මගේ දැක්ම වෙනස් කළේ ජෝර්ජ් ඕවල්ගේ ‘1984’ නවකතාවයි

 ඡායාරූපය:

මගේ දැක්ම වෙනස් කළේ ජෝර්ජ් ඕවල්ගේ ‘1984’ නවකතාවයි

වෙළෙඳ දැන්වීම් නිර්මාණ ශිල්පී දිලීප අබේසේකර

බහ තෝරන්න පටන් ගත් කාලේ ඉඳලාම මම පොත්වලට හරි කැමතියි. පොත් කියවන්න කලින් මම කැමති වුණේ පොත්වල රූප බලන්න. එහෙම බලපු රූප පොත් අතර මං කැමතිම පොත් පෙළ තමයි ටිං ටිංගේ (Tin Tin) කතා පෙළ. ඒ කතා පොත් මට ගෙනත් දුන්නේ මගේ අම්මා. ඉන් පස්සෙ මම බැරෑරුම් පොත් කියවන්න පටන් ගත්තා. මං කැමති බැරෑරුම් පොත් හුඟක් තියෙනවා. ඒ අතර ඇමෙරිකානු ලේඛක ජෝර්ජ් ඕවල්ගේ ‘1984’ නවකතාව මට අමතක නොවනම කෘතියක්. ඕවල්ගේ Animal Farm කෘතිය ඔහුගේ ජනප්‍රියම නවකතාව වෙනවා. ඒ වුණත් මම බොහොම කැමති ‘1984’ කෘතියටයි. ලෝකය 1984 වසර වන විට පවතින්නේ මේ ආකාරයෙන් යැයි අනුමාන කිරීමක් මේ නවකතාවේදී සිදු වෙනවා.

‘1984’ කෘතිය රචනා වෙන්නේ 1948 වසරේයි. ඔහු ඒ යුගයේ සිටිමින් ඉදිරි දශක කිහිපය මනාව දකිනවා. ඔහු විය හැකි යමක් සිදු වන්නේ මෙලෙස යැයි අනුමාන කරනවා. ඕවල්ගේ කෘති බොහෝ දුරට සංකේතාත්මකයි. Animal Farm කෘතියත් හුඟක් සංකේතාත්මකයි. එහිදී කියන්නේ ගොවිපළක සතුන් එකතු වෙලා මිනිසුන්ගෙන් ගොවිපළ බේරාගෙන පවත්වා ගැනීමට දරන උත්සාහයක්.

‘1984’ අනාගතය දුටු පොතක්. ඒ අනුමාන කරන වසර (1984 වසර) ගෙවී ගියත් අදටත් එම කෘතියේ සිදු වන දෑ ලෝකය තුළ සිදු වෙනවා. කෘතියේ කතානායකයා වෙන්නේ වින්ස්ටන් නම් රජයේ රැකියා කරන කෙනෙක්. කෘතියට අනුව මේ යුගය වෙනකොට ලෝකය කොටස් තුනකට බෙදී පවතිනවා. වින්ස්ටන් පදිංචිව සිටින්නේ මධ්‍යම යුරෝපය හා ඇමෙරිකාව එක්ව සෑදුණු කොටසේ්යි. මේ කොටස අනෙක් කොටස් හා විටින් විට යුද වැදෙනවා. Big Brother නම් සංකල්පයක් මේ වන විට මේ සමාජයේ ඇති වෙලා තියෙනවා. මේ ලොකු සහෝදරයා සියල්ල පාලනය කරන්නෙක්. ඒත් ඔහු දෘශ්‍යමාන වෙන කෙනෙක් නෙවෙයි. ඔවුන් ජීවත් වන මේ සමාජය සෘණාත්මක කේතුමතියක් වශයෙනුත් හඳුන්වන්න පුළුවන්.

