මගේ හැම ලියවිල්ලක්ම අරගලයක්

 ඡායාරූපය:

මගේ හැම ලියවිල්ලක්ම අරගලයක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී

නිර්මාණකාරිනියක, පර්යේෂිකාවක හා සමාජ ක්‍රියාකාරිනියකද වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනීගේ මාධ්‍ය දිවියට 40 වසරක් සපිරීමත්, ඇගේ 65වැනි උපන්දිනයත්, ඈ කළ තීරු ලිපි එකතුවක් එළිදැක්වීමත් නිමිති කරගත් සුහද හමුවක් අද (08) සවස 3.00ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වෙයි. එහිදී ආචාර්ය දීපිකා උඩුගම, කථිකාචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ්, ජයතිලක කම්මැල්ලවීර, කුමුදුනී සැමුවෙල් සහ සී. දොඩාවත්ත යනාදීන් අදහස දැක්වීමට නියමිතය. මේ පිළිසඳර ඒ නිමිත්තෙනි.

සීතා රංජනී කියන්නේ බහුවිධ අනන්‍යතා සහිත චරිතයක්. විවිධ භුමිකාවල හමු වන ඇය, ඔබ හඳුනාගන්නේ කොහොමද?

මමත් ඇය හඳුනාගන්නේ බහුවිධ භූමිකා නියෝජනය කරන කෙනෙක් හැටියටයි. ඇය ලියන දේ, ඇය ක්‍රියාකරන විදිය සියල්ල ඊට අදාළයි. ජනවාර්ගිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, සමාජ වගකීමක් සහිත මාධ්‍ය සංස්කෘතියක් සහ මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් පළකිරීමේ අයිතිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තා අයිතිවාසිකම් මේවා තමයි ඇය පෙනී ඉන්න, අරගල කරන ක්ෂේත්‍ර. පෑනෙන් වගේම, සාකච්ජා මේසයේ වගේම, මහපාරේ සටනුත් ඇයට හුරුයි.

ඒ භූමිකා සියල්ලම තමයි 'සීතා රංජනී' කියන්නේ.

ට70 දශකයේ අග 80 දශකයේ මුල ගුවන්විදුලියේ නිර්මාණ වැඩසටහන්වල නිතර අසන්නට ලැබුණු නමක් අනුරාධපුර, පෙරිමියන්කුලමේ සීතා රංජනී. ඇයත් ඔබත් අතරේ තියෙන සම්බන්ධය කුමක්ද?

ඉස්සර තිබුණු ග්‍රාම නාම කෑලි හැලිලා. එච්චරයි වෙනස. පෙරිමියන්කුලමේ සීතා රංජනීට වඩා යම් පමණින් පරිණත, දැනුම්වත්භාවයක් සහ බොහෝ අත්දැකීම් විඳපු කෙනෙක් මේ සීතා රංජනී. හැබැයි එදත් අදත් සටන් කළ අරමුණුවල වෙනසක් නෑ. ඒවායේ පරිමාණය වෙනස් වෙන්න පුඵවන්.

පෙරිමියන්කුලම කියන්නේ මගේ ගම. අනුරාධපුර නගරයේ සිට කි.මී. 4ක් විතර ඇතුළට යන්න ඕන. එය පෙරමියන්කුලම වැව යටතේ පෝෂණය වුණු, වී ගොවිතැන සහ එළවඵ වගා කරපු කෘෂිකාර්මික ගමක්. එදා මම ලියූ කියූ දේවල්වල තිබුණේ මේ ගමේ මිනිස්සුන්ගේ ජීවිතය. ඔවුන් විඳින දුක් පීඩාවන් ගැන, ගෙදරටයි, කුඹුරටයි, හේනටයි කොටුවෙලා ඉන්න කාන්තාවන් ගැන මට තිබුණේ ලොකු කනගාටුවක්. මම පෙරිමියන්කුලම ගමේ කාන්තාවන් එකතු කරල හැදුවා කාන්තා සමිතියක්. 'පෙරිමියන්කුලම කාන්තා සමිතිය' කියලා කටුමැටිගහල පුංචි රැස්වීම් ශාලාවකුත් ඉදිකළා. මේ 70 දශකයේ අගදි විතර. මට ඕන වුණේ ඔවුන්ගේ ජීවිතවල යම් වෙනසක් කරන්න. 1979 අවුරුද්දේ රජරට සේවය ආරම්භ කළ අවස්ථාවෙ මම ලියපු කෙටිකතාවක් මගේ හඬින්ම ඉදිරිපත් කළා. ජීවිතයේ බොහෝ ගැහැටවලට මුහුණ දෙන කාන්තාවක් පිළිබඳව ලියැවුණු 'සෝමා අක්කා' නම් වූ එම කෙටිකතාව මගේ පළමුවැනි කෙටිකතාව. මට ඒකට රජරට සේවයෙන් රුපියල් 200ක් ලැබුණා. ඒක ලොකු මුදලක්. එතනින් තමයි මගේ වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කෙරෙන්නෙ.

