අඩසියවසකට පසු ‘මනමේ’ ආස්වාදය දෙන ‘රාවණ සීතාභිලාෂය’

 ඡායාරූපය:

අඩසියවසකට පසු ‘මනමේ’ ආස්වාදය දෙන ‘රාවණ සීතාභිලාෂය’

ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද ‘රාවණ සීතාභිලාෂය’ වේදිකා නාට්‍යය පසුගියදා මා හට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී නැරඹීමට අවස්ථාව ලැබිණි. සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාටකය බලා ඇති වූ ප්‍රහර්ෂයෙන් කොළඹ ආනන්ද විදුහලේ සරසවි පිවිසුම් සිසුවකුව සිටියදී ජේ.බී. දිසානායකයන් විසින් ලියන ලද නාට්‍ය පිටපතක් ඇසුරින් මෙම නාටකය ගොඩනැඟී ඇත. එහිදී ජේ.බී. විසින් ලියන ලද නාට්‍ය පිටපතේ ඇතැම් අංග, වෙසෙසින් නාටකයේ දෙවන භාගය නාමෙල් වීරමුණි විසින් වෙනස් කර ඇත්තේ - ඊට ‘සීතාභිලාෂය’ ලෙස අලුත් පරිච්ෙඡ්දයක් එක් කර ඇත්තේ - මුල් රාවණ වෘත්තාන්තයට වෙනත් අරුතක් කවමිනි.

මුල් නාට්‍ය පිටපතෙහි ජේ.බී. දිසානායකයන්ගේ අරමුණ වී ඇත්තේ රාවණ ජන ප්‍රවාදය ශෛලිගත නාට්‍යයක ආකාරයෙන් ඉදිරිපත් කිරීමය. එනිසා ඔහු ගීතද ඇතුළු කර ගායනා කළ හැකි කාව්‍යාත්මක බස් වහරක් උපයෝගී කරගෙන ඇති අතර නාමෙල් වීරමුණි කල්පනා කර ඇත්තේ අප දන්නා රාම ‐ සීතා ‐ රාවණ පුවත ගෙන හැර පෑමෙන් අපූර්වත්වයක් ජනනය නොවන බවය. ඒ අනුව ඔහු රාම ‐ රාවණ සටනින් රාවණා මරුමුවට පත් වන කොටස ඉවත් කර රාවණා සීතා හා පෙම් සබඳතාවකට යන කොටසක් ඇතුල් කර ඇත. ඒ අනුව නාටකය දිගු වන්නේ පැරණි කතාවේ එන වීර රසය මැඩපවත්වා ශාංගාර රසයක් සහ කෙළවර අද්භූත රසයක් නාටකය තුළට එක් වන දෙසටය.

