මේ සංස්කෘතික ගනුදෙනුව ඉතා වැදගත්

 ඡායාරූපය:

මේ සංස්කෘතික ගනුදෙනුව ඉතා වැදගත්

සාර්ක් ලේඛක සහ සාහිත්‍ය පදනමේ සභාපති, ඉන්දියානු ලේඛිකා අජීට් කොවුර්

දකුණු ආසියාවේ රටවල ලේඛක ලේඛිකාවන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසකගේ සහභාගීත්වය සහිතව සාර්ක් ලේඛක හා සාහිත්‍ය පදනම විසින් සංවිධානය කරන ලද දකුණු ආසියානු සාහිත්‍ය සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණි. මෙවරද සෙසු රටවල ලේඛක ලේඛිකාවන් සහ මාධ්‍යවේදීන් සමඟ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක්ද ඒ අවස්ථාවට සහභාගි වූහ. සාර්ක් කලාපයේ රටවල සාහිත්‍යය සම්බන්ධ සාධනීය දායකත්වයක් සපයන සුවිශේෂ සමුළුවක් ලෙස සැලකෙන මෙය පැවැත්වුණේ ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදිනියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියකද වන අජීට් කොවුර් ප්‍රමුඛ පිරිසකගේ ප්‍රධානත්වයෙනි. මේ, අප එහිදී ඇය සමඟ පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

පන්ජාබි සාහිත්‍යයේ කැපීපෙනෙන හඬක් වන අජීට් කොවුර් ‘ධුප් වාලා ශෙහාර්’ සහ ‘පෝස්ට් මෝර්ටම්’ යන කෙටි නවකතා ද්විත්වයද ඇතුළුව කෘති විසිදෙකක් රචනා කර ඇති ලේඛිකාවකි. ඇය රචනා කළ ‘ගෞරි’ නමැති නවකතාව සිනමාවටද නැඟී ඇති අතර ‘නා මාර්රෝ’ නමැති කතාව රූපවාහිනී මාලා නාට්‍යයක් ලෙසද නිර්මාණය වී ඇත. ඇගේ කෘතීන් ඉංග්‍රීසි, හින්දි සහ තවත් භාෂා ගණනාවකටද පරිවර්තනය වී ඇත.

පන්ජාබි බසින් රචිත ඇගේ ස්වයංලිඛිත චරිතාපදානය උදෙසා 1986 වසරේදී ඇයට ඉන්දියාවේ සාහිත්‍ය ඇකඩමි සම්මානයද හිමි විය. එය මේ වන විට ‘වීවිං වෝටර්’ (Weaving Water) නමින් ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය වී තිබේ. සිය සාහිත්‍ය නිර්මාණ කටයුතු සහ සමාජ අභිවෘද්ධිය උදෙසා ලබාදුන් දායකත්වයන් වෙනුවෙන් 2006 වසරේදී ඇයට පද්ම ශ්‍රී සම්මානයද පිරිනැමිණි. දුගී දුප්පත්කම තුරන් කිරීම සඳහා වන ඉන්දියානු මණ්ඩලයේ සභාපතිවරිය වන ඇය සාර්ක් ලේඛක සහ සාහිත්‍ය පදනමේ සභාපතිවරියද වෙයි.

අද වැනි තාක්ෂණික යුගයක සාහිත්‍යයෙන් මෙහෙවරක් කිරීමට තරම් සාහිත්‍යය ප්‍රබලද?

සාහිත්‍යය ප්‍රබල වුණා නම් හොඳයි කියලා මම හිතනවා. අද සාර්ක් කලාපයේ සාහිත්‍යය ඇසුරු කරන්නේ ඉතා සුළු පිරිසක්. ඒ නිසා සාහිත්‍යයට කළ හැකි දේ සීමාසහිත වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් සාහිත්‍යය ඔස්සේ විශාල බලපෑමක් කළ නොහැකි තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. ඒක කනගාටුවෙන් වුණත් පිළිගන්න සිද්ධ වෙන සත්‍යයක්.

එවැනි පසුබිමක් තුළ මෙවැනි සාහිත්‍ය සමුළු වැදගත් යැයි ඔබ සිතනවාද?

ඔව්. මේ වගේ සාහිත්‍ය සමුළු ඉතාම වැදගත්. විවිධ රටවල ජනතාව අතර අදහස්, භාවයන් සහ හැඟීම් හුවමාරු කරගැනීමක් මෙවැනි සමුළු හරහා සිදු වෙනවා. ඒ අතින් මෙවැනි අවස්ථාවලට සහභාගි වන අයට වගේම ඔවුන් නියෝජනය කරන රටවල සෙසු ජනතාවටත් මේවා වැදගත් වෙනවා. ජනතාවගෙන් දුරස් වී ඇති සාහිත්‍යය නැවතත් ඔවුන් අතරට ගෙන යෑම සඳහා දැනට ඇති එකම මාර්ගය හැටියටත් මෙවැනි සමුළු වැදගත් කියල මම විශ්වාස කරනවා. අනෙකාගේ අනෙක් බව හෙවත් අනෙකාගේ නොදුටු පැති වටහා ගැනීම සඳහා මෙවැනි අවස්ථා උපකාරී කරගත හැකියි. අද බොහෝ පිරිස් එකිනෙකා සමඟ සටන් කරන්නේ මම මේ කියන අනෙකාගේ අනෙක් බව වටහා නොගැනීම නිසායි. ඔවුන් එකිනෙකා අතර අන්‍යොන්‍ය අවබෝධයක් ගොඩනැඟෙනවා නම් එවැනි ගැටුම් වළකාගත හැකියි. මෙවැනි සාහිත්‍ය සමුළු හරහා ඒ අවබෝධය ගොඩනැඟීමට විශාල වැඩ කොටසක් කළ හැකි බවයි මගේ විශ්වාසය.

මේ දකුණු ආසියානු සාහිත්‍ය සමුළුවට සාර්ක් කලාපයේ සියලු රටවලින් නියෝජිතයින් සහභාගි වෙනවා. ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කෙරෙන සැසි ගණනාවක් පැවැත්වෙනවා. ඒ සැසිවලින් පසුව ඔවුන් වෙන වෙනම මුණගැහිලා කතාබහ කරලා එකිනෙකා හඳුනාගන්නවා. ඔවුන් හැම කෙනෙක්ම තමන්ගේ රටේ සාහිත්‍යය වෙනත් රටවල නියෝජිත පිරිස් අතරට ගෙන යන අතරම, වෙනත් රටවල සාහිත්‍යයත් තමන්ගේ රටට අරගෙන යනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා සහ මුහුණුපොත ඔස්සේ ඔවුන් පවත්වා ගන්නා සම්බන්ධතා ඔස්සේ ගොඩනැඟෙන සමීපතාවල ඇති වැදගත්කම නොසලකා හරින්න බැහැ. ඒ නිසා මෙවැනි අවස්ථා හරහා සිදු කෙරෙන මේ සංස්කෘතික ගනුදෙනුව ඉතා වැදගත් බවයි මගේ විශ්වාසය.

මේ සමුළුව සඳහා පසුබිම සැකසුණු ආකාරය කීවොත්?

පහුගිය අවුරුදු හතළිස්තුනක පමණ කාලයක් තිස්සේ මම ‘සෞන්දර්ය කලා හා සාහිත්‍ය ඇකඩමිය’ කියන නමින් සංස්කෘතික ආයතනයක් පවත්වාගෙන යනවා. මේ ආයතනය ආරම්භ කළේ 1975 වසරේදී. ඉන් පසුව 1977 වසරේදී මේ ආයතනය සඳහා ලියාපදිංචිය ලැබුණා. එයිනුත් පසුව දකුණු ආසියානු කලාපයේ රටවල ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් මෙවැනි සමුළුවක් ආරම්භ කළ යුතුයි කියලා මට හිතුණා. ඒ අනුව මේ ආයතනය මඟින් මුල්ම ඉන්දු පාකිස්තාන ලේඛක සමුළුව 1986 වසරේදී පැවැත්වුවා. ඒ කාලය වෙනකොට තිබුණේ කිසිම පාකිස්තාන ලේඛකයෙකුට හෝ ලේඛිකාවකට ඉන්දියාවෙන් වීසා නිකුත් නොකරන තත්ත්වයක්. ව්‍යාපාරිකයෙකුට කිසි ගැටලුවක් නැතිව ඒ රටෙන් මේ රටට එන්න හැකියාවක් තිබුණාට එහෙම හැකියාවක් ලේඛක ලේඛිකාවන්ට තිබුණෙ නැහැ. එවැනි අවස්ථාවලදී ඔවුන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණදෙන්න සිදු වුණා. මම මේ තත්ත්වය වෙනස් කරන්න මට හැකි පමණින් උත්සාහ ගත්තා. වීසා නිකුත් නොකර සිටීමෙන් ලේඛක ලේඛිකාවන් අපහසුතාවට පත් වන බව පැහැදිලි කරමින් මම අදාළ පාලන අධිකාරියේ බලධාරීන්ට ලියුම් පවා යැව්වා. ඒ හැම විටම මම ඔවුන්ට තරයේ කියා සිටියේ ලේඛක ලේඛිකාවන්ට අපහාස නොකරන ලෙසයි.

කෙසේ හෝ ඔවුන් මගේ අදහස් පිළිගත්තා. පසුව වසර කිහිපයක් යන තුරු පාකිස්තානයේ ලේඛක ලේඛිකාවන් ගැටලුවකින් තොරව මේ සමුළු සඳහා සහභාගි වුණා. එහෙත් පසුගිය කාලයේ නැවතත් ඔවුන්ට මේ සමුළු සඳහා සහභාගි නොවිය හැකි තත්ත්වයක් උදා වුණා. ඒ කෙසේ වෙතත් දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල ලේඛක ලේඛිකාවන් විශාල පිරිසක් සහභාගි කරවා ගනිමින් අපි මේ සමුළුව ඉදිරියට අරගෙන යනවා. මෙහිදී අපට සාර්ක් සංවිධානයෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මේ සියල්ල කෙරෙන්නේ සාර්ක් ලේඛක හා සාහිත්‍ය පදනමේ මෙහෙයවීම ඇතිවයි.

ඔබේ නිර්මාණ ගැන අපට කීවොත්?

දීර්ඝ කාලයක් සාහිත්‍යය ඇසුරු කළත් මම ලියා තියෙන්නේ ඉතාම සුළු නිර්මාණ ප්‍රමාණයයි. ඒ අතරින් ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ පොත් විසිදෙකක් පමණයි. ඒ අතරින් ඇතැම් පොත් ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය වෙලා තියෙනවා.

ඒ කෘති ඔස්සේ සාකච්ඡා කෙරෙන සමාජ ගැටලු ලංකාවටත් පොදුයි?

ඔව්. ඒ වගේ සමාජ ගැටලු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි, දකුණු ආසියාවේ සියලු රටවල්වලට පොදුයි. විශේෂයෙන්ම ‘අලි බබාස් ඩෙත්’ (Ali Baba’s Death) නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී ඇති මගේ කෙටිකතාව ගත්තොත් එයින් කියවෙන්නේ අපේ රටවල රාජ්‍ය සේවයේ පවතින යථාර්ථය ගැනයි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමන්ට පහළින් ඉන්න කනිෂ්ඨ සේවකයන්ව පීඩනයට ලක් කරන අවස්ථාවලට උදාහරණ අපේ රටවල ඕන තරම් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ යෙදිලා ඉන්න නිලධාරීන් අතර මේ වගේ දේවල් නිතර නිතර සිදු වෙනවා. මගේ නිර්මාණ බොහොමයක තියෙන ඒ වගේ අත්දැකීම් අපේ කලාපයේ සියලුම රටවල්වලට තියෙනවා.