රජරට සේවයට සම්බන්ධ වෙලා හිටපු කාලෙ සමකාලීනයන් ගැන කතා කළොත්?

දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, කුමුදුනි ගුණවර්ධන, මහින්ද පතිරගේ, රංජිත් රූපසිංහ, ශ්‍රීයාණි සහ ලිලී ඒ ගොල්ලන් තමයි අපි යහළුවන් වගේ ඇසුරු කළේ. ලිලී කියන්නේ මගේ පාසල් මිතුරිය. නමුත් ඇත්තටම මට මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න බලපෑවෙ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර. ඔහු මානව හිතවාදී මාධ්‍යවේදියෙක්. අලුත් අයට කරළියට එන්න වැඩියෙන්ම අතදුන්නෙ ඔහු. ප්‍රේමකිර්ති ද අල්විස්, ගුණදාස කපුගේ, විජයානන්ද ජයවීර රජරට සේවයේදී දැන හැඳිනගත් ඒ වගේම අපට මඟ පෙන්වූ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්.

ගුවන්විදුලියෙන් පදනම වැටෙන්නේ සීතා රංජනී කියන නිර්මාණකාරියටයි. ඔබේ සමාජ-දේශපාලන භූමිකාවේ මුල් කොහේද?

79 ඉඳලා 86 වෙනකම් මම රජරට සේවයට ලියමින්, සහන ශිල්පිනියක් හැටියට වැඩකළා. මම ලියපු දේවල් සහ මගේ සමාජීය මැදිහත්වීම් යම් පිරිසකගේ අවධානයට ලක්ව තිබුණා. විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරීන් එක්ක සම්බන්ධතා ගොඩනැගුණා. අනුරාධපුර සුනිල් විජේසිරිවර්ධනගෙ නිවසේ රැස් වුණු 'කිණිහිර අධ්‍යයන කවය' කියන කණ්ඩායම ඒ අතරින් විශේෂයි. සුනිල්, සුනිලා, නන්දන මාරසිංහ, කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සහෝදරවරු වගේ පිරිසක් මේ කවයේ හිටියා.

ඔවුන් කොළඹ සම්බන්ධකම් තිබුණු අය. මට කොළඹ ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නෑ. කලින් අවස්ථාවක් හෝ දෙකක් කොළඹ ඇවිත් තිබුණා. ඉන් එක අවස්ථාවක් ලුම්බිණි රඟහලට. ඒ 'කාලයේ රාවය' කියන සංගීත ප්‍රසංගයට සහභාගී වෙන්න. සුනිල්, මාරෙ, කපුගේ, දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර වැනි අය තමයි ඒ වැඩේට උරදුන්නේ. මමත් ඒකට ගීත දෙකක් ලිව්වා. එතනදි තමයි මට විජය කුමාරතුංග,

එස්.ජී. පුංචිහේවා ඒ වගේම පසුකලෙක මගේ ජීවිතයට ලොකු බලපෑමක් කරපු සුනිලා අබේසේකර මුණගැහෙන්නේ.

පෙරිමියන්කුලමේ ඉඳල කොළඹට ආපු ගමනෙ වෙහෙස ගැන කිව්වොත්?

ඔව්. ඒක වෙහෙසකර ගමනක්. මට කොළඹට එන එක හොඳයි කියලා අදහස දුන්නේ සුනිල් අයියා සහ සුනිලා. මම කොළඹට එන්නේ අලුතින් පටන්ගන්න 'විවරණ' සඟරාවට සම්බන්ධ වෙන්න. මට ඒකට ආරාධනා කරන්නේ වින්සන්ට් කුරුඹාපිටිය. 1986 සැප්තැම්බර් මාසෙ දවසක විවරණ කාර්යාලයේ වැඩ ආරම්භ කරනවා. වින්සන්ට් කුරුඹාපිටිය, කරඹේ ගුණානන්ද හිමි, වයි.ටී. වන්නිආරච්චි, පුෂ්පා රම්ලනී වගේ කිහිප දෙනෙක් තමයි ආරම්භයේදි හිටියේ. එස්.ජී., නිමල් පුංචිහේවා, විමල් ප්‍රනාන්දු, පැට්රික් ප්‍රනාන්දු, සරත් ප්‍රනාන්දු, ලීනා අයිරින් හපුතන්ත්‍රී ඇතුඵ රැඩිකල් දැක්මක් සහිත පිරිසක් එහිදී හඳුනාගන්න ලැබෙනවා. ඒ එක්කම මානව හිමිකම් සංවිධාන, සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන එක්ක වැඩකරන්න පටන් ගන්නවා.

ඔබ යුක්තිය පුවත්පතට සම්බන්ධ වෙන්නෙ?

1988 අවුරුද්දේ මර්ජ් සංවිධානයට මා කළ යෝජනාවකට අනුව, මගේ සංස්කාරකත්වයෙන් 'සංකලන' සඟරාව ආරම්භ කළා. ජාතීන් අතර සාමය ඇති කිරීමට සාහිත්‍යය හරහා යම් කාර්යභාරයක් ඉටු කිරීමට සිංහල ලේඛක ලේඛිකාවන් සංවේදී කිරීමයි ඒ සඟරාවේ අරමුණ. එහි සංස්කරණ කටයුතු වගේම අත්අකුරු, පිටු සැලසුම් සියල්ල කළේ මම. පිටු 16ක සඟරාවක්. අතින් ලියලා පිටු සකස් කරලා, බ්ලොක් කප්පවලා, ලෙටර් ප්‍රෙස් ක්‍රමයට තමයි මුද්‍රණය කළේ. මේ කාලේ මර්ජ් ආයතනය යුක්තිය නමින් පුවත් හසුනකුත් ප්‍රකාශයට පත් කළා. ඒක සංස්කරණය කළේ සුනන්ද දේශප්‍රිය. මේ පුවත් හසුනයි සංකලන සඟරාවයි එකතු කරලා තමයි 'යුක්තිය' නමින් ටැබ්ලොයිඩ් පුවත්පතක් ආරම්භ කරන්නෙ. ඒ 1990 මැයි මාසෙ. සුනන්ද තමයි ප්‍රධාන කර්තෘ. සී.ජේ. අමරතුංග, ජෝ. සෙනෙවිරත්න, නිර්මාල් රංජිත් දේවසිරි මේ ආරම්භක පුවත්පතේ වැඩකළ අය. නිර්මාල් ඒ කාලේ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නවා. යුක්තිය විකල්ප ධාරාවේ පුවත්පතක්. මම පුවත්පත් කලාවේදිනියක් විධියට පොදු ජනතාව අඳුනගන්නෙ යුක්තිය පුවත්පතින්.

මාධ්‍ය ක්‍රියාකාරිනියක් හැටියට ඔබේ භූමිකාව ප්‍රබලයි, නමුත් ඊට පෙර ඔබ සාහිත්‍යවේදිනියක්. ඒ ගැන කතා කළොත් ?

විවිධ මාධ්‍යවල නිර්මාණ පළ වුවත් මගේ පොත් පළ වෙන්නෙ කොළඹ ආවට පස්සෙ. කවි, කෙටි කතා, විශේෂයෙන්ම ළමයින් සඳහා ළමා ගීත එකතුවක් කළා. 'කතා කරන ගිනිදළු' කාව්‍ය සංග්‍රහය සහ 'දෝංකාරය' නමින් දෙමළ කවීන්ගේ කවි එකතුවක් 1993 දී ප්‍රකාශයට පත් කළා. 'තංගම්මා' ළමා ගීත එකතුව සහ 'තිත්ත කවියට පෙරවදනක්' ආඛ්‍යන කාව්‍යය 2000 වසරේදිත්, 'බැරි බර ගෙනියන්නෝ' නමින් ගුවන්විදුලි නාට්‍ය එකතුවක් සහ 'යක්කු' නමින් දෙමළ කෙටිකතා එකතුවකුත් 2002 වසරෙදි ප්‍රකාශයට පත් කළා. 2005 දි මම 'සුනාමි වැන්දඹුවෝ' නමැති කෘතිය එළි දැක්වුවා. 1981 ඉඳලා 2009 මාර්තු දක්වා ඝාතනට ලක් වු මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරිකයින් පිළිබඳ ජායාරූප ඇතුළත් තොරතුරු එකතුවක් කෘතියක් ලෙස පළ කළා.

ඔබේ සාහිත්‍ය භාවිතය තුළ දමිළ නිර්මාණ සාහිත්‍යයට කැපී පෙනෙන ඉඩක් වෙන්ව තිබෙනවා?

