කවිය කවියා අමතන හැටි

 ඡායාරූපය:

කවිය කවියා අමතන හැටි

මෑත භාගයේදී කවියත්, භාෂාවත් අතර පවත්නා දෙබස ඉතා සියුම් විශ්ලේෂණයන්ට මුල් වී තිබේ. වාග් විද්‍යාව, සාහිත්‍ය න්‍යාය, දර්ශන ශාස්ත්‍රය, මානව විද්‍යාව බඳු විවිධ ගවේෂණ පථ ඔස්සේ ගමන් කරන චින්තකයන් මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ ඉතා වැදගත් විවරණ සපයා ඇති බව කිවමනාය. මේ කෙටි ලිපියෙන් මා අදහස් කරන්නේ කවියත්, භාෂාවත් අතර පවත්නා සම්බන්ධය නව දෘෂ්ටිකෝණයකින් අවලෝකනය කිරීමට අනුබල දුන් ජර්මන් ජාතික දාර්ශනිකයෙකු වන මාර්ටින් හයිඩෙගර්ගේ චින්තන රටාව කෙරෙහි ආලෝක ධාරාවක් විහිදුවීමටය. විසංයෝජන වාදයෙහි කර්තෘවරයා වන ජැක් ඩෙරීඩා මාර්ටින් හයිඩෙගර්ගේ චින්තනයෙන් මහත් ආලෝකයක් ලැබුවේය.

මගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය වන ‘ඉතිහාසය සිනාසෙයි’ යන්න කියවා සුනිල් සරත් පෙරේරා, බුද්ධදාස ගලප්පත්ති, උදේනි සරත්චන්ද්‍ර, ආරියතිලක පීරිස්, සුනිල් ගුණවර්ධන වැනි විචාරකයෝ වැදගත් අදහස් පළ කළහ. කවියාත්, භාෂාවත් අතර පවත්නා සනාතන අරගලය මෙහි ඇතුළත් බොහෝ පද්‍ය රචනාවලින් ප්‍රකට වන බව ඔවුන්ගේ මතය විය. මෙය සැබෑවකි. කවියෙහි අස්තිත්වයත්, කවියා හා භාෂාව අතර පවත්නා සංකීර්ණ සම්බන්ධයත් ‘ඉතිහාසය සිනාසෙයි’ කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් බොහෝ නිර්මාණවල තේමාගත වී තිබේ. තත් කාර්යයෙහිදී හයිඩෙගර්ගේ චින්තනයෙන් මම මහත් එළියක් ලැබුවෙමි.

මාර්ටින් හයිඩෙගර් (1887 – 1976) විසිවැනි සියවසෙහි පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයෙකි. දෙවැනි ලෝක සංග්‍රාම අවධියෙහිදී නාට්සිවාදය කෙරෙහි පක්ෂපාතීත්වයක් දැක්වීම නිසා ඔහු මහත් අපකීර්තියට පත් විය. එතෙකුදු වුවත් දාර්ශනිකයෙකු වශයෙන් ඔහුගේ නිබන්ධවල ආලෝචනා පූර්ණත්වය බොහෝ ප්‍රාඥයෝ පිළිගනිති. කාලය - මරණය - භාෂාව - කවිය - තාක්ෂණය වැනි විෂය ප්‍රදේශ ඔහුගේ ගැඹුරු විමර්ශනයට ලක් විය. භාෂාව හා කවිය පිළිබඳව ඔහු ගෙනහැර දැක්වූ සිතුම් රටා අත්‍යන්තයෙන් වැදගත්ය. බොහෝ දෙනා අදහස් සන්නිවේදනය කිරීම සඳහා උපයෝගී කරගනු ලබන උපකරණයක් ලෙස භාෂාව සලකන අතර, හයිඩෙගර් භාෂාව සැලකුවේ මිනිසා බිහි කරන ප්‍රාකෘතික බලවේගයක් ලෙසටය. භාෂාව තුළින් මිනිසා කතා කරනු වෙනුවට මිනිසා තුළින් භාෂාව කතා කරන බව ඔහුගේ අදහස විය.

කවිය ස්වාධීන ජීවියෙකු ලෙස නැඟ සිටින අයුරු මාර්ටින් හයිඩෙගර් පෙන්නුම් කළේය. විශේෂයෙන්ම ෆ්‍රෙඩ්රික් හෝල්ඩර්ලින් නමැති ජර්මන් ගූඪවාදී කවියාගේ නිර්මාණ ඇසුරෙන් ඔහු භාෂාවෙහි ස්වභාවය පිළිබඳ සිය අදහස් පළ කළේය. කවිය අදීන සචේතනික ජීවියෙකු ලෙස මතු වන බව ඔවුන් දෙදෙනාගේම අදහස විය. මෙම චින්තන රටාව ‘ප්‍රහර්ෂය’ නමැති මගේ පද්‍යයෙන් උපුටාගත් කොටසකින් පැහැදිලි වනු ඇත.

 

කවියා අමතමින් මෙලෙස

කවිය නිසයි සිය පැතුමක්

කොස් ගස අතු අතර සැලෙන

හඳ බලන්ට මම ආසයි

මගේ ‘ඉතිහාසය සිනාසෙයි’ නමැති පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත් බොහෝ නිර්මාණවල යට සඳහන් කරන ලද චින්තනයෙහි මාර්ග උපදේශකත්වය දැකගත හැකිය. උදාහරණයක් වශයෙන් ‘උපදේශය’ යන පද්‍යය දක්වනු කැමැත්තෙමි.

