අපි පරණ කතා ආයෙ වර නගනවා විතරයි : යොවුන් ලේඛක තාරක එරන්ද කල්දේරා

 ඡායාරූපය:

අපි පරණ කතා ආයෙ වර නගනවා විතරයි : යොවුන් ලේඛක තාරක එරන්ද කල්දේරා

යොවුන් ලේඛක තාරක එරන්ද කල්දේරාගේ දෙවන විද්‍යා ප්‍රබන්ධ නවකතාව ‘ඉයුලෝසියා: අන්ධකාරාලෝක සටහන්’ කෘතිය පසුගියදා එළිදැක්විණි. එය ඔහු 2017 වසරේ එළිදැක්වූ 'කල්පාවසාන සාදය' නම් පළමු විද්‍යා ප්‍රබන්ධ කෘතියේ දෙවැනි කොටසයි. මේ ඔහුගේ ප්‍රබන්ධ වෑයම පිළිබඳව අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි. මෙම කෘතිය සයුර ප්‍රකාශනයකි.

< මෙම කතා මාලාව හැඳින්වෙන්නේ විද්‍යා ප්‍රබන්ධයක් විදිහට?

කතා මාලාව විද්‍යා ප්‍රබන්ධයක්. නමුත් ‘ඉයුලෝසියා: අන්ධකාරාලෝක සටහන්’ යනු ෆැන්ටසි නවකතාවක්.

< කතා මාලාව මැදට ෆැන්ටසි නවකතාවක් වුවමනා වූයේ ඇයි?

එතනදි මට ජනප්‍රියවාදී දාර්ශනික අන්ත දෙකක් ගැන කියන්න පුළුවන්. එකක් විද්‍යාවෙන් සියලු ප්‍රශ්න විසඳාගත හැකියි සිතන කොටස. අනෙක එහි ප්‍රතිපක්ෂය. මනස පිළිබඳ දාර්ශනික ප්‍රශ්නය ක්වොන්ටම් භෞතිකයෙන් විසඳාගත හැකියි වගේ නූතන මිථ්‍යා විශ්වාස අප අතර තියෙනවා. මම ඉන්නේ විද්‍යාවෙන් සියල්ල විසඳා දෙන පැත්තේ නෙවෙයි. විද්‍යාව මෙහෙම වෙන්නෙ ඇයි කියන දාර්ශනික ප්‍රශ්නයේ මම ඉන්නේ. ඒ නිසා කතාව වියන තර්කය විද්‍යාව පමණක් නෙවෙයි.

මගේ අවධානය තියෙන්නෙ චරිත එක්කයි. ඔවුන්ට විද්‍යාව ඕන නම් මම ඔවුන්ට විද්‍යාව හොයාගන්න දෙනවා. ඒක චරිත එක්ක ගනුදෙනුවක්. ඔවුන්ගේ අනාගතය තීරණය කිරීම ඒ චරිතවල අයිතියක්.

< ඒ කියන්නේ බොහෝ විද්‍යා ප්‍රබන්ධවල දැකිය හැකි ආකාරයේ යම් විද්‍යාත්මක සංකල්පයක් කේන්ද්‍ර කරගනිමින් එම සංකල්ප හා කතාව සෘජුව එකිනෙක මත රඳාපවතින සුලබ විද්‍යා ප්‍රබන්ධ ආකෘතිය ඔබ යොදා ගන්නේ නැහැ?

නෑ. අපි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට දෙකක් සලකමු. ‘2001 A space Odyssey’ සහ ‘Blade Runner’. මේ චිත්‍රපට දෙකේ අපි දකින දේ තමයි විද්‍යාත්මක දියුණුව සහ අරමුණ ඔස්සේ බිහි වන වෙනස් කළ ලෝක, පෘථිවියේ අනාගතය. මේ වෙනස් කිරීමේ විද්‍යාව, විද්‍යාවේ ප්‍රශ්න කතන්දරය වනවා නම් ඒවා වාර්තා චිත්‍රපට මෙන් විය යුතුයි. නමුත් චිත්‍රපට දෙකෙහිම ධාවන සාරය වන්නේ විද්‍යාවෙන් වෙනස් වූ ලෝකයේ මිනිසාගේ විඳීම හෝ විඳවීමයි. ඒවායේ සැබෑ කතාව මිනිස් නාටකය මිස විද්‍යාව නොවෙයි.

