දරිද්‍රතාව සාහිත්‍යයට නංවන ‘මිහිසරණ’

 ඡායාරූපය:

දරිද්‍රතාව සාහිත්‍යයට නංවන ‘මිහිසරණ’

කර්තෘ ‐ ඇරැව්වල නන්දිමිත්‍ර

ප්‍රකාශනය ‐ එස්. ගොඩගේ සහ සහෝදරයෝ

‘මිහිසරණ’ නවකතාවෙන් කියවෙන්නේ ආයාසයකින් දිවි පෙවෙත සරිකර ගන්නා මිනිසුන් සමුහයක් පිළිබඳව කතාන්දරයකි. 1984 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබන මේ නවකතාව අපට වැදගත් වන්නේ ඉන් විදහාලන සමාජ අවකාශය නිසා පමණක් නොවේ, ඉන් ගෙනහැරපාන සංවේදී ජීවිත කතාවද නිසාය. සාමාන්‍ය ගැමි දිවියෙන් බැහැර වනපෙතක් තුළ දිවි ගෙවන විට පවතින දුෂ්කර බව මින් මනාව විශද වන අතර දෙමාපියන් අහිමි වන දරුවන්ට ඇති වන මානසික හා ආර්ථික ගැටලුද හෘදයග්‍රාහී ලෙස ඉදිරිපත් කර ඇත.

“ඇලිස් ගොරවමින් නිදයි. රබර් ගස් අස්සේ සැඟවුණු බස්සෙක් කෑ ගසන හඬ ඇසෙයි. නින්ද මිසිලින් අසලට නොඑයි. ඇය සෝමපාලගේ අතක් අල්ලා හෙමින් සොලවමින් කතා කළාය.

‘මල්ලියේ උඔ නිදිද?’

‘නැහැ. මටත් තාම නින්ද ගියේ නැහැ.’

‘මගේ හිතට නම් මහ බයක් දැනෙනවා මල්ලියේ.’

‘බය වෙන්න එපා බන්. බය වෙන්නෙ මොකටද?’

‘අපි හෙට ඉඳලා ජීවත් වෙන්නේ කොහොමද?’

‘අනේ මන්දා බන්. ඒක නම්, අපිට.... හෙට.... උදේට කන්න නම්... මළ බත ඉතුරු වෙච්ච ඒවා තියෙනවා නේද?’”

පිටුව 18

මව සහ පියා යන දෙදෙනාම අහිමි වන දරුවන්ට රැකවරණයක් ලබා ගැනීම යනු අතිශය බැරෑරුම් කාර්යයකි. දෙමාපියන් අහිමි වනවාත් සමඟම පොදු සමාජය ඒ දරුවන් ප්‍රතික්ෂේප කිරීම අරඹයි. කතාවට අනුව මිසිලින් නම් සොයුරිය හා සෝමපාල නම් සොයුරා පිළිබඳව ඇති වන්නේ අසරණ වන දරුවන් කෙරෙහි ඇති වන ශෝකාකූල බවකි. මවගේ මරණයෙන් පසු මල්ලී සමඟ මිසිලින් පියාගේ රැකවරණය යටතේ කල් ගෙවයි. පියා රබර් කිරි කපමින් දරුවන් පෝෂණය කරන අතර හදිසියේම කිතුල් ගසකින් වැටී මිසිලින්ගේ උකුල මතම අවසන් හුස්ම හෙළයි. රොමානිස් නම් ඔවුන්ගේ පියා කතාව තුළදී අප හඳුනාගන්නේ දවස පුරා කය වෙහෙසා වැඩ කොට දවස අවසානයේ රා බී මත්ව දරුවන් ගැන පවා නොතකන පියෙකු වශයෙනි. රොමානිස් එවන් පියෙකු වුවත් දරුවන්ට ඔහු වටින බව ඉහත උපුටනයෙන් ගම්‍ය වේ.

“සරු ලෙස වැවී ගිය රබර් ගස් නිසා හොඳට පායන දිවා කාලයේදී පවා මෙම වත්ත පුරා විසිර පැවතියේ කිසියම් අඳුරු ස්වභාවයකි. එම අඳුරු ස්වභාවය වඩාත් කුරිරු ලෙස දෑත් විදහා මෙම කුඩා නිවස මිරිකා ගෙන සිටියේය.”

පිටුව 09

මා පියන් අහිමි දරුවන්ගේ දිවිපෙවෙතේ පවතින අඳුරු ස්වභාවය එම පරිසර වර්ණනය මඟින් සංතේකවත් කිරීමට කතුවරයා සමත්ව ඇත. අඳුරින් අඳුරට ගමන් කරන පරිසරයක දිවි ගෙවන දරුවන්ට සිය මව්පියන්ගෙන් වෙන්ව ගෙවීමට සිදු වන කටුක ජීවිතය සංකේතානුසාරීව දැක්වීමට එහිදී උත්සාහ දරා ඇත.