30 වසරක යුද්ධයෙන් පීඩාවට ලක්වුණු දමිළ නිර්මාණකරුවන්ගේ නිර්මාණ කෙරෙහි පොදු සමාජය සංවේදී කිරීම මගේ අරමුණ වුණා. යුද්ධය හේතුවෙන් ඔවුන් අත්විඳි පීඩාවන් මම තෝරාගත් දමිළ කවිවල, කෙටිකතාවල තියෙනවා. උතුරේ සන්නද්ධ දේශපාලනය දමිළ සාහිත්‍යකරුවන් විසින් ප්‍රශ්න කරන අවස්ථා මේ නිර්මාණ තුළ හමුවෙනවා. උ. චේරන්, චිත්‍රලේඛා, මෞනගුරු, සෙල්වි, ජෙයපාලන් ඇතුළු බොහෝ සාහිත්‍යකරුවන්ගේ කවි, කෙටිකතා සිංහල කියවන සමාජයට රැගෙන ඒම සාහිත්‍යමය වැඩක් විතරක්ම නොවෙයි කියලයි මට හිතෙන්නේ.

මාධ්‍යය තුළ ඔබේ භූමිකාව අරගලකාරීයි, සටන්කාමීයි. නමුත් සාහිත්‍යය තුළ ශාස්ත්‍රීය, විචාරාත්මක මැදිහත් වීමක් දකින්න පුළුවන්?

සාහිත්‍යය තුළ හැමදෙයක්ම අරගලකාරී නොවෙන්න පුළුවන්. ඒත් අරගලකාරී හැමදෙයක්ම සාහිත්‍යයෙන් කියන්න පුළුවන්. මගේ සාහිත්‍ය කෘති ගත්තොත් ඒවා මම ඉන්න අරගලයෙන් වියුක්තයි කියලා මම හිතන්නේ නෑ. මගේ 'කතා කරන ගිනිදළු', ඝාතනවලට, ඝාතන දේශපාලනයට එරෙහිව හඬ නඟිනවා. 'තිත්ත කවියට පෙරවදනක්' ආඛ්‍යාන කාව්‍යය වුණත් එහෙමයි. මා තෝරාගත් දමිළ කවි සහ කෙටිකතා ගත්තත් ඒවා සමාජීය මැදිහත් විම් ඉල්ලා කරන අරගල කියලයි මට හිතෙන්නෙ. එ්කයි මම කලින් සඳහන් කළේ මගේ ලිවීම්වලත්, පාරේ සටන්වලත් තියෙන්නෙ එකම අරමුණක්, එකම එල්ලයක් කියලා.

ඔබ දැන් තීරුලිපි එකතුවක් එළිදක්වන්න සූදානම් වෙනවා. යුද්ධය පැවති කාලයේ මාධ්‍ය හැසිරීම ගැන ඔබ ඒ වකවානුවේදීම ලියූ විචාරාත්මක අදහස් එහි ගැබ් වෙනවා. මේක විවාදාත්මක මැදිහත් වීමක්?

මානුෂවාදී පුවත්පත් වාර්තාකරණයේදී ජනමාධ්‍ය විසින් සමාජ වගකීම ඉටුකළ ආකාරය ගැනයි මේ තීරුලිපි එකතුව. යුද්ධයේ අවසන් කාලය සහ පශ්චාත් යුද සමය, ඒ කියන්නේ 2008 අග ඉඳලා 2009 අග තෙක් මාධ්‍ය නිරීක්ෂණයට ලක් වෙනවා. යුද්ධයක් පවතිද්දී යුද්ධ භූමිය තුළ මිනිසුන්ගේ දේවල් කොහොමද වාර්තා කරන්නේ කියන එකයි මේ තුළ සාකච්ජා වෙන්නේ. මෙතන යම් යම් අභියෝග තිබුණා. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් තීරුලිපි කිහිපයකට වඩා පළ කරගත නොහැකි වුණා. ඒ දිනවල සමාජය තුළ නිර්මාණය වෙලා තිබුණු යුදමය මානසිකත්වය විසින් ඒ තත්වය ඇති කළා කියලයි මට හිතෙන්නෙ. පුවත්පත් මේ තීරුලිපි පළකිරිම ප්‍රතික්ෂේප කළත් දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් වාර සඟරා සහ සමාජ මාධ්‍යවල පළ කෙරුණා. මේ නිරීක්ෂණයට ලක්වුණු කාල වකවානුවේ මානුෂවාදී පුවත්පත් වාර්තාකරණයෙදි ජනමාධ්‍ය තම සමාජ වගකීම ඉටුකළ ආකාරය ගැන සතුටු වෙන්න බෑ. ඇත්තටම මේ පසුබීම තුළ මාධ්‍ය යම්කිසි බියකින් කටයුතු කළා කියන එක රහසක් නොවෙයි.

කොහොම නමුත් සමාජ වගකීමක් සහිත මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ක්‍රියාකාරිකයින්ටත්, සන්නිවේදනය විෂයක් හැටියට හාදාරන විද්‍යාර්ථීන්ටත්, මේ ගැන උනන්දු වෙන හැමදෙනාටමත් මේ තීරුලිපි එකතුව වැදගත් වෙයි කියල මම හිතනවා.

 

මාතෘකා