මා මතකය හැර නොයන්නේ ජයසේන ජයකොඩිගේ ‘පිච්චමල’ නවකතාවයි

 ඡායාරූපය:

මා මතකය හැර නොයන්නේ ජයසේන ජයකොඩිගේ ‘පිච්චමල’ නවකතාවයි

ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා

මං හුඟක් පොතපත් කියවා තිබෙනවා. පොත් මගේ ජීවිතයම තමයි. ඉතින් ඒ පොත් අතර මා සසල කළ පොත වුණේ ජයසේන ජයකොඩිගේ ‘පිච්චමල’ නවකතාවයි. ජයසේන ජයකොඩි අන් ග්‍රන්ථ කතුවරුන් ස්පර්ශ නොකරන සමාජ පැතිකඩක් මෙහිදී විදාරණය කරනවා. මේ කෘතිය මම කියවන්නේ මීට වසර විසිපහකට පෙර.

අපේ සමාජයේ පොදු දුර්වලතාවක් තමයි ඇත්ත ඇති සැටියෙන් දැකීමට පෙර තව කෙනෙකුට චෝදනා කිරීම. මේ දුර්වලතාව මේ නවකතාව තුළින් මැනවින් ඉදිරිපත් වෙනවා. ‘පිච්චමල’ තුළ අපට හමු වන්නේ අතිශය සිල්වත් හිමිනමක්. උන් වහන්සේට අන් අය ඇදබැඳ ගන්න හැකි පෙනුමක් තිබුණා. මේ බාහිර ස්වරූපය නිසාම ගමේ සිටි එතරම් දැන උගත්කමක් නැති තරුණියක් උන් වහන්සේට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ ඇයගේ මේ ක්‍රියාව පිළිගන්නේ නැහැ. අනෙක් සාමාන්‍ය උපාසිකාවකට සලකන අයුරින්ම ඇයටත් සලකනවා. ඒ අතර තරුණිය ගමට එන තැපැල්කරු හා සම්බන්ධයක් පවත්මින් ගැබ් ගන්නවා. ඇයට ලැබෙන්න යන දරුවාගේ පියා පන්සලේ ස්වාමීන් වහන්සේ යැයි ඇය පවසනවා. නිරවද්‍ය හිමිනමට සිදු වන මේ අසත්‍ය චෝදනා හමුවේ උන් වහන්සේ නොසැලී ඉන්නවා. ඒත් පන්සලට දන් වේල පවා මින් නොලැබී යනවා. හාමුදුරුවන්ට දානය ලබා දෙන්න ඉදිරිපත් වෙන්නේ පන්සල අසල ගෙදරක ඉන්න වයසක උපාසකම්මා කෙනෙක්. පසුව තරුණිය දරුවාට යම් හානියක් කරන්න යන බව දැනගන්නා හිමියන් අර වයසක උපාසකම්මා ලවා දරුවා පන්සලට ගෙන්වා ගන්නවා. කොහොම වුණත් අවසානයේ තරුණිය දරුවාගේ පියා තැපැල්කරු වන බව පිළිගන්නවා.

සිල්වත් හිමිනමකට සමාජය කරන අභූත චෝදනාවලට පිළිතුරු කාලයම ලබාදෙන බව මේ කතාව තුළින් පෙන්වනවා. බුදුන් දවස පවා මෙවැනි අය සිටියා. මෙහි සුපේශලකාමී භික්ෂුන් වහන්සේට සිදු වූ අකරතැබ්බය කර්මය පල දීමක්ද කියා විටෙක මට හිතෙනවා. ජයසේන ජයකොඩි මහතාගේ රචනා දෙස බැලූ විට අපට පෙනෙන්නේ ධාර්මික බව කේන්ද්‍ර කොටගත් සමාජයන් පාදකව ඒවා ලියවී ඇති බවයි. ගොඩක් වෙලාවට අද තරුණ සමාජය විකෘති මානසික මට්ටම්වල පසුවෙන බවටත් මේ තරුණියගේ චරිතය නිදර්ශනයක්. මේ නිසා මම මේ කෘතියට බොහොම කැමතියි.

මම වෘත්තියෙන් පුවත්පත් කලාවේදිනියක්. මම පුවත්පත් පහක කතුකම් කළා. එහිදී මගේ ගමන ඇරඹුණේ ලේක්හවුසියේ ‘මිහිර’ පත්තරෙන්. ‘මිහිර’ ඇරඹූ 1964 වසරේම මං එහි කතු මඬුල්ලේ සාමාජිකයෙක් වෙනවා. මම උපන්නේ දකුණු පළාතේ අම්බලන්ගොඩ. මගේ තාත්තා වත්තක ගිණුම්කරුවෙක්. අම්මා ගෘහණියක්. අම්මා එච්චර උගත් කෙනෙක් නෙවෙයි. ඒත් හොඳින් සිංහල දැනුම ලබාගෙන තිබුණා. ලෝවැඩසඟරාව, සුභාෂිතය ඇයට කටපාඩම්. පාලි බස පිළිබඳ භාෂා ප්‍රඥයකු වූ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් මගේ අම්මාගේ බාප්පා වුණා. උන් වහන්සේ ඇයටත්, මගේ කියවීමටත් ආභාසය වුණා.

මං අද සිටින තත්ත්වයට හැඩගැසෙන්න හේතු වූ තැන් කිහිපයක් තියෙනවා. එකක් මගේ මුල්ම පාසල වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය. ඉන් පසු අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකාව. ප්‍රජාපතියේ අපේ විදුහල්පතිනිය වුණේ ඉන්දීය ජාතික කාන්තාවක්. ඇය අපට කියවීම හුරු කරන්න පුස්තකාල වේලාවක් වෙන් කළා. එනිසා තවත් මම කියවීමට ඇබ්බැහි වුණා. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. එහිදී මට කියවීමට ඕනෑ තරම් ඉඩ හසර ලැබෙනවා. ඉතින් මේ ආකාරයෙන් මා කියවූ පොත්පත්වලින් මා මතකය හැර නොයන්නේ ජයසේන ජයකොඩිගේ ‘පිච්චමල’ නවකතාවයි.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා