දුක්ඛ සත්‍යය

 ඡායාරූපය:

දුක්ඛ සත්‍යය

මෑතක සිට පුවත්පත් වාර්තා කියවන විට තෙන්නකෝන් මහතාගේ සිතෙහි බියමුසු සැකයක් මෝදුවෙමින් තිබේ. වියපත් දෙමාපියන් මහමඟ අතරමං කළ දරුවන් ගැන එම වාර්තාවල සඳහන් වේ. අනාථ නිවාසවලට ගාල් කොට සිටින බහුතරය, නීතිඥයන්ගේ, වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ දෙමව්පියන් යැයි එක් වාර්තාවක සඳහන් විය. තෙන්නකෝන් විශ්‍රාමික රජයේ සේවකයෙකි. ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය නිස්සංක රජයේ පරිපාලන නිලධාරියෙකි. ශිෂ්‍යත්ව විභාගය සමත්ව රජුන් තනන විද්‍යාලයකට ඇතුළත් වූ ඔහු එතැන් සිට ඇසුරු කළේ රටේ දේශපාලනඥයින්ගේ හා ධන කුවේරයන්ගේ දරුවන්ය. අදියරෙන් අදියර විභාග සමත් වෙමින් ඉදිරියට ගිය නිස්සංක ‘රැජින’ කර ගත්තේද රටේ ප්‍රබල දේශපාලනඥයකුගේ දියණියකි. නිමක් නැති සිහින සම්භාරයක් පසුපස හඹා යන තම පුත්‍ර රත්නය පිළිබඳව දැන් තෙන්නකෝන්ට ඇත්තේ අනුකම්පාවකි. ඒත් මෙම සිහින ජාලය ඔහුගේ සිතෙහි රෝපණය කිරීමට තමාද දායක වූවා නොවේදැයි ඔහු හට සිතේ. ඒ සමඟම ඔහුට සිහිපත් වන්නේ සිංහබාහු නාටකයේ ගීතයකි.

‘ප්‍රේමයෙන් වැඩුවේ මෙපුතා නොවෙදෝ

අන්තරායෙන් රැකගෙන වනයේ.....

ප්‍රේමයෙන්.....’

දේශපාලනඥයා සහ පරිපාලන නිලධාරියෙකු බෙල්ල - තැල්ල මෙන් ගැළපී කටයුතු කළ යුතු වුවද මෙම මාමා බෑණා (නිස්සංක) අතර වූයේ ජාඩි මූඩි වැනි ජුගුප්සාජනක සම්බන්ධයකි. අනපේක්‍ෂිත ලෙස සිදු වූ බල පෙරළියත් සමඟ නිස්සංක පතිත වූයේ අහසින් පොළොවටය. රාජ්‍ය ධනය රිසි සේ පරිහරණය කරමින් නාස්තිකාර ආටෝප සාටෝප ජීවන රටාවකට හුරු වී සිටි නිස්සංකට මෙන්ම රාජිකාටද යථාර්ථයට මුහුණ දීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත් වනු තෙන්නකෝන් දිටීය. තවදුරටත් පඹගාලේ පැටලෙන්නේ නැතිව ජීවිතය යළි ගොඩනඟා ගැනීමට නම් නිස්සංක ඔහු කුඩා කල හුරුපුරුදු කළ ගැමි, පිරිමැසුම් සහිත, සරල ජීවන රටාවට අනුගත විය යුතුය. රජුන් තනන විද්‍යාලය දක්වා ඔහුට ඉණිමඟක් වූයේ එම ජීවන රටාවයි.

පුවත්පත් සපයන තොරතුරු අතර දේපළ සඳහා දරුවන් අතර සිදු වන ගහමරාගැනීම්ද තෙන්නකෝන්ගේ නිරීක්‍ෂණයට ලක් විය. බිරිඳගේ වියෝවත් සමඟම දරුවන් හැදුණු වැඩුණු නිවස ඇතුළු දේපළ විකුණා දැමූ තෙන්නකෝන් දරුවන්ට එම ධනය බෙදා දුන්නේ සතුටු සිතිනි. “දැන් ඉතින් අපි මේ ගෙනියන්න බැරි දේවල් අත්හරින්න ඕන කාලේ හාමුදුරුවනේ.” පන්සලේ නායක හිමියන්ට ඔහු පැවසුවේ එපරිද්දෙනි.

මාමණ්ඩියගේ හතරවරං වැඩ නිසා අතරමං වූ ලොකු පුතා (නිස්සංක) තම අක්මුල් මත යළි ස්ථාපිත වීමට උත්සාහ කළේ මෙම වකවානුවේදීය. “තාත්තා අනාථ මඩං, මහලු මඩං හොය හොයා ඉන්න ඕනේ නෑ. ඉතිරි කර ගත්ත දෙයක් බැංකුවක දාලා මගේ ගෙදර ඉන්න.” තෙන්නකෝන් වැඩි පංගුවක් නිස්සංකට වෙන් කළේද බොහෝ කාරණා සැලකිල්ලට ගනිමිනි. ලොකු අයියා තම නංගිලා මල්ලිලා වෙනුවෙන් කරන ලද කැපවීමක්ද විය.

දුක, සතුට, ආඩම්බරය, සැහැල්ලුව, බිය, සැකය ආදී සියල්ල කැටි වූ කල්පනා සාගරයක තෙන්නකෝන් නිමග්නව සිටින්නේ තම මුණුබුරාට වෙසක් කූඩුවක් සාදා ගන්නට කියා දෙන අතරතුරය. නිස්සංක කුඩා කල ප්‍රකට මෙන්ම දහඅටපට්ටම වැනි අප්‍රකට වෙසක් කූඩුද සෑදීමට දක්ෂයෙක් විය. උදේ වරුවේ පන්සලේ සිල් සමාදන් වීමට එක් වන ඔහු සවස සිල් පවාරණය වී තමාම නිර්මාණය කළ නිර්මාණවලින් නිවස අලංකාර කළේ ආඩම්බරයෙන් යුතුවය.

“කඩෙන් වෙසක් කූඩු ගේන්න එපා. මම තිසරට උගන්වන්නම් වෙසක් කූඩු හදන හැටි.” උදේ තෙන්නකෝන් නිස්සංකට කීවේ ඔහුගේ අතීතය සිහිපත් වන ලෙසය. එහෙත් පසුව ලැබුණු දුරකථන පණිවුඩය සියල්ල වෙනස් කර වන්නක් විය. “පුතා තාත්තා කියනවා වෙසක් කූඩු හද හදා ඉන්නේ නැතිව ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් කරන්නලු.... තාත්තා හවස එනකොට ලයිට් වැලකුත් ගේනවා කිව්වා.... ගන්න ගන්න ප්‍රශ්න පත්‍ර පොත!” පියාගේ පණිවුඩය ලෙස රාජිකා වර නගන්නේ ඇයගේම අදහස බව තෙන්නකෝන් දනී. උදේ දෙදෙනා අතර ඇති වූ කසුකුසුවද එයමය.

“ශිෂ්‍යත්වයට තව කී දවසද? සීයගේ කතා අහන එකයි, මල් නෙළන එකයි, දාං අදින එකයි, බයිසිකල් පදින එකයි ඇරෙන්න වෙන දෙයක් දැන් තිසරට නෑ. ළමයා විභාගේ ෆේල් වුණොත් අම්මලා අතර පරදින්නේ මම!” ඒ, රාජිකාගේ හඬය.

“රාජිකා, ඒ මම ඉගෙන ගත්ත විදිහ. ඒවායේත් ලොකු අධ්‍යාපනයක් තියෙනවා. ඔයා ඒ පාඩම් ඉගෙන ගෙන නෑ. ඒකයි අපි අතරෙත් ප්‍රශ්න ඇති වෙන්නේ!”

එහෙත් දුරකථන ඇමතුමෙන් කියවෙන්නේ නිස්සංකගේ එම අදහස නොවේ. තිසර හැදුණේ වැඩුණේ සීයා සමඟය. එකල සීයා රාජිකාට සම්පතක් විය. එහෙත් දැන් දැන් තෙන්නකෝන් හට දැනෙන්නේ රාජිකා මුණුපුරාගෙන් පමණක් නොව පුතාගෙන්ද තමා විතැන් කිරීමට උත්සාහ දරන බවය. ඔහුට අනාගතය පිළිබඳව අවදානමක් දැනෙන්නේ ඒ අනුවය. එය වියපත් පියෙකු හට දැරිය හැකි අවදානමක් නොවේ.

තිසර කුඩා කල බොහෝ දීර්ඝ සති අන්ත ඔවුන් ගත කළේ නගරයෙන් බැහැරවය. ඒ සඳහා යාන වාහනද, නවාතැන්පළද, මිල මුදල්ද නිස්සංකට අඩු නොවීය. විටෙක නුවර යන ඔවුහු තවත් විටෙක නුවර එළියට හෝ සිංහරාජ අඩවියට සංචාරය කරති. කතරගමටද යති. ශ්‍රීපාදයටද යති. මෙම විනෝද චාරිකාවලට නිස්සංකගේ මිතුරෝද එක් වෙති. කා බී මධුවිතෙන්ද සප්පායම් වී කාටත් විනෝදවීමට නිදහස ලැබෙන්නේ තෙන්නකෝන් දරුවන් රැක බලා ගැනීම පවරා ගන්නා බැවිනි. ඒ අතර තෙන්නකෝන්ද අඩු සැර මත්පැනකින් සප්පායම් වේ. ඒ අන් අයට දැනෙන පරිමාණයෙන් නොවේ.

පරෙයිතොට පොකුණක් වන් නදී තොටුපළකි. ජලය බැස ගියේ සෙමිනි. බිලිඳු තිසර ටියුබයක් තුළ පා වෙමින් සිටියේ වැඩිහිටියන් අතරය. අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටි වැඩිහිටියන්ට දරුවා තමාගෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වනු නොදැනුණි. සීයා සමඟ සිනාසෙමින් දරුවා ගං ඉවුරට සමීපව පසුව ගඟ ගලන දෙසට ක්‍රම ක්‍රමයෙන් ඇදී යන්නට විය. සමාන්තරව ගඟ පහළට ගමන් කළ සීයා දරුවා වඩා ගන්නා විට ඔවුන් දෙමව්පියන්ට නොපෙනෙන මානයේ ගස්වැල් අතර විය. පසුව දරුවා සොයා දස අත ගිය වැඩිහිටියන් ගිනි ගත් හිස් ඇතිව යළි තොටුපළට පෙරළා පැමිණෙන විට දරුවාද සීයාද තොටුපළේ ම විය. “වතුරේදි මම දරුවෝ ගැන බොහොම සෙවිල්ලෙනුයි ඉන්නේ.” තෙන්නකෝන් කීවද, සිදු වූයේ කුමක්දැයි සිතාගන්නටවත් බැරිව සිටි රාජිකා නිස්සංකට කීවේ “සීයාත් බොන්න පටන් ගන්නවනේ කොල්ලෙක් වගේ!” කියාය.

“සීයගේ ළමයි වතුරේ ගහගෙන ගියේ නෑ රාජිකා. අපේ දරුවා බලාගන්න ඕනේ අපි.” එහෙත් ඉස්මතු වූයේ එම අදහස නොවන බව තෙන්නකෝන් දනී.

