අකාල පුත්‍ර

 ඡායාරූපය:

අකාල පුත්‍ර

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

ගෝලාකාර තටාකය තුළ සුජාත දෙවන වතාවටද කරණමක් ගැසුවේය. ඉන් පසු තටාකයේ බිත්තියට පිටතින්, උදෑසන සිට ඇසෙමින් පැවැති වාදයට යළිත් සවන් දී සිටින්නට වූයේය.

“අන්න දුවත් පංති ඇරිලා එනවා... දැන්වත් ඔය බැණිල්ල නවත්තන්නකො අනේ...” මඳක් පහත් ස්වරයෙන් සහ අමනාපයෙන් එසේ කියනුයේ අම්මාය.

“ඉතිං...? කමක් නෑ එයත් දැනගත්තාට, තමුන්නෙ මහලොකු අම්මාගෙ තරම...” අප්පච්චි නම් හැම විටකම කතා කරනුයේ මෙසේය. සුජාතට දැනෙන්නට වූ නුරුස්නා බව පහ වූයේ, මෙතෙක් වේලා දිග හැරගෙන සිටි දෙපා යළි නමා, ගෝලාකාර තටාකයේ පියස්සට තදින් පහරක් දුන් පසුය.

“අම්මගෙ විතරක් නෙමෙයි, අප්පච්චිගෙ තරමත් දැනගත්ත නං තමයි හොඳ...!” අම්මා එසේ කියාගෙන ඉවතට පා නඟන අයුරු සුජාතට දැනිණි.

“මොකද්ද ගෑණියෙ උඹ කිව්වෙ..? ආයෙත් කියාපං බලන්න.. කඩනවා දත් වහල්ල.. දන්නවාද..?”

අප්පච්චිගේ වියරු හඬින් තම නුරුස්නා බව තවත් වැඩිව එන බව දැනුණද, දැන් මෙවන් දෑ අසා සිටීම තමාට එතරම් අපහසුවක් නැතැයි සුජාත සිතන්නට වූයේය.

“දැං වහල්ලක් නෑ නෙ...! ඉස්සරහ දත් දෙක කඩලනේ තියෙන්නෙ... ඉතුරු ටිකත් කඩනවා... තමුසෙට පුළුවං එච්චරයි නෙ... කඩනවා...” අම්මාද අද ලෙහෛසියෙන් අතහැරීමට සූදානම් නැති සේය.

“ඇයි, මොනවද යකෝ මට බැරි...?!”

අප්පච්චි හඬ නඟනුයේ ඈත සිට බව සුජාතට වැටහෙයි.

“ඒක මමද දන්නෙ...!”

“උඹ කියන්නෙ, මට බැරි හින්ද තමයි ඕක කොරගත්තෙ කියලද ගෑණියෙ...? ංහ්හ්...! කට බොරු කිව්වට දිව බොරු කියන්නෑ නෙ...! මං ඉවසනවා කියල හිතාපිය අර දුප්පත් කෙල්ල හින්ද...” අප්පච්චි එසේ කියාගෙන ඉවතට යන හඬ ඇසෙද්දී, සුජාතට මඳ අස්වැසිල්ලක් දැනෙන්නට විණි.

“ඔය හැකර කටට හොඳක් නං සිද්ද වෙන්න එපා... මේවා උඩ ඉන්න දෙයියොම බලාගත්තදෙං...! තමුසෙට හොඳක් නං සිද්ධ වෙන්න එපා, කුණු කතා කියනවාට...” අම්මා මහ හඬින් කියවමින් එහා මෙහා ඇවිදින අයුරුත්, ඒ අතර තවත් කිසිවකු ළංව එන පා හඬත් සුජාතට ඇසිණි.

“ඇයි අම්මේ..?”යි අසාගෙන ළං වන්නී සුජාතගේ අක්කාය. අම්මා නිහඬය.

“ඇයි අම්මේ..?” අක්කා තවත් ළංව එසේ අසන විට සුජාතට මහත් දුකක් දැනෙන්නට විණි. ඔහු තටාකයේ බිත්තියට හේත්තු වී අම්මා කුමක් කියනු ඇතිදැයි කන් දී සිටියේය.

“පංති ගිහිං ආව නං ගෙට ගිහිං ඇඳුම් මාරු කොරගන්නව... මේක අපේ කතාවක්... ඔයාට වැඩක් නෑ...” අම්මා අක්කාට සැර වෙනුයේ කුමක් නිසාදැයි නොවැටහුණද, සුජාත නිසලව තවදුරටත් අසා සිටියේය.