 

වචන පේළි සුදු පිටුවට

ඇණ නොගසනු කිසි විටෙකත්

 

පිටුවේ නිදහසේ නිතර

සරන්ට ඉඩ කඩ තබන්න

 

වචන එකිනෙකා හමු වී

මිතුදම් ලියලනු ඇත එහි

 

හොර රහසේ බස් දොඩන්ට

ඔවුනට ඉඩ හැර තබන්ට

 

විහිළු තහළු කර ඔවුනට

සතුටු වන්ට දොර හරින්න

 

එවිට තවත් බිහි වනු ඇත

පබසර මිණිතර විහිදා

කවිය ස්වාධීන ජීවියෙකු ලෙස ඉදිරියට එන බව සමර්ථනය කරන කවියෙකු ලෙස පෝල් සේලාන් (1920 – 1969) දැක්විය හැකිය. සේලාන්ගේ කාව්‍ය නිර්මාණවල අඳුර, වේදනාව, ආත්ම - අවප්‍රමාණය - වැනි ප්‍රධාන තේමා කිහිපයක් පද්‍යගත වී තිබේ. නාට්සීන්ගේ ක්‍රෑරතර පාලනය නිසා සිය දෙමාපියන් මියයෑම, යුදෙව් සංහාරය, තමා පරිපීඩනයට ගොදුරු කළ ජර්මන් භාෂාව ස්වකීය නිර්මාණාත්මක මාධ්‍යය ලෙස උපයෝගී කර ගැනීමට සිදු වීම ඔහුට අත්‍යන්තයෙන් දුක්ඛදායක අත්දැකීම් විය. ම්ලේච්ඡ සමාජයක් බිහි කිරීමට නාට්සීහු ජර්මන් භාෂාව වහල් කොට ගත්හ. එසේ කෙලෙසුණු ජර්මන් භාෂාව සිය නිර්මාණ කාර්යයන්ට උපයෝගී කර ගැනීමට සිදු වීම ඔහු පරම අභාග්‍යයක් ලෙස සැලකුවේය. ඔහුගේ භාෂා පරිහරණයෙහි මෙම කම්පනය සටහන්ව ඇත.

පෝල් සේලාන්ගේ කාව්‍යෝක්තිවල දැඩි සංක්ෂිප්තතාවක් ඇත. භාෂාව සමඟ ඔහු කරන සටන එහි ලේඛනගතව ඇත. ඔහුගේ ඉතා ප්‍රකට කාව්‍ය නිර්මාණයක් ආරම්භ වන්නේ මෙලෙසිනි:

“අරුණෝදයෙහි කළු කිරි අපි රාත්‍රියෙහි බොමු.”

මෙවැනි කාව්‍යෝක්තියක නියම අරුත වටහා ගැනීමට පාඨකයා මහත් වෙහෙසක් දැරිය යුතුය. පහත දැක්වෙන්නේ ඔහුගේ ඉතා කෙටි පද්‍ය නිර්මාණයකි. එහි මාතෘකාව ‘ඔබ මගේ මරණය විය’ යන්නය.

 

ඔබ මගේ මරණය විය

මට ඔබ වැලඳගත හැකිය

සෙසු සියල්ලම මගෙන් ගිලිහී යන විට

මෙම පද්‍ය රචනයද අර්ථ සංකෝචනයට මුල් තැන දුන්නකි.

කවිය සචේතනික පුද්ගලයෙකු ලෙස නැඟ සිට පාඨකයා සමඟ පමණක් නොව කවියා සමඟද හැංගිමුත්තන් කෙළියි. කවිය වචන පිටුපස සැඟවෙයි. කවිය වචන කඩා බිඳ දමා, විකෘති කොට නව සංයෝග තුළින් ඒවාට ජීවය ලබාදෙයි. මේ ආකාරයට කවිය සංචේතනික ජීවියෙකු ලෙස මතු වෙයි. මා විසින් මීට ඉහතදී සඳහන් කරන ලද මාර්ටින් හයිඩෙගර්ගේ භාෂා චින්තනයෙන් මෙම භාෂා වික්‍රමයට අනුබලයක් ලැබේ.

පද්‍ය සාහිත්‍යයෙහි එක් අනුප්‍රභේදයක් ලෙස උදාන කාව්‍යය (LYRIC) හැඳන්විය හැකිය. උදාන කාව්‍ය විවරණයෙහිලා සාහිත්‍යවේදීන් මුඛ්‍ය ආකෘති තුනක් උපයෝගී කොටගෙන ඇති බව පෙනේ. පළමුවැන්න උදාන කාව්‍ය ලෝකානුකරණයට කැප වූවක්ය යන මතය මුල් කොට ගත්තකි. දෙවැන්න උදාන කාව්‍ය කවියාගේ ආත්ම ප්‍රකාශනයක්ය යන අදහස සනාථ කරන්නකි. තෙවැන්න උදාන කාව්‍ය ස්වාධීන සංසිද්ධි බවත්, ඒවායෙහි භාෂාව, රචනෝපක්‍රම, අලංකරණ විධි පාඨකයා අබිමුව ප්‍රසංගයක් ලෙස රඟපාන බවත් තහවුරු කිරීමකි. මෙම තෙවැනි ආකෘතිය බිහි වීමට මාර්ටින් හයිඩෙගර්ගේ සිතුම් මඟ මහත් පිටුබලයක් විය.

මහාචාර්ය [විමල් දිසානායක]

 

මාතෘකා