විරාගය’ ගිය පාරේ ගියා නම් අද අපට පොහොසත් ආඛ්‍යානවේදයක් තිබෙනවා : මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

 ඡායාරූපය:

විරාගය’ ගිය පාරේ ගියා නම් අද අපට පොහොසත් ආඛ්‍යානවේදයක් තිබෙනවා : මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ‘විරාගය’ නවකතාවට මේ වසර වන විට (2019) වසර හැටතුනක් සපිරෙයි. නවකතාවල කතා රසය සොයමින් සිටි පාඨකයන්ට ‘විරාගය’ නවකතාව වෙනස් අත්දැකීමක් විය. ඉදින් මේ පිළිබඳව කතාබහ කරන්නට අපි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් හමු වුණෙමු. ඔහු සිය තරුණ වියේ සිටම ‘විරාගය’ නවකතාව මෙන්ම එහි කතුවරයාද ඇසුරු කිරීමෙහි වරම් ලද විද්වතෙකු නිසාය.

‘විරාගය’ පිළිබඳ ඔබේ කියවීම කුමක්ද?

‘විරාගය’ නවකතාව සිංහල නවකතා වංශයේ ඉතාමත්ම වැදගත් කඩඉමක් සලකුණු කරනවා. ‘සයිකොලොජිකල් නවල්’ (Psychological Novel) ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වන මනෝද්‍යාත්මක නවකතාව පිළිබඳව මෙකල බොහෝ දෙනෙක් පර්යේෂණ කළා. එයින් එක් අයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහ එක්දහස් නවසියපනහ උදා වනවාත් සමඟම, ඒ කියන්නේ එක් දහස්නවසිය පනහ දශකයේ මුල් අවුරුදු කිහිපය තුළදී ‘විරාගය’ ලියන්න පටන් ගත්තා. ඒ කෘතිය පළ වූවාට පසුව එහි අගය වඩාත්ම හොඳට වැටහෙන්න පටන්ගත්තෙ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ටයි. එතුමා මේ පිළිබඳව ගුවන්විදුලියේ දේශනයක් පවත්වමින් කිව්වා “අරවින්ද කියන්නේ බුදුන් වහන්සේ දේශනා කළ උපමාවක් අනුව විස්තර කළ හැකි චරිතයක් වන අතර, මඩ පත්ලේ ඉපදී, මඩ පත්ලෙන් නැඟී සිට, ම‍ෙඩ් නොගෑවෙන පියුමට අරවින්දය කියා කියන්නාක් මෙන් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ නවකතාවේ එන අරවින්දත් එබඳු කෙනෙක් හැටියට හැඳින්විය හැකියි” කියලා.

‘විරාගය’ නවකතාවේ තියෙන අපූර්වතම ලක්ෂණයක් තමයි කතුවරයා අරවින්දගේ කතාව කියන්නේ සටහන් පෙළක් ඔස්සේ වීම. මේ සටහන් තමයි අපි කියවන්නේ. මේ සටහන් ටික ඉදිරිපත් කිරීම සඳහා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කතා ශිල්ප විධි හතරක් යොදා ගන්නවා. එකක් තමයි තමන් මැදිහත් වීම. වික්‍රමසිංහ නමැති කතුවරයා මැදිහත් වෙලා හරියට නාට්‍යයක සූත්‍රධරයෙක් වාගෙ චරිත මවනවා. ඒ අතර බතී ඉන්නවා, අරවින්ද ඉන්නවා, අරවින්දගෙ හිතවතුන් ඉන්නවා. ඔහුගේ හිතේ හටගන්නා හැඟීම් ඉදිරිපත් වෙනවා. දෙවැනි ශිල්ප විධිය තමයි බෞද්ධාගමේ පෙන්නුම් කරලා දීලා තියෙන විඥාන ශ්‍රෝතසය, නැත්නම් විඥාන ධාරා සන්දර්භය හෙවත් ඉංග්‍රීසියෙන් ‘ස්ට්‍රීම් ඔෆ් කොන්ෂස්නස්’ (Stream of Consiousness) යොදාගෙන තිබීම. බටහිර සාහිත්‍ය ලෝකයේ මාර්ෂල් පෲස්ට්, වර්ජිනියා වුල්ෆ් සහ ජේම්ස් ජොයිස් වැනි අයත් මේ විඥාන ධාරා සන්දර්භය පාවිච්චි කරලා තිබෙනවා. වික්‍රමසිංහ යොදාගන්නා තුන්වැනි විධි ක්‍රමය තමයි අන්තර් චරිත කිහිපයක් ඉදිරිපත් කිරීම. බතී කෙරෙහි අරවින්ද දරන ආකල්පයට වඩා පටහැනියි කතුවරයා මේ චරිත සම්බන්ධයෙන් දක්වන ආකල්පය. ඒ වගේම මේ කෘතිය තුළ විද්‍යාත්මක පර්යේෂණ ගැන විස්තර වගයකුත් තියෙනවා. සතුන් පිළිබඳ යම් යම් පර්යේෂණවලින් චාල්ස් ඩාවින් ලබන නිගමන අනුව සත්ව පරිණාමයේ ඉහළම සත්වයා මිනිසා වුණාට ඒ මිනිසා ඇතැම් විට ජීවත් වෙන්නෙ ඉවෙන් බව වික්‍රමසිංහ තේරුම් ගන්නවා. ඒ අනුව මිනිසාගේ ඉව ඔස්සේ ඇති වන ලිංගික ළැදිකම්, වෙනත් ළැදිකම් සහ බිය, සංකාව ආදී දේවල් ඔස්සේ වික්‍රමසිංහ චරිත මවනවා.

ඔහු යොදාගන්නා හතරවෙනි විධි ක්‍රමය තමයි සමාජයේ පවතින පරාජිත ස්වභාවය ඇති වන්නේ මිනිසාගේ පරාජිත ස්වභාවය නිසාය කියන සාංදෘෂ්ටිකවාදය ඉදිරිපත් කිරීම. ‘ලයිෆ් ඩිටර්මින්ස් මෑන්, මෑන් ඩිටර්මින්ස් ලයිෆ්’ (Life determines man, man determines life) හෙවත් ‘අපි ජීවත් වන ආකාරයෙන් තමයි අපේ දිවි පැවැත්ම මැනෙන්නෙ’ කියන අදහස ඒ තුළ තියෙනවා. ඇත්තටම අපි ජීවත් ආකාරය හෙවත් අපේ දිවි පැවැත්ම මැනෙන්නෙ අප ජීවත් වන සමාජයේ ස්වාභාවය අනුවයි. සමාජය මාව කම්මැළිි කරනවා නම් හෝ මාව නිෂ්ක්‍රිය කරනවා නම්, මගේ අවට ලෝකයේ තියෙන බලවේග මාව පසුපසට අදිනවා නම් මම උපතින් මොන තරම් වාසනාවන්ත මිනිහෙක් වුණත් මාව නිෂ්ක්‍රිය වෙනවා. ඒ අදහස ‘විරාගය’ ඔස්සේ මනාව ඉදිරිපත් වුණා.

එහෙත් ‘විරාගය’ නවකතාව මගින් පරාජිත චරිත මැවුණු බවටත් චෝදනා නැගුණා?