දරුවාට අවුරුදු පහ හය පමණ වන විට විනෝද ගමන්වලදී සීයාගේ රැකවරණය රාජිකාට අවශ්‍ය නොවීය. “තාත්තා තනියෙන් ගෙදර තියලා යන්න බැහැනේ රාජිකා.” ඉන් පසු දීර්ඝ සති අන්තවල දින කිහිපයක් රෝහල් කාමරයක විවේක ගැනීමට තෙන්නකෝන්ට සිදු විය. “කෑම බීම, සොයා බැලීම් ඔක්කොම කෙරෙනවා, අපි ඒවට ගෙවනවා. තාත්තා විවේකයෙන් ඉන්න.” රාජිකාගේ රළු තීරණ තෙන්නකෝන්ට සමීප වූයේ සුමට ලෙසය. තෙන්නකෝන්ගේ නෙතට කඳුළක් නැඟිණි. එහෙත් එම රෝහලේ කාමර එම දිගු සති අන්තයේ පිරී ගොස් තිබුණේ තමාම වැනි මව්පියවරුන්ගෙන් බව තෙන්නකෝන්ට වැටහුණේ එහි දින කිහිපයක් ගත කරන විටය.

තම සැඳෑ දිවිය පිළිබඳ සියලු බලාපොරොත්තු බිඳ වැටෙන්නට තව වැඩි දිනක් ගත නොවන බව දැන් දැන් තෙන්නකෝන්ට පෙනේ. ආසන්නම සිද්ධිය මෙසේය.

“හඃ හඃ හහ්....” තිසර හඬ නඟා සිනාසුණි.

“සීයාට පුක් එකක් ගියා!”

“කොහොමද දන්නේ?”

“මට ඇහුණා.”

“ඇහුණාට කමක් නෑ පුතා. දැනුනා නම් තමයි නරක. වායු දූෂණය හොඳ නෑ.”

“ශබ්ද දූෂණයත් හොඳ නෑනේ.”

“නෑ. නෑ. සීයාගේ බඩ අපවිත්‍ර නෑ.”

සියල්ල පැහැදිලි කර දීම සීයගේ සිරිතය.

“ඔයාගේ බයිසිකලෙත් කාලයක් යනකොට හුළං පේනුව බුරුල් වෙනවා!”

“එතකොට නිකම්ම හුළං යනවනේ.”

තිසර තවදුරටත් සිනාසෙන්නේ උතුරා යන සතුටින් යුතුවය. මේ දැනුමද දරුවා ලැබිය යුත්තක් යැයි තෙන්නකෝන් සිතයි. එහෙත් සවස නිස්සංකගේ කනට යන්නේ තෙන්නකෝන් නොසිතන කතාවකි.

“තාත්තාට අර්ශස් අමාරුවද කොහෙද. දරුවාත් එතනමයි. නොදැනම මළ මුත්‍රාත් පිටවෙනවාද දන්නෙ නෑ.” තමා ශාරීරිකව දුර්වල වෙනවාට වඩා වේගයෙන් රාජිකා අධ්‍යාත්මිකව වැහැරෙන බව තෙන්නකෝන්ට පැහැදිලිය. නොබෝ දිනකින් ඔවුන් තමා අත්හැර දමනු ඇත. ඊට පෙර තමාම තීරණයක් ගත යුතු යැයි තෙන්නකෝන්ට සිතුණි.

පසු දින තෙන්නකෝන් අතුරුදහන් විය. ඔහු වෙත වූ අවම අඩුම කුඩුමද රැගෙන ඔහු නික්ම ගොස් තිබිණ. දමා ගොස් තිබුණේ “ඉතිරියද අත්හැරීමට කාලය පැමිණ ඇත” යන තුණ්ඩු කැබැල්ල පමණි.

“සීයා නිවන් යන්න ඇතිනේ තාත්තේ.” තිසර කීවේ හේතු පාඨයද සහිතවය.

“අතපය වාරු නැති වෙනකොට, ලෙඩ රෝග වැඩි වෙනකොට නිවනට යන්න ලෑස්ති වෙන්න ඕනේ පුතා.” සීයා තිසරට කියා තිබුණේ එසේය.