නාටකයේ කූටප්‍රාප්තිය වන්නේ රාවණාට සීතාගේ සිත් දිනීමට ඇගේ කොන්දේසියක් ඉටු කිරීමට සිදු වීමය. කොන්දේසිය නම් රාවණා සිය මවගේ හදවත සීතාට ගෙනැවිත් දීමය. නාට්‍යකරුවා අදහස් කරන්නේ මෙමගින් නාටකයේ නාට්‍ය රසය ඔප්නැංවෙන බවය. එහෙත් ප්‍රේක්ෂකයාට එය ගැටලුසහගත වන්නේ කරුණු දෙකක් නිසාය. එකක් මුලින් ගෙනෙන වීර රසය අනතුරුව එන මේ ශෝකාන්තයෙන් ව්‍යාකූලත්වයට පත් වන නිසාය. දෙවනුව මව සිය හදවත ගලවා පුතුට දීම ප්‍රේක්ෂකයාට ඇදහිය නොහැකිභාවයක් සහ එතුළින් අද්භූත රසයක් මවන නිසාය. නාටකයේ නාට්‍ය රසය බිඳෙන තවත් කරුණක් ඇත. ඒ, මුලින් සුමට ලෙස විකාශය වූ නාටකය දෙවන භාගයේදී, එනම් රාවණ කතාන්දරය රාවණ - සීතා ප්‍රේම කතාවක් දෙසට දිගු ෙවද්දී එහි රිද්මය බිඳ වැටීමකට ලක් වීමය. ශෛලිගත නාටකයක වැදගත්ම කරුණ රිද්මයය. නාටකයේ මුලින් පැවතියේ යම් රිද්මයක්ද අනතුරුවද ඒ රිද්මය එහි රැකිය යුතුය. ‘මනමේ’ නාටකය නිදසුනකට ගතහොත් එහි පොතේගුරා වේදිකාවට පැමිණීමේ සිට වැදි රජු අතින් මනමේ කුමරා මියැදීම දක්වා සියලු දර්ශන ගලා යන්නේ එක් රිද්මයකටය. ඒ රිද්මය එහි කෙතරම් ප්‍රබලද යත් නාටකය බලා නාට්‍ය ශාලාවෙන් බැහැරව යද්දීද ප්‍රේක්ෂකයාට එහි රිද්මය දැනේ. මෙහිදී එවැනි රිද්මයක් ප්‍රේක්ෂකයාට පසක් නොවේ. තවද ‘මනමේ’ හි සෑම චරිතයකටම වේදිකාවේ ඇවිදීමට නිශ්චිත අවකාශයක් ඇති අතර ඔවුනට නිසි පියවර ගණනක්ද ඇත. නිදසුනකට මනමේ කුමරිය වේදිකාව මත පියවර තබන මාර්ගයක් ඇති සේම කුමරියට ඒ මාර්ගයෙන් පිට පැන තමනට රිසි තැන පියවර තැබිය නොහැකිය. ඒ සියල්ල සරච්චන්ද්‍රයන් විසින් පූර්වයෙන් සනිටුහන් කර ඇත්තේ නාටකයේ සමස්ත රසය කුළුගැන්වෙන ලෙසටය. ‘රාවණ සීතාභිලාෂයේදී’ ඒ සියල්ල උල්ලංඝනය වන්නේ බොහෝ සෙයින් දෙවැනි භාගයට එද්දීය. සාමාන්‍ය ප්‍රේක්ෂකයකුට වුව එම දෙවන භාගයේදී නාටකය ඇදි ඇදී යන සෙයක් දැනේ.

ශෛලිගත නාටකයක චරිත කෙතරම් ප්‍රේමයෙන් වෙළුණද ඔවුනට එකිනෙකාගේ ඇඟ ස්පර්ෂ කිරීමට හැකියාවක් නැත. ‘මනමේ’ නාටකයේදී කුමරිය කුමරාගේ හෝ කුමරා කුමරියගේ ඇඟේ වෙළෙනු දැකිය නොහැකිය. එහෙත් මෙහිදී සීතා රාමා හා පෙම් බස් දොඩද්දීද, ඇය රාවණා හා සංවාදගත වද්දීද එකිනෙකාගේ ශරීරය ස්පර්ෂ කරනු දැකිය හැකිය. මෙය ඉඳුරාම පැරණි නාඩගමෙන් වෙනස් වීමකි.

 

රාම - රාවණ කතාන්දරය අප අසා ඇත්තේ කිසියම් ඓතිහාසික වීර කාව්‍යයක් ලෙසය. එහෙත් නාටකයේ දෙවන භාගය විමසද්දී අපට පෙනෙන්නේ එය කිසියම් ජන කතාවක වෙසින් දිගහැරෙන බවය. ජන කතාවට හිමි කටෝර බව එහි මැනවින් දිස් වේ. එය වෙසෙසින් විද්‍යමාන වන්නේ නාටකයේ දෙවන කොටසේ පැනෙන බස විමසන විටය. පහත එන්නේ පිටපතේ ‘රාවණ’ කොටසේ එන රාමගේ බස සහ දෙවනුව එන ‘සීතාභිලාෂයේ’ රාමගේ බස සංසන්දනයකි:

‘රාවණ’ රාම: -

 

