සාහිත්‍ය පරිවර්තනයේදී මුල් සංස්කෘතික වර්ණය රැකිය යුතුයි

 ඡායාරූපය:

සාහිත්‍ය පරිවර්තනයේදී මුල් සංස්කෘතික වර්ණය රැකිය යුතුයි

ප්‍රවීණ කිවියර පරාක්‍රම කොඩිතුවක්කු

ප්‍රවීණ කිවියර පරාක්‍රම කොඩිතුවක්කු කවියා සමඟ පැවැත්වූ මෙම සංවාදයේ මුල් කොටස ඔක්තෝබර් 11 වෙනිදා පළ විය. මේ, එහි දෙවන කොටසයි

.මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී ඔබේ ‘යැංසි කාව්‍ය නදී’ පරිවර්තන කාව්‍ය සංග්‍රහයට හොඳම කාව්‍ය පරිවර්තන කෘතියට හිමි සම්මානය හිමි වුණා. ඊට පෙර ඔබ ලියූ ‘රතු රෝස නිල් රෝස’ පරිවර්තන කාව්‍ය සංග්‍රහයත් රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී ඇගයීමට ලක් වුණා.

මම පරිවර්තන කාර්යයෙන් ලොකු ආස්වාදයක් ලබනවා. මං කලින් කළ ‘රතු රෝස නිල් රෝස’ කාව්‍ය පරිවර්තනය රටවල් තිහක කාව්‍ය එකොළොස් දාහක් කියවලා හොඳම කවි දෙසීය පරිවර්තනය කිරීමක්. ඒ කවි කියවන කෙනෙකුගේ කවීත්වය පුපුරා යනවා කියල මං විශ්වාස කරනවා. මම කාව්‍ය පරිවර්තනය කරන්නෙ මුල් කාව්‍යයේ හැඟීම් බස අල්ලාගෙනයි. මට ඒක දැනෙන්නෙ හරියට කාගේ හෝ සිහින සොරකමක් වගෙයි. සිහිනයක් දකින කෙනෙකුගේ සිහිනයක් තවෙකෙකුට සොරකම් කරන්න බෑනෙ. ඒත් පරිවර්තකයා තමාගේ ඉන්ද්‍රජාලික මහිමයෙන් ඒ සිහිනය සොරකම් කරනවා. මුල් රුව ගුණ ඇතිවම සොරකම් කරනවා. සමහරු මුල් කවියාටත් වඩා හොඳට එය සොරකම් කරනවා. මං හිතන්නෙ සාර්ථක පරිවර්තනයක් කියන්නෙ අද්භූතයක්. ඒවගේම එය මහා සංස්කෘතික ගනුදෙනුවක්. අද ලෝකයේ දැවැන්තම සංස්කෘතික ගනුදෙනුව පරිවර්තනයයි. ඒ පරිවර්තන කාර්යය නැත්නම් අපි ඒ රටවල පුංචි මිනිස්සු වෙනවා.

ඔබේ පරිවර්තන ක්‍රමවේදය කුමක්ද? එනම් ඔබ පරිවර්තනයේදී මුල් කෘතියට අවංක වෙනවාද? මුල් කෘතියේ වචන එහෙමම ගෙන ‘වර්ඩ් ටු වර්ඩ්’ පරිවර්තනයක් කරනවාද?

