මාකේස්ගේ නවකතාවක් වසර පනහකට පසු සිනමාවට

 ඡායාරූපය:

මාකේස්ගේ නවකතාවක් වසර පනහකට පසු සිනමාවට

නොබෙල් ත්‍යාගලාභී ලතින් ඇමෙරිකානු ලේඛක ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් රචනා කළ ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඞ්’ (One Hundred Years of Solitude) නවකතාව ප්‍රථම වරට සිනමා කෘතියක් ලෙස නිර්මාණය කිරීම සඳහා නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් අවසර ලබාගෙන තිබෙනවා. මුල් වරට 1967 වසරේදී පළ වූ මේ කෘතිය සිනමා මාධ්‍යයට නැගෙන්නේ වසර පනහකටත් අධික කාලයකට පසුවයි.

ස්පාඤ්ඤ භාෂාවෙන් කෙරෙන නිර්මාණයක් ලෙස, මාර්කේස්ගේ නිජභූමිය වූ කොලොම්බියාවේ රූගත කිරීමට සැලුසම් කර ඇති මෙහි විධායක නිෂ්පාදකවරුන් ලෙස මාර්කේස්ගේ පුතුන් වන රොද්රිගෝ ගාර්සියා සහ ගොන්සාලෝ ගාර්සියා බාර්ෂා කටයුතු කරනවා. මේ නවකතාව සිනමා කෘතියක් ලෙස නිර්මාණය කිරීම සඳහා අවසර ලබාගැනීම ඉතා අපහසු කටයුත්තක් බවයි ඔවුන් පවසන්නේ.

ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාවක් වන මෙය සාම්ප්‍රදායික සිනමා ආකෘතිය ඔස්සේ ඉදිරිපත් කළ හැකිදැයි යන සැකය සිය පියා තුළ පැවති බැවින් ඒ සඳහා ඔහුගේ අවසරය ලබාගැනීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවූ බව ඔවුන් වැඩිදුරටත් පවසනවා. මෙම නවකතාවේ පිටපත් මිලියන 47කට අධික සංඛ්‍යාවක් මේ වන විට අලෙවි වී ඇති අතර, භාෂා 46කට අධික ප්‍රමාණයකට එය පරිවර්තනය වී තිබෙනවා. මාර්කේස් රචනා කළ තවත් නවකතා කිහිපයක් මෙයට පෙරද සිනමා මාධ්‍යයට නැගුණා.

‘ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලරා’ (Love in the Time of Cholera) නමින් 1985 වසරේදී පළ වූ ඔහුගේ නවකතාව 2007 වසරේදීත්, ‘ක්‍රොනිකල් ඔෆ් අ ඩෙත් ෆොර්ටෝල්ඩ්’ (Chronicle of a Death Foretold) නමින් 1981 වසරේදී පළ වූ කෙටි නවකතාව වසරේදීත් සිනමා මාධ්‍යයට නැගී තිබෙනවා.


මේ වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාග දෙකක්

මේ වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාග දෙකක් පිරිනැමීමට තීරණය කර ඇති බව නොබෙල් පදනම විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. වාර්ෂිකව පිරිනැමෙන මේ ත්‍යාගය සම්බන්ධ විනිශ්චය කටයුතු සිදු කරන ස්විඩිෂ් ඇකඩමිය තුළ ලිංගික අපචාර චෝදනා සහ මූල්‍ය අක්‍රමිකතා මුල් කරගනිමින් ඇති වූ අර්බුදකාරී තත්ත්වය නිසා පසුගිය වසරේ නොබෙල් ත්‍යාගය පිරිනැමීම අත්හිටවූ බැවින් එය මේ වසරට අදාළ ත්‍යාගයද සමඟ පිරිනැමෙන බවයි එහිදී සඳහන් වුණේ.

පසුගිය වසරේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම මුල් වුණේ ඇකඩමියේ සාමාජිකාවක වූ කැතරිනා ෆ්‍රොස්ටෙන්සන් නමැති කිවිඳිය සහ ඇගේ සැමියා වන ජීන්-ක්ලෝඩ් ආර්නෝල්ට් යන දෙදෙනායි. ඔවුන් දෙදෙනා එක්ව ස්ටොක්හෝම් නුවර සංස්කෘතික සංවිධානයක් පවත්වාගෙන යමින් ඒ සඳහා ඇකඩමියෙන් විශාල ගෙවීම් ලබාගෙන තිබුණු බව අනාවරණය වුණා.

එයට අමතරව ඒ සංවිධානය සහ ඇකඩමිය අතර පැවැති සම්බන්ධතාව හුවා දක්වමින් අයුතු ප්‍රයෝජන ගැනීමත්, කාන්තාවන් 18 දෙනෙකු පමණ පිරිසක් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්කර තිබීමත් සම්බන්ධයෙන්ද ආර්නෝල්ඩ් චෝදනා ලැබ සිටියා. එයට පෙරද ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ, අවම වශයෙන් වසර දෙකක සිර දඬවමකට යටත්ව සිටි ජීන්-ක්ලෝඩ් ආර්නෝල්ට් නොබෙල් ත්‍යාගලාභීන් පිළිබඳ තොරතුරු කල්තියා හෙළිදරව් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලබා තිබුණා.

මේ සියලු කරුණු හෙළිදරව් වීමත් සමඟ තවදුරටත් ස්විඩිෂ් ඇකඩමියට සම්බන්ධ වී කටයුතු කිරීමට අකමැති වූ සාමාජික සාමාජිකාවන් එයින් ඉවත් වුණා. මේ අර්බුදකාරී තත්ත්වය නිසා නොබෙල් ත්‍යාගය පිළිබඳ විශ්වාසය බිඳවැටීමේ අවදානමක් වළකාලීම පිණිස පසුගිය කාලය පුරාම නොබෙල් පදනම විසින් විවිධ පියවර ගනු ලැබුවා. ඉදිරි වසරවලදී ත්‍යාගලාභීන් තේරීමේ ක්‍රමවේදය පවා වෙනස් කිරීමට ඔවුන් මේ වන විට පියවර ගෙන තිබෙනවා.


තියොන්ගෝගේ ප්‍රථම කෙටිකතාව ඇතුළත් කතා සංග්‍රහයක් එයි

නවකතා, නාට්‍ය සහ විචාර කෘති රචනා කළ කෙන්යානු ලේඛකයකු ලෙස වඩාත් ප්‍රකට න්ගුගි වා තියොන්ගෝ ලියූ ප්‍රථම කෙටිකතාව ඇතුළත් නව කෙටිකතා සංග්‍රහයක් පසුගියදා ප්‍රකාශයට පත් වුණා. දැනට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරන න්ගුගි වා තියොන්ගෝ විසින් වර්ෂ 1960 ගණන්වල සිට වර්තමානය දක්වා කාල පරාසය පුරා විහිද යන පරිදි රචනා කරන ලද කෙටිකතා රැසක් ඇතුළත් මේ කෘතිය පළ වී ඇත්තේ ‘මිනිට්ස් ඔෆ් ග්ලෝරි’ (Minutes of Glory) නමින්.

එය එක්තරා ආකාරයකට සිය සාහිත්‍යමය ස්වයංලිඛිත චරිතාපදානයක් ලෙස සැලකිය හැකි බවයි ඔහු පවසන්නේ. මේ කෘතියට ඇතුළත්ව ඇති ඇතැම් කෙටිකතා ලියැවී ඇත්තේ කෙන්යාව බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනාගත් අවධියේදීයි. තියොන්ගේ රචනා කළ බොහෝ නිර්මාණ මෙන්ම මේ කෙටිකතා මඟින්ද පශ්චාත් යටත්විජිත කෙන්යාව සහ එහි පාලකයන් පිළිබඳ තියුණු විවේචනාත්මක අදහස් ඉදිරිපත්ව තිබෙනවා.

සිය මව්බසින් ඔහු රචනා කළ නාට්‍යයක් නිසා අප්‍රිකානු රජය විසින් ඔහු සිරභාරයට ගනු ලැබුවා. සිරගතව සිටි කාලය තුළදී ඔහු වැසිකිළි කඩදාසිවල සිය ප්‍රථම නවකතාව රචනා කළා. මුලින්ම සිය මව්බසින් රචනා කළ ඒ නවකතාව පසුව ‘ඩෙවල් ඔන් ද ක්‍රොස්’ (Devil on the Cross) නමින් ඉංග්‍රීසි බසින් පළ වුණා.

සිරගත දිවිය අවසන් වූ පසු සිය මව්රටෙන් බැහැරව විප්‍රවාසීව වාසය කළ ඔහු ප්‍රථමයෙන්ම එංගලන්තයේත්, ඉන් පසුව ඇමෙරිකාවේත් ජීවත් වුණා. පසුගිය වසර ගණනාවක කාලය තුළ ඔහු කෙන්යාවේ වාසය කර නැති වුවද, තවමත් සිය නිර්මාණ සඳහා ඔහු පාදක කරගන්නේ කෙන්යාවයි. නව කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ව ඇති නවතම කතා දෙකක් ලියැවී ඇත්තේද කෙන්යාව පාදක කරගෙනයි.

මාතෘකා