විදග්ධ පාඨකයා

 ඡායාරූපය:

විදග්ධ පාඨකයා

කෙටිකතා ලියන මගේ මිතුරෙක් ප්‍රබන්ධ පාඨකයා කෙබඳු විය යුතුදැයි පසුගිය සතියේ මා සමඟ වාදයක පැටලිණි. ඔහු කියා සිටියේ පාඨකයා හැම විටම මා පවසන ආකාරයේ විදග්ධම විය යුතු නැති බවත්, ප්‍රබන්ධය පවතින්නේ සාමාන්‍ය පාඨකයා නිසා බවත්, එනිසා ඔහු පිරිහෙළිය නොයුතු බවත්ය ‐ ඔහු එසේ තර්ක කළේ ඔහුද පොදු පාඨකයා අමතන කෙනෙකු නිසා යැයි පසුව මට සිතිණි. කෙසේ හෝ ඔහු කියන එක් දෙයක් පිළිගත යුතුය. කිසිදු පාඨකයකු පිරිහෙළිය යුතු නැත. පාඨක සමාජයේ වැඩි වශයෙන් සිටින්නේ විදග්ධ පාඨකයා නොවේ, සරල වින්දනයට හුරු සාමාන්‍ය පාඨකයාය. එවැනි පාඨකයන් අමතන සාහිත්‍ය ශානරද වැඩි අතර අපරාද ප්‍රබන්ධ හෙවත් මාරක කතා (Crime Fiction), ජනප්‍රිය ප්‍රේම කතා (Romantic Fiction), ෆැන්ටසි කතා (Fantasy Literature), යොවුන් කතා (Adolescent Literature) යන සියලු ශානර සාමාන්‍ය පාඨකයා අමතන ඒවාය. ඇත්ත වශයෙන් ලොව වඩාත්ම අලෙවි වූ Harry Potter ප්‍රබන්ධ මාලාවද අමතන්නේ විදග්ධ පාඨකයා නොවේ. එහි ඉලක්ක පාඨකයා යෞවනයාය. ෆැන්ටසි කතා මාලාවක් වුවද එය විදග්ධ පාඨකයාට පවතින්නක් නොවේ. ඒ සියල්ල නිවැරදිය. එසේම ඒ කිසිදු පාඨකයෙකු අවමානයට ලක් කළ යුතුද නැත. එහෙත් මගේ තර්කය එබඳු පාඨකයනට ප්‍රබන්ධයෙන් ලබාගත හැකි දේ ගත හැකිද යන්නය.

උසස් ප්‍රබන්ධ නොහොත් විදග්ධ පාඨකයා කියවන ප්‍රබන්ධ බැහැර කරන කවරෙකු වුව ප්‍රබන්ධයෙන් අපේක්ෂා කරන්නේ සරල වින්දනයකි. නැත්නම් ත්‍රාසය, කුතුහලය, භීතිය රැගත් ආස්වාදයකි. එසේත් නැත්නම් ජනප්‍රිය ප්‍රේම කතා කියවා ලබන පොඩිපහේ විනෝදයකි. පෙම්වතා පෙම්වතිය හා එක් වී කෙළවර වන හෝ ඒ එක් කෙනෙක් තනි වී කෙළවර වන ප්‍රේම කතාවෙන් ආස්වාදයක් ලැබේ. එහෙත් එය ඉන් එහා කිසිවක් නොදේ. පවුලේ කතාන්දරය අවසන් වන්නේ පවුල බිඳීමෙනි. නැත්නම් එකතු වීමෙනි. නැත්නම් ඒ දෙකෙන් එකක් වන බවට ඉඟි කිරීමෙනි. ත්‍රාසය, කුතුහලය, භීතිය මුසු කතාවල ඇත්තේ එක් අරමුණකි. පාඨකයාට විශ්වාස කළ නොහැකි කතාවක් ගෙනහැරපෑමය. මේ කිසිවකින් විදග්ධ පාඨකයාට තෘප්තිමත් වීමට නුපුළුවන. ඔහු ප්‍රබන්ධයෙන් ඉල්ලන්නේ එක් දෙයකි. ඒ, ‘හුස්ම’ය. ‘හුස්ම’ යනු කුමක්ද? දෛනික ජීවිතයේ කර්කෂ අත්දැකීම් දරා ගැනීමේ, ‘සාහසික දේ’ ඉවසා සිටීමේ ශක්තියය. ජීවිතයේ අතෘප්තිකරභාවය සංසිඳුවන සංහිඳියාවය. ‘හුස්ම’ යනු මෙයය. ‘හුස්ම’ ඔහු ඉල්ලීමට හේතුවක් තිබේ. ඔහු අධිසංවේදී අයෙකි. කලාකරුවකුට ඇතැයි සරච්චන්ද්‍රයන් කියන මඳ සුළඟකිනිදු සැලෙන වීනා තතක් වැනි හදවත විදග්ධ පාඨකයාටද තිබේ. ඉතින් ප්‍රබන්ධය කරන්නේ ඒ අධිසංවේදී, සංයත, ‘මහපොළොවේ දරා සිටීම’ අපහසු පාඨකයාට ‘හුස්ම’ නොහොත් සවිය ලබාදීමය ‐ මාරක කතා පාඨකයා, ජනප්‍රිය ප්‍රේම කතා පාඨකයා, යොවුන් කතා පාඨකයා, ෆැන්ටසි හෝ විද්‍යා ප්‍රබන්ධ පාඨකයා ප්‍රබන්ධවලින් ‘හුස්ම’ ඉල්ලන්නේ නැත. ඔහුට ඒ නොදැනෙන නිසාය.