“ඉබාගාතේ යනකොට පොලීසියට හරි පත්තරකාරයෙකුට හරි අහු වුණොත් පත්තරෙත් යයි අපි තාත්තට සැලකුවේ නෑ කියල.” රාජිකාට තිබු ගැටලුව එපමණක් විය. කැලඹීමට, කම්පාවට, ශෝකයට පත්ව සිටියේ නිස්සංක පමණි. ඔහු හැකි සෑම තැනකටම දැනුම් දෙමින් වහ වහ තම පියා සොයන්නට විය.

“හැදු වැඩු දෙමව්පියන්ට සලකගන්න බැරි වුණොත් අපිත් සත්තු විශේෂයක් විතරයි රාජිකා. අනික අපි දෙමව්පියන්ට සලකන්නේ නැතිව කොහොමද ඒ පාඩම පුතාට උගන්නන්නේ.” නිස්සංක පැවසුවේ දැඩි කේන්තියෙන් යුතුවය.

නැන්දලා, මාමලා, බාප්පලා, පුංචිලා සැවොම තම පියාටත්, මවටත් කරනු ලබන දෝෂාරෝපණ ප්‍රහේළිකාවක් වූයේ තිසරට පමණි. දින කිහිපයක්ම නෑදෑ හිතවතුන් නිස්සංකගේ නිවසේ රැඳී සිටිමින් ඔහුට සහයෝගය දැක්වූ අතර රාජිකාට හිසරදයක් වූයේ ඔවුන්ට බතබුලතින් සංග්‍රහ කිරීමය.

දැරූ උත්සාහයන් ඵල නොදැරුවද දින පහකට පසු ලැබුණු විදුලි පුවත නිස්සංකට අස්වැසිල්ලක් විය. තෙන්නකෝන් රැඳී සිටි වැඩිහිටි නිවාසයට නිස්සංක ඇතුළු පිරිස වහා පිටත්ව ගියේ ඔහු යළි නිවස වෙත කැඳවා ගෙන ඒම පිණිසය.

“අපි හිතුවේ සීයා නිවන් ගියා කියල.” තිසර සීයාගේ ඔඩොක්කුවේ හරි බරි ගැසී ඉඳගත්තේය.

“සම වයසේ කට්ටිය එක්ක සතුටු සමීචියේ යෙදිලා, පත්තරයක් බලලා, ගුවන් විදුලිය අහලා, දාම් අතක් ඇදලා, කාඩ් සෙල්ලම් කරලා ඉන්න එක මට දුකක් නෙමෙයි පුතා. වෙලාවකට දැනෙන්නේ ඔෆිස් එකේ ඉන්නවා වගේ.” තෙන්නකෝන් නැවත නිවසට යාමට කැමැත්තක් දැක් වුයේ නැත.

“මරණේ කියන්නේ බලාපොරොත්තු විය යුතු සාමාන්‍ය දෙයක්. ඒකත් මෙතනදීම සිද්ධ වෙයි. මැරුණු සිරුරක් මිහිදන් කරන්න උත්සව ඕනේ නෑ පුතා. අපි කරපු හොඳ නරක දන්න අයට ඔය ටික කාලයක් මතක තියෙයි. ආරංචියක් නැති වුණාම මැරුණා කියලා හිතයි. මගේ පෙන්ෂන් එකත් මේ ආයතනයට හැරෙව්වා. මම මැරෙන්නේ මගේ අවමගුලත් සංවිධානය කරලා පුතා. ඒකට යම් මුදලක් දැන්මම මෙහේට ගෙවලා තියන්න ඕනේ. ඊට පස්සෙ පුළුවන් වෙලාවක ඇවිත් ගියාම ඇති.”

දෙපා වාරු නැතිව ගිය නිස්සංක අසල තිබු කණුවකට බර විය. පියා තමාද සියල්ලද අත්හැර දමා හමාරය. ගතින් දුබල වන විට වැඩිහිටියන් හුදෙකලා කෙරෙන නොමිනිස් සමාජයට ගැළපෙන විසඳුමක් තම පියා සොයාගෙන තිබේ.

