අනීශ්වරවාදය, ථේරවාදය හා ශූන්‍යතාවාදය

 ඡායාරූපය:

අනීශ්වරවාදය, ථේරවාදය හා ශූන්‍යතාවාදය

ආගම දහම ඔස්සේ බිහි වුණු මත වාද අතුරෙහි තවත් කීපයක් මෙහි දැක්වේ.

ආගම යනු කුමක් ද යන ප්‍රශ්නය මුලින් ම ඇති වන ප්‍රශ්නය යි. ආගමක් නම් සර්වබලධාරී දෙවියෙකු ගැන හෝ ආත්මයක් ගැන හෝ ඇති විශ්වාසය මත පදනම් වූ චින්තාවලියකි. බුද්ධ ධර්මය ආගමක් වශයෙන් හැඳින්වීමට ඇතැමුන් විරුද්ධ වන්නේ සර්වබලධාරී දෙවියෙකු ගැන විශ්වාසයක් හෝ ආත්මය ගැන විශ්වාසයක් එහි නැති බැවිනි.

ඊශ්වරවාදය

දෙවියන් හැඳින්වීමට 'ඊශ්වර' යන පදය යෙදෙන නිසා දෙවියන් පිළිබඳ විශ්වාස පද්ධතිය හැඳින්වීමට 'ඊශ්වරවාදය' යන නම යෙදේ.

ඒකදේවවාදය

ලෝකයෙහි සිටින්නේ එක ම එක දෙවියෙකු පමණකැයි අදහන්නා 'ඒකදේවවාදියෙක්' ය. ක්‍රිස්තු භක්තිකයෝ ද ඉස්ලාම් භක්තිකයෝ ද ඒකදේවවාදීහු වෙති. හින්දු භක්තිකයෝත් බෞද්ධයෝත් ඒකදේවවාදීහු නොවෙති.

අනීශ්වරවාදය

එක ද දෙවියෙකු හෝ ලෝකයෙහි නැතැයි විශ්වාස කරන්නෝ ද වෙති. ඔවුහු 'අනීශ්වරවාදීහු' වෙති.

අදේවවාදය

ලෝකය මැවූ දෙවියෙකු නැතැයි යන මතවාදය 'අදේවවාදය' යි.

ථේරවාදය

බුදු සමයෙහි එක් ආචාර්යවාදයක් 'ථේරවාදය' හෝ 'ස්ථවිරවාදය' යනුවෙන් හැඳින්වේ. බුදුන් වහන්සේගේ ධර්මයට ඉතා ම සමීප වූ ඉගැන්වීම් අයත් වන්නේ 'ථේරවාදයට' ය. එහි මූලස්ථානය වශයෙන් සැලකෙන්නේ ශ්‍රී ලංකාව යි. ඊට එක් හේතුවක් සේ සැලකෙන්නේ බුදුන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය පළමුවරට ග්‍රන්ථාරූඪ කරන ලද්දේ මේ රටේ වීම යි. මෙරට ථේරවාදයේ මුල් බිම වූයේ අනුරාධපුරයේ මහාවිහාරය යි.

බෞද්ධ ලෝ‍කයෙහි රටවල් අතුරින් පහක් ථේරවාදී රටවල් සේ සැලකේ. එනම් ශ්‍රී ලංකාව, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය හා මියන්මාරය යි. සෙසු රටවල් 'මහායාන රටවල්' සේ සැලකේ. චීනය, කොරියාව, ජපානය, මොන්ගෝලියාව හා වියට්නාමය වැනි රටවල් මෙනි.

වෛතුල්‍යවාදය

මහාවිහාර වංශිකයන්ගේ අදහස්වලට විරුද්ධ වුණු සංඝ පරම්පරාවක් ද අනුරාධපුරයෙහි බිහි විණ. ඊට මුල් වුණේ අනුරාධපුරයේ අභයගිරි විහාර පාර්ශ්වය යි.

ශූන්‍යතාවාදය

සියල්ල ශූන්‍යය යන මතවාදය දැරූ පිරිසක් ද පැරණි ඉන්දියාවෙහි බිහි විණ. ඇතැම්මු බුදු සමය ද 'ශූන්‍යතාව' හුවා දක්වන්නක් සේ සැලකූහ. ඊට හේතු වූණේ 'නිර්වාණය' පිළිබඳ විවරණය යි.

අද්වෛතවාදය

දෙකක් නැත යන මතවාදය. පරමාත්මය හා ජීවාත්මය දෙකක් නොව එකක් ම යැයි සැලකෙන වාදය 'අද්වෛතවාදය' යි.

භක්තිවාදය

බුද්ධියට වඩා භක්තිය කෙරේ අවධානය යොමු කිරීම 'භක්තිවාදය' යි. එක්තරා කාලයක දී මේ භක්තිවාදය ඉන්දියාව පුරා පැතිර ගියේය.

උච්ඡෙදවාදය

මරණින් පසු යළි ඉපදීමක් ඇතැයි බෞද්ධයන් විශ්වාස කළත් එසේ විශ්වාස නොකරන්නෝ ද සිටිති. ඔවුන් හඳුන්වන්නේ 'උච්ඡේදවාදීන්' වශයෙනි. ආත්මය විනාශ වී යන නිසා නැවත ඉපදීමක් සිදු නොවන බව විශ්වාස කෙරේ. ඊට ම 'උච්ඡේද දෘෂ්ටිය' යන නම ද යෙදේ.

ශාස්වතවාදය

මෙය 'උච්ඡේද දෘෂ්ටිය' හාත්පසින් ම වෙනස් වූ දෘෂ්ටිය යි. එනම් සියලු දේ නිත්‍ය ය සදාකාලික ය යන දෘෂ්ටිය යි.

නාස්තිකවාදය

‍මෙය එක් අන්තවාදී මතවාදයකි. එනම් කිසිවකින් වැඩක් නැත, කිසිවක අර්ථයක් නැත, කිසිවක අගයක් නැත යන දෘෂ්ටිය යි. මෙය එකතරා අවධියක දී දේශපාලන මුහුණුවරක් ද ගත්තේය. සියලු දේශපාලන සංවිධාන, ආගමික සංවිධාන හා සමාජ සංවිධාන විනාශ කළ යුතු ය යන මතය මින් ඉදිරිපත් කෙරිණ. දැනට ඇති සංවිධාන වෙනුවට ඊට වඩා හොඳ සංවිධාන නැතත් ඒවා විනාශ කළ යුතු ය යන මතය නාස්තිකවාදීන්ගේ විය.

මානවහිතවාදය

එක් සර්වබලධාරී දෙවියෙකු ගැන හෝ දෙවිවරුන් ගැන සිතනු වෙනුවට මානව වර්ගයාගේ යහපත ගැන සිතීම 'මානවහිතවාදය' යි.

මාතෘකා