සිනමාවට කවිය මුසුකර ගන්න මා වඩා කැමැතියි

 ඡායාරූපය:

සිනමාවට කවිය මුසුකර ගන්න මා වඩා කැමැතියි

බුද්ධදේව් දාස්ගුප්තා

ඉන්දියානු සිනමාකරුවකු මෙන්ම කවියකු ද වන බුද්ධදේව් දාස්ගුප්තා වඩාත් ප්‍රකටව ඇත්තේ සිනමාවට කවිය මුසු කරමින් කාව්‍යාත්මක සිනමා කෘති නිර්මාණය කරන්නෙකු ලෙසය. මේ වන විට කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් ලියා පළ කර ඇති ඔහු කවියට මෙන්ම කෙටිකතාව සහ නවකතාව වැනි සෙසු සාහිත්‍යාංගවලටද දැඩිව ප්‍රිය කරන්නෙකි. බොහෝ විට සාහිත්‍ය කෘති පාදක කරගනිමින් සිනමා කෘති නිර්මාණයට වැඩි කැමැත්තක් දක්වන ඔහු දශක හතරකට වැඩි කාලයක් තිස්සේ සමාන්තර සිනමාවේ වඩාත්ම කැපීපෙනෙන සිනමාකරුවන් අතරින් එක් අයෙකු ලෙස පිළිගැනීමට පාත්‍රව සිටියි. බොහෝ අයගේ උදහසට පවා ලක්වෙමින් හුදෙකලා නිර්මාණකරුවෙකු බවට පත්ව සිටින ඔහුගේ මෑත කාලීන සිනමා කෘතියක් වන ‘ටෝපේ’ (Tope) කෙටිකතාවක් පාදක කරගත් සිනමා සිත්තමකි. මේ, ‘ෆ්‍රන්ට් ලයින්’ සඟරාව විසින් බුද්ධදේව් දාස්ගුප්තා සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක කොටසකි.

ඔබේ අලුත්ම චිත්‍රපටය සඳහා නාරායන් ගන්ගෝපාධ්‍යායිගේ ‘ටෝපේ’ නමැති කෙටිකතාව පාදක කරගෙන තිබීම තරමක පුදුමය දනවන ආකාරයේ කරුණක්. සිනමා නිර්මාණයක් සඳහා සාමාන්‍යයෙන් ඔබ විෂය කරගන්නේ එතරම් තියුණු සහ කුරිරු කතා තේමාවන් නෙවෙයි. ඔබ මේ කෙටිකතාව තෝරාගත්තේ ඇයි?

එය බෙංගාලි සාහිත්‍යයේ මා කියවූ විශිෂ්ටතම කතා අතරින් එකක්. වයස අවුරුදු දොළහක ළමයකු හැටියට එය මුල් වරට කියැවූ අවස්ථාවේදීම මේ කතාවට පෙම් බැඳ ගත් මම වරින්වර නැවත නැවතත් එය කියෙව්වා. අවුරුදු විස්සකට පමණ ඉහතදී මේ කතාවෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මා තීරණය කළ නමුත් ඔබ සඳහන් කළ පරිදිම ඉතාම තාත්වික සහ බියකරු ආකාරයේ කතාවක් වන එය මගේ සිනමා නිර්මාණ ශෛලියත් සමඟ ගැළපුණේ නැහැ. සිනමාව ඔස්සේ මා සැමවිටම උත්සාහ කරන්නේ යථාර්ථයෙන් ඔබ්බට යමින් ඉන්ද්‍රජාලිකත්වය සහ යථාවාදී නොවන දේ විවරණය කිරීමටයි. මේ කතාවත් එක්ක මට තිබුණු ගැටලුව එයයි. මෙය ඉතාම යථාර්ථවාදී කතාවක්.