“අම්මලාගෙ වැඩේ ඉතිං, රංඩු වෙන එකයි, මට බණින එකයි නෙ...” අක්කා තරහින් එසේ කියමින් ඉවත යන අයුරු ඉන් පසු ඇසිණි. සුජාතට මෙවර තරහ ආවේ අම්මා සමගය. එහෙත් වහා එය තුනී වී, අම්මා කෙරෙහි දැරිය නොහැකි අනුකම්පාවක් ඔහුට දැනෙන්නට විණි. එය කෙතෙක් දැඩි වීද යත්, සුජාතට නිසලව සිටීමටද අපහසු විණි. හේ නැවතත් කරණමක් ගසා ඇලයකට හැරුණේය.

“හරි හරි.. පැහිච්චිකං තියෙද්දි ගිහිං කෑම කන්න... මං වතුරත් රත් කළා ඔයාට නාගන්න...” අම්මා අක්කාට යළිත් කියනුයේ සුපුරුදු සිහින් හඬින්මය.

“අනේ, මේ රස්නෙ මදිවාටද අම්මෙ උණුවතුර නාන්න කියන්නෙ...! මං ඇළට යන්න හිතුවෙ...” අක්කා ගෙතුළ සිට කියන හඬ නැවත ඇසෙයි.

“නෑ නෑ... මේ වැහැගෙන එන වෙලාවෙ ඇළේ නාන්න යන්නෑ. හෙම්බිරිස්සාව හොඳ වෙලා කී දවසද..! උණුවතුර තමයි නාන්නෙ.” අම්මා එවර කියනුයේ තදිනි. අක්කා කිසිවක් කියනු ඇතැයි සුජාතට සිතුණු නමුදු, ඉන් පසු වූයේ නිහඬ බවකි.

අම්මා දැන් සිටිනුයේ පුටුවක වාඩිගෙන බව සුජාතට වැටහෙයි. අප්පච්චිගේ හඬක් නොඇසෙයි. සුජාතට නිදිමතක්ද දැනෙයි. අම්මා සහ අප්පච්චිගේ මේ වාද කර ගැනීම් දැන් සුජාතට හොඳින් හුරුය. එහෙත් නොවැටහෙන එකම කරුණ නම් මෙසේ දිනපතා දබර කර ගැනීමට හේතුවයි. සුජාතට මතක ඇති මුල් දිනවල නම් අම්මාත් අප්පච්චිත් මෙසේ රංඩු වී නැත. එහෙත් බොහෝ සෙමින් දවසේ වැඩි වේලාවක් එකම කරුණක් ගැන කතා කරමින් සිටියහ.

“ඔයා කිව්වට, කොහොමද අනේ මං දුවට මූණ දෙන්නෙ...? මොන ලැජ්ජාවක්ද...!” ඒ අම්මා ය.

” දුව දැං ඉතිං පොඩි ළමෙක්යැ. එයාට ඕව ඉස්කෝලෙදිත් උගන්නනවානෙ.” අප්පච්චිගේ හඬ සන්සුන්ය.

“ඒක තමයි අනේ මාත් කියන්නෙ. එයාට මේවා තේරෙන හින්ද තමයි මට ලැජ්ජාවේ ඉන්න බැරි... ඔයාට තේරෙන්නෑ නෙ..”

“එයාගෙ පාළුවටත් එක්ක හොඳයි නෙ. ටික දවසක් යනකොට ඕවා හරියයි.” අප්පච්චි එසේ කියාගෙන ඉවත යන විටත් අම්මා කියනුයේ,

“එයාට දැං මොන පාළුවක්ද...! පාළුවෙං හිටපු කාලෙ නැතුව දැං මොකටද...! අනේ මොනොවහරි කරමුකො මේකට..” කියාය.

අම්මා පවසන කිසිවක් පිළිබඳව මුලදී සුජාතට අවබෝධයක් නොතිබිණි. එය අනුමානයෙන් හෝ සිතාගත හැකි වූයේ තවත් දින ගණනකට පසු, අම්මාත් අප්පච්චිත් වාහනයක නැගී කොහේ හෝ ගිය දවසකය. එතැනදී කලින් අසා නොමැති කටහඬක් අමනාපයෙන් මෙන් දිගු හෑල්ලක් කියනු සුජාතට ඇසුණේ අඩ නින්දේ සිටියදීය.

