මොහාන් රාජ්ගේ ලේඛන ශෛලිය මාව ආකර්ෂණය කළා

 ඡායාරූපය:

මොහාන් රාජ්ගේ ලේඛන ශෛලිය මාව ආකර්ෂණය කළා

සෝමසිරි මුණසිංහ

මොහාන් රාජ් මඩවල විසින් රචනා කරන ලද ‘ලොවීනා’ සහ ‘ආදරණීය වික්ටෝරියා’ නවකතා ද්විත්වය කැනඩාවේ වෙසෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සෝමසිරි මුණසිංහ විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත. මේ පරිවර්තන කෘති ජනගත කිරීමේ උත්සවය නොවැම්බර් 09 වැනි සෙනසුරාදා කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘මිසිසාගා’ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මුලසුන හොබවන මේ උත්සවයට කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර සහ ලේඛිකා ශමෙල් ජයකොඩි සහභාගි වීමට නියමිතය. කැලණිය විශ්වවිද්‍යාලයේ ඇලුම්නි සංගමයේ ටොරොන්ටෝ නුවර ශාඛාවත් කැනඩා ලංකා සංස්කෘතික සහෝදරත්වයත් යාත්‍රා පුවත්පතත් එක්ව සංවිධානය කරන මේ උත්සවයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකව සිටි මහේෂි වීරකෝන් විසින් පරිවර්තනය කරන ලද මොහාන් රාජ් මඩවලගේ ‘බෝදිලිමා’ නමැති කෙටිකතා සංග්‍රහයේ ඉංග්‍රීසි පරිවර්තනයද ජනගත වනු ඇත.

මේ එම විශේෂ අවස්ථාව නිමිති කර ගනිමින් අප පසුගියදා මොහාන් රාජ් මඩවල සහ සෝමසිරි මුණසිංහ සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා දෙකකි.

මේ පරිවර්තන සඳහා පසුබිම සකස් වූ ආකාරය කෙටියෙන් විස්තර කරනවා නම්?

මම ලංකාවෙන් කැනඩාවට ඇවිල්ලා දැන් අවුරුදු තිහකට වැඩි කාලයක් වෙනවා. ඇත්තටම මම ලංකාවෙන් ආවෙ 1988දී. කාලයක් මම ලේක්හවුස් එකේ පුවත්පත් කලාවේදියෙක් විදිහට වැඩ කළා. මීට අවුරුදු තුනකට විතර කලින් මම ලංකාවට ගිය අවස්ථාවක පොත් සාප්පුවකට ගිහිල්ලා ලංකාවේ හොඳ ලේඛක ලේඛිකාවන් ගැන විස්තර ඇහුවා. එතකොට එතැන හිටපු එක්කෙනෙක් මට මොහාන් රාජ් මඩවලගේ පොත් ගැන කිව්වා. මොහාන් රාජ් හොඳට ලියන, දක්ෂ ලේඛකයෙක් කියලා ඒ පුද්ගලයා මට කිව්වා. එහෙම කියලා ඔහු ‘මාගම් සෝලිය’, ‘ලොවීනා’ සහ ‘ආදරණීය වික්ටෝරියා’ යන නවකතා තුන මට දුන්නා. මම ඒ පොත් කියෙව්වාම ඊට හරි ආස වුණා. විශේෂයෙන්ම ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව ගැන මට ලොකු පැහැදීමක් ඇති වුණා. ඒ පොත් ටික ඔක්කොම කියෙව්වට පස්සෙ මට හිතුණා ‘ආදරණීය වික්ටෝරියා’ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ඕන කියලා.

පොත පරිවර්තනය කරන්න මට අවුරුදු එකහමාරක් විතර කාලය ගත වුණා. ඒ වෙනකොට මම මොහාන් රාජ් මඩවලව පෞද්ගලිකව හඳුුනන්නෙත් නැහැ. ඒ වුණත් ඔහුගේ ලේඛන ශෛලිය මාව දැඩි ලෙස ආකර්ෂණය කරගත්තා. ඔහුගේ ‘ලොවීනා’ නවකතාව නම් මම පරිවර්තනය කළේ අප දෙදෙනා අතර කිසියම් හඳුනාගැනීමක් ඇති වුණාට පසුවයි.

මුල් කෘතිවල ලේඛකයා සමඟ ඔබේ සබඳතාව ඇති වුණේ කොහොමද?

