කාව්‍ය හා කාව්‍ය විචාර ග්‍රන්ථ

 ඡායාරූපය:

කාව්‍ය හා කාව්‍ය විචාර ග්‍රන්ථ

'කාව්‍යය යනු කුමක් ද?' යන ප්‍රශ්නයට පිළිතුරු මුලින්ම සැපයූවෝ ඉන්දියාවෙහි විසූ පඬිවරයෝ ය. ඔවුන් ඒ ග්‍රන්ථ සම්පාදනය කළේ සංස්කෘත භාෂාවෙනි. ඔවුන් ලියූ සමහර විචාර ග්‍රන්ථ ලංකාවෙහි ද සම්භාවිත විය. ඉන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ග්‍රන්ථය 'කාව්‍යාදර්ශ' නමැති ග්‍රන්ථය යි. එය කළේ 'දණ්ඩීන්' නමැති පඬිවරයා යි.

මෙවැනි ග්‍රන්ථ සමහරක නම් ද ඒවායෙහි කතුවරුන්ගේ නම් ද ඩබ්ල්‍යු. ඇෆ්. ගුණවර්ධන මුදලිතුමා සිය 'ගුත්තිල කාව්‍ය වර්ණනා' නම් කෘතියෙහි සංඥාපනයෙහි ඉදිරිපත් කරයි. ඒ නම් අකාරාදී පිළිවෙළින් පහත දැක්වේ:

අලංකාර කෞසතුභය - ශ්‍රී විශ්වේශ්වර පඬිතුමා ලියූ මේ ග්‍රන්ථය 'කෘෂ්ණ නන්දනී' නම් සංක්ෂේප ටීකාවකින් ද යුක්ත ය.

අලංකාර ශේඛරය - කේශවමිශ්‍රයන් විසින් රචිත මේ ග්‍රන්ථයෙහි අලංකාර 14ක් විවරණය කෙරේ. ඉන් සමහරක් උපුටා ගන්නා ලද්දේ දණ්ඩීන්ගේ 'කාව්‍යාදර්ශයෙන්' ය.

අලංකාර සර්වස්ව - රුය්‍යකයන් විසින් රචිත මෙහි අලංකාර විස්තර කොට ඇත්තේ ගද්‍ය වාක්‍යයෙනි. මේ අරබයා 'අලංකාර විමර්ශනී' නම් විස්තර ටීකාවක් ද ජයරථයන් විසින් සැපයිණ.

කර්ණ භූෂණය - ගංගානන්ද පඩිවරයා විසින් මෙය ලියන ලදදේ ඉන්දියාවෙහි බීකානෙරි පුරයෙහි විසූ ශ්‍රී කර්ණ රජතුමාගේ ආයාචනයෙනි. රස, භාව හා විභාව මෙහි දීර්ඝව විවරණය කොට ඇත.

කාව්‍ය දීපිකා - කාන්තිචන්ද්‍ර විද්‍යාරත්න විසින් රචිත මෙය මෑතක දී කරන ලද්දකි. කාව්‍යාදර්ශයෙහි බල පෑම මෙහි මැනවින් දක්නට ලැබේ.

කාව්‍ය ප්‍රකාශ - මම්මටාචාර්යන් විසින් රචිත මේ ග්‍රන්ථය අලංකාර ශාස්ත්‍රය හෙළි පෙහෙළි කරන විශිෂ්ටතම කෘතිය සේ පිළිගැනේ. "ව්‍යාකරණයට පාණිනිහුගේ ශාස්ත්‍රය යම් සේ ද අලංකාරයට මේ ශාස්ත්‍රය ද එසේම ම යැයි" ගුණවර්ධන මුදලිඳු කියයි.

කාව්‍ය ප්‍රදීපය - ශ්‍රී ගෝවින්දයන් විසින් රචිත මෙහි අරමුණ මම්මටාචාර්යයන්ගේ 'කාව්‍ය ප්‍රකාශයෙහි' එන සූත්‍ර තව දුරටත් විස්තර කිරීම යි.

කාව්‍යාදර්ශය - ශ්‍රී දණ්ඩ්‍යාචාර්යයන් විසින් රචිත මෙය අලංකාර ශාස්ත්‍රය අළලා ලියවුණු දෙවෙනි ග්‍රන්ථය සේ සැලකේ. ශිලාමේඝවර්ණ (සලමෙවන්) රජතුමා විසින් 'සියබස්ලකර' යනුවෙන් සිංහලයට නඟන ලද්දේ මෙය යි.

කාව්‍යානුශාසනය - හේමචන්ද්‍රයන් විසින් රචිත මෙහි එන සූත්‍ර දක්වා ඇත්තේ ගද්‍ය වාක්‍යයෙනි. එහි අර්ථාලංකාර විසි නවයක් දක්වා ඇත.

කාව්‍යාලංකාරය - ශ්‍රී රුය්‍යටාචාර්යයන් විසින් රචිත මෙහි සූත්‍ර ගීයෙනි. නිදසුන් ද එසේ ම ය. මෙය ගුරු පොතක් වශයෙන් පිදුම් ලබන්නකි.

කාව්‍යාලංකාර සූත්‍ර - වමනාචාර්යයන් විසින් රචිත මේ ග්‍රන්ථය පැරණිතම අලංකාර ග්‍රන්ථය සේ සැලකේ.

කුවලයානන්ද - ශ්‍රීමත් අප්පයාදීක්ෂිත විසින් ‍මෙය ලියන ලද්දේ ශ්‍රී ජයදේවයන් විසින් කරන ලද චන්ද්‍රාලෝකයට ව්‍යාඛ්‍යාන වශයෙනි.

කුවලයානන්ද කාරිකා - ආශාධර භට්ටයන් විසින් 'කුවලයානන්ද' නමැති කෘතියෙහි ආ කාරිකාවන් විවරණය කරන ග්‍රන්ථය යි.

චිත්‍රමීමාංසා - ශ්‍රීමත් අප්පයාදීක්ෂිතයන් විසින් කරන ලද මෙහි අර්ථාලංකාරවල අන්‍යොන්‍ය ප්‍රභේද මැනවින් විසතර කොට තිබේ.

ධ්වන්‍යාලෝකය - ආනන්දවර්ධනයන් විසින් රචිත මෙය පදවල අර්ථ ශක්තිය උගන්වන්නකි. ඊට ටීකාවක් අභිනවගුප්ත විසින් සැපයිණ. එය 'ලෝචනා' නම් විණ.

මන්දාර මරන්ද චම්පු - ශ්‍රී කෘෂ්ණ විසින් රචිත මෙහි ඡන්දෝලංකාර සම්පූර්ණයෙන් විස්තර කොට ඇත. ඊට 'මාධුර්යරඤ්ජනී' නම් ටීකාවක් ද ඇත.

රසගංගාධර - රාජ ජගන්නාථ විසින් රචිත මෙය අලංකාර ශාස්ත්‍රය විවරණය කරන විශිෂ්ට කෘතියක් සේ පිළිගැනේ.

වාග්භටාලංකාරය - වාග්භට නමැති ජෛනාචාර්යයන් විසින් රචිත මේ කුඩා ග්‍රන්ථය අලංකාර ශාස්ත්‍රය කෙටියෙන් හඳුන්වා දෙන්නකි.

වෘත්තිවාර්තික - ශ්‍රීමත් අප්පයාදීක්ෂිතයන් විසින් කරන ලද කුඩා ග්‍රන්ථයකි. පදවල අර්ථ ශක්තිය මැනවින් විස්තර කරන්නකි.

සරස්වතී කණ්ඨාභරණ - භෝජරාජයන් විසින් රචිත විශාල අලංකාර ග්‍රන්ථයකි. එහි ශබ්දාලංකාර, අර්ථාලංකාර හා උභයාලංකාර යනුවෙන් අලංකාර තුන් වර්ගයක් ඉගැන්වේ.

සාහිත්‍ය කෞමුදී - විද්‍යාභූෂණයන් විසින් රචිත මෙය කෘෂ්ණ දේවයාට ස්තෝත්‍ර වශයෙන් ලියන ලද්දකි. 'කාව්‍යප්‍රකාශයෙන්' කාරිකා තෝරා ගෙන ඒවා නිදසුන් මගින් විවරණය කෙරේ.

සාහිත්‍ය දර්පණ - විශ්වනාථ කවිරාජයන් විසින් රචිත විශාල ග්‍රන්ථයකි. සම්පූර්ණ අලංකාර ශාස්ත්‍රය මෙහි විස්තර කොට ඇත.

සාහිත්‍යසාර - ශ්‍රීමත් අච්‍යුතරායයන් විසින් රචිත මෙය සියලු ම උසස් ආලංකාරිකයන්ගේ ග්‍රන්ථ පරිශීලනය කරමින් සැපයුණකි.

සුබෝධාලංකාරය - ශ්‍රී සංඝරක්ෂිත මහාස්වාමින් විසින් මාගධී භාෂාවෙන් රචිත මෙයින් මුළු අලංකාර ශාස්ත්‍රය ම සංක්ෂේපයෙන් ඉගැන්වේ. මෙය ලියන ලද්දේ රාමශර්ම විසින් සංස්කෘතයෙන් කළ ග්‍රන්ථයක් ඇසුරිනැයි කියනු ලැබේ.

මාතෘකා