ඔබ කී සියල්ල අද යල්පැනගිය කාරණා. පරිවර්තකයා ද්‍රෝහියෙක්ය, කවිය පරිවර්තනය කරන්න බෑය යනාදී වශයෙන් කියූ සියලු මත අද බිඳ වැටිලා තියෙනවා. ඇත්තටම චීන කවි ඉස්සරලාම පරිවර්තනය කළේ ඉංග්‍රීසි කවීන්. ඔවුන් කළ ඒ සමහර චීන කවිවල ඉංග්‍රීසි පරිවර්තන චීන කවියට වඩා සුන්දරයි කියල අද චීන විචාරකයින්ම කියනවා. අද පරිවර්තනය ගැන පවතින අදහස් හරිම නවීනයි. එහිදී කෙළින්ම කියනවා පරිවර්තකයා කිසිසේත්ම මුල් කෘතියේ සිරකරුවකු නොවිය යුතුයි කියල. එහිදී පරිවර්තකයා තමාට අවශ්‍ය නිදහසක් පාවිච්චි කළ යුතුයි. ඒත් අනවශ්‍ය නිදහසක් පාවිච්චි නොකළ යුතුයි. ඒ කියන්නෙ මුල් කෘතිය වෙනස් කරමින් මුල් කෘතිය තවත් උද්දීප්ත කරන්න පරිවර්තකයාට පුළුවන්. මම පරිවර්තනයේදී අනුගමනය කරන්නෙ අන්න ඒ නිදහස් ක්‍රමවේදයයි. සමහර ඉංග්‍රීසි කවියක් මම පරිවර්තනය කරන්න පටන්ගන්නෙ මුල් පේළියෙන් නෙවෙයි, අග පේළියෙන්. ඒ කියන්නෙ කවිය අනික් පැත්ත හරවලා මම පරිවර්තනය කරන්නෙ. තවත් විධියකට කීවොත් මුල් කවියේ පද පේළිය මම මට ඕන විධියට සකසා ගන්නවා. සමහර උපමා ‐ රූපක මම එහිදී මට ඕන විධියට හදාගන්නවා. උදාහරණයකට මා පරිවර්තනය කළ එක් කවියක ධීවරයෙක් මාළුවෙකු අල්ලාගත් පසු සිදු වන දේ කියනවා. එහිදී ධීවරයා මාළුවා අවසන් හුස්ම හෙළනවා දකිද්දි ඌට මැරෙන්න දෙන්න බෑ කියල හිතලා ආපහු මාළුවා අල්ලලා මුහුදට දානවා. මම මෙය පරිවර්තනය කළේ ධීවරයා මාළුවා ආපසු මුහුදට දානවා කියල නෙවෙයි, මුහුදට ඇරලනවා කියලයි. අපි ළමයා ඉස්කෝලෙට ඇරලනවානෙ. පරිවර්තනයේදී ‘ඇරලනවා’ කියන වදන මම පාවිච්චි කළේ එවැනි වචනයකින් මුල් වදන සහ අරුත් වඩාත් උද්දීපනය වන නිසයි. ඉතින් අන්න ඒ වගේ නිර්භය විනිශ්චයකින් තමයි මම පරිවර්තනයේ යෙදෙන්නෙ. හැබැයි ඒ දේ කරන්නෙ එමගින් මුල් නිර්මාණය උද්දීපනය වෙනවා නම් පමණයි.

ඒත් සමහර පරිවර්තනවලදි අපට සාම්ප්‍රදායික රීතියම, විරිත් සහිත රාමුවම රකින්න වෙනවා. උදාහරණයකට විරිත් සහිත ජන කවියක් ගත්තොත් එය අපට විරිත් සහිත රාමුවෙන්ම පරිවර්තනය කරන්න සිදු වෙනවා. මොකද මුල් කවියේ ඇතුළත තිබෙන විරිත අපට කඩන්න හැකියාවක් නැහැ. මේ අනුව අපි පරිවර්තනයේදි කළ යුත්තේ මුල් නිර්මාණයේ මූලික හැඩරුව රැකගනිමින් පරිවර්තනයයි. මං හිතන්නෙ පරිවර්තකයාට පවතින අභියෝගයත් ඒකයි.

ඔබ කියනවා පරිවර්තනය මුල් පේළියෙන් නොව අග පේළියෙන් පටන් ගන්නවා කියල. ඒත් නිර්මාණයක පවතින භාවය, වර්ණය, රිද්මය, ශෛලිය ආදිය එවැනි පරිවර්තන රීතියකදි හැලී යන්න පුළුවන්?

අපි හිතමු මිතරන් දෙදෙනෙකු දුවන දිවිල්ලක් කවියට ගන්නවා කියල. එහිදී දෙදෙනා දුවලා දුවලා හති වැටෙනවා. ඒත් දෙදෙනාගේ හති වැටිල්ල පරිවර්තනයේදී අග පේළියෙන් පටන් ගත්තොත් කවියේ හැඟීම අමුතුම ලෙස උද්දීපනය වෙනවා. එහිදී සිදු වන්නේ අත්දැකීමට නව පිවිසුමක් ඒමයි. එමගින් මුල් නිර්මාණයට කිසිම හානියක් වෙන්නෙ නෑ.

අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල වික්ටර් මාරි හියුගෝගේ ‘මනුතාපය’ පරිවර්තනය කරන්නේ මුල් ප්‍රංශ නම් සිංහල කරලායි. උදාහරණයකට ඔහුගේ කෘතියේ එන ජනවර්ජන, මංජුල පියා, ජීන් වැල් ජීන් ආදී නම් එකලා සිංහල කළ නම්. ඔබ මේ පරිවර්තන රීතිය පිළිගන්නවාද?

සමහර විට එවැනි පරිවර්තන රීතියකුත් ඕන වෙන්න පුළුවන්. එය තීරණය වන්නේ ඒ ඒ අවස්ථාවන් අනුවයි. උදාහරණයකට මේ ළඟදි මා දුටු පරිවර්තනයක නමක් තමයි ‘ඇනා ගෙල පැළඳ’. බලන්න, මේ මාතෘකාව සිංහල පාඨකයාට මොන හැඟීමක්ද ඇති කරන්නෙ කියල. කිසිම හැඟීමක් ඇති කරන්නෙ නෑ. චෙකෝෆ්ගේ කෙටිකතාවක ඇනා කියන චරිතයක් මාලයක් ගෙල පැළඳ ගන්න අවස්ථාවක් තියෙනවා. ඒත් කතාවට ‘ඇනා ගෙල පැළඳ’ කියල නම දැම්මාම එය මුළුමනින් අසාර්ථක සහ අනුචිත නම් කිරීමක්. දැන් ‘බල්ලා සමඟ යන කාන්තාව’ කියන නම අපට දැනෙනවා. ඒවගේම සමහර කතාවල එන නම් අපට කිසිම භාෂාවකට ගන්න බැරි අවස්ථා තියෙනවා. ඇලෙක්සැන්ඩර් සොල්සිනෙට්සින්ගේ ‘මැටිල්ඩාස් හවුස්’ කියන කෙටිකතාවේ මැටිල්ඩා ඉන්න කුටියේ රුසියානු නම අපට වෙන කිසිම භාෂාවකට පරිවර්තනය කරන්න බැහැ. එතකොට අපට ඒ මුල් නමම සිංහලට දාන්න වෙනවා. ඒත් සමහර අවස්ථාවල අපට මුල් නම සිංහල කරන්න සිදු වෙනවා.

ඒත් චරිතවල නම් අපට සිංහල කළ හැකිද?

මගේ පරිවර්තන කාර්යය තුළ නම් චරිතවල නම් සිංහල කිරීමේ අවස්ථා පැනනැඟිලා නැහැ. හැබැයි අද නවීන පාඨකයකු ගත්තාම ඔහුට ලෝකයේ තියෙන නම්, වාසගම් හුරුපුරුදුයි. අපේ ඔය සිංහලෙන් දාලා තියෙන නම් ගත්තත් ඒ බොහොමයක් ලෝකයේම තියෙන නම්. උදාහරණයකට පීටර්ලා, සිංඤෝලා, කත්රින්ලා ලෝකයේම තියෙනවා. ඒ නම්වලින් සියයට අනූවක්ම ඉංග්‍රීසි නම්, ප්‍රංශ නම්, පෘතුගීසි නම්, ලන්දේසි නම්. එතකොට කැල්වින් කියල නමක් ආවොත් ඒක සිංහල කරලා පරිවර්තනය කරන්න ඕන නෑ. ඒ නිසා මං කියන්නෙ පරිවර්තනයේදී අනවශ්‍ය හෙළ ඌරුවක් ගේන්න ඕන නෑ කියල. අනෙක් අතට එහෙම හෙළ ඌරුවක් ගෙන ඒම රස විඳීමට බාධාවක්.

පරිවර්තනය කියන්නෙ සංස්කෘතියක් තව සංස්කෘතියකට පෙරළීමක්. එවිට අපට මුල් නම් වෙනස් කිරීමේ හැකියාවක් නැහැ.

පැහැදිලිවම පරිවර්තකයා කරන්නෙ සංස්කෘතික දූත මෙහෙවරක්. එවිට පරිවර්තනයේදී මුල් සංස්කෘතික වර්ණය අවශ්‍යයි. එහෙම නොවුණොත් අපට රස විඳින්න බැහැ. ඒවගේම අපට පරිවර්තනයේදී මුල් වචන ගැටමුසු කරන්නත් බැහැ. පරිවර්තනයට ගැටපද විවරණ දෙන්න බැහැ.