සිය පියාගේ වියෝවත් සමඟින් අසරණ වන දරුවන් දෙදෙනා බලා ගැනීමට සිදු වන්නේ සාමෙල් නම් ඔවුන්ගේ පියාගේ වැඩිමල් සොයුරාටය. ඔහු ජීවත් වන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ කැලෑ ගම්මානයකය. ඔහුද දෙමාපියන්ගෙන් වෙන්ව හිතුවක්කාර ලෙස දිවිපෙවත ඇරඹූ අයෙක් බව කතුවරයා සඳහන් කරයි. සාමෙල් මිසිලින් හා සෝමපාල සිය නිවෙස වෙත රැගෙන යන්නේ සිය සොයුරාගේ මරණයත් සමඟිනි. රොමානිස්ගේ මරණයෙන් සියල්ල උඩුයටිකුරු වන බව මින් පෙනේ. නගරයෙන් ඈත දුෂ්කර ගම්මානවල දිවි ගෙවන මිනිසුන් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට දක්වන වෙහෙස අසීමාන්තිකය. අවට පරිසරය ගම්මානයේ මිනිසුන්ගේ හැසිරීම් පාදක කොටගෙන විස්තර කිරීමට මෙහිදී රචකයා උත්සාහ දරා තිබේ.

“මේ මුළු ප්‍රදේශයම පිපාසයෙන් පීඩිතය. තන්හි තන්හි බුරුත, පලු, වීර ආදී ගස් අහස දෙසට නැඟී සිටියත් ඒවා අතරින් බහුල වශයෙන් දක්නට ඇත්තේ කටු සහිත විවිධ පඳුරු ගස් වර්ගය. දිගු කලකින් වැසි සිසිලේ පහස නොලද නිසා ඒවායේ කොළ කහ පැහැයට හැරී මලානිකව ගොස් ඇත.”

පිටුව 27

පරිසරයේ වෙනස්කම් මගින් සිය අදහස මනාව දැක්වීමට කතුවරයා උත්සාහ දරා තිබේ. ජීවිත විවරණය මෙහි පරිසර වර්ණනය හා සමපාතව සිදු වේ:

“ඔවුන් ගමන් ගත් මඟ දෙපස තන්හි තන්හි හේන්ද දක්නට ලැබිණි. ඉන් සමහර හේන් අයිනට වන්නට පැල්පත් වන් කුඩා ගෙවල් විය. කටුමැටි ගසා තිබූ ඒවායේ වහලවලට පිදුරු හෝ ඉලුක් හෝ සෙවිලි කර තිබිණි. බඩගෙඩි බේරුණු ළමයි ඒ පැල්පත් අසල සෙල්ලම් කරමින් සිටියහ. ඉන් සමහරු කිළිටි ජංගි පොඩි ඇඳගෙන සිටි අතර සමහරු නිරුවත්ව සිටියහ.”

පිටුව 27

ප්‍රදේශයේ පවතින දැඩි දුෂ්කර බව නිසා එහි වාසය කරන ජනතාවගේ කටුක දරිද්‍රතාව මතු කිරීමට මෙසේ පරිසර වර්ණනා උපයුක්ත කොට ගෙන ඇත. අසරණ බව, රෝගී බව තුළින් දරුවන් තුළ ඇති වන මානසික හා ශාරීරික වෙනස්කම් මෙසේ දක්වා තිබේ. නගරයෙන් දුර බැහැර ප්‍රදේශයන්හි පවතින සංස්කෘතියේ අපූර්වත්වය සංකේතානුසාරීව දැක්වීම නිසාද ‘මිහිසරණ’ අතිශය නිර්මාණශිලී රචනයක් බවට පත්ව ඇත.

“නවකතාවේදී අපට හමු වන චරිත අපේ සිත් සතන් තුළින් කාලයක් යන තුරුම රැඳී නොයයි. පුළුල් වූ ජීවිත විවරණයක් කරන නවකතාවක් වශයෙන් ‘මිහිසරණ’ දැක්විය හැකිය. ‘මිහිසරණ’ ජීවිතයේ අමුතු කේෂ්ත්‍රයක් පිළිබඳව අත්දැකීමක් අපට ගෙන දෙයි. එහි නිරූපණය වන්නේ ස්වභාව ධර්මයා සමඟ මාරක සටනක යෙදී පණ නල ගැටගසා ගැනීමට තැත් කරන්නවුන්ගේ කටුක ජීවිතය. මේ කතාවේ කිසිදු ව්‍යාජත්වයක් නැති බව කියනු කැමැත්තෙමි” ලෙසට මේ නවකතාව පිළිබඳව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ද පවසා ඇත.

[එරංගා පල්ලියගුරුගේ]
 

මාතෘකා