මේ චිත්‍රපටය නිර්මාණය කරන්න මා තීරණය කළේ මේ කතාවේ තවත් පැතිකඩක් මා දුටු නිසායි. කතාව පැත්තකට දැම්මොත්, මම නිර්මාණය ඉදිරිපත් කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්. බටහිර බෙංගාලයේ සමාජය දිහා බැලුවොත් පෙනෙන්නට තියෙන දේ තමයි හැම කෙනෙක්ම ඇමක් බවට පත් වීමට සූදානමින් සිටින බව. අවසාන වශයෙන් වැදගත් වෙන්නෙ මුදල සහ තමන්ට එයින් ලැබෙන්නෙ මොනවද කියන කාරණායි. චිත්‍ර ශිල්පීන්, කවීන්, සාහිත්‍යවේදීන් සහ සිනමාකරුවන් සිය කැමැත්තෙන්ම මේ ක්‍රමයට අනුගත වෙන හැටි අපි දැකලා තියෙනවා. කලින් බෙංගාලයේ මෙහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. තමන්ගේ නිර්මාණ සහ විශ්වාසයන් බාල්දු කර නොගත් තාගෝර් සහ වෙනත් විශිෂ්ට චරිත අතීතයේ හිටියා. නිර්මාණශීලී පුද්ගලයෙක් පවතින ක්‍රමයට අනුගත වන මොහොතෙදි ඔහුට හැම දෙයක්ම අහිමි වෙනවා. පවතින ක්‍රමය ඔවුන් වෙත පැමිණ ඔවුන්ගෙන් පෝෂණය ලබනවා වෙනුවට දැන් සිදු වන්නේ කලාකරුවන් සම්මාන බලාගෙන ක්‍රමය වෙත යෑමයි. එහිදී අවසාන වශයෙන් සිදු වන්නේ ඔවුන් ඒ ක්‍රමය තුළ ගොදුරු බවට පත් වීමයි. මෙය අපේ සංස්කෘතිය විනාශ කර දමන ඉතා භයානක ප්‍රවණතාවක්.

අලුත් පක්ෂයක් බලයට පැමිණි විට, බුද්ධිමතුන් ඒ රජයට සහයෝගය පළ කරනවා. අවුරුදු පණහකට පෙර යුගයේදී මෙවැනි දෙයක් සිදු වුණේ නැහැ. තාගෝර් හෝ සත්‍යජිත් රායි වැනි අය කවදාවත් තමන්ව හෑල්ලුවට පත්කරගත්තේ නැහැ. මේ කාරණය තමයි කතාව ගැන නැවතත් අලුතින් හිතන්න මාව යොමු කළේ. අවසානයේදී කතාව එහි අමිහිරි යථාර්ථයෙන් මුදවා ගන්නට මට හැකි වුණා. මම ඒ කතාවේ බොහෝ වෙනස්කම් කළා. මේ කතාව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මගේ මනස තුළ සැකසෙමින් තිබුණු නිසා යථාර්ථ නොවන කලාපය ස්වාධීනවම නිර්මාණය වුණා. ඒ ඔස්සේ කතාව නිර්මාණයක් බවට පත් කරගන්නට මට හැකියාව ලැබුණා.

ඔබේ සිනමා කෘතිය තුළ යථාර්ථවාදී නොවන හැඟීම නිර්මාණය කිරීමට තාක්ෂණික වශයෙන් ඔබ කළ දෙය කුමක්ද?

මා කළ එක් සුවිශේෂී දෙයක් වන්නේ සැමවිටම පුළුල් කෝණ කාචයක් යොදාගැනීමයි. පුළුල් කෝණ කාචයකින් හැම දෙයක්ම පෙනෙන්නේ ඉතාම සැබෑ ආකාරයටයි. එමගින් රූප රාමුවට සැබෑ නොවන පැතිකඩ රිංගවන්නට මටත් අවස්ථාවක් ලැබෙනවා. රූපයේ බලය පිළිබඳ විශ්වාසයක් මා තුළ තිබෙනවා. එය පුද්ගලයකු සමඟ රැඳී සිටින අතරම නැවත නැවතත් ඔහු වෙත පැමිණිය යුතුයි. අපි හැම දවසකම දසලක්ෂ ගණන් රූප දකින නමුත් අප හා රැඳෙන්නේ ඒ අතරින් කිහිපයක් පමණයි. එවැනි රූපවලට මම හරි කැමතියි. රූප සංරචනය මට ඉතාම වැදගත් වෙන්නේ ඒ නිසායි. රූප සංරචනය වැරදි නම්, තමන්ට අවශ්‍ය අදහස සහ චරිත ස්ථානගත කරන්නට හැකි වන්නේ නැහැ.