ගාර්සියා මාර්කේස්ගේ ඉංග්‍රීසියට පැමිණි Love in the Time of Cholera නම් නවකතාව සිංහලට එන්නේ ‘කොලරා කාලේ ආලේ’ නමින්. මට හැඟෙන්නේ මේ සිංහල ග්‍රන්ථ නාමය ඉතා අවියත් බවයි. ඒවගේම මුල් නමේ නැති අනුප්‍රාසයකුත් ඊට ගෙනැවිත් තියෙනවා.

මුල් ස්පාඤ්ඤ නම කොයි විධියද කියල අපි දන්නෙ නෑ. ඒත් ඉංග්‍රීසි නමේ එවැනි අන්‍රපාසයක් නැති බව අපට පේනවා. ඇත්තටම පරිවර්තනයකදි අපට අනවශ්‍ය අලංකාර ඇති කරන්න බැහැ. පරිවර්තනයේදී අපි මුල් කෘතියේ ඇති සියුම් ධ්වනිය වටහාගත යුතුයි. එහෙම වටහා නොගෙන කළොත් එය මුල් කෘතියට කරන හානියක්.

• අද සාහිත්‍ය කෘති සමීක්ෂණයේදී පරිවර්තන කෘති සමීක්ෂණය වන්නේ මුල් කෘතිය නොකියවායි. මුල් කෘති කියවනවා යැයි කියන සමීක්ෂණවලත් එය නිසි ආකාරයෙන් කෙරෙන්නේ නැහැ. මෙවිට මුල් කෘති විකෘති කළ පරිවර්තන සාහිත්‍ය සම්මානවලින් පිදුම් ලබන තැනට පත් වී තිබෙනවා?

මම දකින්නෙ අද පරිවර්තන කාර්යය වේගයෙන් වාණිජගත වෙලා. ඇතැමුන් මාසයකට පරිවර්තන කෘති දෙක, තුන කරන්නෙ ඒ නිසයි. මෙය ඊනියා පරිවර්තකයන්ටත් ප්‍රකාශකයන්ටත් ඉල්ලමක්. ඔබ ලියූ තීරුවක මම දැක්කා ප්‍රකාශකයකු ළඟට අත්පිටපතක් අරගෙන ගියාම ප්‍රකාශකයා අහනවා “නවකතාවක් එහෙම නැද්ද?” කියල. ඒකෙන් පැහැදිලි වෙනවා ප්‍රකාශකයන් නවකතාකරණය කොහොමද අරගෙන තියෙන්නෙ කියල. නවකතාව විතරක් නෙවෙයි, කවියටත් අද වෙලා තියෙන්නෙ ඕක. අද සාහිත්‍යයට පිවිසෙන ලාභම දොරටුව වෙලා තියෙන්නෙ කවිය. හුඟක් අය විශ්‍රාම ගිහිල්ලා කවි පොත් එළිදක්වනවා. මං හිතන්නෙ කවිය ජීවිතය එක්කම ලියලන දෙයක්. ජීවිතය එක්ක යන ජීව යාත්‍රාවක්. විශ්‍රාම ගිය වයසෙදි පාළුව මකාගන්න කුරුටු ගාන කවි තනිකර ව්‍යාජයක්. අද කවි පොත් මුද්‍රණය කරන්නෙ පිටපත් දෙසීය ගානෙ. මේක ප්‍රකාශකයන්ගේ උප්පරවැට්ටියක්. අද ලේඛකයන් බිහි කරන්නෙත් ප්‍රකාශකයො. සම්මාන ලබාදෙන්නෙත් ප්‍රකාශකයො.

• ස්වර්ණ පුස්තක සම්මානය පසුගිය කාලයේම බෙදී ගියේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ ප්‍රකාශකයන් හතර පස් දෙනෙකු අතරයි.