“කලණි මගේ ඔබ වේ නයන රමණී//

ජානකීම - රාජිනීය

ලාලනීය - කාමිනීය

රැජිනි මෙරජ දහනේ ඔබය වන

රැජිනි මෙරජ දහනේ”

‘සීතාභිලාෂයේ’ රාම: -

 

“ඇයිද ඔබ ඔය තරම් කුරිරු වන්නේ

ගිනි පූජාවෙන් දිවි නසා ගැනුමට සැරසී

එයින් මට දැනේ ඔබ නිදොස් බව

කමාවෙනු මා තුළ වූ නොමනා සැකයට

ඔබම වේ මාගේ සීතාවෝ

ඔබම වේ මාගේ ප්‍රියාදරී”

‘රාවණ’ හි එන සීතාගේ බස හා ‘සීතාභිලාෂයේ’ එන සීතාගේ බසද විමසීම මෙහිදී වැදගත් වේ:

‘රාවණ’ හි සීතා: -

 

“සෙනෙහැති පෙම් වත් කුමරුනි

වදනට කන් දී මගේ

සුරතල් ළපැටි අර

පුව පොව්වා අල්ලා දෙනු මැනා”

 

“හිමියෙනි නොම රවටන් මෙමා

ඔබ හට බැරිය එය

කරනට දනිමි මම

බොරුවෙනා නොකයන් ඔවැනි කතා”

‘සීතාභිලාෂයේ’ සීතා: -

 

“වීරයකු ලෙස හැසිරෙන්ට එපා

කමා කරන්නෙමි මම ඔබටා

යන්න එපා සටනට නම්//

ඔබත් පිරිමියෙකි අන් අය මෙන්//

යන්න එපා…. යන්න එපා…//”

මෙහි ‘සීතාභිලාෂයේ’ සීතාගේ බස බැවහැර කටවහරට සමීප බව පෙනේ. මෙවිට මුල් බස මගින් ගෙනෙන රස දෙවනුව භංගවීමක් සිදු වේ. ‘සීතාභිලාෂයේ’ පොතේගුරා නාටකය හමාර කරන්නේ මෙසේ කියමිනි:

“රාවණ මාතාගේ වදනින් සකල ලෝ මාතාවන්ම අවදි වූවා

ගුවන් ගැබ ගිගුම් දී දෙවනත් කර ලෝ තලයම කැලඹුණා

මහ සයුර ඇළ දොළ ගංගා ගලා සුනාමියක් වූවා

මිහිකත දෙවනත් කර දෙදරා ගහකොළ ගේදොර සැම හමා ගියා”

මේ පද්‍ය කොටසේ එන ‘සුනාමිය’ යන වදන සිංහල බසට එක් වන්නේ 2004 වසරේ සුනාමි ව්‍යසනය සමගිනි. එනිසා මීට වසර පන්දහසකට පෙර වීර කාව්‍යයක් ගෙනහැරපෑමට ‘සුනාමිය’ යන වදන කෙසේවත් ගැළපෙන්නේ නැත. ඉන් මතු කරන රස මුල් රසයට හානිකර නිසාය. කෙසේ වෙතත් මෙහි මුලින් එන ‘රාවණ’ පිටපත ලියන්නේ ජේ.බී. දිසානායක බවද, ‘සීතාභිලාෂය’ පිටපත ලියන්නේ නාමෙල් වීරමුණි බවද අප අමතක නොකළ යුතුය. එහෙත් මෙහි ගැටලුව නම් නාට්‍ය පිටපත දෙදෙනෙකුගේ වුවත් නාට්‍යය එක් නාට්‍යයක් වීමය. එය එක් අධ්‍යක්ෂවරයකුගේ වීමය. එනිසා මුලින් එන බස නාට්‍යයේ දෙවන භාගයේදීද එක සේ විය යුතුය. එහි රස භංග නොවිය යුතුය.

මුල් කොටසේ - ජේ.බී.ගේ ‘රාවණ’ හි - බස පැසසුම් කටයුතු වුවත් ඒ බසෙහි ඇත්තේ ස්වතන්ත්‍ර බවකට වඩා කිසියම් අනුකරණාත්මක බවක් යැයිද කිව යුතුය. නිදසුනකි, මේ:

‘රාවණ’ පොතේ ඉන්නිසය: -

 

“අයෝධ්‍ය පුර රජුන් - දශ රථ පුත් රාමය නා

පුරෙන් පිටුවහල් කර - සමඟ සීතා ලක්ෂ්ම නා

වනගතව සිටි ඔවුහු - ගංතෙරක අරමක් ත නා

මෙසේ සතුටින් හිඳිති - වන සිරිය නරඹමි නා”

සරච්චන්ද්‍ර ‘මනමේ’ පිටපතින් : -

 

“පොරණ දඹදිව අතීතයෙ සිට පැවත එ නා

තක්සලා පාසැලෙහි ගුරුකුල සිරිත මෙ නා

දිසාපාමොක් ඇදුරු තම දුව කැඳවමි නා

සරණ කර දෙනු රිසිය අග සිසුට සතොසි නා”

ජේ.බී.ගේ ‘රාවණ’ පිටපතේ සීතා හා රාවණ අතර ඇති වන ගැටුමේදී සීතාගේ බස: -

“ගන්ඩ මෙමගෙ සිත - චණ්ඩ විලස් ගෙන

එන්ඩ දයා නැතිදෝ - සුර ඉන්ද සදිසි නර

නින්ද ඔබගේ එය - නින්දිතකම් නොවෙදෝ”

සරච්චන්ද්‍ර ‘මනමේ’ පිටපතින්: -

“…………..

චණ්ඩ වූ වන සත - එන්ට නොදෙමි වෙත

දුන්න රැගෙන විද - සුන්කර ලමි සෙද”

මේ ආකාරයට සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ සෙවණැල්ල මෙහි මුළු පිටපත පුරා දැකිය හැකිය. එසේ වන්නට ඇත්තේ ජේ.බී. මෙම පිටපත ලියනුයේ ‘මනමේ’ බලා ඇති වූ ආහ්ලාදයෙන් නිසාද, වීරමුණිද සරච්චන්ද්‍ර ගෝලයකු වන නිසාද විය හැකිය. එහෙත් ශෛලිගත නාට්‍යයක් මේ නිෂ්පාදනය වන්නේ වසර පනහකට පසු නම් එය ස්වතන්ත්‍ර ලක්ෂණ දැරීම නිබඳවම සිදු විය යුත්තකි.

කෙසේ වුව ‘රාවණ සීතාභිලාෂය’ ඇගයිය යුත්තේ අධිවේගී ගෝලීය සමාජයේ ජීවත් වන නූතන නාට්‍ය රසිකයාට පූර්ණ ශෛලිගත නාට්‍ය අත්දැකීමක් ලබාදෙන හෙයිනි. තවද නාටකයේ අවස්ථා නිරූපණය ඉතා තාත්වික ලෙස කර ඇති අතර එය එම නළු නිළියන්ගේ මෙන්ම නාට්‍යකරුවා වූ නාමෙල් වීරමුණිගේද දක්ෂතාවකි. වෙසෙසින් රාවණා දඬුමොනරයෙන් ඉන්දියාවට යෑම, රාම - රාවණ සටන ආදිය ඉතා අලංකාර ලෙස මෙහි චිත්‍රණය වේ. ශෛලිගත නාට්‍යයට ආධුනික නළු නිළියන් රැසක් වීත් ඔවුන්ගේ රංගනය හා නර්තනය උසස් වන අතර එහි සියුම් තැන් ගිලිහීම ගැන දොස් පැවරිය යුත්තේ නම් නාට්‍යකරුවාටය. කෙසේ වුව ‘මනමේ’ හා ‘සිංහබාහු’ වලින් ගිලිහුණු ශෛලිගත නාට්‍ය පුරාවත අද යුගයේ නැවත ලිවීම පිළිබඳව අප නාමෙල් වීරමුණි නාට්‍යකරුවාට මල් මිටක් පුද කළ යුතුය.

[එස්. පල්ලියගුරුගේ]

මාතෘකා