ඔබේ නිර්මාණ සඳහා ලැබුණු සහ ලැබෙන ප්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. මං ලියපු දේවල්වලට ඉන්දියාව පුරාම විවිධ ප්‍රදේශවලින් වගේම වෙනත් රටවලිනුත් විවිධාකාර ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ ඈත පිටිසර කුඩා ගම්පළාත්වල සිට දියුණු නගර දක්වා විහිදී විසිරී සිටින පාඨක පිරිස් වෙතින් ලැබෙන ඒ ප්‍රතිචාර හැම අතින්ම විවිධාකාරයි. ඒ නිර්මාණ ගැන විවිධ අදහස් පළ කරලා විවිධ අය ලියපු ලියුම් දසදහස් ගණනක් මට ලැබිලා තියෙනවා. ඒවගේම මගේ නිර්මාණ නිසා ලෝකයේ බොහෝ තැන්වල ජනතාව මා නොහිතපු තරම් පුදුමාකාර ආකාරයට මාව පිළිගෙන තියෙනවා. වරක් මම අපේ නියෝජිත පිරිසක් සමඟ සාහිත්‍ය සමුළුවකට ගිය අවස්ථාවක පාකිස්තානයේ අනර්කලී නමින් ඉතා ප්‍රසිද්ධ වෙලා තියෙන කඩපොළකදී ඒ අවට හිටපු කඩසාප්පු හිමියන් ඇතුළු විශාල පිරිසක් එකතු වෙලා අපේ නියෝජිත පිරිස ඉතා ආදරයෙන් පිළිගත්තා. ඔවුන් අපව පිළිගැනීම සඳහා ඒ පළාත පුරාම කොඩි එල්ලලා ලස්සනට සරසලා තිබුණා. ඉන් පසුව ඔවුන් අපට තෑගිත් දුන්නා. මට තෑගි දෙකක් දුන්නා. මම ඇහුවා, “මට විතරක් ඇයි මේ තෑගි දෙකක් දෙන්නේ?” කියලා. එතකොට ඔවුන් කිව්වා, “එක තෑග්ගක් ඔබට, අනෙක් තෑග්ග ඔබේ දියණිය වන අර්පනාට” කියලා. එතකොට මම ඇහුවා, “ඔයගොල්ලො කොහොමද අර්පනා ගැන දන්නෙ?” කියලා. එතකොට ඔවුන් කිව්වා, “අපි අකුරු කියවන්න බැරි අය නෙවෙයි. අපි ඔබේ පොත් කියවනවා. ඒ පොත් කියවනකොට අපට දැනගන්න ලැබුණා ඔබට අර්පනා කියලා දුවෙක් ඉන්න බව” කියලා. ඒ කියන්නේ ඔවුන් ඒ වෙනකොට මගේ නිර්මාණ හරහා මා ගැන වගේම මගේ දුව ගැනත් දැනගෙන ඉඳලා තිබුණා කියන එකනෙ. ඒ වගේ පුදුමාකාර අත්දැකීම් මගේ නිර්මාණ නිසා මට ලැබිලා තියෙනවා.

ශ්‍රී ලංකාව සමඟ ඔබට ඇත්තේ කුමනාකාරයේ සම්බන්ධතාවක්ද?

ශ්‍රී ලංකාව සමඟ මගේ ඉතාම සමීප සම්බන්ධතාවක් තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ මම ඉතාම ආදරය කරන රටක්. මගේ හිතවත් මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම ලංකාවේ ඉන්නවා. අපේ සමුළු හතරක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණා. එයින් දෙකක් කොළඹත් තවත් දෙකක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් පැවැත්වුණා. ඒ කාලයේ තිස්ස අබේසේකර ජීවතුන් අතර හිටියා. ඔහු ඉතාම ක්‍රියාකාරී විදිහට අපිත් එක්ක එකතු වෙලා වැඩ කළා. ඒවගේම නිහාල් රොඩ්රිගෝත් විවිධ අවස්ථාවලදී අපේ වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා. ඔහු මගේ ඉතාම හිතවත් මිතුරෙක්. ඔහු මට අහම්බෙන් වගේ මුණගැහුණෙ කත්මණ්ඩු නුවරදි. ඔහු සාර්ක් ලේකම් කාර්යාලයේ මහලේකම් හැටියට කටයුතු කළා. අපි එකතු වෙලා 2000 වසරේදී සාර්ක් ලේඛක සමුළුවක් පැවැත්වුවා. එයින් මාස දෙක තුනකට පස්සෙ සාර්ක් ප්‍රකාශක සමුළුවකුත් පවත්වන්න අපට පුළුවන් වුණා.

ශ්‍රී ලංකාවේ සාහිත්‍යය ගැන ඔබට කිසියම් අවබෝධයක් තිබෙනවාද?

ඔව්. මම ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණු ලංකාවේ සාහිත්‍ය නිර්මාණ කියවලා තියෙනවා. ඒ ඇතැම් නිර්මාණ ඉතාම ලස්සනයි. විශේෂයෙන්ම මගේ මිතුරියක වන කමලා විජේරත්න ලියපු දේවල් මම කියවලා තියෙනවා. ඊට අමතරව මගේ මිත්‍රයෙකු වන දයා දිසානායක ලියලා තියෙන දේවලුත් මම කියවලා තියෙනවා. ඔහු කාලයක් අපේ මේ සාහිත්‍ය සමුළුවට දිගටම වගේ සහභාගි වුණා. ඒත් පහුගිය අවුරුදු දෙකේ ඔහු සහභාගි වුණේ නැහැ. ඒ කිසියම් අනවබෝධයක් නිසා කියලයි මට හිතෙන්නේ.

සාහිත්‍ය සංස්කරණය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

සංස්කරණය ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. සාහිත්‍යයේදී සංස්කරණය සහ සෝදුපත් බැලීම ඉතා වැදගත්. සෝදුපත් බැලීම පවා හරිම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්. මොකද ප්‍රකාශයට පත් වන කෘතියක කුඩා හෝ අක්ෂර දෝෂයකින් ලොකු හානියක් සිදු වෙන්න පුළුවන්. ලෝකයේ වෙනත් රටවල වෘත්තීය සංස්කාරකවරුන් සහ සෝදුපත් බලන්නන් ඉන්නවා. ඒත් ඉන්දියාව සහ ලංකාව වගේ රටවල්වල එවැනි වෘත්තීය සංස්කාරකවරුන් සහ සෝදුපත් බලන්නන් නැහැ. හැබැයි ඉන්දියාවේ ඇතැම් ප්‍රකාශන සමාගම් දැන් වෘත්තීය සංස්කාරකවරුන් සමඟ වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක් හැටියට මම දකිනවා.

ඉන්දියාවේ සාහිත්‍යයට රජයෙන් ලැබෙන අනුග්‍රහය ප්‍රමාණවත්ද?

ලංකාව ඇතුළු මේ කලාපයේ සෙසු බොහෝ රටවල්වල වගේම ඉන්දියාවේ වුණත් සාහිත්‍යයත් එක්ක ගනුදෙනු කරන දේශපාලනඥයන් ඉන්නෙ බොහොම සුළු පිරිසක්. ඒ තත්ත්වය තුළ ඉන්දියාවේ පොත් කර්මාන්තයටත් ඒ තරම් ලොකු අනුග්‍රහයක් දේශපාලනඥයින්ගෙන් ලැබෙන්නේ නැහැ. පොත් කර්මාන්තයට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ කඩදාසිවල මිල ගණනුයි. ඒ මිල ගණන් අඩු කරන්න පවා ඔවුන් බොහෝ විට කැමති නැහැ. අනෙක සාහිත්‍ය පොත්පත් හරහා ජනතාව සබුද්ධික වෙනවාටත් ඔවුන් කැමති නැහැයි කියලයි මම හිතන්නෙ. මොකද ජනතාව යම් යම් දේවල් ගැන ඥානනය වෙනකොට ඔවුන් පවතින තත්ත්වයන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. රජය කරන කියන දේවල් පවා ඔවුන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ජනතාව එහෙම තමන්ව ප්‍රශ්න කරනවාට කිසිම රජයක් කැමති නැහැ. ප්‍රශ්න ඇහුවොත් ඒවාට දෙන්න කලින් සූදානම් කරගත් පිළිතුරු ඔවුන් ළඟ තියෙනවා. ඔවුන් ළඟ කලින් සූදානම් කරගත් ප්‍රශ්නත් තියෙනවා. ඒ ප්‍රශ්නවලට ඔවුන් බලාපොරොත්තු වෙන්නේත් කලින් සූදානම් කරගත් පිළිතුරුයි. ඒ හැර වෙනත් ප්‍රශ්නවලට ඔවුන් කැමති නැහැ. ප්‍රශ්න මතු කරන අයව ඔවුන් දකින්නේ දේශද්‍රෝහීන් හැටියටයි.

සාහිත්‍යය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන මැදිහත්වීම ගැන ඔබේ අදහස?

සමාජ මාධ්‍ය ගැන මම ලොකුවට යමක් දන්නෙ නැහැ. මම පරිගණක භාවිත කරන කෙනෙක් නෙවෙයි. අඩුම තරමින් මම ජංගම දුරකථනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් ඉන්දියාවේ විශාල පිරිසක් අද වන විට කවි ලියන්න සහ සාහිත්‍යය පිළිබඳ සංවාද ගොඩනඟා ගන්න මුහුණුපොත වගේ මාධ්‍ය යොදාගන්න බව මම දන්නවා. ඒ ප්‍රවණතාව හොඳයි. තම තමන්ගේ අදහස් තවත් අයත් එක්ක බෙදාහදාගන්න ඒ මාධ්‍යය යොදාගැනීම හොඳ දෙයක් කියලා මම හිතනවා.

අද දවසේදී සාහිත්‍ය පරිවර්තනවල වැදගත්කම ඔබ දකින්නේ කුමන ආකාරයටද?

ඉන්දියාවේ පවා විවිධ භාෂාවලින් ලියන කියන අය එකිනෙකා හඳුනාගන්නේ පරිවර්තන හරහායි. අපේ රටේම විවිධ ප්‍රාන්තවල ජීවත් වෙමින් විවිධ භාෂාවලින් සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙන අයට එකිනෙකාගේ නිර්මාණ හඳුනාගැනීම සඳහා ඇති එකම මාර්ගයත් පරිවර්තනයි. අපි සාර්ක් ලේඛක හා සාහිත්‍ය පදනම හරහාත් විවිධ භාෂාවලින් ලියැවුණු සාහිත්‍ය නිර්මාණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් කරගෙන යනවා. ඒ හරහා ඉන්දියාවේ වගේම සාර්ක් කලාපයේ සියලු රටවල ලේඛක ලේඛිකාවන් විවිධ භාෂාවලින් ලියන කවි, කෙටිකතා සහ විචාර ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කෙරෙනවා. එහි අරමුණ මේ නිර්මාණ වෙනත් රටවල අයටත් කියවන්න අවස්ථාවක් ලබාදීමයි. මේ වන විට එවැනි නිර්මාණ ඇතුළත් පොත් හතළිස්අටක් අපි පළ කරලා තියෙනවා. ඒවා සාර්ක් දකුණු ආසියානු සාහිත්‍ය සමුළුවට විවිධ රටවලින් සහභාගි වන නියෝජිතයන්ට අපි නොමිලේ ලබාදෙනවා. ඒ පරිවර්තන වෙනුවෙන් අපි ලොකු මුදලක් වැය කරනවා. පරිවර්තකයන්ට නිසි පරිදි ගෙවීම් කරනවා. එවැනි වියදමක් දරමින් හෝ මේ නිර්මාණ පරිවර්තනය කිරීම වැදගත් කියලා අපි විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ ලේඛක ලේඛිකාවන් සඳහා ඔබ දෙන පණිවුඩය කුමක්ද?

දිගටම ලියන්න. දිගටම කියවන්න. අලුතෙන් හිතන්න සහ ලියන්න. ඔබ තුළ තියෙන ජවය සිඳෙන්න දෙන්නෙ නැතිව දිගටම පවත්වා ගන්න. ඒවගේම දිගටම සිහින මවන්න. සිහින හරිම වැදගත්. ලේඛක ලේඛිකාවන් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම සතුට, සැනසීම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

News Order: 
1
මාතෘකා

ජනප්‍රිය ලිපි