මා සසල කළේ ‘අපූගේ ලෝකය’යි

 ඡායාරූපය:

මා සසල කළේ ‘අපූගේ ලෝකය’යි

සාහිත්‍යවේදිනී සුනිලා විජේසිංහ

අප රටේ බිහි වූ විශිෂ්ට පරිවර්තිකාවක වන චින්තා ලක්ෂ්මි සිංහාරච්චි පරිවර්තනය කළ ‘අපුගේ ලෝකය’යි මගේ සිත් සසලම කළ පොත. චින්තා ලක්ෂ්මි මේ කෘතිය සිංහලට පරිවර්තනය කරන්නේ වංග බසින්. එය මුල් වංග බසින්ම සිංහලට නැඟීම විශිෂ්ට උත්සාහයක්. ඒවගේම එය ඇය ඉතා මැනවින් සිංහලට නඟා තිබෙනවා. මේ කෘතිය වංග බසින් ලියා තිබෙන්නේ විභූතිභූෂණ් ඛන්ද්‍යෝපාද්‍යායි නම් නවකතාකරුවා විසින්. නවකතාවේ කොටස් 3ක් තිබෙනවා. පළමු කොටස ‘මාවතේ ගීතය’ ලෙසත්, දෙවන කොටස ‘අපරාජිතයෝ’ ලෙසත්, තෙවන කොටස ‘අපූගේ ලෝකය’ ලෙසත් නිර්මාණය වී තිබෙනවා.

‘මාවතේ ගීතය’ නම් මුල් කෘතියේ අපූ නම් දරුවාගේ සොයුරිය දුර්ගා මියයනවා. ඇගේ මියයෑමත් සමඟ ඔහුගේ දෙමාපියන් නිස්නින්දිපුර නම් ඔවුන්ගේ ගම අතහැර නගරයට, එනම් බරණැසට සංක්‍රමණය වෙනවා. අපූ බ්‍රහ්මණ කුලයේ උපන් කෙනෙක් වුණත් ජීවිතයේ බොහෝම දුක්කම්කටොලුවලට මුහුණ දුන් කෙනෙක්. අපූ තමන් දිවි ගෙවූ ගමට, ගම අවට පරිසරයට ඇලුම් කළ දරුවෙක්. ඔහු ගම හැර දා නගරයට ගියත් ගමේ මතකයන් ඉවත් කර ගන්න හරිම අමාරුයි. ඔහු බරණැසද හැරදා පසුව කල්කටාවට ගොස් උසස් අධ්‍යාපනයට යොමු වෙනවා. ඔහුට සිතන තරම් අධ්‍යාපනය සාර්ථක කරගන්න බැරි වුණත් ඔහු අධ්‍යාපනය හොඳින් නිම කරනවා.

අපූ කියන්නේ පොතපත කියවන, කවි ලියන, කවි කියවන දරුවෙක්. ඔහු තුළ රසවිඳීමේ හැකියාව තියෙනවා. ඔහුගේ මේ ලක්ෂණ නිසාම අපූගේ මවගේ මහප්පා කෙනෙකු මාර්ගයෙන් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් පවා හිමි කර ගන්නවා. ඔහුගේ විවාහය සිදු වෙන්නෙත් හරිම අපුරු විදිහට. දවසක් අපූ ඔහුගේ මිතුරෙකුගේ ඥාති සොයුරියකගේ විවාහ උත්සවයක් සඳහා යනවා. එහිදී ඔහුට දැනගන්න ලැබෙනවා මනමාලයා මානසික විකෘතිභාවයකින් පෙළෙන බව. එවිට මිතුරා කියනවා පුළුවන් නම් ඔහුගේ ඥාති සොයුරිය විවාහ කර ගන්නා ලෙස. අපූ මේ තරුණිය විවාහ කර ගන්නවා. ඇය අපර්ණා. පළමු දරු ප්‍රසූතියේදීම ඇය මියයනවා. ඇයගේ මරණයෙන් පසුව දරුවා ටික කලක් පිළිනොගන්නා අපූ පසුව දරුවා පිළිගන්නවා. අපූ පසුව ලේඛකයෙකු බවට පත් වන අතර සිය දරුවාට ඔහුගේ ගමේ විකුණා දැමූ නිවස හා ඉඩම මිලදී ගන්නවා.

මේ කෘතියේ විශේෂත්වය දුක, ශෝකය, සතුට වැනි හැඟීම් එක්ක බද්ධ වූ ශක්තිමත් මානසිකත්වයක් සහිත දරුවෙකු අපට හමු වීමයි. ඔහු තුළ සත්‍යගරුක බව, ආදරණීය බව, ආදරය, දයාව අපට දකින්න ලැබෙනවා. සමස්තයක් වශයෙන් නවකතාවෙන් වින්දනය වගේම ජීවිතාවබෝධය උපරිමව ලැබෙනවා.

මගේ උපන් ගම කිතුල්ගල ඉඟිරියාවත්තයි. මගේ තාත්තා වඩු මඩුවක් තියාගෙන සිටි කෙනෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. සහෝදර සහෝදරියන් හතරදෙනෙකුගේ පවුලක මම බාලයා. අපේ අම්මා ගොඩක් පොත් කියවන කෙනෙක්. අම්මා පොත් කියවන කොට මම අම්මාගේ අතට උඩින් පොත් කියවන්න පුරුදු වුණා. මට මතක හැටියට පර්ල් එස්. බක්ගේ Good Earth, එහෙම නැත්නම් ‘සාර භුමි’ මම කියෙව්වේ ඉස්කෝලේ පහේ පන්තියේදී. මම ඉගෙනගත්තේ කිතුල්ගල කල්‍යාණි විදුහලෙන්. පසුව පේරාදෙණිය ඉංග්‍රීසි ගුරු විදුහලෙන් අධ්‍යාපනය ලබනවා. මේ ආකාරයට පොත්පත් කියවා ඇති මට මගේ හිත සසලම කළ කෘතිය ‘අපූගේ ලෝකය’ ලෙස හැඳින්විය හැකියි.

 

[එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා