පිළිහුඩුවා සහ ජීවිතය

 ඡායාරූපය:

පිළිහුඩුවා සහ ජීවිතය

මහාචාර්ය විමල් දිසානායකගේ නවතම කාව්‍ය සංග්‍රහය වූ The King fisher තුළ ජිවිතයේ ඇතැම් භාව කේන්ද්‍රීය තත්ත්ව සමඟ සමස්ත ජීවිත ධාරණා සැසඳීමක් සිදු වී තිබේ. විමල් දිසානායකගේ කාව්‍යාන්වේෂණයෙහි මුඛ්‍ය ලක්‍ෂණය වන්නේ ද එයයි. එසේම මෙම කාව්‍ය සංග්‍රහයට The King fisher නොහොත් පිළිහුඩුවා යන නාමය යොදන්නේද ගොදුරු ඩැහැගනිමින් හා නිශ්ශබ්ද නිරීක්‍ෂණයෙන් යුතුව කාල අවකාශය නම් තෝතැන්නේ ගලා යන ජීවිතය දෙස බලා සිටින නිරීක්‍ෂකයෙකු හැඳින්වීම පිණිසය. The King fisher නම් වූ පළමු පැදියෙහි පුද්ගල ජීවිතයෙහි අනවරත චින්තන ප්‍රවාහයත් හදිසි සිතුවිලි විපර්යාසයකදී එතෙක් පැවැති චින්තන ධාරාව වෙනස් වන සැටිත් අඟවයි.

"Suddenly a Crack

in the silence

A flash a swoop"

යනාදී වචනාවලියෙන් පවත්නා සවිඥානිකත්වය ආගන්තුක චින්තන ඕඝයක ආක්‍රමණයෙන් කඩවී යන සැටි අඟවයි. මහාචාර්ය දිසානායක දිගු කලක් විදෙස් රටවල පදිංචිව සිටීමෙන් හා විදෙස් විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍රය ඉගැන්වීමෙහි නිරතව හිදීමෙන් මූලිකව ඔහු තුළ ස්ථාපිතව පැවැති බෞද්ධ දර්ශනයෙහි හරය වෙනස් වෙන්නැති බවට ඔහුගේ මෙම සියලු පද්‍ය සාක්‍ෂි දරයි. Hopelessness හෙවත් අපේක්‍ෂා ශුන්‍යත්වය නමින් ඔහු උක්ත සංග්‍රහයේ ලියන තවත් පද්‍යයක ගැබ් වන කේවල අර්ථ සමවාය, ථේරථේරී ගාථා මෙන්ම ජපන් සෙන් හා චීන හයිකු සම්ප්‍රදායේ ලක්‍ෂණ කියා පායි. එක් හුදෙකලා උද්‍යානයක තුරු සෙවන යට පරෙවියන්ගේ වසුරින්ද කිළිටි වූ බංකුවක් අසල මිනිසෙක් හිටගෙන සිටී. එක් තවත් රළු පෙනුමැති මිනිසෙක් එදෙසට එයි. ඒ ආගන්තුක රළු මිනිසාට ඉඩ දී පෙර කී මිනිසා පියමැන ඉවත යයි. ඔහුට අවශ්‍යව තිබුණේ ඒ අඩ අඳුරු සෙවණැලි යට කිසිදු උපභෝගයක් අත්පත් නොකරගෙන හුදකලාව බුක්ති විදීමට පමණි. ඒත් ආගන්තුක රළු මිනිසාගේ පැමිණීම ඊට බාධකයකි. මෙහිදී අපට රතු ඉන්දියානු කාව්‍යයක් වූ හියවත (Hiawatha) සිහි වන්නේ නිතැතිනි. හියවත කාව්‍යයේ කර්තෘ හෙන්රි ලෝං ෆෙලෝ තම කාව්‍යයේ විස්තර කථකයෙකු නිර්මාණය කරයි. ඒ විස්තර කථකයාට තම කාව්‍ය අනුභූතීන් ලැබෙන්නේ සොබාදහමෙන් බව එහි කියවේ. එමෙන් විමල් දිසානායක මහතා අපේක්‍ෂා ශුන්‍යත්වය නම් කවියෙන් දක්වන මේ කථකයාද සොබාදහම සමඟ පමණක් ගනුදෙනු කරන්නෙකි.

මේ සංග්‍රහයෙහි එන Drowning නම් පද්‍යය කියවන විට එහි අඟවන ප්‍රස්තුත ඔස්සේ අපේ මතකය දිව යන්නේ මහාචාර්ය දිසානායක විසින් මේ ප්‍රස්තුතයේම තව මුහුණුවරක් ලෙස 1980 ගණන්වල උසස් පෙළ සඳහා නිර්දිෂ්ඨ නවකවි සරණියෙහි ලියනු ලබන ‘දියෙහි ගිලුණු අයියාට’ නම් පද්‍ය වෙතය. එහි එන මතු දැක්වෙන පද්‍ය පාද වෙත අවධානය යොමු කිරීම උචිතය.

“ පැය ගණන් ගතව ඇති මුත් තව අයියේ අද

ඔබේ හිස මතු වූ තැන තවම නොපෙනේ මා හට”

ඒ චින්තාවම මහ ඇදුරු දිසානායක ඔහුගේ Drowning නම් පද්‍යයේ චිත්‍ර ගත කරන්නේ මෙසේය.

He was an expired swimmer

The best within miles and

we thought he would Surface"

ඔහුගේ ඉංග්‍රීසි කවිය හුදෙක් ඉතා සැකෙවින් මෙකී සිද්ධියෙහි හරය ගැබ් කරගත්තකි. එහෙත් විමල් දිසානායක මහතා එදවස ලියූ සිංහල කවියෙහි පාඨකයාට, සිදුවීමේ ඛේදය හඟින්නට පුළුල් අවස්ථාවක් මවා පෑමට කවියාට හැකිවිණැයි මම සිතමි. මහාචාර්ය දිසානායක මේ සංග්‍රහයේ සටහන් කරන බොහෝ කවි පෞද්ගලික ජීවිතානුභූතීන්ට වඩා ස්වභාදහමේ සුවිසල් බව අභියස අපේ පෞද්ගලිකත්වයේ වූ අල්පේච්ජ හා ක්‍ෂුද්‍ර බව පසක් කරවයි. මෙහි එන Ownership, Genius, Philosophy, Sleepless night වැනි බොහෝ කෘතිවල මේ ලක්‍ෂණ දක්නට ලැබෙයි. Genius නම් පැදියේ ද අනිකුත් පද්‍යවලද සොබාදහමේ තුංග බවත් පුද්ගල පෞද්ගලිකත්වයෙහි වූ සිඟිති බවත් හුවා පායි. Philosophy පද්‍යයේ

When looking for silence

Under the tall trees යන යෙදුමින් මා ඉහත කී අදහස තීව්‍ර වේ. තුගුරුක් යට නිහඬ බව හමා යන මේ පුද්ගල අධ්‍යාත්මික රුචිය “පබ්බතට්ඨෝව භුම්මට්ටේ-ධීරෝ බාලේ අවෙක්ඛතී හෙවත් පර්වතය මත සිට පහළ බිම මත සිටින අඥානයන් දෙස බලන නැණවතා පිළිබඳ උපමාවට සමාන වේ. Sleepless night පද්‍යයේ අවසානය preferring the silence of a far away land යනාදී ප්‍රකාශයේ ඉහත කී අදහස අවධාරණය වේ. අනන්තයෙන් එහා රටක වූ නිසල බව කෙරේ රුචි වූ මිනිස් අධ්‍යාත්මය එයින් හඟවයි. ඇමරිකානු කිවිඳියක වූ එමලි ඩිකින්සන් ද සොබාදහමේ ගැඹුරු ආධ්‍යාත්මයට තම කෘතිය ඔස්සේ ආමන්ත්‍රණය කළාය.

This is my letter to the world

that never wrote to me

the simple news that nature told.

with tender majesty

මහාචාර්ය විමල් දිසානායක තම කෘතියේ ලියන වැදගත් පදයක් ලෙස Travelerහෙවත් සංචාරකයා යන්න සැලකිය හැකිය. එක් මගියෙක් නිරන්තරව තම නිවසේ සිට කාර්යාලයට හා නැවත නිවසට යාමට සුපුරුදු බස් නැවතුමේ බලා සිටියි. එහෙත් කලට වේලාවට බස් නොඑයි. මගියා එහිලා කිසිවෙකුට එරෙහිව පැමිණිලි නොකරයි. කිසිවෙකු හා උරණ නොවේ. ඒ වෙනුවට ඔහු හාත්පසින් වූ මිනිස් චර්යා මිනිස් සිතුම් හා මේ ජීවිතයේ සමස්ත ධාරණාව අරබයා නව කථාවක් ලියයි. බස් පමාවීම හා පවත්නා යාන්ත්‍රණයේ ඇද පළුදු තුළින් පවා ජීවිත ස්වරූපය උකහා ගෙන ඔහු නව කථාව ලියමින් සිටී. මහාචාර්ය දිසානායකගේ මෙම පද්‍යය සමඟ හරයෙන් ආසන්න වන ජර්මානු කෙටිකතාවක් මට සිහිවෙයි. කෙටිකතාවේ නම වැව ගස හා කන්ද නම් වෙයි. එය ලියා ඇත්තේ හර්මන් හේස නම් අධ්‍යාත්මවාදී කතාකරුවාය. ඉහත පද්‍යයේ සේම එක් සංචාරකයෙක් දුම්රිය පරක්කුව නිසා බංකුවක නිදා සිටී. ඔහුට අවටින් ළයාන්විත තරුණ මවකගේ නැළවිලි ගී හඬක් ඇසේ. මින් වසර 30කට පෙර තම මව තමා නැලවූයේද මේ ගීයෙන් බව ඔහුට හැඟෙයි. ඒ නිසා ඔහු ගීයේ නිමග්න වී කුඩා දරුවෙකු බවට පත්ව අප්‍රමාණ මානුෂික තෘප්තියකට පත් වෙයි. සාමාන්‍ය මිනිසුන් නිලධාරීන් දේශපාලඥයන් තුළ නැති මේ සෞන්දර්යාත්මක මිනිස් අත්දැකීම විඳ ගත හැක්කේ ගැඹුරු කලාකරුවෙකුට හෝ මුනිවරයෙකුට පමණි. මහාචාර්ය දිසානායකගේ The King fisher සංග්‍රහය ජීවිතයේ ප්‍රායෝගික සමාජීය දාර්ශනික හා මනෝවිද්‍යාත්මක ප්‍රස්තුත රැගත් කාව්‍ය සංග්‍රහයකි.

මහාචාර්ය [සාලිය කුලරත්න]

සිංහල අංශයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

මාතෘකා