මෙහිදී උසස් ප්‍රබන්ධය ‘හුස්ම’ ලබාදෙන ආකාරයක් තිබේ. පළමුව එය රස නිපයයි ‐ පාඨකයා කියවීමේදී කරන්නේ ඒ රස වින්දනය කිරීමය. ඔහුට වින්දන ශක්තිය ඇත. දෙවනුව එය යථාර්ථය දැකීමට තෙවැනි ඇසක් ලබා දෙයි ‐ මේ ඇස ලැබෙන්නේ රස වින්දනයෙන් ලැබෙන ආනන්දයෙන් ප්‍රඥාවට එළඹීමෙනි. මෙය හරියටම කිවහොත් ප්‍රබන්ධයේ ශක්‍යතාවෙන් ‐ රස නිෂ්පත්ති හා යථාර්ථය අවලෝකනය කිරීමේ ශක්‍යතාවෙන් ‐ පාඨකයා තමාට වුවමනා දේ ‐ ‘හුස්ම’ ‐ ගැනීමකි. එහෙත් මේ දේ සිදු වීමට තවත් දෙයක් විය යුතුය. එහිදී කතාකරුවා පාඨකයා සමඟ හෘදය සංවාදයක නියුතු විය යුතුය.

ප්‍රබන්ධකරණයේදී කතාකරුවාට පාඨක බුද්ධිය අමතා ඔහුට ‘හුස්ම’ ගැනීමට සැලැස්වීම ‐ ආනන්දයෙන් ප්‍රඥාවට එළඹවීම ‐ කළ නොහැකිය. සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතා අප කියවන්නේ හදවතිනි ‐ එහි බුද්ධියෙන් කියවීමට දෙයක් නැත. එසේ කියවා අවසන අපට ජීවිතය හා ප්‍රේමය ගැන මෙතෙක් නොලැබුණු අවබෝධයක් ලැබේ. ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ මෙරට බාල ප්‍රේම කතා ගොන්නකට පාර කැපුවේ යැයි කලක් විවේචන එල්ල විණි. එහෙත් එම නවකතා කියවා ලැබෙන අවබෝධය ජනප්‍රිය ප්‍රේම කතාවකින් ලැබෙන අවබෝධය නොවේ. දොස්තොයෙවුස්කිගේ White Night හෝ Gentle Creature යන කෙටිකතාද කියවා පාඨකයා ලබන්නේ සරල අවබෝධයක් නොවේ. එය පාඨකයා සසල කරන අවබෝධයකි. සැබැවින්ම උසස් ප්‍රබන්ධයකින් ලැබෙන අවබෝධය බුද්ධිවාචක අවබෝධයක් ‐ බුද්ධියෙන් හෝ මනසින් ලබන අවබෝධයක් ‐ නොවේ. එය ක්ෂණ මාත්‍රයකදී අපට පසක් වන ඥානයකි. එම නැණස දැනෙන දේකි. ප්‍රබන්ධයේ රස වින්දනයද, ජීවිතාවබෝධයද දැනෙන දේකි. උසස් ප්‍රබන්ධයක් කියවා පාඨකයා සසල වන්නේ එය බුද්ධිවාචක නොවන බැවිනි. එය හෘදයග්‍රාහී නොහොත් භාවවාචක අවබෝධයක් බැවිනි. හරි නම් අවබෝධයක් ලබන විට සසල වීමට කරුණක් නැත. එහි ඇත්තේ සතුටක් නිසාය. එහෙත් මෙහිදී සිදු වන්නේ සසල වීමකි. එය සෙසු අවබෝධයන් මෙන් බුද්ධිය, මනස ඇසුරු නොකරන නිසාය.

විදග්ධ පාඨකයා කෙබඳු ගණයේ අයකුදැයි හා ප්‍රබන්ධයට ඔහු ඇමතීමට එහි ඇති ශක්‍යතා කවරේදැයි මින් පැහැදිලි වනු ඇත. එහෙත් මෙහිදී සාකච්ඡා කළ යුතු කරුණක් තිබේ. අද නවකතා, කෙටිකතා නාමයෙන් පළ වන දේ ‐ ඇතැම් විට නවකතා, කෙටිකතා නාමයෙන් සම්මාන ලබන දේද ‐ මේ ආකාර සැබෑ ප්‍රබන්ධ වන්නේද යන්නය. එය අප සසල කරන අවබෝධයක් ලබාදේද යන්නය. මෙහිදී මට ප්‍රථමයෙන් සිහි වන්නේ ලියනගේ අමරකීර්තිගේ ‘අළු පැහැති ආරංචි’කෘතියය. මා මෑතම කියවූ කෙටිකතා සංග්‍රහය එයය.

මට හැඟෙන ලෙස එහිදී අමරකීර්ති අමතන්නේ මෙහි මුලින් කී විධියේ විදග්ධ පාඨකයකුට නොවේ. සංයත, සංවේදී, සබුද්ධික, වියත් පාඨකයාට ඔහුගේ කතා රස විඳීම අපහසු යැයි සිතේ. හේතු දෙකක් තිබේ. එකක් ඔහු ‐ ඔහුගේ කථකයා ‐ පාඨකයාගේ සංවේදී බව ‐ ඔහුගේ සැලෙන වීනා තත් හෘදය ‐ නොතකා කතාව අතරමඟ එක්වරම රළු ලෙස පාඨකයා ඇමතීමය. අනෙක ඔහු භාවවාචක කථනයකට වඩා බුද්ධිවාචක කථනයක යෙදීමය. ඔහුගේ සෑම කෙටිකතාවකම කථකයා එකම ආකාරය. කතාකරුවා ඉතාම මානුෂික යැයි ඉදිරිපත් කරන ‘සෝ බර සමය’, ‘අළු පැහැති ආරංචි’ යන කෙටිකතාවල පවා කථකයා ගොරහැඩියෙකි. ඔහු සරම කැසපොට ගසාගත්, ගැහැනුන් සමඟ පැවැත්වූ ලිංගික සබඳතා විස්තරාත්මකව ප්‍රසිද්ධියේ පවසන විධියේ, අවිනීත පාදඩ පන්තිකයෙකු වැන්න. සාමාන්‍යයෙන් ප්‍රබන්ධයකදී එළියට එන්නේ කතුවරයාගේ ආත්මය යැයි, ඔහුගේ ජීවිතය යැයි කියනු ලැබේ. එසේ නම් එම කථක භූමිකාව හරහා බැහැරට එන්නේ සැබෑ ලියනගේ අමරකීර්තිද? එහෙත් එකිනෙකට වෙනස් තේමා සහිත සෑම කෙටිකතාවකම මේ සා ප්‍රකට අයුරින් අවිනීත කථකයකු පෙරට ඒම ඒවා විදග්ධ පාඨකයාගේ රස වින්දනයෙන් බැහැරට ගෙන යන්නකි. මට හැඟෙන ලෙස ඔහු හෝ ඔහුගේ කථකයා කෙටිකතා කරළියට දා කරන්නේ පාඨකයාට පොඩි ‘ආතල්’ එකක් ලබාදීමය. විදග්ධ පාඨකයා ප්‍රබන්ධයෙන් අපේක්ෂා කරන්නේ ‘ආතල්’ එකක්ද? ‘දෙයියෝ සාක්කි’, ‘ඇසුවෙමි දුටුවෙමි’ ගණයේ කතා ඔහුට වින්දනය කිරීමට ඇවැසි නම් ඔහු ප්‍රබන්ධ කියවන්නේ නැත. කියවන්නේ එවැනි පුවත් විශේෂාංග රැගත් පුවත්පත්ය. එනිසා මෙය ඉඳුරාම කෙටිකතාකරුවා සිය භූමිකාව වරදවා ගැනීමකි.

