වැඩවසම් යුගයේ ඛේදය පෙන්වන නවකතාවක් යකඩ සිල්පර

 ඡායාරූපය:

වැඩවසම් යුගයේ ඛේදය පෙන්වන නවකතාවක් යකඩ සිල්පර

කර්තෘ - විමල් උදය හපුගොඩආරච්චි

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින්

බටහිර ලෝකයේ ඓතිහාසික නවකතාවේ පියා සර් වෝල්ටර් ස්කොට්ය. ඔහු කුරුස යුද්ධ සමයේ සිට ස්ටුවට්වරුන්ගේ වැටීම පිළිබඳව ගැඹුරු පර්යේෂණවල නියැලී නිර්මාණකරණයට ප්‍රවිෂ්ට වී ඇති බව ඔහුගේ ඓතිහාසික නවකතාවලින් පෙනේ. ඓතිහාසික නවකතාවකදී විශේෂ වූ ආකාරයට ඒ ඒ අයුරින් පැවතුණේ යැයි සිතන අවස්ථා හා චරිත නිරූපණය කළ යුත්තේ කලාත්මකවය යැයි ඔහු සඳහන් කරයි. එහිදී ඔහු යථාභූත දේශීය වර්ණයක් (Authenticity of colour) ගැන සඳහන් කරයි. ඉන් ඔහු අදහස් කරන්නේ ඓතිහාසික යථාර්ථයේ කලාත්මක ප්‍රකාශනය පිළිබඳවය.

ස්කොට්ගේ ඓතිහාසික නවකතා සිද්ධාන්ත පදනම් කරගෙන මෙරට මුල්ම ඓතිහාසික ප්‍රබන්ධය රචනා කළේ බෙන්තොට ඇල්බට් සිල්වාය. ඔහුගේ ‘විමලා’ නම් ඓතිහාසික නවකතාවෙන් පසු ඓතිහාසික වෘත්තාන්ත පසුබිම් කරගත් නවකතා ලිවීමට එකල ලේඛකයෝ උනන්දු වූහ. ඩබ්ලියු ඒ. සිල්වාගේ ‘සුනේත්‍රා නොහොත් අවිචාර සමය’, ‘දෛවයෝගය’, ‘විජයබා කොල්ලය’, මාර්ටින් වික්‍රමසිංහගේ ‘රෝහිණී’, ජී. බී. සේනානායකගේ ‘මේධා’, ‘වරදත්ත’, ‘චාරුමුඛ’, මහාචාර්ය ඒ. වී සුරවීරගේ ‘සදා මෙලෙස පුර දෙරණේ’, ‘අඳුරු දුරලන රැස්’, සෝමවීර සේනානායකගේ ‘ඉරහඳ පායන ලෝකේ’, ජයසේන ජයකොඩිගේ ‘පරසතුරෝ’ යන සියලු නවකතා ඓතිහාසික පසුතලයක් පසුබිම් කරගෙන රචනා කර ඇත.

අද්‍යතන ලේඛකයින් ඓතිහාසික නවකතා රචනයට දක්වන උනන්දුව විමල් උදය හපුගොඩආරච්චිගේ ‘යකඩ සිල්පර’ විමසීමෙන් පෙනෙයි. අද ජනතාවට ඉතිහාසය අමතක වෙමින් පවත්නා අවස්ථාවක ‘යකඩ සිල්පර’ එහි අනිෂ්ට විපාක පෙන්වා දෙයි. ‘යකඩ සිල්පර’ සඳහා නිමිති වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ උතුරු දුම්රිය මාර්ගය තැනීම ආරම්භ වීමත් සමඟ විසිවන සියවසේ මුලදී වන්නි ජනතාව මුහුණදුන් සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික විපර්යාසයේ ඛේදනීය ඉරණමයි. මෙහි කතුවරයා හද පුරවාගත් ආත්මානුකම්පාවකින් වන්නියේ ජනතාව දෙස බලන්නට අප පොලඹවන හැටි අපූර්වය. නවකතාව විකාසනය කිරීම සඳහා ඔහු තෝරාගෙන ඇත්තේ ප්‍රථම පුරුෂ දාෂ්ටිකෝණයයි.

‘යකඩ සිල්පර’ ආරම්භ වන්නේ මාර්ටින් වික්‍රමසිංහ ‘ගම්පෙරළිය’ රචනයෙහිදී යොදාගත් රූපකාරාර්ථවත් බස්වහරක් මඟිනි.

“මහ මූකළාන උඩාවතින් අඩ සඳ හේන්වට්ටක්කා පළුවක් සේ පඬුපැහැ එළිය විහිදවමින් දිලිසෙයි.”

නවකතාවේ එන මේ ආරම්භක ඡේදය අනාගතයේදී සිදු වන සියලු සිදුවීම්වල න්‍යෂ්ටිය ලෙස සැලකීමට පුළුවන. ඩන්ස්ටන් මුලර් නම් ඉංජිනේරුවා ලංකාවට පැමිණෙන්නේ 1894 දී කොළඹ සිට කුරුණෑගලට තනා තිබූ ධූමරථ මාර්ගය 1902 දී යාපනයේ සිට දකුණටද, කුරුණෑගල සිට උතුරටද තනා නිමකිරීම සඳහාය. කුරුණෑගලින් උතුරෙහි වූ වැල්ලව, ගනේවත්ත යන ප්‍රදේශවල පොල්වතු හරහා ධුමරථ මාර්ගය තැනීමට මුලර්ට පහසු විය. “ඩන්ස්ටන් මුලර් ඉංජිනේරු තැන අඩි හයක් පමණ උස හොඳින් වැඩුණු සිරුරකින් යුත් හතළිස් වියේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහුගේ හිසකෙස් තඹ කළු පැහැවූ අතර දෙනෙත නිල්වන්” යැයි කතාකරුවා පවසයි.

ඩන්ස්ටන්ගේ සහායට සිටියේ පහත රට සොයිසාය. සොයිසා වූකලී සුදු අදිරද පාලන ක්‍රමය පැවැති මෙකල තාන්න මාන්න පඬුරුපාක්කුඩම් වෙනුවෙන් සුද්දන්ට ක‍ෙඩ් ගිය කළු සිංහලයන් නියෝජනය කරන සංකේත චරිතයකි. සොයිසා ඩන්ස්ටන් සමඟ ගම්වදින්නේ ආරච්චිලා හමුවන්නටය. මුලර් දුටු ආරච්චිල දෙකට තුනට නැමී උත්තර දෙන්නේ තම නිලය රැක ගැනීමටය.

“ආරච්චිල පාරේ වැඩට මිනිස්සු එවනවා නේද?”

“එහෙමයි, එහෙමයි”.

මේ නවකතාව ඉදිරියට විකාසනය වන්නේ මුලර් පාටිය හා ආරච්චිල අතර සිදු වන සමාජ, ආර්ථික, දේශපාලනික ගැටුම ඔස්සේය. සොයිසා මුලර් සමඟ ඔයේ දිය නාන ගැහැනු දකියි.

“සොයිසා අපි අර ගැහැනු දෙන්නා පස්සේ යමු.”

බ්‍රිතාන්‍යයින් පැමිණීමට ප්‍රථම වන්නියේ හීනකුල මිනිස්සු ආරච්චිලගේ වහල්ලු වූහ. මුලර් ඔයේ දියමංකඩ දකින රම්බා හීනකුල තරුණියකි. එහෙත් රම්බාගේ මාමණ්ඩිගේ අදහස ඇය හපී නම් සහෝදරියට ඒජන්ත උන්නාන්සේගේ ආනුභාවයෙන් ලැබුණු දෙවෙනි දියණිය බවයි. රම්බාගේ රූප ස්වභාවයෙහි ඒ කුලහීන ස්වරූපයක් පෙනෙන්නට නැත. එහෙත් ඇගේ සංස්කෘතික හුරුව විසින් අසරණ ස්වරූපයක් මුහුණට ආරෝපණය කෙරෙනු ඇත. රම්බා සැබැවින්ම මුලර්ගේ සිත ඇදගන්නේ ඈ සතු සෞන්දර්ය නිසාමය. මේ නවකතාවෙන් හරි අඩක් වසාගෙන ඇත්තේ රම්බා සහ ඇගේ කුලයෙහි සාමාජිකයින් සුදු පාලනයත්, අරච්චිලගේ ගම් පාලනයත් නිසා පීඩා විඳින හැටිය.

කුල පරම්පරාවෙන්ම ආරච්චිලට ලැබුණු බලය සුද්දන්ගේ පැමිණිමත් සමඟ නැති විය. රට, ජාතිය පාවා දෙමින් සුද්දන්ට ගැතිකම් කළ පාතයෙකු වූ සොයිසා ළඟ ආරච්චිලට වඩා මනුස්සකම් ඉතිරිව තිබුණි. ආරච්චිලගේ කොණ්ඩ වල්ලෙන් අල්ලා සොයිසා, “ආරච්චිල ආයෙ මේ පැත්තෙ ගෑනුන්ට අඩම්තේට්ටම් කරන්න හිතන්න එපා. දැන් යන අතක දුවපිය” කියමින් ඔහු බැණ එළවයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ දඬුඅඬුවලට සිර වූ ලාංකීය ආර්ථිකය තුළ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යකම තුට්ටු දෙකට අලෙවි වූයේය. ගැමි ජනතාව තුළ වු දුප්පත්කම, මනුස්සකම, සත්කාරක ගුණය අවියක් කරගන්නා විදේශිකයෝ හා මෙරටම උපන් අවජාතක කළු සුද්දෝ ජන ජීවිතයේ වටිනාකම් විනාශ කළහ. ඔවුහු තොරොම්බල් සපයා සිංහල ගැහැනු නිදි යහනට රැගෙන ගියහ. ඒ සඳහා සොයිසා වැනි පජාතයෝ පිඹුරුපත් සැකසූහ. කෙසේ වුව මේ නවකතාවේ අතිශය ශෝචනීය ජීවන ඉරණමකට මුහුණ දෙන්නේ පදක්කයාය. ඔහු මුලින්ම ගෙට ගෙනා ගෑනි රම්බා ඉඳුල් කළේ ආරච්චිලාය. දැන් රම්බා මෙතැන් සිට ඉඳුල් කරන්නේ මුලර් මහත්තයාය. ඒ අනාගත ඛේදවාචකය සංකේතාත්මකව නිරූපණය කරන අවස්ථාවකි, මේ:

“පදක්කයා මී පැණි ලබුකට්ට මුලර් වෙත පිළිගැන්වූයේ දේව පුජාවක් තබනවා වාගේ බොහෝ ගෞරවයෙන්ය.”

මීපැණිවලට ඇඹලයෝ එති. ඔවුහු ලබු කට්ට අස්සට රිංගති. ලබු කට්ටට ඇඹලයෝ ඇදෙන එක නතර කළ නොහැකිය. මීපැණි නම් රම්බාය. ආරච්චිල නැමැති ගම් ඇඹලයන්ගෙන්ද ඈ එදා අනාරක්ෂිතය. අද මුලර්ලා, පීටර්ස්ලා එපැණිමුල ලෙවකති. පැත්තකට විසිකර ඇති ලබුකට්ට අහිංසක පදක්කයාය. ඔහු අඹුව වෙනත් උන් පරිභෝජනය කරද්දී ගෞරවයෙන් ඉවසා සිටියි. රම්බා විටෙක මුලර් ළඟය. තවත් විටෙක පීටර් ළඟය. පදක්කයා කෙතරම් අසරණද?

ශිෂ්ට සමාජයේ මිනිස්සු ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙලෙති. එහෙත් සංස්කෘතිය, සදාචාරය වළපල්ලට ගිය රටක මිනිසුන්ට ඇත්තෙ වනචාරි සංස්කෘතියකි. වනගත නීතියට අනුව ලිංගිකත්වයේදී වඩා වැදගත් වන්නේ බලය සහ තේජසයි. බලවත් සත්ත්වයාට වනයේ සියලුම ගැහැනු සතුන් පරිභෝජනය කිරීමේ අයිතිය ඇත. දුබල සත්තු ප්‍රබලයාට ඉඩදී පැත්තකට වෙති. ඇතැම් සත්තු මරා ගනිති. මුලර් හා පීටර් ගුටි කෙළගන්නේ රම්බා නිසාය.

“සර් මාව බේරාගන්නට ගෙවුං අර මහත්තයාගෙන් ගුටි කෑවා නොවේද?”

“ඒක ඒ තරම් දෙයක් නොවෙයි රම්බා.” මුලර් කීවේය.

නවකතාවක් සාර්ථක වන්නේ එකී කෘතියට නිමිත්ත වන්නා වූ සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික වටපිටාව යථාර්ථවාදී ලෙස වගවිභාග කළ විටය. එවිට ඒ සමාජ ක්‍රමයෙහි ජන්මෝත්පත්තිය ලබන චරිත විශ්වාසනීයත්වයෙන් පිරි සැබෑම චරිත බවට පත්වෙයි. බ්‍රිතාන්‍ය පාලන සමයෙහි මෙරට වැඩවසම් සමාජය හා ධනපති සමාජය අතර දෝලනය වූ ගැමි ජනතාවගේ ඛේදනීය ජීවිත ස්වභාවය මනාව හඳුනාගන්නා ලේඛකයා මේ නවකතාව කලාත්මක ප්‍රකාශනයක් බවට පත් කරයි. කල්පිතය සත්‍යයක් සේ අපට පෙනෙන්නේ ඒ නිසාය.