ඔබේ කලින් චිත්‍රපටය වූ ‘අන්වාර් කා අජාබ් කිසා’ හෙවත් ‘ද ස්නිෆර්‘ නිර්මාණය වුණේ වසර කිහිපයකට ඉහතදීයි. අලුත් චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා ඔබ මෙතරම් කාලයක් ගැනීමට හේතුව කුමක්ද?

එක් චිත්‍රපටයකින් තවත් එකකට පැනීමට මම කැමති නැහැ. නිර්මාණයක් සඳහා මට කිසියම් කාලයක් අවශ්‍යයි. එයින් අදහස් වන්නේ මේ වසර තුන තුළදී මා කිසිම දෙයක් නොකළ බව නෙවෙයි. මම කවි රාශියක් ලිව්වා. මගේ අලුත් කාව්‍ය සංග්‍රහයත් පළ වුණා. ලියමින් සහ කියවමින් ගත කළ මේ මුළු කාලය අවසාන වශයෙන් අලුත් රූප සොයාගන්නට මට වැදගත් වුණා. සැම විටම අලුත් සොයාගැනීමක් වගේ පෙනෙන ආකාරයට කෙනෙකු වෙතට රූප එන්නට පුළුවන්. සැම විටම මා විසින්ම රූප සොයාගන්නවා. ඒ රූප මගේ සිනමාවේ පදනම නිර්මාණය කරනවා.

මේ චිත්‍රපටයෙන් ඔබ කිසියම් අලුත් යමක් කරන්නට උත්සාහ ගත්තාද? මෙයට පෙර ඔබ නිර්මාණය කළ ‘අන්වාර්...’ චිත්‍රපටයටත් පාදක වී ඇත්තේ අමිහිරි යථාර්ථයමයි.

මේ චිත්‍රපටය පැහැදිලි වශයෙන්ම ඉතා වෙනස්. මගේ සිනමා නිර්මාණවලට කවිය මුසුකර ගැනීමට මා වැඩි කැමැත්තක් දක්වනවා. එය යථාර්ථයෙන් පටන් ගෙන, යථාව හරහා යන ගමනේදී කලාප ඉන්ද්‍රජාලය හෙවත් යථාර්ථය නොවන දෙය හමු වෙනවා. එහෙත් කිසියම් කාලයක් තිස්සේ යථාව ඔස්සේ ගමන් කර ඇති නිසා අවසානයේදී හමු වන යථාර්ථය නොවන දෙය යථාර්ථය ලෙස පිළිගන්නට ප්‍රේක්ෂකයා පෙළැඹෙනවා. ‘අන්වාර්’ චිත්‍රපටයේදී සිදු වුණේ එයයි.

මේ අලුත් චිත්‍රපටයේදීත් යථාර්ථය නොවන දෙය වෙත යන ගමන සිදු වුණා. නිර්මාණය සඳහා බොහෝ කාලයක් ගත කරන්නට මට සිදු වුණේත් ඒ නිසයි. හැබැයි මෙවර එය වෙනස් ආකාරයේ ගමනක්. ඒ ගමන තුළ ක්‍රෝධය, වෛරය, අහිමිවීම යන හැම දෙයම හමු වෙනවා. එසේ වන්නේ පවතින ක්‍රමයට හෝ ඒ ක්‍රමය පවත්වාගෙන යන අයට ජනතාවගේ පූජාව අවශ්‍ය වන නිසායි. චිත්‍රපටය මගින් ඉදිරිපත් කරන ගැටලුව වන්නේ මේ ක්‍රමයේ ගොදුරු බවට පත්වීමට අප තවත් කොපමණ කල් ඉඩ දිය යුතුද යන්නයි. මේ ක්‍රමය තුළ අප මරණයට පත් කිරීම පමණක් නෙවෙයි, අපේ සමාජ පරිසරයට විස පෙවීමත් සිදු කෙරෙනවා.