ඒ සබඳතාව ඇති වුණේ කැනඩාවේ ජීවත් වන සිංහල ලේඛකයකු වන චන්ද්‍රරත්න බණ්ඩාර මිතුරා හරහායි. මට මොහාන් රාජ්ගේ නවකතාවක් කියවන්න ලැබිලා එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ බව මම බණ්ඩාරට කිව්වා. ඒ පරිවර්තනය පළ කරන්න අයිතිය ලබාගන්න හැකි වෙයිද දන්නෙ නැහැ කියලාත් කිව්වා. ඉන් පසුව ඔහු මොහාන්ට කතා කරලා මා ගැනත් පරිවර්තනය ගැනත් කියලා තිබුණා. ඔහු තමයි මොහාන් සහ මා අතර සබඳතාව ගොඩනඟන්න මැදිහත් වුණේ. මම මේ නවකතා පරිවර්තනය කරන්න එකම හේතුව වුණේ ඒවායේ තියෙන ජාත්‍යන්තර නැඹුරුවයි. ලංකාවේ අනෙක් නවකතාවල ඒ ලක්ෂණය හුඟක් අඩුයි. සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට ඉන්න කෙනෙකුට ලංකාවේ පළ වන සමහර සිංහල නවකතා කියවලා තේරුම් ගන්න අමාරුයි. මේ නවකතා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණාට පස්සෙ වෙනත් රටවල අයට වුණත් ඒවා කියවලා වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබන්න පුළුවන් කියලා මම හිතනවා.

මෙවැනි කෘති ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වීමේ විශේෂ වැදගත්කමක් තිබෙනවාද?

ඔව්, මේ වගේ නවකතා විදෙස් පාඨක ප්‍රජාවටත් කියවන්නට අවස්ථාව සැලසීම ඉතා වැදගත් කියලයි මම හිතන්නෙ. මේ නවකතා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ඕන කියලා මූලික වශයෙන්ම මට හිතුණෙ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන ආකාරයේ ශෛලියකින් ඒවා ලියැවිලා තියෙනවා කියලා මට දැනුණු නිසායි. සිංහල භාෂාවෙන් මේ වගේ නවකතා ලියැවෙනවා හරි අඩුයි. මෑතකදී අපේ ඇතැම් ලේඛක ලේඛිකාවන් අතින් ලියැවුණු තවත් නවකතා කිහිපයකත් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන ශෛලිය තියෙනවා කියලා මට හිතෙනවා. උදාහරණයක් හැටියට වියට්නාමය සහ ශ්‍රී ලංකාව පාදක කරගනිමින් සුනේත්‍රා රාජකරුණානායක රචනා කරලා තියෙන ‘ජයන්’ නවකතාව වගේම කැනඩාවේ වාසය කරමින් සිංහල නවකතා රචනා කරන ශමෙල් ජයකොඩි විදෙස් රටවල ජීවත් වන අයගේ ජීවිත පාදක කරගනිමින් රචනා කරලා තියෙන ‘ප්‍රංශ පෙම්වතා’ සහ ‘ඇමෙරිකා’ වැනි නවකතාවලත් මේ ලක්ෂණ තියෙනවා.

සිංහල සාහිත්‍යයට විදෙස් සාහිත්‍යයේ ප්‍රමාණවත් ඉඩක් නොලැබීම ගැන ඔබේ අදහස?

හැට හැත්තෑව සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය හැටියට සැලකෙනවා. ඒ යුගයේ ලියැවුණු මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, මඩවල එස්. රත්නායක, කේ. ජයතිලක වගේ ලේඛකයින්ගේ කෘති ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා ජාත්‍යන්තර වෙළෙඳපොළට ගියා නම්, අද ලංකාවේ සාහිත්‍යයට ලොකු පිළිගැනීමක් ලැබෙන්න ඉඩ තිබුණා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ. අදටත් සිංහල පොත් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙනවා හරි අඩුයිනෙ. සිංහල වගේ භාෂාවලින් ලියැවෙන කෘති ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වීම ඉතාම වැදගත් කියලයි මම හිතන්නෙ. බොහෝ රටවල විවිධ භාෂාවලින් ලියැවුණු විශිෂ්ට කෘති ලෝකය පුරාම ව්‍යාප්ත වුණේ ඉංග්‍රීසි පරිවර්තන හරහායි. උදාහරණ විදිහට ගේබ්‍රියෙල් ගාර්සියා මාක්වේස්, ගූන්තර් ග්‍රාස්, ප්‍රමෝයෙද්යා ආනන්තටෝයර් සහ හරුකි මුරකාමි වගේ විශිෂ්ට ලේඛකයින්ගේ කෘති ලෝකය පුරා පාඨකයන්ට සමීප වුණේ ඉංග්‍රීසි පරිවර්තන නිසායි. මේ නවකතාවල ඉංග්‍රීසි පරිවර්තන කළා කියලා මොහාන්ට ලාභයක් ලබන්න බැහැ. ඔහු කිව්වෙත් ලාභයක් නැති වුණත් කමක් නැහැ අපි මේ වැඩේ කරමු කියලයි. අපට අවශ්‍ය වුණේ මේ පරිවර්තන ජාත්‍යන්තර වෙළෙඳපොළට යවලා ඒවාට ලෝකයේ වෙනත් රටවල පාඨකයන්ගේ කිසියම් හෝ අවධානයක් යොමු වෙයිද කියල බලන්නයි.