නවකතාව අවසාන වන්නේ වෝල්ටර් ලංකාවේ භූමි චිත්‍ර ඇඳ බ්‍රිතාන්‍යයේදී පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයකදී මුලර් හා රම්බා හමු වීමෙනි.

“තමා ඉදිරියට රූත් එමින් සිටිනු ඩන්ස්ටන්ට පෙනුණේය. රූත්ගේ සිනාව ඉස්සර වගේමය. එහෙත්, රූත් තව ටිකක් උස ගොස් ඇත. පිරිමි පෙනුමද වැඩි වී ඇත.

“මම වෝල්ටර් මුලර්. මගෙ අම්මා තමයි රූත් ඇලීසියා.”

මෙවැනි හමුවීම් කලාතුරකින් සිදුවන්නට පුළුවන. එහෙත් මේ සිහින ලෝකවලට පාඨකයා රැගෙන යෑම යථාර්ථවාදී නවකතා රීතියට අනුගත වන්නේ නැත.

එක් සමාජ ක්‍රමයක් බිඳවැටී ඒ මත නව සමාජ ක්‍රමයක් බිහිවීම නැමැති ඓතිහාසික සිදුවීම් එක් පුද්ගලයෙකුට, සමාජ පන්තියකට නතර කළ නොහැක. මුලර් උතුරු දුම්රිය මාර්ගය තැනීමේදී විවිධ ලෙඩ රෝග වැළඳී විශාල කම්කරුවෝ පිරිසක් අහිමි වූහ. සොයිසාගේ චරිතයේ සැඟවුණු යථාර්ථය ගංජා විකිණීමය. ඒ සඳහා ඔහු භාවිත කරන්නේ පදක්කයාය. මේ නවකතාවේ ඛේදනීයම ඉරණමට මුහුණ දෙන්නේ පදක්කයාය. ඔහු හිරගෙදරින් නිදහස් වී එන විට බිරිය රම්බා, මුලර් සමඟ රට හැර ගොස්ය. ආරච්චිලා ගෝනලාවට ගිනි පිඹ ගම විනාශ කර තිබුණේය. ගොරබා ඒ ගින්නට අළුව ගොසින්ය. පදක්කයා ගෝනලාවට හරුමා එක්කලා ගියේය. මේ සමාජයේ අහිංසක මිනිසුන් මිනීමරුවන් බවට පත් කරනුයේ සමාජ අසාධාරණය විසිනි.

‘යකඩ සිල්පර’ රචනයේදී කතුවරයා එකදු අතුරු චරිතයක්වත් අහේතුකව යොදාගෙන නැත. ආරච්චි වැනි චරිතයක් පවා යොදාගෙන ඇත්තේ අධිරාජ්‍ය පාලනයට පෙර ලංකාවේ අඳුරු සමාජයේ සැබෑ තත්ත්වයම නිරාවරණය කරන්නටය. ආරච්චිලා යනු එදා වැඩවසම් සමාජ ක්‍රමය රැක ගන්නට ඉතාම පහත් වැඩ කළ ගම් ප්‍රධානීහුය. ඔවුන් එකවර මරා දැමූ කල ඒ පවු ගෙවන්නට වේලාවක් නැත. එම නිසා ඔවුන් කුණු වී ඔජස් ගලා විනාශ වී යා යුතුය. මේ පවුකාරයින් වෙනුවෙන් පතුරමක් වැය කිරීමද අපරාධයක් බව පදක්කයා සිතයි.

‘යකඩ සිල්පර’ නවකතාවේ විශිෂ්ටත්වයට බලපෑවේ බ්‍රිතාන්‍ය පාලනයට සමගාමීව අපේ රටේ වන්නි මිනිසුන්ගේ භාෂාව ලේඛකයා මනාව හඳුනාගෙන තිබීමය. එසේ වුවද මෙහි යම්කිසි දුර්වලතාවක් සටහන් කරනුයේ පොත පුරා දක්නට ලැබෙන වාක්‍ය රීති, අක්ෂර වින්‍යාසය, පද බෙදීම වැනි ව්‍යාකරණ දුබලතාය. ඒ අඩුපාඩු නොතිබුණේ නම් ‘යකඩ සිල්පර’ ඓතිහාසික නවකතාවක් වශයෙන් මීට වඩා සාර්ථක වන්නට ඉඩ තිබුණේ යැයි සිතේ.

 

[මහේෂ් ක්‍රිශාන්ත]

මාතෘකා