ඉන්ද්‍රජාලික කතාවක්

 ඡායාරූපය:

ඉන්ද්‍රජාලික කතාවක්

මායා යථාර්ථවාදී නවකතාව ලෝක ප්‍රකට කළ ගාර්සියා මාර්කේස්, ටෝනි මොරිසන්, ගුන්තර් ග්‍රාස්, මිගෙල් ඇන්තූරියාස්, ඉසබෙල් අයියන්දේ යන නවකතාකරුවෝ පාඨකයා විචාරශීලී අසිරිමත් ලෝකයකට රැගෙන ගියහ. කතාකරුවා ඒ නවකතාකරුවන්ගෙන් ආභාසය ලබා රචනා කර ඇති ‘සරස්වතී රාත්‍රිය’ සිංහල පාඨකයාට අලුත්ම නවකතා ශානරයකි. මෙම කෘතියේ එන කථකයා ටයිපස් උණ සෑදී පේරාදෙණිය රෝහලේදී අත්දුටු භෞතික ලෝකයත්, අධිමානසික ලෝකයත් අතර අත්දැකීම් ස්මරණය කරනුයේ ස්වප්න දැකීමෙන් ළමාවියට පිවිසෙන ආකාරයෙනි.

සාමාන්‍ය උණ තත්ත්වයක දී, මනස ගමන් නොකරන තරම්, ගැඹුරු පතුළක් කරා මෙහිදී ගමන් කරයි. කථකයාගේ මනසද ඔහුගේ සිරුරින් බැහැර අමුතු පැවැත්මක් වෙත ගමන් කරමින් තිබේ. එය සිහින දකින හා විවිධ ක්‍රියාකාරකම් සිදු වන ජීවිත තලයකි. මේ කියන සිහිමුළාමය තත්ත්වයේදී, තම මනස කිසියම් ආධ්‍යාත්මික ශික්ෂණයකට හුරුකළ අයෙකුහට තමාගේම ආත්මීය ලෝකයෙන් පැනනැඟුණු අද්භූත හිතවතකු වැනි අයෙකුගේ මඟ පෙන්වීම ලැබීමක් සිදු වන බව අජිත් මුකර්ජිගේ ම්භදඤචතඪදඪ නම් වූ යෝග විද්‍යා කෘතියේ එන තොරතුරු ඔස්සේ සනාථ වෙයි. කතුවරයා මේ අද්භූත ලෝකය හා සාහිත්‍ය ලෝකය අතර වෙනස පෙන්වා දෙන මාර්ග උපදේශකයා ලෙස නම් කරනුයේ මේ කතාවේ එන කථකයාගේ සීයාය. කථකයා කුඩා කාලයේ ගහට කොළට, කුරුල්ලන්ට ආදරය කළේය. සීයාගේ නිවසේ ජනෙල් පියන පාමුල කුරුල්ලෙක් වැටී සිටියේය. ඒ දකින කථකයා “ඇයි සීයේ මේ? මූට මොකද වුණේ?”යි ප්‍රශ්න කරද්දී සීයා දුන් පිළිතුර ‘සරස්වතී රාත්‍රියේ’ න්‍යෂ්ටිය සංකේතානුසාරීව ලඝුලේඛනය කිරීමකි.

“පුතේ මේ කුරුල්ලා සමරා හොයාගෙන හැතැප්ම දාස් ගාණක ඉඳලා ඊගහ වගේ වේගයෙන් ඇවිත් මේ ජනෙල් පියනේ වැදුණා. මේකාගේ හිත කුලප්පු කළේ ඔය සමරා තමා .... අන්තිමට උගේ ජීවිතේ නැති වුණා.”

කතාකරුවා මෙහි දක්වන ආකාරයට “සමරා යනු කාමයට නමකි. ආදරයේ දෙවියාට කියන නමකි. එසේම සමර යන්නට සමාන තේරුම් කිහිපයක්ද එහි දැක්විණි. යළි එක්රුස් කිරීමද සමරා වේ. එනම් නැවත මතක් කිරීමය. එසේම සමර යනු යුද්ධය හා මතභේදය යන අර්ථයද ඇති වචනයකි.” එම නිසා සමරා යන වචනය අපේ සමස්ත ජීවිතය ආවරණය කරන අර්ථ කලාපයක් බව ‘සරස්වතී රාත්‍රිය’ කියවා අවසන් කරන පාඨකයාට සිතෙයි. එහිලා සමරා සොයා යෑම මායාවන් පසුපස හඹා යෑමකි. මේ කතාවේ එන බෝ අක්කා, බර්මියුඩා, ලීනි අක්කා, යක්කුනී එවැනි මායා චරිත කිහිපයකි. බර්මියුඩාගේ ඇත් සොහොන ඊට නිදසුනකි.

මායා යථාර්ථවාදීන්ගේ අභිප්‍රාය නම් භව්‍යත්වය හා අභ්‍යවත්වය, විශ්වාසනීයත්වය හා අවිශ්වාසනීයත්වය අතර පෙර නොවූ විරූ ඒකාබද්ධතාවක් ඇති කර යථාර්ථවාදී වපසරිය තවදුරටත් පුළුල් කිරීමය. යථාර්ථවාදයට ග්‍රහණය කරගත නොහැකි දෑ මායා යථාර්ථවාදය අනුසාරයෙන් උකහාගත හැකිය. එමඟින් සත්‍යය වඩාත් ගැඹුරින් ඉස්මතු කර දැක්වීමට අවකාශය සැලසේ. ඒ අර්ථයෙන් ‘සරස්වතී රාත්‍රියේ’ මේ ඡේදය නිරීක්ෂණය කරන්න.

“මේ වුණේ මොකක්ද සීයේ? බරුස්සා ඇවිල්ලා, මාව ඇදගෙන යනවෝ ! .....මට තේරෙන්නෙ නැතෝ....” (82)

කථකයා සිහිනෙන් කාර් එකක ගමන් කිරීම, ලොකු මිනිසෙකු වී තමාටම පෙනීම ෆ්‍රාන්ස් කෆ්කාගේ කථාවක එන තරුණ මිනිසෙකු හීනෙන් විශාල කැරපොත්තෙකු බවට පත්වීමේ සිද්ධියට සමානය. පාෂාණ යුගයේ කතා කරන මාළුවෙකු පිළිබඳ සිදුවීමක් නිරූපණය කෙරෙන ගුන්තර් ග්‍රාස්ගේ ‘ද ෆ්ලවුන්ඩර්’ නවකතාව ගැන මෙනෙහි කරන විට මෙය ඊට වඩා විචිත්‍ර වූ සංකල්පයකි. මායා යථාර්ථවාදී නවකතාකරුවා උත්සුක වන්නේ හැම විටම ආශ්චර්යජනක අද්භූතාත්මක ලෝකයක් ප්‍රතිනිර්මාණය කිරීමටය. ඒ අනුසාරයෙන් තත්කාලීන ඉතිහාසය, මිනිසාගේ පරිනාමය, කුලගෝත්‍ර පිළිබඳ ඉතිහාසය, වර්තමාන තත්ත්වය ගැඹුරු විවේචනයට හසු කිරීමට මෙබඳු ලේඛකයෝ විමසිලිමත් වෙති.

‘සරස්වතී රාත්‍රියේ’ ස්ත්‍රී චරිත දෙස බලන මානව දයාවී ගුණය මායා පටලයක ලා ඉදිරිපත් කර ඇත්තේ මෙසේය. “හැඳිවත් ගලවා පිරිමියා හා රමණයට පටන් ගන්නේ පාදඩ වේසාවියකගේ පවා නැති අසික්කිත කමක් පෙන්වමිනි..... යම් පිටස්තර කෙනෙකු විසින් දර්ශනය නරඹනු ලැබුවහොත්, මිනිසා හා රමණ දඟයෙහි පැටලී සිටින ගැහැනියගේ දෑත් දෙපා බලා සිටියදී, ඌරෙකුගේ කුර බවට හෝ නාගයෙකුගේ දරණ වැල බවට පත්වන සැටිත්, තව ටික මොහොතකදී සියුමැලි ගැහැනු මුහුණ ඌරු හොම්බක් බවට පත් වී හෝ නාග හිසක් බවට පත් වන සැටිත් පෙනෙනු ඇත.....” (144)

මෙහිදී කතාකරුවා යථාර්ථය අතිශයෝක්තියට නඟා නිරූපණය කරන්නේ විචිත්‍ර වු මායා ලෝකයකි. ඒ මායා ලෝකයෙහි ලිංගික දර්ශන සත්‍ය ලෝකයේ සභ්‍ය අසභ්‍ය සංස්කෘතික චර්යාධර්ම සිහියට නංවයි. වර්තමාන සමාජයේ ලිංගිකත්වය පහත් සංස්කෘතියක් ලෙස හුවා දැක්වුවද කතුවරයා ලිංගිකත්වය ආධ්‍යත්මික විමුක්තියක් උදෙසා වන කාරණාවක් ලෙස ඉස්මතු කරයි.

පුහු සදාචාරය, සංස්කෘතිය විසින් හික්මවන ලද මිනිසාගේ ලිංගික ජීවිතය මායා ලෝකයේදී සන්තර්පනය කරගැනීමට ගන්නා උත්සාහයන්ද මෙහි වේ. කෙසේ වුව ‘සරස්වතී රාත්‍රියේ’ කතාකරුවා මතු කරන ලිංගික ලෝකය සුන්දරය.

“....තම ගැහැනුකමේ ජීව උල්පත, බෞද්ධ තාන්ත්‍රික, ලිංගික ඉගැන්වීම්වල ඇති බවත් මොවුහූ සිහිනෙකින්වත් අසා නැත. ඉන්දීය කාමසූත්‍රය යනු අමු කුණුහරුපයකි’යි සිතන මොවුහූ ආදරයේත් කැපවීමේත් දිව්‍යමය ලිංගිකත්වයේත් වීර කාව්‍ය වූ ගීතගෝවින්දයේ සම්භාවනීයත්වයවත්, එහි ඇති ආදරයේ පාරමිතාව පිරූ ක්‍රිෂ්ණ හෝ රාධා ගැනවත් හාංකාවිසියක් නොදනිති.” (69)

කථකයා සිහින ලෝකයකදී ලබන ලිංගික තෘප්තිය ඔහුට ආමෘතයකි. ඒ අමා සුව අද දවසේ වුවත් තරුණ තරුණියන්ට පියවි ලොවකදී අත්විඳීමට නොහැකි ආර්ථික, සමාජ, සංස්කෘතික බාධක ඕනෑ තරම් මේ සමාජයේ ඇත. මේ නවකතාවෙහි නිරූපිත නන්දසේන අයියා ගම්වල තරුණ තරුණියන් අතර හටගන්නා කුළුඳුල් ප්‍රේම සම්බන්ධතා කඩා බිඳ දමන තක්කඩියෙකි. අදත් ගම්වල අහිංසක කැරුලු කූඩුවලට ගල්ගසන, ගිනිතියන මෙවැනි තක්කඩියෝ සිටිති. මහාචාර්ය සාලිය නන්දසේන අයියා මඟින් සංකේත කරනුයේ ඔවුන්ය.

තවද කතාවෙහි එන සිහින හෙලිකොප්ටරය ගැඹුරු සංකේතමය නිරූපණයකි. අද තරම් විද්‍යාව හා තාක්ෂණය අපේ ගම්වලට එබිකම් කර නැති 70, 80 දශකයේ සෑම ගෙදරකම පාහේ දක්නට ලැබුණේ ගුවන්විදුලියකි. ගුවන්විදුලිය අපේ ගම් ගෙවල් ආකර්ෂණය කරගෙන ඇති රූප පෙට්ටියට වඩා තියුණු කාර්යභාරයක් ඉටු කළ සන්නිවේදන යන්ත්‍රයකි. එම කාර්යය මැනවින් ඉටු කළ නිවේදන ශිල්පීන් දෙදෙනෙකු කතාකරුවාගේ ඇගයීමට ලක් වී ඇත.

“හෙලිකොප්ටර් හඬ නෑසී ගොස් පාලිත හා ප්‍රේම්ගේ හඬවල්ද තුනී වී ගියේය. මා පමණක් අනන්ත අවකාශයක.....”

ගුවන්විදුලි ශිල්පියාගේ ප්‍රතිභාව, පරිකල්පනය මැනවින් ඉස්මතු කරන මේ අවස්ථා නිරූපණය තුළින් ගුවන්විදුලි ශිල්පියා අපේ මනෝ ලෝකයෙහි සිත්තම් කරන අහස් යාත්‍රා පිළිබඳ චිත්‍රය සංකල්පනා ලෝකය හා මායා ලෝකය එකට මුහු කිරීමකි. ගුවන් යානය ඉහළ අහස් ගර්භයේ පාවී යන බවට සන්නිවේදකයා කරන විස්තරය මායාවකි. එහෙත් ඒ මිථ්‍යාව අප මතකයේ ගොඩනැගෙනුයේ සත්‍ය සංකල්ප රූපයක් ඇසුරිනි. යානය අහසේ සැරිසරණ ලෙසින්ම මේ කතාවෙහි එන රෝගියාගේ සිතද රෝහලේ සිට විවිධ මංමාවත් ඔස්සේ සැරිසරයි. ඒ ඔහුගේ මනෝකායයි. කථකයාගේ බිරිය සුපර්මාකට් එකට යන විට කථකයා තරුණ ගැහැනු ළමයෙකු සමඟ සිටිනු දකියි. ඈ විස්මයට පත්වේ. නැවත බලද්දී ඔහු නැත. රෝහලට එන විට ඔහු පෙර සේම තද නින්දකය. ඈ රෝගියා අසල වූ මල්ලිගෙන් ඒ පිළිබඳ විමසන්නීය.

“මල්ලී, අයියා හිටියේ මේ විදිහට දිගටම නිදාගෙනද?”

“ඔව් දැන් පැයක් විතර ඔහොමම නිදි. ඉන්ජෙක්ෂන් එකක් ගැහුවට පස්සෙ තමා තදට නින්ද ගියේ.”

මේ කියන තත්ත්වයක දී මිනිස් සිත දුරට ගමන් කළ හැකි බව බුදුරජාණන්වහන්සේ ධම්මපද ගාථාවකින් පැහැදිලි කර ඇත.

“දුරංගමං එකවරං - අසාරීරං ශුහාසයං

යෙචිත්තං සංයමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා”

“යම් කෙනෙක් කොතරම් දුර ඇති අරමුණක් කරා වුවත් යන්නා වූ එකවර උපදිනා එක් සිතකටම සීමා වූ සටහනක් හෝ ආකාරයක් හෝ නැති රූප නැමැති ගුහාවෙහි පවත්නා සිත තැන්පත් කර ගනිද්ද ඔවුහු මාර බන්ධනයෙන් මිදෙත්” යැයි බුදුහු කීවෝය.

ඇවිදින මිනිස් සිතට සිරුරක් නැත. නිල්, කහ, රතු, සුදුපැහැ වශයෙන් ගැනෙන වර්ණයක් නැත. සිත අරූ දහම් ගණයට වැටෙනුයේ එහෙයිනි. ගුහාවක පවත්නා මේ සිත සිරුරේ දෙතන මැද හදවතෙහි දොඹ ඇටයක් පිහිටන තරම් වූ වළෙක අඩපතක් පමණ වූ ලේ ඇසුරු කරගෙන සිත පවතින්නේය. ඒ පාලනය කිරීම මුහුදේ රළ පාලනය කිරීම තරම්ම දුෂ්කර කටයුත්තක් බව කතාකරුවා ‘සරස්වතී රාත්‍රිය’ පුරාම පෙන්වා දෙයි. හැම විටම සිත විවිධ මායා ලෝකවල සැරිසරයි.

“ඔයාට කොහොමද මේ මස් ලේ ඇති ඇඟක් තියෙන්නේ? ඔයා නිශාචර අවතාරයක් නම් කොහොමද ඔයාගේ අත මට අල්ලන්න පුළුවන් වුණේ. ඔයාගෙ අතේ සීතල මට දැනුණේ කොහොමද?”

“නෑ සර්, භූතයන්ට ඕනම දෙයක් මවා පාන්න පුළුවන්” (121)

අපගේ ඇස් රවටන දහසකුත් මායාවල් මේ මනුෂ්‍ය ලෝකයේ තිබෙන බව සනාථ කෙරෙන ‘සරස්වතී රාත්‍රිය’ කියවා අවසන් වූ මගේ මතකයට නැඟුණේ සුප්‍රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ ප්‍රකාශයකි. ඒ, හැම ලේඛකයෙකුම ඉන්ද්‍රජාලිකයකු බවය.

ගමහේෂ් ක්‍රිශාන්තඝ

මාතෘකා