“නෑ නෑ.. මේ වෙලාවේ ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි, ලැබිච්චි දේ සතුටිං පිළිගන්න එක. ඔයාට තවම තිස්පහයිනෙ. නේද..? සමහරු බඳින්නෙත් තිස්පහ හතළිහ වෙලා... මේක ප්‍රස්නෙයක් වෙන්නැතුව මට බලා ගන්න පුළුවං... අපි එහෙම කරමු.”

“ ඒ වුණාට ඩොක්ට දුවටත් දැං දාහතරක් වෙනවා... ඒකයි අපි මෙහෙම තීරණෙයක් ගන්න හිතුවෙ.” අම්මා කියනුයේ බැගෑපත් ලෙසටය.

“මනුස්ස ජීවිත ගැන එහෙම තීරණ ගන්න එක සදාචාර විරෝධී වැඩක්... ලංකාවෙ නීතියෙන් නං කොහොමටත් බෑ... අනිත් එක මං ඒවා කරන කෙනෙකුත් නෙමෙයි නෙ.” නුහුරු හඬ ඇති තැනැත්තා එසේ කීවේ උදහසින් මෙනි. අම්මා දිගු සුසුමක් හෙළන හඬ සුජාතට ඇසුණේ තවත් මොහොතකට පසුවය.

“අනේ කීයක් ගියත් කමක් නෑ සර්. මේක කොහොමහරි කරල දෙන්නකො... සර්ට පිං සිද්ධ වෙනවා.” අප්පච්චි බැගෑපත් වූයේ ඊටත් මඳ වේලාවකට පසුවය.

“මිනීමරුවහම පිං සිද්ධ වෙනවාද මනුස්සෙයො..? බහුබූත කතා කොකිය දැං ගෙදර යනවල!ඔහොම දේවල් කළාම ඊළඟ ආත්මෙ ඔයිටත් වඩා අන්ත විදිහෙ දුක් විඳින්න සිද්ධ වෙනවා. මෝඩ වැඩ කතා කරන්න එපා. තේරුණාද..?” මෙතෙක් පහත් හඬින් කතා කළ තැනැත්තා උස් හඬින් සහ කෝපයෙන් කියනු ඇසුණේ එවිටය.

අම්මාත් අප්පච්චිත් ආපසු නිවසට ආවේ නිහඬවමය. එහෙත් නිවසට පැමිණි විගසම අප්පච්චි ගෝරනාඩු කරන්නට පටන් ගත්තේය.

“මේ ගෑනිගෙ වනචරකම හින්ද, මටත් ලැජ්ජාවේ ඉන්න විදිහක් නෑ. ඇහුණ නේද උඹට දොස්තර කියාපු එක...? බැල්ලි...!”

“වනචරකම...! කවුද වනචරකං කළේ..? නිකං සහගහන කතා කියන්න එපා... වනචරකං...!” අම්මා පුටුවක හිඳගත්තේ දැඩි කෝපයෙන් එසේ කියමිනි.

“කවුද කියල තමුං දන්නව ඇතිනෙ...!” අප්පච්චි කීවේ ඈතක සිටය.

“කට තිබුණු පළියට ඔහොම හෙණගහන කතා කියන්න එපා මනුස්සෙයො... මං වනචරකං කරනවා නං අර කෙල්ලට අවුරුදු දාහතරක් වෙනකං ඉන්න ඕනිද..? හෙණ හතම ගහන්න ඕනි ඔය කටට...” අම්මා කෝපයෙන් වුවත් පවසනුයේ පහත් හඬිනි.

“බොරුවක් කිව්වත් ඒක එළි වෙන්නැති විදිහට කියාපං ගෑණියෙ. උඹ කියන්නෙ එහෙනං, අවුරුදු විස්සක් බලා ඉඳල, උඩ ඉන්න දෙයියො තමයි මේක කරල දුන්නෙ කියලද...? උඹ හිතුවද මට අං තියෙනවා කියල..?”

“ඔය වාගෙ කතාවක් මගෙං අහන්න ලැජ්ජ වෙන්න ඕනි තමුසෙ... එහෙනං තමුසෙ මොනවද අවුරුදු විස්සක් තිස්සෙ කළේ...? පොල් ගෑවාද..?” අම්මා කෝපයෙන් වෙව්ලමින් ඇසූ පසු අප්පච්චි මඳක් නිහඬව සිටියේය.

“බලමු බලමු, ඔය ඉන්න එකා එළියට ආපු දවසක... හැමෝටම බලාගන්න පුළුවන්නෙ එතකොට උඹද හරි, මමද හරි කියල. එතකං මං ඉවසන්නං...” අප්පච්චි පරාජිත ස්වරයෙන් කීවේ ඈත සිටය.