ලංකාවේ දේශපාලනය වගේම ලංකාවේ සාහිත්‍යයත් හොරමුලකට අහු වෙලා ඉවරයි. ඒක සාමාන්‍ය පාඨක සමාජය දන්නවා දැන්. ඒ නිසා එම පාඨකයන් අද කියන දෙයක් තමයි නවකතා කොච්චර ලියවුණත් ඒවා කියවන්න රසයක් නැහැ කියල. ඒත් ප්‍රකාශකයන් කොහොම හරි සම්මානවලින් තමන්ගේ වෙළෙඳපොළ හදාගන්නවා. මින් පෙනෙන්නෙ සාහිත්‍යය හසු වී ඇති වාණිජ ප්‍රවාහයයි. මුල් කාලය ගත්තත් අපට කොච්චර වෛවර්ණයෙන් යුතු නවකතා හමු වුණාද? ‘විරාගය’, ‘කරුමක්කාරයෝ’, ජනතාවගේ හද ඇදබැඳ ගන්නා ‘ගොළු හදවත’ ආදී එකිනෙකට වෙනස් නවකතා අපට හමු වෙනවා. එවැනි තත්ත්වයක් අද නැහැ.

• පරිවර්තනයේදී දුෂ්කරම වන්නේ කාව්‍ය පරිවර්තනයයි. එසේ වන්නේ ඇයි?

කාව්‍ය පරිවර්තනය ඉතා සූක්ෂ්ම ව්‍යාපාරයක්. මං අදහන විධියට කවියක් පරිවර්තනය කරන්න පුළුවන් කවියකුට පමණයි. කවියා තමයි කවියේ යටිපෙළ අල්ලා ගන්නෙ. පදගත පරිවර්තනවලින් කවි බිහි වෙන්නෙ නැහැ. කවි ලිවීම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාව්‍ය කුසලතාවක් නැති කෙනෙකුට එය කරන්න බැහැ. ඒවගේම කවි බසක් කෙනෙකුට පැවතිය යුතුයි. ඓතිහාසික භාෂා ගංගාවේ පිහිනා යන කෙනෙකුට විතරයි කවියක් ලියන්න පුළුවන්. දැන් ඔය ලියන කවි ඔක්කොම කවි නොවෙන්නෙ එහි භාෂාවක් නැති නිසයි. කවි කොළකරුවාගේ භාෂාව හැදිලා තියෙන්නෙ කොහොමද කියල මම ‘සකල සිරින් පිරි කවි කොළේ’ විග්‍රහ කරලා තියෙනවා. එහි පුදුමාකාර උසස් භාෂා සංස්කෘතියක් තියෙනවා. එය හුදු ගැමි වහරක් නෙවෙයි, වියත් වහරක්. ඒ තුළ නොනැසී සම්භාව්‍ය වියත් වහරත් කොළඹ කවි බසත් ගලාගෙන එනවා. අද දවසේ ගීතවලට සමාන කවිත් එනවා. කවි බසේ මිරකල් එක තමයි භාෂාව එහි දැවැන්ත ලෝක වෘක්ෂයක් වෙලා. එහි දැවැන්ත ශාඛාවල් අහස දක්වා පැතිරී තිබෙනවා. එහි මුල, අග සොයන්න බැහැ. එක භාෂාවක ශබ්ද, නිරුක්ති තව භාෂා ගණනාවක තියෙනවා. අපි අම්මා, තාත්තා, මාතා, පිතා කියන වචන ඉංග්‍රීසියේ තියෙන්නෙ මමා. පපා කියල. ෆාදර්, මදර් කියල. එතකොට මේවා එක මහා මූලයකින් එන බව පේනවා. ඒ අනුව භාෂාව ඓතිහාසික රජයීම් සහිත මහා ගංගාවක්. සියලු භාෂා ප්‍රභේද එහි මිණි, මුතු වගේ ගලා එනවා. පාවී එනවා. ඒ නිසා හොඳ කාව්‍ය නිර්මාණයක භාෂා ඉතිහාසයම එනවා. ඒ තුළයි කවිය අමුතු ආත්මයක් ලබන්නෙ. මිනිසාගේ ගැඹුරුම මනසට කථා කරන්නෙ. ඒ ගැඹුරුම මනසට කථා කරන ඓතිහාසික මන්ත්‍රය තමයි ඓතිහාසික භාෂාව. අද දවසේ භාෂාව නෙවෙයි. කවියට අද දවසේ භාෂාව කියල එකක් නෑ. එහි තියෙන්නෙ ඓතිහාසික භාෂාවක්. පරිනාමීය භාෂාවක්. අද දවසේ කවිවල තියෙන්නෙ “මගේ ගීතය ෂට් ඩවුන් වෙනවා” කියලනෙ. ඔවුන් හිතනවා මුඛරි චවන තුන හතරක් දැම්මාම කවියක් බිහි වෙනවා කියල.

