අර්නස්ට් හෙමිංවේ නිර්මාණ සොරකම් කළාදැයි සැකයක්

 ඡායාරූපය:

අර්නස්ට් හෙමිංවේ නිර්මාණ සොරකම් කළාදැයි සැකයක්

ප්‍රකට ඇමෙරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ 1940 සහ 1950 අතර කාලය තුළ කියුබාවේ ජීවත්ව සිටියදී රචනා කළ කෘති කිහිපයක් එන්රික් සර්පා නමැති අප්‍රකට කියුබානු ලේඛකයකුගේ කෘතිවලට බොහෝ සෙයින් සමාන බව පසුගියදා සිදු කළ අධ්‍යයනයකින් හෙළි වුණා. මේ අධ්‍යයනයට සම්බන්ධ ඇමෙරිකානු විද්වතෙකු වන මහාචාර්ය ඇන්ඩෘ ෆෙල්ඩ්මන් පවසන පරිදි සර්පාගේ ප්‍රබන්ධ කෘති සහ හෙමිංවේ පසු කාලීනව රචනා කළ ‘ටු හෑව් ඇන්ඩ් හෑව් නොට්’ (To Have and Have Not) සහ ‘දි ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී’ (The Old Man and the Sea) ඇතුළු කෘතීන් අතර ඉතා පැහැදිලි සමානකම් දැකගත හැකියි. සර්පා රචනා කර ප්‍රථම වරට 1936 දී ප්‍රකාශයට පත් වූ ‘ද මාර්ලින්’ (The Marlin) නමැති ප්‍රබන්ධ කෘතියෙන් කියැවෙන්නේ කුඩා පිරිමි ළමයෙකු සහ මසුන් ඇල්ලීමේ යෙදෙන මහලු පුද්ගලයෙකු ගැන බවත්, එහි කතා තේමාව සහ රචනා ශෛලිය 1952 දී ප්‍රකාශයට පත් වූ ‘දි ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී’ නවකතාව තුළ දැකගත හැකි බවත් මහාචාර්ය ෆෙල්ඩ්මන් සඳහන් කරනවා.

එසේම සර්පා රචනා කළ ‘කොන්ට්‍රාබෑන්ඩ්’ (Contraband& ) නමැති නවකතාව සහ හෙමිංවේ රචනා කළ ‘ටු හෑව් ඇන්ඩ් හෑව් නොට්’ නවකතාව අතරද එවැනිම සමාන ලක්ෂණ දැකගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. හෙමිංවේගේ නවකතාව පළ වී ඇත්තේ ‘කොන්ට්‍රාබෑන්ඩ්’ නවකතාව 1938 වසරේදී ප්‍රකාශයට පත් වීමට වසරකට පෙර වුවද එයට වසර ගණනාවකට කලින් හෙමිංවේ ‘කොන්ට්‍රාබෑන්ඩ්’ අත්පිටපත කියවා තිබූ බවට සාක්ෂ්‍ය ඇති බවයි මහාචාර්යවරයා පවසන්නේ. මේ සම්බන්ධයෙන් ඔහු සිදු කළ අධ්‍යයනය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ‘අර්නෙස්ටෝ: දි අන්ටෝල්ඩ් ස්ටෝරි ඔෆ් හෙමිංවේ ඉන් රෙවොලයුෂනරි කියුබා’ (Ernesto: The Untold Story of Hemingway in Revolutionary Cuba) නමැති කෘතියක් මේ මාසයේදී පළ වීමට නියමිතයි.

[අජිත් නිශාන්ත]

මාතෘකා