ඔව්. ‘විරාගය’ බිහි වුණාට පසුව මතයක් ආවා මේ නවකතාව හරහා පරාජිත චරිත වගයක් මවන්නයි හදන්නෙ කියලා. වික්‍රමසිංහ ඒවාට උත්තර දුන්නෙ නැහැ. ඒ කාලයේ හිටපු උගතුන් කිහිප දෙනෙක් මේ නවකතාව වෙනුවෙන් පෙනී සිටියා. චාල්ස් අබේසේකර සහ මහාචාර්ය ඈෂ්ලි හල්පේ වැනි අය ඒ අතර විශේෂයෙන් කැපී පෙනුණා. ඈෂ්ලි හල්පෙ තමයි ‘විරාගය’ ඉංග්‍රීසියට පරිවර්තනය කළේ. ‘ද වේ ඔෆ් ද ලෝටස්’ (The Way of the Lotus) නමින්. මේ ඉංග්‍රීසි පරිවර්තනය පළ කළාට පසුව බොහෝ අය ඈෂ්ලි හල්පේ මහාචාර්යවරයාව බැරෑරුම් විදියට ගත්තෙ නැහැ. සමහරු ඒ පරිවර්තනය වැරදියි කියන තත්ත්වයට පවා ආවා. එහෙත් මා උපාධි අපේක්ෂකයෙකු වශයෙන් සිටි ඒ කාලයේදී මට මෙය විස්මයජනක පොතක් වුණා. අපි ඒ වෙනකොට ඉංග්‍රීසියෙන් කියවලා තිබුණු මාර්ෂල් පෲස්ට්ගේ ‘රිමෙම්බ්‍රන්ස් ඔෆ් තින්ග්ස් පාස්ට්’ (Remembrance of ThingsPast), ජේම්ස් ජොයිස්ගේ ’අ පෝර්ට්රේට් ඔෆ් දි ආර්ටිස්ට් ඈස් අ යන්ග් මෑන්’ (A Portrait of the Artist as a Young Man), වර්ජිනියා වුල්ෆ්ගේ ’ද වේව්ස්’ (The Waves) වගේ පොත්වලට මහාචාර්ය ඈෂ්ලි හල්පෙ කළ පරිවර්තනය හුඟාක් සමීප වුණා. අරවින්දගේ චරිතය ඒ පරිවර්තනය හරහා නිවැරදිව ඉදිරිපත් කරලා තිබුණා. අරවින්දගේ හිතට නැගෙන හැඟීම් ධාරාව වන “මං කොහොමද ජීවත් වෙන්නෙ?”, “මට පුළුවන් වෙයිද?”, “මං ගැන මිනිස්සු මොනවා හිතයිද?”, “මට පුළුවන් වෙයිද මේක විද්‍යාත්මකව තේරුම් ගැනීමට?”, “මගේ ආදරය දෙකට කැඩිලා ගිහිල්ලා, මේනකා එක පැත්තක, බතී තව පැත්තක, බතීටයි මේනකාටයි මැදි වුණු මිනිහෙක් නෙවෙයිද මම?”, “මගේ සිතට නැඟෙන හැඟීම් තව කෙනෙක් වටහා ගන්නේ කෙසේද?” වැනි දේවල් ඒ පරිවර්තනය හරහා මනාව ඉදිරිපත් කර තිබුණා.

මහාචාර්ය ඈෂ්ලි හල්පෙ කිව්වෙ මේ පොතේ පරිවර්තනය බටහිර රටවලට ආගන්තුක පොතක් වෙන්නෙ නැහැ කියලයි. මොකද මේ ජාතියෙ පොත් කිහිපයක් ඒ වන විටත් බටහිර රටවල ලියැවිලා තිබුණා. හැබැයි සිංහල පාඨකයාට නම් ‘විරාගය’ ආගන්තුක වුණා. මොකද ඒ කෘතිය ඔවුන්ට නුහුරු අත්දැකීමක් වුණා. ඒ කෘතිය හරහා ප්‍රථම වතාවට ලේඛකයෙක් මහන්සි ගන්නවා ‘ඉනර්නස්’ (Innerness) ලෙස හැඳින්වෙන අභ්‍යන්තරභාවය විවරණය කිරීම හෙවත් අභ්‍යන්තර කථකයා මගින් සමාජය විශ්ලේෂණය කිරීමේ ක්‍රමය හඳුන්වා දෙන්න. මේ නිසා ‘විරාගය’ පොත විභාගවලට නියම කරලා තියෙනකොට ඉගැන්වීමේ ප්‍රශ්නයක් ආවා. එතෙක් කාලයක් විභාගවලට ඉගැන්වූයේ ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ‘දෛවයෝගය’, ‘විජයබාකොල්ලය’, ‘කැලෑ හඳ’ සහ මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගම්පෙරළිය’ වැනි නවකතා. එවැනි පසුබිමක් තුළ ‘විරාගය’ වැනි පොතක් ආවාම ඒක ලොකු අභියෝගයක් බවට පත් වුණා. ප්‍රථම අභියෝගය තමයි ‘විරාගය’ නවකතාවේ පිරිපුන් කතාවක් නැති වීම. එහි මුල, මැද සහ අග ගැටගැසෙන කතාවක් නැහැ. දෙවැනි අභියෝගය ඒ නවකතාව මගින් චිත්ත අභ්‍යන්තරයෙහි අභ්‍යන්තරික ආත්ම භාෂණය කණ්ඩනය කරනවා. හරියට අර බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යවල විඝටනය කරනවා වගේ, කතා රසය ඈත් කරලා තියනවා වගේ. ඒ නිසා ‘විරාගය’ තුළ කතා රසය පහසුවෙන් හොයා ගන්නට කෙනෙකුට පුළුවන්කමක් නැහැ. හුදු කතා රසයට වඩා විරාගයෙන් ගොඩනඟන්නට හැදුවේ ආත්ම භාෂණය පිළිබඳ කතා රටාවක්. එය පිරිපුන් කතා රටාවට වඩා අභ්‍යන්තර චරිතය ගොඩනඟන කතා රටාවක්.

‘විරාගය’ නවකතාවෙන් මොකක්ද කියන්න යන්නෙ? විවිධ අභියෝගයන්ට මුහුණ දෙන අරවින්ද ඇත්තටම ඒ අභියෝගයන්ට මුහුණ දිය හැකි කෙනෙක්ද කියන කාරණය ඒ නවකතාව ඔස්සේ ඉඟිකාරාත්මකව ඉදිරිපත් කෙරෙනවා. ඒ ඉදිරිපත් කිරීම ඔස්සේ කියවෙන්නේ ඔහු ජයගත් ලෝකය නිරාමිස ලෝකය බවයි. ආමිසයේ ඉඳලා ඉඳලා, ඒවා අත්ඇරලා දාලා ක්‍රම ක්‍රමයෙන් උඩට ආව නෙළුම් මලක් වගේ ඔහු නිරාමිසය වෙත යොමු වෙනවා. මේ චරිතය ජාතක පොතේ, සද්ධර්ම රතනාවලියේ සහ සද්ධර්මාලංකාරයේ වගේම ථෙර ථෙරී ගාථාවලත් තියෙනවා. හැබැයි එය පියදාස සිරිසේන ළඟ තිබුණෙ නැහැ, ඩබ්ලිව්.ඒ. සිල්වා ළඟ තිබුණෙ නැහැ. හේමපාල මුනිදාස ළඟ තිබුණෙ නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍ර ‘මළගිය ඇත්තෝ’ ලියනකොට ‘විරාගයේ’ බලපෑම ආවයි කියලා හිතන්න පුළුවන්. මහාචාර්ය සිරි ගුනසිංහ ‘හෙවනැල්ල’ ලියනකොට ‘විරාගයේ’ බලපෑම ආවයි කියලා හිතන්න පුළුවන්. මට සම්මානයක් ලැබුණු මගේ ‘සෙවණැලි ඇද මිනිස්සු’ ලියනකොට මට ‘විරාගය’ නවකතාවේ බලපෑම ආවෙ නැහැයි කියලා මම කියන්නෙ නැහැ. ඒ වගේම මට ජේම්ස් ජෙයිස්ගේ බලපෑමත් තියෙන්න ඇති. අපේ විභාගවලට ‘විරාගය’ නියම වෙලා තිබුණා. ඒ කාලයේ ඒ පොතේ පිටු ගණන් මට කටපාඩම්. ඒ වගේම ජේම්ස් ජොයිස්ගේ පොත්වලත් පිටු ගණන් කටපාඩම්.