• කවි කොළකරුවාගේ කවි බසේ අපට වර්තමාන කවීන්ගේ කවි බසේ දක්නට නොමැති විවිධ භාෂා සම්ප්‍රදායන්ගේ සම්මිශ්‍රණයක් දකින්න පුළුවන්. එනම් සම්භාව්‍ය වියත් වහරත් ගැමි වහරත් හෙළ වහරත් කොළඹ කවි වහරත් එහි සංකලනය වෙලා තියෙනවා. ඒවගේම සමාජ හද ගැස්ම එහි ඉතා මැනවින් දක්නට ලැබෙනවා.

කවි කොළ කවියාගේ බසේ ඇති ඓතිහාසික යථාර්ථය ඔබ හරියටම දැකලා තියෙනවා. කවි කොළ කවියා ජන කවියෙක්. ඒ නිසා ඔහුට දෘෂ්ටිගත වීමක් නැහැ. ඔහු සියල්ල දෙස බලන්නේ නිදහස් මනසින්. ඔවුන් කවි කොළයේදී හැම දෙයක් ගැනම කථා කරනවා. අනගාරික ධර්මපාලතුමාගේ නිදහස් සටන් ව්‍යාපාරය තුළ තිබූ සෑම සමාජ ප්‍රපංචයක්ම කවි කොළ කවියා කථා කරනවා. අනගාරික ධර්මපාලතුමා එදා වැඩියෙන්ම කථා කළේ කළු සුද්දන් ගැන. එකදාස් නවසීයේ බිහි වන කවි කොළ බැලුවාමත් ඒ වැඩි හරියක අපට පෙනෙන්නෙ කළු සුද්දන් ගැන කියපුවා. ඒ අනුව ඔවුන් අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරය ආදර්ශ කරගෙන තියෙනවා. ඊළඟට මෙකල බිහි වන නවකතා බලන්න. ‘තෙරීසා’, ‘මහා වියවුල’... බලන්න, ‘මහා වියවුල’ කියන නම අද දවසේ ලියවෙන නවකතාවකට යොදන්න බැරිද? අද නාට්‍යයකට පවා ඒ නම ගන්න පුළුවන්. ඒ නම අද ගැටලුවට කොච්චර උචිතද? එදා නවකතාකරුවාගේ චරිත ඕඩර් කරන මත්පැන් වර්ග සංඛ්‍යාව පවා නවකතාවේ දානවා.

විස්කි මෙච්චරයි, බ්‍රැන්ඩි මෙච්චරයි කියල. ඊළඟට තෙරීසා උදේ දවස පටන් ගන්න තැන ඉඳලා හවස් වෙනකන් ඇගේ දින චර්යාව නවකතාකරුවා දානවා. ඉන් ඇගේ ජීවන ශෛලිය අපට පිංතාරු කරලා පෙන්වනවා. එදා ජන කවියා ලියනවා අධ්‍යාපන අවුල කියල. එදා මිෂනාරී අධ්‍යාපනය ගැන ඇති වූ අවුල ඔහු එසේ කියනවා. ඒ කියන්නෙ එදා ශිෂ්‍යයන් ලෝකයේ විල් ගැන දන්නවා, ගංගා ගැන දන්නවා, ඒත් මෙහේ වැව් අමුණු ගැන දන්නෙ නෑ. පිටරට ඉන්න රොබින් කුරුල්ලා ගැන දන්නවා, ඒ වුණාට මෙහේ පිළිහුඩුවා ගැන දන්නෙ නෑ කියල කියනවා. එදා ඇඳුම් පැළඳුම් ගැන කවි කොළ කවියා කථා කරනවා. ඒවගේම එදා මිනිස්සු මහා ඉඩම් කොල්ලයට හසු වෙලා කම්කරු වැටුපක් ලබන හැටි කියනවා. බටහිර ස්ටයිල් බෝ වීම ඔහු ‘සංකර කුලප්පුව’ කියල විස්තර කරනවා. ‘බත නැති වූ හැටි’, ‘අහර නිදහස’ ආදිය ගැන ලියනවා. ඔවුන් එක් පසෙකින් මිනිස්සු ජාතික අරගලයට සම්බන්ධ වූ හැටිත් ඇනෙක් පසින් සංස්කෘතික අරගලයට දායක වූ හැටිත් ලියනවා. කරත්තකරුවන්ගේ වැඩවර්ජනයේ ඉඳලා කම්කරු සටන් දහස් ගණනක් ගැන කවි කොළකරුවා ලියනවා. මං හිතන්නෙ ඒවා බිහි වෙන්නෙ කවි කොළකරුවා ඉතාම නිදහස් මනසින් ලෝකය දිහා බැලූ නිසයි.

කවි කොළ කවියාගේ නිර්මාණවල සමාජ හදගැස්ම තියෙනවා. ඔහු ලියන දේ හරි අවංකයි. සින්සියර්. සාහිත්‍යයක ඇති විශිෂ්ටම ගුණාංගය සාහිත්‍යමය අවංකභාවයයි. ඉංග්‍රීසි විචාරකයො මෙය හඳුන්වන්නේ ලිටරරි සින්සියරිටි (Literary Sincerity) කියල. අද අපේ බොහෝ සාහිත්‍ය කෘතිවල නැත්තේ ඒ සාහිත්‍යමය අවංකභාවයයි. ඒක අපට දැනෙනවා. ඒත් කවි කොළ කවීන් සමාජයේ නිදහස් ක්‍රියාධරයො විධියට සෑම ගැනම අවංකව දැනෙන හැඟීම් ලිව්වා. ඔවුන්ට දැක්මක් තිබුණා. මොරල් බේසිස් එකක් (Moral basis) තිබුණා. හොඳ නරක පිළිබඳව, පින් පව් පිළිබඳව ආකල්පයක් තිබුණා.

• කලාකරුවාට සමාජය නොසන්සුන් කරන්න බැහැ.

ඔව්. ඔහුට සමාජ කලඹන්න බැහැ. හැත්තෑව දශකයේ බටහිර ලෝකයේ ප්‍රතික්ෂේප කළ ප්‍රවණතාවක් තමයි පශ්චාත් නූතන වාදය. ඒත් අපි ඒක සනාථන දහමක් විධියට මෙහෙට ගෙනාවා. දැන් අපි පාවුලෝ කොයියෝ ගෙනත් තියෙනවා. පාවුලෝ කොයියෝගේ ඇතැම් පොත් කුණුහරුප. ඔහුම කියා තියෙනවා ඔහු අන්තිමට ලියූ පොත් ඔහුගේ මරණයෙන් පස්සෙ ගිනි තියන්න කියල. ඒත් අපි ඒ අයින් කළ යුතු ඔහුගේ පොත් ඔසොවනවා. මං හිතන්නෙ මේවා අපි අරගෙන තියෙන්නෙ කිසිම විචක්ෂණශීලීත්වයක් නැතිව. ෆ්‍රොයිඩ් පවා අපි අරගත්තේ එහෙම. ලෝකයේ ඇන්ටි ෆ්‍රොයිඩිස්ම් තිබුණා. අපට ඒක ආවේ නැහැ. ඇන්ටි මාක්සිස්ම් ලෝකයේ තිබුණා. අපට ආවේ නැහැ. ඇන්ටි මාවෝවිස්ම් ආවේ නැහැ. එහෙම ආවොත් තමයි අපට සත්‍යය තෝරාබේරා ගන්න පුළුවන්. තවමත් “මම භෞතිකවාදියෙක්” කියල කියාගෙන කථා කරන්න වාඩි වෙන කලාකරුවෝ ඉන්නවා. ලේඛකයො ඉන්නවා. සංගීතඥයො ඉන්නවා. ඔවුන් වාඩි වෙන්නෙම “මම භෞතිකවාදියෙක්” කියල. මට නම් එතකොට හිතෙන්නෙ මේ මිනිහා මොන අඥානයෙක්ද කියල. භෞතිකවාදය බිඳ වැටුණේ ද්‍රව්‍ය බිඳ දැමුවාට පස්සෙ තවදුරටත් ද්‍රව්‍ය නැති බව, ඇත්තේ ශක්තීන් බව පෙන්නුම් කළාට පස්සෙ. අද ක්වොන්ටම් සයන්ස් කියන්නෙ ශක්ති විද්‍යාවක්. තරංග විද්‍යාවක්. භෞතිකය අද නැහැ.

සාකච්ඡා කළේ [රවීන්ද්‍ර විජේවර්ධන]

News Order: 
11
මාතෘකා