රිවි දින, ගුරු දින හා කුජ දින

 ඡායාරූපය:

රිවි දින, ගුරු දින හා කුජ දින

සතියේ දින හතකි. ඒ සත් දින හැඳින්වීමට පද කීපයක් ම සිංහලයෙහි යෙදේ.

ඒ සියල්ල ම අකාශස්ථ වස්තූන් හා බැඳේ. සතිය හෙවත් සුමානය ඇරඹෙන්නේ කවදා ද

යන ප්‍රශ්නය බටහිර වැසියන්ට ඇත. බ්‍රිතාන්‍යයේ වැසියන්ගේ සතිය බොහෝ විට ඇරඹෙන්නේ සඳුදා ය. ඇමෙරිකානුන්ගේ සතිය බොහෝ විට ඇරඹෙන්නේ ඉරිදා ය. සිංහලයන් සතියේ දවස් හත හඳුන්වන්නේ මෙසේ ය.

රිවි දින : ඉරි දා

'ඉර' හෝ 'හිරු' හැඳින්වීමට පද කීපයක් ම

සිංහලයෙහි යෙදේ. 'හිරු' යන තද්භව පදය සිංහලයට ආවේ 'සූර්ය' යන සංස්කෘත තත්සම පදය මූලාශ්‍රය කොට ගෙන ය. 'හිරු' යන්න පසුව 'ඉරු' බවට පත් විණ. පදයෙහි මුල එන හ-යන්න ලොප් වීමෙනි. 'හවුරුදු' යන්න 'අවුරුදු' බවටත් 'හැවිරිදි' යන්න 'ඇවිරිදි' බවටත් 'හූරු' යන්න 'ඌරු' බවටත් පත් වූ සැටියෙනි.

'ඉරු' වෙනුවෙන් වෙන් වූ දවස 'ඉරු දා' ය.

එය ස්වර සමීකරණයෙන් 'ඉරිදා' බවට පෙරළේ. හිරු හැඳින්වීමට 'රවි' යන තත්සම පදය සංස්කෘතයෙහි ද 'රිවි' යන තද්භව පදය සිංහලයෙහි ද යෙදේ. ඉරිදාට පළ වන පුවත්පත් කීපයක් 'රිවි දින', 'රිවි රැස',

'රිවි දා', 'රිවිර' යනුවෙන් නම් කොට ඇත.

සඳු දා : සඳු දින

'සඳු' හැඳින්වීමට 'හඳ' යන පදය ද සිංහල ජන වහරෙහි යෙදේ. එබැවින් සිංහල ගැමියෝ 'හඳුදා' යන පදය ද යොදති. 'සඳ' යන තද්භව පදය උපන්නේ සංස්කෘත 'චන්ද්‍ර' යන තත්සම පදය ඇසුරිනි.

ඉංගිරිසීන් සඳ හඳුන්වන්නේ 'moon' (මූන්) කියා වුවත් සඳුදාට කියන්නේ 'Moonday' (මූන් ඩේ) කියා නොව 'Monday' (මන්ඩේ) කියා ය.

අඟහරුවාදා : කුජ දින

'අඟහරුවාදා' හැඳින්වීමට 'කුජ දින' යන නම ද

යෙදේ. 'කුජ' යනු ග්‍රහයෙකි.

බදාදා : බුධ දින

'බුධ' නමැති ග්‍රහයා වෙනුවෙන් නම් කොට ඇත්තේ 'බුධ දිනය' යි. 'බුධ' යන සංස්කෘත තත්සම පදය සිංහලයට ආවේ 'බුද' යනුවෙනි. 'බුද දා' යන්න පසුව 'බදාදා' බවට හැරිණ.

බෘහස්පතින්දා : ගුරු දින

බෘහස්පති ග්‍රහයා වෙනුවෙන් වෙන් කොට ඇති දවස 'බෘහස්පතින්දා' ය. ඊට ම 'ගුරු දින' යන නමත් යෙදේ. හින්දු හා බෞද්ධ දේව විශ්වාස අනුව බෘහස්පති යනු දෙවියන්ගේ ගුරුවරයා හෙවත් 'සුරගුරු' ය. එබැවින් 'බෘහස්පතින්දා' ගුරු දිනය බවට පත් වේ.

සිකුරාදා : කිවි දින

සිකුරු නම් ග්‍රහයා වෙනුවෙන් වෙන් කොට ඇති දවස 'සිකුරාදා' ය. සිකුරාගේ දවස 'සිකුරාදා' ය. 'සිකුරු' යන සිංහල තද්භව පදය සැදෙන්නේ 'ශුක්‍ර' යන සංස්කෘත තත්සම පදය ඇසුරිනි.

'කිවි' යනුත් සිකුරු ග්‍රහයාට ම නමකි. 'කිවි' යන්න සිංහල තද්භව පදයකි. ඊට මූලාශය වූයේ 'කවි' යන සංස්කෘත තත්සම පදය යි.

සෙනසුරාදා : ශනි දින

'සෙනසුරු' නම් ග්‍රහයා වෙනුවෙන් වෙන් කොට ඇති දවස 'සෙනසුරාදා' ය. සෙනසුරාගේ දවස 'සෙනසුරාදා' ය. මේ ග්‍රහයා සංස්කෘතයෙහි හැඳින්වෙන්නේ 'ශනි' යන පදයෙනි. සංස්කෘත 'ශනිශ්චර' යන පදය සිංහලයට 'සෙනසුරු' වූ නියාවකි.

ඉංගිරිසින් සෙනසුරු ග්‍රහයා හඳුන්වන්නේ 'saturn' (සැටර්න්) කියා වුවත් සෙනසුරාදාට කියන්නේ 'Saturnday' (සැටර්න්ඩේ) කියා නොව Saturday (සැටඩේ) කියා ය. 'සැටර්න්' (Saturn) යන පදයේ n අකුර ඉවත් වී ගොස් ඇත.

සතියේ දවස්

සතියට දවස් හතක් ඇතත් ඒ සියලු ම දවස් 'සතියේ දවස්' (week days ) වශයෙන් ඉංගිරිසින් සලකන්නේ නැත. ඔවුහු 'ඉරිදා' ද

ඇතැම් විට 'සෙනසුරාදා' ද සතියේ දවස් වශයෙන් නොසලකති.

සති අන්තය

බටහිර වැසියන් 'සති අන්තය' (week-end) වශයෙන් සලකන්නේ සෙනසුරාදා හා ඉරිදා ය. ඉංගිරිසි භාෂාව ලෝක භාෂා කෙරේ කොතරම් බල පා ඇද්ද යත් ප්‍රංසක්කාරයෝ ද 'වීක්-එන්ඩ්' යන වහර උදේ, සවස භාවිත කරති. නාගරික සිංහලයෝ ද 'වීක් එන්ඩ් එකට' විනෝදය සඳහා නොයෙක් තැන්වල 'සෙට්' වෙති.

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

මාතෘකා