‘විරාගය’ පළ වන විට පැවැති බටහිර සාහිත්‍ය ප්‍රවණතා කෙබඳුද?

ඒ කාලයේ තිබුණේ මනෝවිද්‍යාත්මක නවකතාවේ නැඟීමයි. එය වර්ජිනියා වුල්ෆ් ජීවත්ව සිටි කාලයයි. ඒ වන විට මාර්ෂල් පෲස්ට් මියගිහින්. වර්ජිනියා වුල්ෆ්ගේ ආරෙට ගිය අයිරිෂ් මර්ඩොක්, එඩ්නා ඕබ්‍රයන් සහ ඩොරිස් ලෙසිං වැනි ලේඛක ලේඛිකා පරපුරක් ඒ වන විට මතු වෙමින් සිටියා. ඩොරිස් ලෙසිංගේ ‘ග්‍රාස් ඉස් සින්ගිං’ (Grass is Singing) කෘතිය ‘විරාගය’ නවකතාවට බොහෝ දුරට සමානයි. මාර්ටින් වික්‍රමසිංහ පුදුමාකාර සත්වයෙක්. ඔහු ඒ නවකතා ඔක්කොම කියවලා තිබුණා. ඔහුත් සමඟ මා කතාබහ කරද්දියි තේරුණේ ඔහු කොයි තරම් කියවලා තියෙනවද කියලා. ඒ කාලයේ මම හිතාගෙන හිටියේ මම තමයි වැඩියෙන්ම පොත් කියවලා තිබුණේ කියල. මම මාර්ටින් වික්‍රමසිංහගේ ගෙදර ගිහිල්ලා ඔය පොත් ගැන කතා කරන විට ඔහු කිව්වේ, “ආ ඔව් මම කියවලා තියෙනවා ඒක. ඒකෙ මෙහෙම නේද තියෙන්නෙ? මගේ විරාගයටත් පොඩ්ඩක් ඕක බලපාලා වගේ කියලා කියනවා” කියලයි. හැබැයි ඔහු කෙළින්ම ඒක පිළිගන්නෙත් නැහැ. වික්‍රමසිංහට ඒකට ශක්තිය තිබුණා. ඔහු කිසිම දෙයක ඇලෙන්නෙ නැතුව ඒ සියල්ලෙන් ගැලවෙනවා. ඔහු යම් යම් දේවල් කියවලා ඒවායෙන් එළියට ඇවිල්ලා ස්වාධීන වෙනවා. ඒක තමයි ඔහුගේ ලොකුම ශක්තිය. ඔහු ඇලෙන්නෙ නැහැ. ඔහුත් අරවින්ද කෙනෙක්.

වර්ජිනියා වුල්ෆ් ‘ද වේව්ස්’ ලියනකොට ඒකෙත් ඇතුළෙ ඉන්න චරිතය ඇලෙන්නෙ නැහැ. ඒක මනෝවිද්‍යාත්මක නවකතාවල තියෙන එක විශේෂත්වයක්. කිසියම් දෙයක් මවලා නිෂ්පුද්ගල වෙනවා. බය නැහැ. අපේ නවකතාකරුවෝ බයයි. නිර්භය නවකතාකරුවෝ නැහැ. නිර්භය කවියොත් නැහැ. ඉන්දියාවේ කුෂ්වාන්ත් සිං ටිකක් නිර්භය ලේඛකයෙක්. හැබැයි ජොයිස් වාගේ නම් මැව්වෙ නැහැ ඔය කවුරුවත්. ‘අ පෝර්ට්රේට් ඔෆ් දි ආටිස්ට් ඈස් අ යන්ග් මෑන්’ කියන්නෙ මම හිතන විදියට නම් හරිම නිර්භය පොතක්. අපේ ඇතැම් ලේඛක ලේඛිකාවො සදාචාරයට හරි බයයිනෙ. ජොයිස් වැනි ලේඛකයො ඒ අතින් හරි ඉදිරියෙන් හිටියා. මාර්ටින් වික්‍රමසිංහත් ‘විරාගය’ වැනි නවකතාවක් හරහා ඒ නිර්භය බව පළ කළා කියලයි මම හිතන්නෙ. ඒ නවකතාවෙන් ඉදිරිපත් වුණේ එදා සමාජයේ පැවැති යථා ස්වරූපයයි. අපිත් ඒ කාලයේ ඇත්තටම එහෙම පිරිසක් වුණා. විශ්වවිද්‍යාලයෙන් එළියට ආවාම මොකද කරන්නෙ කියලා ඒ කාලයේ අපට තේරෙන්නෙ නැහැ. අද ඒ තත්ත්වය ඊටත් වඩා හපන්. අද බොහෝ අය ඒවා ගැන කතා කරන්නවත් කැමතිත් නැහැ. මෙහෙම කතා කරනකොට සමහරු කියයි මම මේ දේශපාලනය කතා කරනවා කියලා. ඇත්තටම මේ දේශපාලනය තමයි. අද පාර්ලිමේන්තුවේ ඉන්නවාද බුද්ධිමත් දෙයක් කතා කරන එක්කෙනෙක්? ඉස්සර හිටියා. කන්නන්ගර හිටියා, පිලිප් ගුණවර්ධන හිටියා, එන්. එම්. පෙරේරා හිටියා. කොල්වින් ආර්. ද සිල්වා හිටියා. නවකතා ලියන ටී. බී. ඉලංගරත්න හිටියා. සිංහලෙන් කතා කරන මරික්කාර් හිටියා. අද කවුද ඉන්නෙ? කවුද පන්නරය දෙන්නෙ? කවුද අධ්‍යාපන පන්නරය දෙන්නෙ? මේක ශෝකජනකයි.

‘විරාගය‘ වැනි නවකතාවක් අදට වැදගත් යැයි ඔබ සිතනවාද?

බොහෝ අය නිවැරදි ආකාරයට ‘විරාගය’ සොයාගෙන ගියේ නැහැ. ‘විරාගය’ ගිය අඩි පාරේ ගියා නම් සිංහල ආඛ්‍යානවේදියාට අද වෙනකොට ඉතාමත්ම පොහොසත් ආඛ්‍යානවේදයක් ශ්‍රී ලංකාවේ ගොඩනඟා ගන්නට තිබුණයි කියලයි මම හිතන්නෙ. වික්‍රමසිංහ ‘විරාගය’ හරහා ගෙන ආ දෙයම ඔහුගේ කවියට ඇවිල්ලා තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ කවි පොතක් කියලා ලිව්වේ ‘ථෙරී ගාථා’ නමැති කෘතියනෙ. ඒකෙ තියෙනවා විඥාන ධාරා සන්දර්භය. ඇත්තටම ‘විරාගය’ අද තමයි නිර්දිෂ්ට කෘතියක් කරන්න ඕන කියලා මට හිතෙනවා. මොකද අද තමයි ඒ නවකතාවෙන් කතා කරපු ඇදපලුදුකම් තියෙන සමාජය වැඩි. අද සමාජය තුළ අපි හරියට පිස්සො වගේ වෙලා. මම නිතරම මගේ ගෝලයොත් එක්ක කියන්නෙ අපට පිස්සු කියලයි. අපි උන්මත්තකයි. මටම තේරෙන්නෙ නැහැ මම හැසිරෙන හැටි. මට සිංහල මිනිහෙක්ය කියලා කියන්න බැහැ. මම දෙමළ මිනිහෙක් කියලා කියන්නෙත් නැහැ. මට අනගාරික ධර්මපාල වගේ කෙනෙක් වෙන්න හරි අමාරුයි. මම එතුමාට ගරු කරනවා. මට කොටින්ම සෝභිත හාමුදරුවො වගේ කෙනෙක් වෙන්නත් බැහැ. අගමැති කෙනෙක් නම් වෙන්නම බැහැ. රනිල් වික්‍රමසිංහ මේ ළඟදි දවසක පාර්ලිමේන්තුවේ කතා කරද්දි කිව්වා ඔහු ගුණදාස අමරසේකරගේ ‘යළි උපන්නෙමි’ කියෙව්වා කියලා. ඒකෙ කියන විදියෙ යළි ඉපදුණ අයයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ කියල ඔහු කිව්වා. ඒ ප්‍රකාශය ‘යළි උපන්නෙමි’ කෘතියට කරපු ලොකුම අපහාසයක්නෙ. ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහ ඒ පොත කියවලා නැහැ. අනෙක් කාරණය ගුණදාස අමරසේකරගේ ‘යළි උපන්නෙමි’ නවකතාවේ එතැනට වැදගත්කමක් ඇත්තෙම නැහැ. නවකතාව කියවපු බව පෙන්නන්නයි ඔහුට වුවමනා වුණේ.