කඳුළු සෝ සුසුම්, වැඳුම් පිදුම් අවසන පිරිස මහලු නිවාසයෙන් නික්මිණ. කාගෙත් සිත් තුළ වූයේ “ඔහු වෙනුවෙන් අප කළ කිසිවක් නැත” යන පාපොච්චාරණය පමණි. පියාගේ අවසන් ඉල්ලීම පරිදි රුපියල් ලක්ෂයක මුදලක්වත් අනාථ නිවාසයට පරිත්‍යාග කිරීම නිස්සංකගේ අරමුණ විය.

“තවත් ණය වෙන්න නම් ලෑස්ති වෙන්න එපා නිස්සංක.” එය ඉල්ලීමක්, අවවාදයක් නොව තරවටු කිරීමකි. “තාත්තගේ වැඩවලින් නැති වෙන්නේ අපි කාගෙත් නම්බුව. තාත්තා තාම මැරුණේ නෑ.... විකාර නැතිව ඉන්න. මරණේ වැඩ කරන්නේ ඉන්න මිනිස්සු. ඒ අයගේ නම්බුව රැකෙන විදිහට.”

තෙන්නකෝන් අතුරුදහන් වූ දින සිට නිෂ්ක්‍රීයව තිබූ තම අධිකාරි බලය රාජිකා යළි විදහා දැක්වීය.

-----------------

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

නන්දසේන විතාරණ

------------------

මෙම කෙටිකතාවෙන් කියවෙන්නේ විශ්‍රාමික රජයේ සේවකයකු වූ පියෙකු ජීවිතයේ පසු සමයට පැමිණෙද්දී ළමයිනට බාධාවක් වීම කරණ කොට තම දරු මුනුබුරන්ගෙන් වෙන්ව මහලු නිවාසයකට යන ආකාරයය. මෙහි මූලිකම ගැටලුව කතාව පුවත්පතක ‘එක් සත්‍ය කතාවක්’ ආකාරයෙන් ඉදිරිපත් කිරීමය. කෙටිකතාවක තිබිය යුතු තියුණු හැඟීම් ආමන්ත්‍රණය හා කෙළවර ආනන්දයෙන් එළඹෙන ප්‍රඥාව මෙහි නොමැත. තෙන්නකෝන් නම් මෙහි කතානායකයා චරිත දකින්නේ කිසියම් කළු - සුදු භේදයකිනි. ඔහුට ලේලිය කළු චරිතයකි. ඔහු පුවත්පතක විශේෂාංග ලිපි රචකයකු මෙන් සමාජයේ හොඳ, නරක ඉදිරිපත් කරනවා පමණි. එවැනි විශේෂාංගයක් වශයෙන් ඇගයිය හැකිවා විනා කෙටිකතාවක් වශයෙන් මෙය අගය කළ නොහැකිය. ගැඹුරු ජීවිත විවරණයක්ද මෙහි නැත. කතානායකයා පුවත්පත් ලිපි විමසමින් සමාජයේ හොඳ - නරක පිළිබඳ විනිශ්චයක් දීමටද තැත් කරන අතර එය මෙම ලිවීම ජනතාවාදී ලේඛනයක් දෙසට ගෙන යෑමට දැරූ තැතකි.

කෙසේ වෙතත් කතාවට, ඇවැසි සිදුවීම් පමණක් තෝරාගෙන සියුම් ලෙස ඉදිරිපත් කිරීම තුළ මෙය ඇගයිය හැකි ප්‍රයත්නයකි. කතාකරුවාට කෙටිකතා කලාව ගැන - එය පුවත්පත් විශේෂාංගයෙන් වෙනස් වන්නේ කෙසේදැයි - අවබෝධයක් තිබියේ නම් මෙය උසස් කතාවක් ලෙස ගොඩනැඟීමට තිබිණි.

මාතෘකා