කවුළුව

 ඡායාරූපය:

කවුළුව

උසස් විභාගවලට ශේක්ස්පියර් කෘති නුසුදුසු යැයි හිලරි මැන්ටල් කියයි

ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ටතම ලේඛකයකු ලෙස සම්භාවනාවට පාත්‍රව සිටින විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය කෘති උසස් ඉංග්‍රීසි විභාග සඳහා නිර්දේශ කිරීමට සුදුසු නැති බව බුකර් ත්‍යාගලාභී ඉංග්‍රීසි ලේඛිකාවක වන හිලරි මැන්ටල් පසුගියදා ප්‍රකාශ කළා. ප්‍රබන්ධ සාහිත්‍යය උදෙසා පිරිනැමෙන ලෝ ප්‍රකට බුකර් ත්‍යාගය දිනූ ප්‍රථම ලේඛිකාව ලෙස සැලකෙන හිලරි මැන්ටල් වැනි ලේඛිකාවක මෙවැනි ප්‍රකාශයක් කිරීම බොහෝ දෙනෙකු පුදුමය පළ කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් පළ කරන අධ්‍යාපන විශේෂඥයකු වන ශ්‍රීමත් සයිමන් ස්චාමා පවසන්නේ විෂයක් ලෙස ඉංග්‍රීසි සාහිත්‍යය හදාරන සිසුසිසුවියන් ශේක්ස්පියර් කෘති වැඩිවැඩියෙන් හැදෑරීම වැදගත් වන බවයි. එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශේක්ස්පියර් අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරියක වන එමා ස්මිත් පවසන්නේ දැනට උසස් ඉංග්‍රීසි විභාග සඳහා නිර්දේශ කර ඇති ශේක්ස්පියර් කෘති පිළිබඳව තමන්ටද ගැටලු පවතින බවයි. ‘දිස් ඉස් ශේක්ස්පියර්’ (This Is Shakespeare) නමැති සිය නවතම කෘතියෙන් ඇය පෙන්වා දෙන්නේ ශේක්ස්පියර් කෘතිවල ඇතුළත් ගැටලුසහගත කරුණු පාදක කරගනිමින් බැලූ බැල්මට බරපතළ යැයි පෙනෙන විභාග ප්‍රශ්න සැකසිය හැකි වුවද, ඒවාට නිශ්චිත පිළිතුරු සැපයිය නොහැකි බවයි. මේ හේතුව නිසා විභාගවලදී එවැනි ප්‍රශ්නවලට නිවැරදි යැයි පිළිගත හැකි පිළිතුරු සැපයීමට සිසුසිසුවියන් අසමත් වන බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඇය දක්වන අදහස් තමන්ද පිළිගන්නා බවයි හිලරි මැන්ටල් පවසන්නේ. ශේක්ස්පියර් කෘතිවල ඇති අසම්පූර්ණ, අවිනිශ්චිත සහ ගැටලුසහගත කරුණු සඳහා නිශ්චිත පිළිතුරු සැපයීම කිසිසේත්ම කළ නොහැක්කක් වන බැවින් ඒ කරුණු ඇසුරින් විභාග ප්‍රශ්න සැකසීම නිශ්ඵල කටයුත්තක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

------------------

අරාබි බුකර් ත්‍යාගය ලෙබනන ලේඛිකා හෝදා බරකත්ට

අරාබි බසින් පළ වන ප්‍රබන්ධ කෘති සඳහා වාර්ෂිකව පිරිනැමෙන ජාත්‍යන්තර ත්‍යාගය මෙවර හිමි වී ඇත්තේ ලෙබනන ජාතික ලේඛිකාවක වන හෝදා බරකත් ලියූ කෘතියකටයි. එය 2020 වසරේදී ‘ද නයිට් මේල්’ (The Night Mail) නමින් ඉංග්‍රීසි බසින් පළ වීමට නියමිතයි. අරාබි බුකර් ත්‍යාගය ලෙසද හැඳින්වෙන මේ ජාත්‍යන්තර ත්‍යාගය හිමිකරගත් දෙවැනි ලේඛිකාව ලෙස හෝදා බරකත් සැලකෙනවා. එයට පෙර මේ ත්‍යාගය හිමි වුණේ රාජා ආලම්ට. ඒ, ඇය රචනා කළ ‘ද ඩව්ස් නෙක්ලස්’ (The Dove’s Necklace) නමැති කෘතියට. 2011 වසරේදී එය හිමි වූ ඇය මේ ත්‍යාගය හිමිකරගත් ප්‍රථම ලේඛිකාවයි. දැනට ප්‍රංශයේ ජීවත් වන හෝදා බරකත් රචනා කළ ‘ද කින්ග්ඩම් ඔෆ් දි අර්ත්’ (The Kingdom of the Earth) නමැති කෘතියද 2013 වසරේදී මේ ත්‍යාගය සඳහා නිර්දේශ ලබා තිබුණා. අරාබි රටවල ප්‍රබන්ධ කෘති උදෙසා පිරිනැමෙන ඉහළම ඇගයීම ලෙස සැලකෙන මෙය සඳහා ඇමෙරිකානු ඩොලර් 50,000 ක් සමඟ ජයග්‍රාහී කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය පළ කිරීමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහයද පිරිනැමෙනවා. ඒ අනුව මේ වසරේ ජයග්‍රාහී කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය පළ කිරීමේ අයිතිය ලන්ඩනයේ වන් වර්ල්ඩ් පබ්ලිකේෂන් නමැති ප්‍රකාශන ආයතනයට ලබාදී ඇති අතර, ඒ කෘතිය ඉදිරි වසර ආරම්භයේදී මුද්‍රණයෙන් නිකුත් කිරීමට අපේක්ෂිතයි. හෝදා බරකත් රචනා කළ නවකතා හයක්, නාට්‍ය පිටපත් දෙකක්, කෙටිකතා සංග්‍රහයක් සහ මතක සටහන් කෘතියක් මේ වන විට පළ වී තිබෙනවා. සිය කෘති සඳහා මෙයට පෙරද විවිධ සම්මාන රැසක් හිමිකරගෙන ඇති ඇය 2015 වසරේ මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගයේ අවසන් වටය සඳහාද නිර්දේශ ලැබුවා.

------------------

ඕස්ට්‍රේලියානු සාහිත්‍යයේ දැවැන්තයෙකු වූ ලෙස් මරේ මියයයි

ජාත්‍යන්තර කීර්තිය දිනූ ප්‍රකට ඕස්ට්‍රේලියානු කවියකු මෙන්ම එරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු ද වූ ලෙස් මරේ පසුගියදා මෙලොවින් සමුගත්තා. මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ ඔහු ගෙවී ගිය දශක කිහිපය පුරා අඛණ්ඩව කාව්‍යකරණයෙහි නියැලෙමින් කාව්‍ය සංග්‍රහ 30කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කළා. ඔහුගේ නිර්මාණ රැසක් ඕස්ට්‍රේලියාවේ පාසල් සහ විශ්වවිද්‍යාල විෂය නිර්දේශවලට ඇතුළත්ව ඇති අතර, ඒවා විවිධ විදෙස් භාෂාවන් ගණනාවකටද පරිවර්තනය වී තිබෙනවා. වර්ෂ 1938 දී ඕස්ට්‍රේලියාාවේ නිව් සව්ත් වේල්සයේ උතුරු වෙරළ තීරයට ආසන්න නේබියැක් නමැති ප්‍රදේශයේ උපත ලද ඔහු හැදී වැඩුණේ බුන්යා නමැති නගරයේයි. පසු කලෙකදී ‘බුන්යාවේ කවියා‘ යන නමින්ද ඔහු වඩාත් ප්‍රකටව සිටියා. කවිය සඳහා පිරිනැමෙන රැජිනගේ රන් පදක්කම, ග්‍රෙස් ලෙවන් ත්‍යාගය, පෙට්රාච් ත්‍යාගය සහ ටී. එස්. එලියට් ත්‍යාගය වැනි සුවිශේෂ සම්මාන ප්‍රණාම සහ ඇගයීම් ගණනාවකින් ඔහු පිදුම් ලැබුවා. ජෙෆරි ලෙහ්මාන් නමැති සමකාලීන ඕස්ට්‍රේලියානු කවියා සමඟ එක්ව වර්ෂ 1965 දී ‘දි අයිලෙක්ස් ට්‍රී’ (The Ilex Tree) නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කළ ඔහුගේ නිර්මාණ පමණක් ඇතුළත් ප්‍රථම කාව්‍ය සංග්‍රහය වර්ෂ 1969 දී ‘ද වෙදර්බෝඩ් කැතිඩ්‍රල්’ (The Weatherboard Cathedral) නමින් පළ වුණා. කලක් රාජ්‍ය සේවකයකු ලෙසද කටයුතු කළ ඔහු 1970 දශකයේ මුල් භාගයේදී රැකියාවෙන් ඉවත් වී පූර්ණකාලීනව කාව්‍ය නිර්මාණකරණයට යොමු වුණා. වර්ෂ 1973 සිට 1979 දක්වා කාලය තුළ ඔහු ‘පොයෙට්‍රි ඕස්ට්‍රේලියා’ (Poetry Australia) නමැති කාව්‍ය සඟරාවක සංස්කාරකවරයා ලෙසද කටයුතු කළා. පසු කාලයක දේශපාලන කටයුතුවලටද ක්‍රියාකාරී දායකත්වයක් ලබාදුන් ඔහු 1990 සිට 2018 වසර අවසාන වන තුරු ‘ක්වොඩ්රන්ට්’ (Quadrant) නමැති ප්‍රකට ඕස්ට්‍රේලියාවේ දේශපාලන සඟරාවේ කාව්‍ය පිටු සංස්කාරකවරයා ලෙසද කටයුතු කළා.

 

[මේනුක විතාන]
 

මාතෘකා