‘2001 A space Odyssey’ කතාව ග්‍රීක ඉකරස් මිථ්‍යාවමයි කියලා හිතන්න පුළුවන්. විද්‍යාවේ පිහිටෙන් ලැබෙන තටු සහ අන්තර් ග්‍රහලෝක ප්‍රවාහනය. නිදහස කරා පියා සැරීම. එහෙත් විද්‍යාවේ භයංකර බව. අපට ආධ්‍යාත්මික ගෙවීමක් කළ යුතු බව. හල් පරිගණකය. හිරු රැසට තටු දියවෙන බව. කඩා වැටීම. ආධ්‍යාත්මික සයිකඩෙලික් කඩා වැටීම සහ ඉන් ලැබෙන වටහාගැනීම. 'ඕනෑවට වඩා ඉහළින්ද පහළින්ද පියා සරන්න එපා' යන්න.

Blade Runner ගත්තොත් රෙප්ලිකන්ට්ස්ලා වෙනුවට ආදේශ කරන්නේ වසර ගණනකට පෙර ඇමරිකාවේ සිටි වහලුන්. එකම කතාව නේද? ඇත්තටම අපට අලුත් කතා නෑ. අපි පරණ කතාම ආයෙ ආයෙ වර නගනවා. එකම වෙනස පසුබිම අලුත් වීම විතරයි. ආතර් සී. ක්ලාක්ගේ විශිෂ්ට කතාන්දර බොහෝමයක ප්‍රස්තුතය දෙවියන් වහන්සේ එවන පණිවිඩකරුවා නොවේද? විද්‍යා ප්‍රබන්ධ කියන සම්මත ජනප්‍රිය ආකෘතිය දියවී යන්නෙ මේ නිසා. මම මෙතනදි න්‍යායන්, වචන, චරිත සහ මා එක්ක සෙල්ලම් කරන්න පටන්ගන්නවා.

< The Matrix චිත්‍රපටයේදි මෝෆියස් නියෝට පෙති දෙකක් දෙනවා. නිල් පෙත්ත නියෝ නැවත ප්‍රබන්ධය කරා රැගෙන යනවා. රතු පෙත්ත නියෝ යථාර්ථය කරා රැගෙන යනවා. ස්ලැවෝයි ජිජැක් කියන දාර්ශනිකයා තෙවන ආකාරයේ පෙත්තක් ඉල්ලා සිටිනවා. ඒ ප්‍රබන්ධයේ යථාර්ථය හෝ යථාර්ථයේ ප්‍රබන්ධය පෙන්වන පෙත්තක්. ජිජැක්ට අර පෙති දෙකෙන් සෑහීමකට පත් වෙන්න බැරි ඇයි?

හේතුව යථාර්ථය ප්‍රබන්ධයෙන් තොරව නොපවතින නිසයි. ප්‍රබන්ධය තමයි යථාර්ථය ඒ ආකාරයට සකසා තියෙන්නෙ. වෙන ආකාරයකට කිවහොත් දෘෂ්ටිවාදය කියන්නෙ හුදු මායාවක් හෝ අතිරික්ත දෙයක් නෙවෙයි. මොකද දෘෂ්ටිවාදය අවසන් වුවහොත් එයින් මුළු මහත් සමාජ-දේශපාලනය පමණක් නෙවෙයි, විද්‍යාත්මක ව්‍යුහයන්ද කඩා වැටෙනවා. උදාහරණයක් ගමු. හදිසියේම හේමමාලා දන්ත කුමරු ඇතුළත් දන්ත ධාතුව පිළිබඳ කතාව මුළු ලෝකයෙන්ම එකවර අතුරුදන් වෙනවා. ඊට පසු කුමක් සිදු වේද? දළදා මාළිගාව, ඒ වටා ඇති සමාජ-දේශපාලනය අවසන් වූ පසු ලංකාව සම්පූර්ණ පද්ධති වෙනසකට යනවා. ඒක හිතාගන්න බැරි තරම් වෙනසක්.

< ප්‍රබන්ධයෙන් තොර රියැලිටියක් පවතින්න බෑ.

මම පිපාසෙට වතුර නොබී කොකා කෝලා බොන්නේ කෝක් කියන ප්‍රබන්ධය නිසා. අපට සිංහල ජාතිවාදය නඩත්තු කරන්න රාවණා ඕනේ. ඒ ප්‍රබන්ධය නිසා අපි ජාතිවාදී වෙනවා නෙවෙයි. එය ජාතිවාදී වීම සඳහා අපි හදාගන්න කතාව. අපට සැබෑ ලෝකයේ ව්‍යුහගත වෙන්න ප්‍රබන්ධ ඕනෙ. සිංහබාහු කතාව ගන්න. ඒක පැහැදිලිවම ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් කතාවයි. ඊඩිපස් මූලික කරගත්ත මූල කතා කොපමණ තියෙනවාද ලෝකෙ පුරා? එකම ප්‍රබන්ධය වෙනස් චරිත. මට මගෙ ඉස්සරහ තියෙන පුටුව පුටුවක් නෙවෙයි එහි දෘෂ්ටිවාදී සහ ප්‍රබන්ධ ස්වභාවය නැත්නම්. මේ අනුව පැහැදිලි වෙනවා මට ප්‍රබන්ධයක් නොවන මගේ දිනපොත පවා ප්‍රබන්ධයක් වන බව. ඒ නිසා සාහිත්‍ය ශානරය ප්‍රශ්නයක් නෙවෙයි. ඕනෑම කතාවක්, ඉතිහාස කතාවක් වුණත් ප්‍රබන්ධයක්. ඒ නිසා විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි භාවිත කළ යුතුම නෑ ප්‍රබන්ධයක් කරන්න. එකම වෙනස ලේඛකයාගේ චින්තන පථයේ අමුද්‍රව්‍ය. ඒවා විද්‍යාවට බර නම් ඒ විද්‍යා ප්‍රබන්ධ.

< ‘ඉයුලෝසියා’ කියන්නෙ ෆැන්ටසි නවකතාවක් ලෙසයි ඔබ හඳුන්වා දෙන්නේ. ඒ ෆැන්ටසි කතා රාමුව තුළ දිස්තෝපියානු තත්වයක් ගැන ඉඟි තිබෙනවා. මේ ඉඟි ‘කල්පාවසාන සාදය’ තුළත් මුණගැසුණා. ඔබේ පෙර පිළිතුරත් සමඟ බැලුවොත් ඔබේ ප්‍රබන්ධය හා බැඳුණු යථාර්ථය වන්නේ අප මුහුණදෙමින් පවතින දේශපාලන තත්වය හා එහි අනාගත ඵලයන්ද?

හේතුව ඊට වඩා විශ්වීයයි සහ අකාලිකයි මං හිතන්නෙ. මෙහෙම හිතමු. අපි උදේට වැඩට යනවා. හවසට අපේ කියල වැඩක් කරගන්නවා. පාටි දානවා. ඒ, ඊට නියමිත තැනක ඊට නියමිත ගෙවීමකින් අනතුරුව. අපි ගෙවන්නේ අපට දෙන ලද, අනුගමනය කරන්නට සිදු වන දින චර්යාවක්. අපේ සිතිවිලත් එහෙමයි. Captain Marvel චිත්‍රපටය ආවාට පස්සෙ මම ඒක බලන්න යනවා. ඒ නිෂ්පාදක සමාගම් මගේ ආශාවට ආමන්ත්‍රණය කරල තියෙනවා. මට ආශා කරන්න පුරුදු කරල තියෙනවා. මංගල දර්ශනයට දවසක් වෙන් කරල තියෙනවා. කොටින්ම කිව්වොත් අපි ගත කරන්නෙ යාන්ත්‍රික ජීවිත. පුරුදු කරන ලද, පුරුදු වුණ ඒකාකාරී දින චර්යාවන්.

අපි ඒකෙන් ගැලවෙන්න නිවාඩු දවසක සංචාරයකට යනවා. ගුවන් ටිකට්පත්, වීසා ගන්න ඕනේ. ගමනේ සැලසුමට අනුව අපි යන්න ඕනේ. නියමිත දවසේ අපි ආපහු වැඩට එන්න ඕනෙ. අන්තිමට බලද්දි ශිෂ්ටාචාරයෙන් පළා යෑමට ගත් උත්සාහයත් ශිෂ්ටයි. හරියට ‍ජෝර්ජ් ඕවල්ගේ ‘1984’ නවකතාවේ විප්ලවය පවා අධිකාරයේම නිර්මාණයක් වූ ආකාරයට. ඒ නිසා අපි කැමතියි අරාජිකත්වයට. සියලු මානව වටිනාකම් අහෝසි වන දිස්තෝපියානු විනාශයට.

ලංකාවට බරපතල ගංවතුරක් ආවාම අපි ඒකට මාර කැමතියි. ඒක ජීවිත විනාශය දකින්න තියෙන විකෘති ආශාවක් නෙවෙයි. සිස්ටම් එක කඩා වැටෙනවාට තියෙන ආශාව නිසා සිද්ධ වන එකක්. මේ සිස්ටම් කඩා වැටීම වරදකාරී හැඟීමෙන් සහ තමා නිදහස් වීමේ සතුටින් පිරුණු එකක්. ඒ නිසා අපි ගංවතුරෙන් අවතැන් වූ අයට උදව් කරනවා. ඒක චෝදනාවක් නෙවෙයි. ඒක හුදු මනුස්ස ස්වභාවය. මාත් ඒකට අයිතියි.

සාකච්ඡා කළේ [අනිල් හේරත්]

මාතෘකා