ජී.ඇම්. අජිත්ගේ කෘති එළිදැක්වීම 16 දා

 ඡායාරූපය:

ජී.ඇම්. අජිත්ගේ කෘති එළිදැක්වීම 16 දා

ජී.ඇම්. අජිත් කවියා විසින් ලියා පළ කරන ලද ‘කොසොල් රජු නොකී සිහින’, ‘අම්මාගේ මතකය’, ‘කොළඹ කවි විසිතුර අංක 5-6’ ඇතුළුව ‘කවිය’ පත්‍රය, ‘විරිත’ දෙමාසික කවි සඟරාව, විරිදු දෙමාසික සඟරාව එළිදැක්වීමේ උලෙළ මෙම මැයි මස 16 වෙනි බ්‍රහස්පතින්දා ප.ව. 2.30ට කොළඹ 7, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහිදී ප්‍රවීණ ලේඛක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ශ්‍රී ලංකා ෆාහියන් සංස්කෘතික සංගමයේ සභාපති චීන ජාතික මහාචාර්ය හව් වෙයි මින් හා පෑලියගොඩ එම්.කේ. ධර්මදාස විද්‍යාලයේ සහකාර විදුහල්පති දීප්ත සුදේශ් යන මහත්වරු දෙසුම් පවත්වති.


කුසුම්සිරි විජයවර්ධනගේ  ‘ශ්‍රී ලංකාවේ ලෙන්’ නව මුද්‍රණය 21දා එළිදකී

 

පුරාවිද්‍යා ශාස්ත්‍රපති කුසුම්සිරි විජයවර්ධනගේ ‘ශ්‍රී ලංකාවේ ලෙන්’ ග්‍රන්ථයේ නවතම සංශෝධිත මුද්‍රණය මෙම මැයි මස 21 වෙනිදා අඟහරුවාදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සමාගමේදී එළිදකී.

ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ලෙන් රාශියක් අප රටේ ඇත. බුදුසමය ව්‍යාප්ත වූ පසු මුලින්ම භික්ෂූන් වහන්සේ වැඩ විසූයේත් මෙම ලෙන්වලය. උඳුන්දොර ශ්‍රී පහන ලෙන, පාහියන් ලෙන, බටදොඹ ලෙන, බටතොට ලෙන, රිටිගල ලෙන්, උඩවත්ත කැලේ ලෙන්, දොරවක ලෙන, රාවණ ලෙන, මීමුරේ වෙඩිලුණු ගුහාව ආදී පුරාවිද්‍යා නටබුන් ස්ථාන රාශියකට ගොස් කරන ලද ගවේෂණාත්මක අත්දැකීම් මෙම කෘතියේ ඇතුළත් වේ.


චන්ද්‍රසිරි දොඩන්ගොඩ සාහිත ප්‍රණාම නිර්මාණ තරගාවලියට නිර්මාණ කැඳවයි

 

ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා අනුස්මරණය කරමින් චන්ද්‍රසිරි දොඩන්ගොඩ අනුස්මරණ පදනම විසින් සංවිධානය කරනු ලබන ‘චන්ද්‍රසිරි දොඩන්ගොඩ සාහිත ප්‍රණාම සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය 2019’ සඳහා දැන් නිර්මාණ භාරගැනේ.

නවකතා, කෙටිකතා, පද්‍ය රචනා, ගීත රචනා යන අංශවලින් පිටපත් තුන බැගින් ඔබේ නිර්මාණ 2019 අගෝස්තු 31 දිනට පෙර අයදුම්පතක් සමඟ චන්ද්‍රසිරි දොඩන්ගොඩ අනුස්මරණ පදනම, නො. 5/48, කුරුකුලාව, රාගම යන ලිපිනයට යොමු කළ හැකිය. වැඩිදුර විස්තර අවශ්‍ය වෙතොත් 011-2958685 හෝ 071-8106637 යන දුරකථන අංකවලින් ලබාගත හැකිය.

මාතෘකා