මේ කෘතියට අනුව ජනතාව ආණ්ඩුව කියන දේ පිළිගන්නවා. කෘතියේ කතානායකයා වන වින්ස්ටන්ට මේ සමාජයට පෙර මෙහි තවත් යුගයක් තිබූ බව දැනෙනවා. ඔහුට අම්මා, නංගී ආදීන් සිටි බව මතකයේ තියෙනවා. ඒ කියන්නෙ අතීතය අමතක වීමක් එහි තියෙන්නෙ. කතාව ඇරඹෙන්නේම පැරණි භාණ්ඩ එකතු කරන කඩයකින්. ඒ කඩයේ තිබී පරණ සටහන් පොතක් මිලට ගන්නා වින්ස්ටන් පොතේ සටහන් තබන්න ගන්නවා. එසේම ඕවල් මේ කෘතිියේදී සෑම නිවසකම ඩිජිටල් තිරයක් වැනි බිත්තියක් ඇති බව පවසනවා. නිවැසියන් හැම විටම බිත්තියෙන් පිටත සිටින අදෘශ්‍යමාන බලවේගයක් තමන් පාලනය කරන බව සිතනවා. එනිසා හරි පරිස්සමෙන් මිනිස්සු තමන්ගේ කාර්යයන් කරන්න පෙළඹෙන්නෙ. මේ කාලයේ බොහෝ විරල දේවලුත් හමු වෙනවා. නිදසුනකට රැවුල කැපීමට ගන්නා බ්ලේඩ් තල මේ යුගයේ හරි මිල අධිකයි. මනංකල්පිත කතාවක් වුණත් මෙය ඇත්තටම හරි විචිත්‍රයි.

ඒවගේම කෘතියේ විවිධ කල්පිතයන් නිර්මාණය කරන බව පෙනෙනවා. එක් අවස්ථාවක එහි 2+2 =5 ලෙස දක්වනවා. කතානායක වින්ස්ටන් කියන්නේ 2+2 = 4 ලෙස පිළිගැනීමට නිදහස තිබිය යුතු බවයි. සත්‍යය දැකීමට ඇති නිදහස සෑබෑ නිදහස ලෙසයි ඔහු දකින්නෙ.

මේ පොත මම කියෙව්වේ මට අවුරුදු 20 දි විතර. ඒ, මම ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර වෙබ්ස්ටර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් ඉගෙනුම ලබද්දි. මම එකල ඒ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ රැකියාවක් කරනවා. මම අපේ පවුලේ එකම දරුවා. තාත්තා ගීත රචකයෙක්. ඔහු කරුණාරත්න අබේසේකර. අම්මා ගෘහණියක්. මං මුලින් කිව්වා වගේ මගේ කියවීම වර්ධනය කරන්න අඩිතාලම දැම්මේ අම්මා. අපේ ගෙදර හොඳ පුස්තකාලයක් තිබුණා. අදටත් එය තියෙනවා. ඒ පුස්තකාලයත් මගේ කියවීම වර්ධනය කළා. මගේ මුල්ම පාසල කොළඹ අශෝක විදුහල. පසුව මම කොළඹ ආනන්දයට ඇතුළත් වෙනවා. ඒක කළේ තාත්තා. කොහොම ඒක කළාද කියල මං දන්නෙ නෑ. ඒත් මට උසස් පෙළ විභාගය කරන්න ලැබෙන්නෙ නෑ. මොකද උසස් පෙළ කරමින් ඉද්දි මට ස්විස්ටර්ලන්තයේ වෙබ්ස්ටර් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා හා ජාත්‍යන්තර සබඳතා උපාධියක් හදාරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මම මෙහෙ උසස් පෙළ අත්හැරදාලා විදේශගත වෙනවා. කොහොම වුණත් මගේ දැක්ම වෙනසකට ලක් කළ කෘතියක් විධියට මට ජෝර්ජ් ඕවල්ගේ ‘1984’ නවකතාව හඳුන්වන්න පුළුවන්.

[එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා