය වී ඇතිද යන කුකුස ඇති වේ. ප්‍රබන්ධය යනු අත්දැකීමක් යථානුරූපීව ඉදිරිපත් කිරීම නොවේ. කතාව විශ්වසනීය වන අතර එය කල්පනා ලෝකයක් බවට පත් විය යුතුය. එය කතාකරුවාගේ බල භූමිකාවෙන් බැහැරව ‘අයාලේ’ යා යුතුය. එම ‘අයාලේ යෑම’ මෙහි දක්නට නැත. සාර්ථක කතාවක් වීමට ‘අයාලේ යෑම’ අවශ්‍යම නැත. එහෙත් කතාකරුවකුගෙන් තමා කියන දේ අවලෝකනය වන්නේ - ඊට නව නැණසක් (Insight) ලැබෙන්නේ - කතාන්දරය චරිතවල මෙහෙයවීමෙන් ‘අයාලේ ගිය’ විටය. මෙම කෙටිකතාවේ ගැටලුව සේ මට පෙනෙන්නේ එහි එබඳු ගමනක් නොමැති වීමත් ඒ තුළ ප්‍රස්තුතය අවලෝකනය නොවීමත්ය.

මෙම කතාවෙන් වර්තමාන ගම - පන්සල - ගැමියා පිළිබඳ කතාව කියවේදැයිද කෙනෙකුට ඇසිය හැකිය. මට නම් එවැනි ගැටලුවක් නැත. ප්‍රබන්ධයට වැදගත් වන්නේ ප්‍රස්තුතය නොවේ, කවර ප්‍රස්තුතයක් වුව අවලෝකනය වීමය. ඒ අවලෝකනය මෙහි නොමැති වීම නම් ප්‍රශ්නයකි.

- සංස්කාරක

News Order: 
3
මාතෘකා