ඔබේ කලාව තුළ කැපකිරීම් කිහිපයක් කළා නම් එය වඩාත් පහසු කටයුත්තක් වන්නට තිබුණා යැයි ඔබට සිතුණේ නැද්ද?

නිර්මාණය හා සම්බන්ධ බොහෝ දේවල් සැම විටම මට ඉතා දුෂ්කර තත්ත්වයන් ඇති කළා. එහිදී බොහෝ විට දැඩි සිත් තැවුල් සහ හුදෙකලා හැඟීමක් දරාගන්නට මට සිදු වුණා. එහෙත් ඒ නිසා නිර්මාණයේ කිසිම දෙයක් වෙනස් කරන්නට මම පෙළැඹුණේ නැහැ. මේ ක්‍රමයට අවනත වීම කොටියෙකුගේ පිට නැගී ගමන් කිරීමක් කියා මා සිතනවා. මේ කොටියා මාව කැළයට අරගෙන ගිහින් අවසානයේදී මාව මරා දමන බව දන්නා නිසා කවදාවත් කොටියාගේ පිට මතට නොනගින්නට මම තීරණය කරගෙන තිබුණා. මේ ක්‍රමයට අවනත වීම කියන්නේ මගේ අනන්‍යතාවය සහ නිදහස අහිමි කරගැනීමයි. අන් සියලු දේටම කලින් තමන් තමන්ට ගරු කළ යුතුයි. තමන් තමන්වම බාල්දු කරගන්නවා නම් එසේ කරන්නට එපායැයි අනෙක් අයට කියන්නට තමන්ට බැහැ. නොකළ යුතු වුණත් ඒ ආකාරයෙන් තමන්ව බාල්දු කරගත් බොහෝ අය ගැන මම දන්නවා.

කිසියම් කටයුත්තක් කොයි තරම් නොවටිනවා වුණත්, එයින් මොන ආකාරයේ ප්‍රශ්න ඇති කරනවා වුණත් ඒ කටයුත්ත සම්බන්ධයෙන් විශ්වාසයක් තබාගැනීම වැදගත්. එය නට්සිවාදය වැනි දෙයක් වුවත් එවැනි විශ්වාසයක් තිබිය යුතුයි. ඒ වගේම කිසියම් දෘෂ්ටිවාදයක් ගැන විශ්වාසයක් නැති වුණත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් එය ප්‍රයෝජනයට ගැනීමත් නොකළ යුතුයි. ව්‍යාජය සහ වැරදි පූර්වාදර්ශයන් ඇති කළ හැකි වන එවැනි දේ භයානකයි. මේ ක්‍රමයට අවනත වන අයට ඇගයීම් වශයෙන් කිසිසේත්ම නොගැළපෙන තනතුරු පිරිනැමෙන ආකාරය අපි නිතරම වගේ දකිනවා. ඉන්දියානු සිනමා සහ රූපවාහිනී ආයතනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදු වුණු දේවල් දෙස බල විට ඒ කරුණු පැහැදිලිව පෙනෙනවා. එහි සභාපතිවරයා ලෙස ‘මහාභාරත්’ නමැති රූපවාහිනී නාටක මාලාවේ යුධිෂ්තිරා ලෙස රඟපෑ ගජේන්ද්‍ර චවුහාන් තෝරාගැනීම නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. මට ඔහු සමඟ කිසිදු පෞද්ගලික ගැටලුවක් නැහැ. මම ඔහුගේ රඟපෑම් දැකලත් නැහැ. සමහර විට ඔහු දක්ෂ නළුවෙක් වෙන්නත් ඇති. එහෙත් මම හොඳටම දන්න කාරණයක් තමයි සිනමා ආයතනයක ප්‍රධානියෙක් බවට පත් කිරීම සඳහා සුදුසුම පුද්ගලයා ඔහු නොවන බව. එහෙත් ඔහු මේ පවතින ක්‍රමය වෙනුවෙන් යමක් කරලා තියෙන නිසා ඔහුට යම් දෙයක් ලබාදීමට මේ පවතින අධිකාරිය බැඳී සිටිනවා. බලයේ සිටින අය තමන්ගේ අයව ඉහළ තනතුරුවලට පත් කරනවා. අපේ රටේ අවුරුදු ගණනාවක් තිස්සේ මෙය සිදු වෙමින් පවතිනවා. අනෙක් රටවලත් මෙය සිදු වෙනවා ඇති. එහෙත් ඒ රටවල මෙය මේ තරම් දුරට එය සිදු වෙනවා නොවෙන්න පුළුවන්. මම සුළු වශයෙන් හෝ මේ ක්‍රමයට අවනත වෙමින් යම් යම් පාවාදීම් කළා නම් මටත් බොහෝ දේ ලබාගන්න තිබුණා. ඒත් එහෙම කරන්න මට ඕන වුණේ නැහැ.

චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙමින් තිබෙන අවස්ථාවේදී කවුරුන් හෝ සිනමා ශාලාවෙන් පිට වී යන අඩි ශබ්දය ඇහෙන එක ඇත්තටම ලොකු වේදනාවක්. ජීන් ලුක් ගොඩාඞ් සහ සත්‍යජිත් රායි වගේ හැම සිනමා අධ්‍යක්ෂවරයෙකුටම මේ අත්දැකීම කිසියම් මොහොතකදී අත් විඳින්නට සිදු වුණා. මටත් එය බොහෝ අවස්ථාවලදී අත්විඳින්නට ලැබුණා. එහෙත් සිනමා ශාලාවෙන් පිටව නොගොස් සැබෑ ලෙසම මගේ නිර්මාණය අගය කරන අයත් සිටිනවා. ප්‍රේක්ෂකාගාරයේ එක් අයෙකු පමණක් හිටියත් මට ඒ ඇති.

---------------

අයර්ලන්ත ලේඛිකා සැලී රූනිට බ්‍රිතාන්‍ය ග්‍රන්ථ සම්මානය

විසිඅට හැවිරිදි වියේ පසු වන අයර්ලන්ත ලේඛිකා සැලී රූනි රචනා කළ දෙවැනි නවකතාව වන ‘නොර්මල් පීපල්’ (Normal People) වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස පසුගියදා පැවති බ්‍රිතාන්‍ය ග්‍රන්ථ සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වුණා. ෆේබර් ඇන්ඩ් ෆේබර් ප්‍රකාශන සමාගම විසින් පළ කරන ලද මේ කෘතිය සමඟ මිෂෙල් ඔබාමා රචනා කළ ‘බිකමිං’ (Becoming) නමැති කෘතියද විශේෂ ඇගයීමට ලක් වුණා. වයිකිං ප්‍රකාශන සමාගම විසින් පළ කරන ලද එයට වසරේ විශිෂ්ටතම ප්‍රබන්ධ නොවන කෘතිය සහ වසරේ විශිෂ්ටතම ශ්‍රව්‍ය කෘතිය සඳහා පිරිනැමෙන සම්මාන දෙකක් හිමි වුණා. රූනි රචනා කළ කෘතිය වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස ඇගයීමට ලක් වනු ඇතැයි බොහෝ විචාරකයින් කල්තියාම අනුමාන කර තිබුණා.

මේ නවකතාවට පාදක වී ඇති කතා පුවත මෙන්ම එහි භාෂා ශෛලියද අපූර්වත්වයකින් යුතු වන බවයි බොහෝ අයගේ අදහස වුණේ. සම්මාන සඳහා කෘති සමීක්ෂණය කළ කණ්ඩායමේ අදහස වූයේද එය මේ වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස ඇගයීමට ලක් විය යුතු බවයි. බොහෝ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් අභිභවා යමින් විශිෂ්ට නවකතාවක් රචනා කිරීමට සමත්ව ඇති මේ තරුණ ලේඛිකාව මේ අයුරින් නිසි ඇගයීමට ලක්වීම සතුටට කරුණක් බව ෆේබර් ඇන්ඩ් ෆේබර් ප්‍රකාශන සමාගමද පවසනවා. අයර්ලන්තයේ කාස්ල්බාර් ප්‍රදේශයේදී 1991 වසරේ උපත ලද රූනි ඩුබ්ලින් නුවර ට්‍රි්නි‍ටි විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා මෑත කාලයේදී නවකතාකරණයට පිවිසි ලේඛිකාවක්. ඇය රචනා කළ මුල්ම නවකතාව ‘කොන්වර්සේෂන්ස් විත් ෆ්‍රෙන්ඩ්ස්’ (Conversations with Friends) නමින් 2017 වසරේදී ෆේබර් ඇන්ඩ් ෆේබර් ප්‍රකාශනයක් ලෙස පළ වුණා. මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ඇය විසින් රචනා කරන ලද නවකතාවක් වන එය විවිධ සම්මාන ඇගයීම් ගණනාවක් හිමිකර ගත්තා.

-------------

නඩුවිභාගයට ගත් ‘ලේඩි චැටර්ලීස් ලවර්’ පිටපත රටින් පිට කිරීම තහනම් වේ

ප්‍රකට ඉංග්‍රීසි ලේඛකයෙකු සහ කවියෙකු වූ ඩී. එච්. ලෝරන්ස් රචනා කළ ‘ලේඩි චැටර්ලීස් ලවර්’ (Lady Chatterley’s Lover) නවකතාව නිමිති කරගනිමින් 1960 වසරේදී බ්‍රිතාන්‍යයේ පැවති සභ්‍ය අසභ්‍යවාදය පිළිබඳ ආන්දෝලනාත්මක නඩුවිභාගය සඳහා විනිසුරුවරයා විසින් උපයෝගී කරගන්නා ලද පිටපත බ්‍රිතාන්‍යයෙන් පිටතට ගෙන යෑම තහනම් කර තිබෙනවා. නඩුව විභාග කළ විනිසුරු ශ්‍රීමත් ලෝරන්ස් බයර්න්ගේ බිරිඳ වූ ඩොරති ආර්යාව විසින් අදාළ කෘතියේ ලිංගික කරුණු ඇතුළත් කොටස් ආශ්‍රිතව ලකුණු කළ සටහන් සහිත මේ පිටපත පසුගිය වසරේදී ස්ටර්ලිං පවුම් 56,250කට මිලදීගත් අයෙකු එය විදෙස් රටකට ගෙන යෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී බ්‍රිතාන්‍ය රජය එය වළකාලමින් මේ තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

ලෝරන්ස් 1930 වසරේදී මියයෑමට පෙර රචනා කළ අවසන් නවකතාව වන ‘ලේඩි චැටර්ලීස් ලවර්’ ප්‍රථම වරට 1928 වසරේදී ඉතාලියේත්, ඊළඟ වසරේදී ප්‍රංශයේත් ප්‍රකාශයට පත් වූ නමුත් 1960 වසර වන තුරුම එය බ්‍රිතාන්‍යයේ පළ වුණේ නැහැ. අතිශයින්ම විවාදාපන්න ලිංගික කරුණු ඇතුළත් මේ නවකතාව බ්‍රිතාන්‍යයේ පළ කිරීමෙන් අනවශ්‍ය නීතිමය ගැටලු ඇති වනු ඇතැයි අනුමාන කෙරුණු බැවින් එය මුලින්ම වෙනත් රටවලදී ප්‍රකාශයට පත් කිරීමෙන් වසර ගණනකට පසුව බ්‍රිතාන්‍යයේදී පළ කිරීමට පෙන්ගුවින් ප්‍රකාශන සමාගම කටයුතු කළා. එහෙත් වසර ගණනකට පසුව පළ වුවද අසභ්‍ය කරුණු ඇතුළත් පොතක් ලෙස සලකා එය තහනම් කළ යුතු බව බොහෝ අය කියා සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස සභ්‍ය අසභ්‍යවාදය පිළිබඳ ඉතා වැදගත් නඩුවිභාගයකට මුහුණ දීමට ප්‍රකාශන සමාගමට සිදු වුණා. නඩුවිභාගය අවසානයේ ප්‍රකාශන සමාගම සියලු චෝදනාවලින් නිදහස ලැබූ අතර ‘ලේඩි චැටර්ලීස් ලවර්’ නවකතාව ලොව පුරා සම්භාවනාවට පාත්‍ර වූ කෘතියක් බවට පත් වුණා. පසුව විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වූ මේ කෘතිය සිනමාවටද නැගුණා.

-----------

ඩැෆ්නි ඩු මොරියර්ගේ අප්‍රකට කවි සහ

ලියුම් රැසක් සොයාගැනේ

ලොව පුරා විශාල පාඨක පිරිසකගේ අවධානය දිනාගත් ‘රෙබෙකා’ (Rebecca), ‘ජැමෙයිකා ඉන්’ (Jamaica Inn) සහ ‘මයි කසින් රැෂෙල්’ (My Cousin Rachel) වැනි නවකතා රචනා කළ ඩැෆ්නි ඩු මොරියර් විසි හැවිරිදි වියේදී පමණ රචනා කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන කවි නිර්මාණ දෙකක් පසුගියදා සොයාගනු ලැබුවා. එයින් එක් නිර්මාණයක් ‘සෝන්ග් ඔෆ් ද හැපී ප්‍රොස්ටිටියුට්’ (Song of the Happy Prostitute) නමින් රචනා වී ඇති අතර අනෙක රචනා වී ඇත්තේ ශීර්ෂ නාමයක් රහිතවයි. වසර 90ක් පමණ පැරණි යැයි සැලකෙන මේ නිර්මාණ හමු වී ඇත්තේ ඡායාරූප රාමුවක් පසුපස සඟවා තිබී ඇති ලිපි කිහිපයක් සමඟයි. මොරියර් තරුණ වියේදී නාන ඇඳුමකින් සැරසී ගල් තලාවක සිටගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක රාමුව පසුපස සඟවා තිබී හමු වූ මේ ලිපි අතර මොරියර් විසින් වසර 40ක පමණ කාලයක් පුරා ඇගේ සමීපතම මිතුරියක වූ මොරීන් බේකර්-මන්ටන් වෙත යවන ලද පෞද්ගලික ලියුම් රැසක් ඇති බව හෙළි වී තිබෙනවා.

මොරියර් සිය සැමියා වූ හමුදා ජනරාල් ශ්‍රීමත් ෆ්‍රෙඩරික් බ්‍රව්නින් ගැනත්, ඔහුගේ අනියම් සම්බන්ධතා සහ මත්ලෝලීත්වය ගැනත් මේ ලියුම්වල සඳහන් කර තිබෙනවා. බ්‍රව්නින් මියගොස් වසරක් ඉකුත් වූ පසු 1966 වසරේදී සිය සැමියාගේ වියෝව නිසා දැනෙන හුදෙකලාව ගැන සඳහන් කරමින් මොරියර් ලියා ඇති ලිපියක්ද මේ ලිපි එකතුවට ඇතුළත් වෙනවා. එසේම සිය ඇමෙරිකානු ප්‍රකාශකයාගේ බිරිඳ වූ එලන් ඩබල්ඩේ සහ ගර්ට්රූඩ් ලෝරන්ස් නමැති කාන්තාව සමඟ මොරියර් පැවැත්වූ අසම්මත සබඳතා ගැන තොරතුරු ඇතුළත් ලිපි කිහිපයක්ද මේ අතර තිබෙනවා. මේ ලිපි එකතුව අප්‍රේල් 27 වැනිදා (හෙට) වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[මේනුක විතාන]
 

මාතෘකා