අමරකීර්තිගේ කෙටිකතාවල එන බුද්ධිවාචක කථනය නොහොත් අදහස් ගෙනහැර පෑම මා දකින්නේ ඔහු ප්‍රබන්ධයෙන් බැහැරට යන ප්‍රධාන ආකාරය ලෙසය. නවකතාවේ හෝ කෙටිකතාවක ඇත්තේ හෘදය සංවාදයකි. මෙහිදී ඔහු හෘදය සංවාදයේ නිරත නොවන්නේ නැත. එහෙත් ඒ හෘදය කථනය අතර ඔහු බුද්ධිවාචක කථනයකද යෙදේ. හරියටම කිවහොත් ඔහු හෘදය සංවාදය පාවිච්චි කරන්නේ ඔහුගේ මූලික බුද්ධිවාචක කථනයට ආධාරකයක් වශයෙනි. මෙහිදී ඔහු වරදවා ගෙන ඇත්තේ ප්‍රබන්ධයේ ශක්‍යතාවය. එනම් රසාස්වාදනයෙන් ලබන ජීවිතාවබෝධයය. ආනන්දයෙන් එළඹෙන ප්‍රඥාවය. ඔහු කරන්නේ ප්‍රබන්ධ නොවන වියමනකින් (Non Fiction) කෙරෙන අදහස් හා කරුණු ගෙනහැරපෑමය.

උසස් ප්‍රබන්ධයක කවර දේශපාලනයක් ඇතුළත් වුවද එය කියවීමට පාඨකයා දරන දේශපාලන මතවාද ප්‍රශ්නයක් නොවේ. එහෙත් අමරකීර්තිගේ ප්‍රබන්ධ කියවීමට පාඨකයාගේ මතවාද ප්‍රශ්නයකි. කුමක් නිසාද? ඔහු කරන්නේ රස මතින් පැනනැඟෙන අවබෝධයක් - ප්‍රස්තුත විෂය අවලෝකනයක් - ‍දීම නොවන බැවිනි. එය ප්‍රබන්ධ නොවන වියමනකින් කෙරෙන හුදු වාච්‍යාර්ථවත් අවබෝධය දීමකි. මෙය අන් කිසිවක් නොව ජනතාවාදයමය. ‘අළු පැහැති ආරංචි’ කතා සංග්‍රහයේ එන සෑම කතාවක්ම කරන්නේ ජනතාවාදී සාහිත්‍ය කාර්යය. එය කිසියම් දුරකට හෝ අවම වී ඇත්තේ කතා එකතුවේ එන ‘අළු පැහැති ආරංචි’ කතාවේ පමණි. එහෙත් එහිද අසභ්‍ය කථකයා රසාස්වාදනයට බාධා ගෙන දේ.

අදහස් නිසා - වැරදි අදහස් නිසා - පාඨකයාට රස විඳීමට වඩාත් බාධාකාරී වන්නේ ‘කවියෙකු සොයා’ හා ‘එකම පුතා’ කෙටිකතා දෙකය. එහිදී ඔහු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ එය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් යන්න සඟවමිනි. මෙය ගුණදාස අමරසේකරගේ මෑත ප්‍රබන්ධ ව්‍යාපාරයට වෙනස් දෙයක් නොවේ. වෙනසක් ඇත්තේ නම් ඒ, අමරසේකර මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාරය විමුක්තියේ සංකේතය ලෙස ලෙස හඳුන්වා දීමත්, අමරකීර්ති මහින්ද රාජපක්ෂගේ දේශපාලනය බියකරු ජාතිවාදයකැයි හඳුන්වා දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටීමත් පමණි. මේ අනුව අමරකීර්ති ප්‍රබන්ධකරණයේ මූලික කරුණු දෙකම උල්ලංඝනය කරයි. එක් පසෙකින් ඔහු පාඨකයා අවරසිකයකු ලෙස සලකා ඔහු විසිළුවට ලක් කරන අතර අනෙක් පසින් රස මගින් ප්‍රස්තුතය අවලෝකනය වෙනුවට වාච්‍යාර්ථයෙන් ප්‍රස්තුතය විවරණය කර අදහස් සම්භාරයක්, කරුණු අටෝ රාශියක් ඉදිරිපත් කරයි.

කෙසේ වුව ඔහුගේ මේ කතා සංග්‍රහය සාහිත්‍ය සම්මානවලින් පුද ලබා ඇත. ඉන් අද සාහිත්‍ය සමීක්ෂණ මණ්ඩලවල සිටින පිරිසේ හීන රසිකත්වය අවබෝධ කරගත හැකි බව සැබැවි. එහෙත් ඊටත් වඩා කරුණ ප්‍රබන්ධය ඉදිරියට බා එහි සිදු වන අදහස් කථනයය. එතුළින් ප්‍රබන්ධය ඉතිරි නොවීමය. එසේ බැලූ විට අමරකීර්තිගේ ප්‍රබන්ධයත්, සරත් විජේසූරියගේ ‘මගේ නඩුව ඉවරයි’ කතාත් අතර වෙනසක් නැත.

මාතෘකා