“හරි බලමු” අම්මා කීවේ උජාරුවෙන් මෙනි.

එදා එසේ ඇරඹුණු වාග් සංග්‍රාමය සමහර දිනවල අම්මාට එල්ල වන පහර දීම්ද සමග, දිනපතා සිදු වන සාමාන්‍ය දෙයක් බවට පත් විණි. සුජාතට නිතර අම්මා ගැනත්, ඉඳහිට අප්පච්චි ගැනත් දුක සිතෙයි. නැවත අම්මා සහ අප්පච්චි පිළිබඳව තරහවක් ඇති වෙයි. අක්කා ගැන නම් සුජාතගේ සිතේ ඇත්තේ අප්‍රමාණ වූ ආදරයක්ම පමණකි. අක්කා කෙදිනකවත් කිසිවකුට සැරවැර කරනු සුජාත අසා නැත. ඉඳහිට අම්මා අසලට විත්, “මට ඉක්මනට මල්ලිව බලන්න ඕනි” කියා අක්කා හිනැහෙන විට, සුජාතටද සිනා පහළ වෙයි. ඉක්මනින් අක්කා බැලීමේ ආශාවක් ඔහුටද ඇත්තේය.

එක් උදෑසනක අප්පච්චිත් අක්කාත් පිටව ගිය පසු, නුහුරු අමුත්තෙක් නිවසට පැමිණ අම්මා සමග බොහෝ වේලාවක් කතා කරමින් සිටි අයුරු සුජාතට සිහි වෙයි. ඒ කතාබහෙන් කොටසක් ඔහුට හොඳින් මතකය.

“ඔයා කියන්නෙ හැම දේකම වැරැැද්ද මට විතරක් බාර ගන්න කියලද? හරිම අසාධාරණ කතාවක්නෙ!” අමුත්තා නුරුස්නා හඬින් කීවේ තරමක් ඈත සිටය.

“මං දැනගන හිටිය ඔයා ඔහොම කියනවා කියල.” බොහෝ වේලාවකට පසුව අම්මා පරාජිත හඬින් කීවේ දිගු සුසුමක් හෙළමිනි.

අමුත්තා නිහඬවම සිටියේය.

“තේ එකක් හදන්නද?” යි තවත් දිගු වේලාවකට පසු, අම්මා පුටුවෙන් නැගී සිටිමින් ඇසූ විට “නෑ එපා.. මං යනවා” යි කියාගෙන අමුත්තා ඉවත යන පා හඬ සුජාතට හොඳින් ඇසිණි.

අමුත්තා බැහැර ගොස් බොහෝ වේලාවක් යනතුරුම, අම්මා සුසුම් හෙළමින් සහ බර වූ නාසය උරමින් පුටුවෙහිම සිටි අයුරුද සුජාතට සිහි වෙයි. එහෙත් ඒ කුමක් නිසාදැයි සුජාතට නම් තවමත් අපැහැදිලිය.

තවත් එක් රාත්‍රියක තද නින්දක් ලබමින් සිටි සුජාත අවදි වූයේ අම්මා සහ අප්පච්චි දරුණු ලෙස දබර කර ගන්නා හඬ ඇසීමෙනි. හේ බියෙන් ගැහෙමින්, තටාකයේ මුල්ලකට වී, දෑත් සහ දෙපා ගුලි කරගෙනම සවන් දී සිටියේය.

“එතකොට තමුසෙ කියන්නෙ මේ ඔක්කෝම දේවල් අමූලික බොරු කියලද? ංආ..?” අම්මාගේ කටහඬ කෝපයෙන් වෙව්ලයි.

“උඹට පිස්සු හැදිලද ගෑනියෙ..? උඹ කියන ජාතියෙ ගෑනියෙක් අපේ ඔපිස් එකේ නෑ. උං ඔක්කොම කසාද බැඳපු, ළමයි ඉන්න ගෑනු. උන්ට මාත් එක්ක අතන මෙතන යන්න වෙලාවක් නෑ” අප්පච්චි දැඩි කෝපයෙන් වුවද, පහත් හඬින් පිළිතුරු දෙයි.

“එතකොට මේ ලියුම ලියල තියෙන්නෙ මොකාද? මේ තරං හොඳට දින වකවානුත් එක්ක..?”

“මං දන්නෙ කොහොමද ගෑනියෙ...? උඹ ඒක ලියාපු එකාගෙංම අහ ගනිං.”

“පුරුද්ද අත් අරින්න බෑනෙ අපි කිව්වට... අර කලින් හිටපු ගෑනිත් ගෙදර ගියේ ඔය වැඩ හින්දලු නේ.”

“අනේ මේ...! වහගනිං උඹේ හැකර කට... පත්තිනි අම්ම...” අප්පච්චි කෑගැසුවේ කිසිවක් පොළොවේද ගසමිනි.

“ඕකිට නං මං දේවාලෙයක් ගානෙ ගිහිං පළි ගහනවා. මේවා උඩ ඉන්න දෙයියොම බලා ගන්න ඕනි” යි කියා, දඩාස් ගා පුටුවෙන් නැගී සිටි අම්මා වේගයෙන් ඉවත යන අයුරු සුජාතට වැටහිණි.

“කියාපිය කියාපිය.. උඹට උඩ ඉන්න දෙයියොනේ හැම දේම කරල දෙන්නෙ. කියාපිය.” අප්පච්චි තරමක පහත් හඬින් කීවේ උපහාසයෙන් මෙනි.

ඊටත් දින කිහිපයකට පසුව එක් සවස් යාමයක අප්පච්චි අම්මා ළඟටම විත්, බොහෝ ආදරයෙන් මෙන් කතා කරන හඬක් සුජාතට ඇසිණි.

“ඩොක්ටර්ල කොහොම කිව්වත්, අපි සමන් දේවාලෙට ගිහිං බාරෙයක් වුණොත් නේද හොඳ? ඔය කකුල් දෙකත් හොඳටම ඉදිමිලා නෙ.”

“අනේ මං දන්නෑ. මටත් හරි බයයි මහත්තෙයා.” අම්මා කොඳුරනුයේ අපහසුවෙන් මෙනි.

“කෝකටත් අපි හෙට උදේම දේවාලෙට යමු. දුවත් එක්කම.”

“දුවට අනිද්ද විබහගෙ.”

“කමක්නෑ... දෙන්නටම බාරෙයක් වෙන එක හොඳයි.. මටත් මේ ටිකේ නින්ද ගියේම නෑ. ඔපිස් ගියත් කොයි වෙලාවේ කෝල් එකක් එයිද කියල බයේ ඉන්නෙ...”

මොහොතකට පසුව දිගු සුසුමක් හෙළා, අම්මා පහත් හඬින් පැවසූ වචන සුජාතගේ දෙසවන් තුළ තවමත් දෝකාර දෙයි.

“මං ඒක දන්නවා මහත්තෙය. ඇයි මේ ආදරේ හැමදාම තියාගන්න බැරි..?”

අප්පච්චි එයට නම් පිළිතුරක් දුන්නේ නැත.

සුජාතගේ අතීතාවර්ජනය බිඳුණේ අප්පච්චිගේ හඬ නැවතත් ඈතින් ඇසුණු හෙයිනි.

“පත්තිනි අම්ම මොකද සද්ද නැතුව වාඩි වෙලා ඉන්නෙ...? කියා ගන්න දේවල් නැතුවද?”

“නෑ මනුස්සෙයො, මට අමාරුයි...” අම්මා කතා කරනුයේ වෙනදා අසා නැති තරම් අපහසු හඬකිනි. සුජාතට මහත් බියක් දැනෙන්නට විණි.

“ඇයි මොකද?” යි පහත් ස්වරයෙන් අසමින් අප්පච්චි ඉක්මනින් අම්මාට ළං වන අයුරු ඔහුට ඇසිණි.

“මගෙ කොන්ද ආයෙ රිදෙනවා...” අම්මා සෙමින් පිළිතුරු දෙනුයේ පුටුවෙන්ද නැගී සිටිමිනි.

“මං කිව්වෙ ඔයාට... උදේ ඉඳල රෙදි බේසමක් හෝද හෝද දඟලන කොට...” යි අප්පච්චි පහත් හඬින් කියනුයේ අම්මා ආපසු පුටුවේ හිඳුවමින් බව සුජාතට වැටහිණි.

මොහොතකට පසුව, “ත්‍රීවීල් එකකට එන්න කියන්නද?”යි අප්පච්චි අසන හඬත්,

“ හ්ආ...”යි අම්මා කෙඳිරිගාන හඬත් ඔහුට ඇසුණේ සිහිනයකින් මෙනි.

වෛද්‍ය බී. එම්. සී. දසනායක

මාතෘකා