මෙවැනි නවකතා ඉංග්‍රීසියට පරිවර්තනය අභියෝගයක්ද?

ඔව්. ඒත් දීර්ඝ කාලයක් තිස්සෙ පුවත්පත්කලාවේදියෙක් සහ උපකතුවරයෙක් හැටියට වැඩ කිරීමෙන් සංස්කරණය සම්බන්ධයෙන් ලබාගත් පළපුරුද්ද සහ කියවීමට ඇති මගේ දැඩි රුචිය වගේ දේවල් නිසා මට ඒ අභියෝගය ජයගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. මෙහිදී ලොකුම අභියෝගවලින් එකක් හැටියට මම සලකන්නෙ සමහර සිංහල වචනවලට හරියටම ගැළපෙන ඉංග්‍රීසි වචන සොයාගන්න නොහැකි වීමයි. අපේ බොහෝ සිංහල වචනවල අර්ථය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන ඉංග්‍රීසි වචන නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ලංකාව හෝ සිංහල භාෂාව ගැන නොදන්න විදේශික පාඨකයෙකුට කිසියම් සිංහල වචනයක අර්ථය නිවැරදිව ඉදිරිපත් කරන්න ඉංග්‍රීසි භාෂාවේ සමහර වචනවලට බැහැ. ඕනෑම භාෂාවකින් තවත් භාෂාවකට කෘති පරිවර්තනය කිරීමේදී ඒ වගේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අභියෝගය ජයගැනීම සඳහා යොදාගත හැකි එක උපක්‍රමයක් විදියට මම මේ පරිවර්තනවලදි සමහර සිංහල වචන පැහැදිලිව විස්තර කරන පාරිභාෂික වචන මාලාවක් ඉංග්‍රීසි කෘතියේ අගට එකතු කළා.

මෙයට පෙර ඔබට පරිවර්තන අත්දැකීම් තිබෙනවාද?

මම දැනට අවුරුදු හතරකට විතර කලින් ලංකාවේ ජනකතා ඇතුළත් පොතක් ඉංග්‍රීසියෙන් ලිව්වා. ඒ පොත ‘ෆෝල්ක්ටේල්ස් ෆ්‍රොම් සෙරන්ඩිබ්’ (Folktales from Serendib) නමින් ප්‍රකාශයට පත් වුණා. ඒ පොතට මම මහදැනමුත්තගේ සහ අන්දරේගේ කතා වැනි ලංකාවේ ජන සාහිත්‍යයට අයත් කතා කිහිපයක් ඇතුළත් කළා. ඒ පොත පළ කළේ කැනඩාවේ. මුද්‍රණ වියදම අධික නිසා ඒ පොත ඉහළ මිලකට අලෙවි කරන්න සිද්ධ වුණා. ඒ නිසාම ඒ පොත ලංකාවේ වෙළෙඳපොළට යවන්න මම උනන්දු වුණෙත් නැහැ. ඒ පොතට මහා ලොකු අවධානයක් යොමු වුණෙත් නැහැ.

කැනඩාවේ සිටින මයිකල් ඔන්ඩච්චි වැනි ලාංකීය ලේඛකයන් ඔබ හමු වී තිබෙනවාද?

ඔවුන‍් මුණගැහෙන්න හරි අමාරුයි. ඔන්ඩච්චි මෙහෙ වැඩිය රැඳෙන්නෙත් නැහැ. ඔහු විවිධ සාහිත්‍ය කටයුතුවලට ලෝකය පුරාම ඇවිදිනවා. මම ‘ආදරණීය වික්ටෝරියා’ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා ඊමේල් හරහා ඔන්ඩච්චිගේ සඟරාවකට යොමු කළා. ඒක ඔහුට ලැබුණද කියලා මම දන්නෙ නැහැ. කැනඩාවේ පැවැත්වෙන සාහිත්‍ය වැඩකටයුතුවලටවත් ඔහු සහභාගි වෙන්නෙ නැහැ. ආරාධනා කළත් බොහෝ වෙලාවට ඔහු ඒ වැඩවලට එන්නෙ නැහැ. අනෙක මම තවම ඔහු වැනි ලේඛකයන් හමු වීමට තරම් ලොකු නමක් තියෙන ලේඛකයෙක් නෙවෙයිනෙ. මම තවම ආධුනිකයෙක්. කොහොමත් අපි වගේ ලේඛකයන්ට මේ වගේ රටක අනන්‍යතාව හදාගන්න අමාරුයි.

 

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

News Order: 
9
මාතෘකා