‘විරාගය’ චිත්‍රපටය ගැන ඔබේ අදහස කුමක්ද?

චිත්‍රපටය නිර්මාණය කරද්දී තිස්ස අබේසේකර ‘විරාගය’ නවකතාවේ හරය හරියටම අල්ලගත්තයි කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. එය අසාර්ථක චිත්‍රපටයක් නෙවෙයි. තිස්ස බොහොම දක්ෂ මනුස්සයා. තිස්ස සනත් ගුණතිලකව හිතින් වධ විඳින මිනිහෙක් බවට පත් කළා. වධ විඳිනවට වඩා මේකට අපි කියන්නෙ අරගලයක හිටියා කියලයි. මේ කාලය ගත්තත් අපි අරගලයකනෙ යෙදෙන්නෙ. හැම බුද්ධිමතෙක්ම නොකියා කරන්නෙ අරගලයක්. මොකක්ද අපි කරන අරගලය? උපාධි අපේක්ෂකයෙක් වෙලා ඉන් පසුව කරන්නෙ මොකක්ද කියලා අපි දන්නෙ නැහැ. අද විශ්වවිද්‍යාල උපාධිධරයෙක් වෙලා එළියට එන කෙනා දන්නවා තමන් උගතෙක් නෙවෙයි කියලා. ඒ නිසා ‘විරාගය’ නවකතාවේ එන අරවින්දගේ ජීවිතයට වඩා ශෝචනීයයි අද ජීවිතය. මේ කරුණු චිත්‍රපටය හරහා මතු වුණේ නැහැ. වෙනත් විදියකින් කියනවා නම් චිත්‍රපටය දිනුවේ නැහැ. ‘විරාගය’ නවකතාවේ තියෙන ගැඹුර චිත්‍රපටයට ආවේ නැහැ.

ඒ ගැඹුර නවකතාව හරහා සමාජගත වුණා කියා ඔබ විශ්වාස කරනවාද?

නැහැ. නවකතාවේ ගැඹුර සමාජය කරා ආවේ නැහැ. ඒකනෙ මේ නවකතාවට නොසෑහෙන විදියට බැණුම් අහන්න සිද්ධ වුණේ. ඒකනෙ ඒ නවකතාව විභාගවලින් ගැලෙව්වේ. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේක වටහාගත්තෙ නැහැ. ඔය ගැන බොහොම දුක් වෙච්ච එක මනුස්සයෙක් තමයි සරච්චන්ද්‍ර මහත්තයා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා