පෞද්ගලික අත්දැකීම් පොදු අත්දැකීම් කරන්නයි මා උත්සාහ කළේ : සුජිත් ප්‍රසංග

 ඡායාරූපය:

පෞද්ගලික අත්දැකීම් පොදු අත්දැකීම් කරන්නයි මා උත්සාහ කළේ : සුජිත් ප්‍රසංග

නවකතා රචකයකු, කවියකු, ගීත රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකුද වන සුජිත් ප්‍රසංග සාහිත්‍ය රසිකයා අතරට පැමිණියේ 2011 වසරේදී ලියා පළ කරන ලද ‘අයාලේ ගිය වසන්තය’ නමැති ගේය කාව්‍ය රචනා සංග්‍රහය ඔස්සේය. ඉන් පසුව 2013 වසරේදී සිය කුළුඳුල් නවකතාව ‘දියතඹර’ නමින් පළ කළ ඔහු ‘ජීවිතේ මහ දුරයි පද්මේ’ නමින් කාව්‍ය සංග්‍රහයක්ද ලියා පළ කළේය. ඔහුගේ නවතම සාහිත්‍ය නිර්මාණ කෘතීන් ලෙස ‘අත්තාපල්’ යොවුන් නවකතාව ගොඩගේ ප්‍රකාශනයක් ලෙසද, ‘මැදියම අග’ නවකතාව සරසවි ප්‍රකාශනයක් ලෙසද මේ වන විට පළ වී ඇත. මේ, අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

‘මැදියම අග’ නවකතාව ඔබ හඳුන්වාදෙන්නේ කුමන ආකාරයටද?

මට ඕනකම තිබුණා කාන්තාවක් දේශපාලනයට ආවාම ඔවුන්ගේ පවුල් පරිසරය කොහොමද රැකෙන්නේ කියන කාරණාව මතු කරන්න. ඒ වගේම අපි හැමෝගේම හිත්වල තියෙන සදාතනික ප්‍රේමය කියන දේ ගැනත් කතා කරන්න මට වුවමනා වුණා. ඒ සදාතනික ප්‍රේමය මේ නවකතාවේ යටිපෙළක් විදියට ගලාගෙන යනවා. දේශපාලනය තුළ සදාතනික ප්‍රේමය කොහොමද ගැබ් වෙන්නේ කියන කාරණාව ‘මැදියම අග’ හරහා කතා කෙරෙනවා.

නවකතාවේ සංකේතයක් ලෙස ඇහැළ මල් යොදාගැනීමට හේතුව කුමක්ද?

ඇහැළ කියන්නෙ නිකං කොළ තියෙනකොට නිකම්ම නිකම් කැලෑ ගහක්නෙ. ඒත් ඇහැළ ගහ ලස්සන වෙන්නෙ ඒකෙ මල් පිපුණාමයි. ඒක ඇහැළ ගහක් කියලා මුළු සමාජයක්ම දැනගන්නෙ එතකොටයි. ලංකාවේ දේශපාලනයක් අන්න ඒ වගෙයි. ඡන්දයක් තියෙන කාලයට ඒ ගැන විතරයි කතාබහ කරන්නෙ. ඊට පස්සෙ දේශපාලකයො මොනවා කරනවාද, ඔවුන්ගේ පවුල් පරිසරය, රටේ ආර්ථිකය වගේ වෙනත් කිසි දෙයක් ගැන කිසි කෙනෙක් හිතන්නෙ නැහැ. ඊට පස්සෙ සාමාන්‍ය විදියට ජීවිත ගලාගෙන යනවා. පොදු සමාජයේ ඉන්න මිනිස්සු හරියට අර ඇහැළ මල් වගෙයි. ඔවුන් බිමට නැවිලා පොළොව දිහා බලාගෙන ඉන්නවා. හැම මලක්ම තියෙන්නෙ උඩ අතටනෙ. ඒත් ඇහැළ මල් හැරිලා තියෙන්නෙ පල්ලෙහාට. ලංකාවේ මිනිස්සුත් අන්න ඒ වගෙයි. දේශපාලන පරිසරය තුළ ඔවුන් හැමදාම බිම බලාගෙන සියල්ල දරාගෙන ඉන්නවා. ඇත්තටම මම ‘මැදියම අග’ කෘතිය තුළින් කතා කරන්නෙත් ඒ ගැනයි.

මෙවැනි නවකතාවක් රචනා කිරීමට ඔබ යොමු වූ පසුබිම කුමක්ද?

ඇත්තටම මම මේ නවකතාව ලියන්න පටන් ගත්තෙ 2014 වසරේ. එක්තරා අවස්ථාවකදී දේශපාලනමය හේතූන් මත මට මගේ රැකියාව අහිමි වෙනවා. මාව රැකියා ස්ථානයෙන් එළියට දානවා. ඒකට ප්‍රබලවම බලපෑවෙ දේශපාලනයයි. ඒ වෙලාවේ මම මාධ්‍ය ජීවිතයටත් අලුත් කෙනෙක්. කොළඹටත් අලුත් කෙනෙක්. එතැනදි මා වෙනුවෙන් කිසිම කෙනෙක් පෙනී හිටියේ නැහැ. ඒ වෙනකොට මම ප්‍රබල මාධ්‍යවේදියෙක් වුණා නම් විරෝධතා දක්වමින් මා වෙනුවෙන් අරගල කරන්න බොහෝ පිරිසක් සැදීපැහැදී ඉන්නවා. ඒත් මම ඒ වෙනකොට ආධුනික කෙනෙක් නිසා ඒ කිසි පිරිසක් මා වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ. ඒ සියලු දේවල් දරාගෙන මම එළියට බැහැලා ආවා. එතැනදි හැමෝම කිව්වේ ඔය කාලයේ මොනවා හරි ලියන්න කියලයි. එතැනදි මට දැනුණු ප්‍රබල කාරණයක් වුණේ ලංකාව කියන රට ඇතුළෙ දේශපාලකයෙකුට කරන්න බැරි මොනවද කියන එකයි. දේශපාලකයා සාමාන්‍ය පොදු ජනතාව මොන තරම් අසරණ කරනවාද කියලා මට හිතුණා. ඒ වගේ දේවල් මට තදින් දැනුණු හින්දා තමයි මේ නවකතාව බිහි වෙන්නෙ.

ඔබේ අත්දැකීම්මේ නවකතාවට මුසු වී තිබෙනවාද?

මගේ අත්දැකීමක් සමහර වෙලාවට සාමාන්‍ය පාඨකයාට රුචි නොවෙන්න පුළුවන්. ඒ නිසා මට ඕන වුණේ මේකට වෙනත් චරිත පාදක කරගෙන මගේ ඇතැම් අත්දැකීම්වලට පරිකල්පනය මුසුකර ගන්නයි. අත්දැකීම් ඔස්සේ පරිකල්පනය මෙහෙයවමින් ලියන දෙයක් හැම වෙලාවෙම පොදු පාඨකයාගේ අත්දැකීම බවට පත් වෙන්න ඕන. එහෙම නොවුණොත් ලියන දේ සාර්ථක වෙන්නෙ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ අතිශය පෞද්ගලික අත්දැකීමක් දෙස වුණත් පොදු පාඨකයාගේ ඇසින් බලන්නයි. මේ නවකතාව ලිවීමේදී ග්‍රාමීය සමාජය සහ නාගරික සමාජය තුළ ජීවත් වෙන ගැහැනු සහ පිරිමි වගේම එදිනෙදා සමාජය තුළ මුණගැහෙන තවත් චරිත උපයෝගී කරගෙන මගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න මම උත්සාහ ගත්තා. මේ නවකතාවේ තියෙන භූපතිගේ චරිතය හරහා අපේ තාරුණ්‍යය සහ මානුෂවාදී ගුණාංග පිළිබිඹු වෙනවා. ඒ වගේ චරිතයක් පොදු පාඨකයා අතර ජීවත් වෙන්න පුළුවන්. නවකතාවකින් තවත් කෙනෙකුට භූපතිලා ඕන තරම් හමු වෙන්න පුළුවන්. ඒක දැනෙන විදියට මේ නවකතාව ඉදිරිපත් කරන්න තමයි මම උත්සාහ කළේ.

ඔබ බොහෝ චරිතවලට නම් යෙදීමේදී බෞද්ධ සාහිත්‍යයේ හමු වන නම් යොදාගන්නවා?

නවකතාවක චරිත නාම යෙදීමේදී මම අතිශය සැලකිලිමත් වෙනවා. මේ නවකතාවේ නිහඬවම ගලාගෙන යන ප්‍රබලම චරිතයක් විදියට යශෝධරා කියන චරිතය සලකන්න පුළුවන්. යශෝධරා චරිතය සහ යශෝධරා කියන නම හැම තැනටම භාවිත කරන්න බැහැ. යශෝධරා කියන්නෙ උතුම් පතිවෘතාව පිළිබඳ සංකේතයක් කියලා සැලකෙනවනෙ. බොහෝ අය යශෝධරාව එහෙම හඳුන්වා දෙනවානෙ. එතකොට යශෝධරා චරිතය අපට ගණිකාවකට භාවිත කරන්න බැහැ. ඒ හින්දා සංසාරික ප්‍රේමය, ලැබීම්, නොලැබීම් සහ අහිමිවීම් කියන සියල්ල දරා සිටින කාන්තා චරිතයක් ඉදිරිපත් කිරීමට ඒ නම සුදුසුයි කියලා මට හිතුණා. මේ සියලු නම් නිරායාසයෙන්ම මතු වුණා කියලයි මම හිතන්නෙ. කිසි නමක් බලෙන් හිතලා දාපුවා නෙවෙයි.

නවකතාවක චරිත ගොඩනැඟීමේදී ඊට යොදාගන්නා නම් කොතරම් දුරට වැදගත්ද?

නවකතාවක් පහසුවෙන් විඳගැනීම සඳහා චරිතවල නම් පොදු පාඨකයාට වැදගත් කියලා මම හිතනවා. නවකතාවක් සාමාන්‍යයෙන් පිටු දෙසීයක්, තුන්සීයක් විතර පරාසයක ගලාගෙන යනවා. සමහර නවකතාවල මුලින් තියෙන චරිතවල නම් මැදට යනකොට අමතක වෙනවා. ඒ නිසා පාඨකයාට පහසුවෙන් මතක තබාගත හැකි නම් මේ නවකතාවේ චරිතවලට යොදාගන්න මම උත්සාහ ගත්තා. මම උපක්‍රමයක් විදියට බෞද්ධ සාහිත්‍යයේ හමු වන නම් භාවිත කළාද කියලා මටම පැහැදිලි නැහැ. ඒ වගේ නම් භාවිත කළාම, නවකතාව කියවන කෙනාට පොතේ මුලදි හමු වන චරිත අගට යනකොට පැටලෙන්නෙ නැහැ. මම හිතන්නෙ ඒක අතිශය වැදගත්. නවකතාවක මුල, මැද සහ අග යන හැම තැනකදීම නම දුටු සැණින් අදාළ චරිතය සිහිපත් වෙන්න ඕන.

කෘතියේ නම ගැනත් යමක් කියනවා නම්’?

මැදියම අග කියන්නේ ජීවිතයේ මධ්‍යම යාමයේ අවසානයයි. මේ නවකතාවේ බොහෝ චරිතවල කතා කරන්නෙ ජීවිතයේ මධ්‍යම යාමය ගෙවපු මිනිසුන් ගැනයි. ඔවුන් ජීවිතයේ මධ්‍යම යාමය අග පසුකරමින් සිටින අයයි. භූපති කියන චරිතය ගත්තොත් ඔහු තාරුණ්‍යයේ අග ඉන්න කෙනෙක්. ගෝතමී ජීවිතයේ මැදියම අග ඉන්න කෙනෙක්. යශෝධරා ජීවිතයේ අවසාන කාලය ගත කරන කෙනෙක්. ඇය සන්ධ්‍යාවේ අග ගෙවමින් ඉන්න කෙනෙක්. ඔය විදියට මේ බොහෝ චරිත ජීවිතයේ භාගයක් ගත කරලා හමාරයි. මේ පොතට නමක් දාන්න මාස හතරක් පහක පමණ කාලයක් තිස්සේ මම විවිධ නම් හෙව්වා. මේ වෙලාවෙදි ස්තූතිවන්ත වෙන්න ඕන ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ මහත්මියට. ඇය පොතේ අත්පිටපත කියවලා, ගොඩක් අඩු පාඩු හදලා, නවකතාව වඩාත් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න බොහෝ දේ කියලා දුන්නා. මම මේ නවකතාවට විවිධ නම් යෝජනා කළාම ඇය ඒ කිසිදු නමක් භාරගත්තෙ නැහැ. අවසානයේදී ‘මැදියම අග’ කියන නම හොඳයි කියලා ඇය කිව්වා. ඒ නිසා පොතට නමක් දාන්න ගත්ත උත්සාහයේදී ඇය දක්වපු සහයෝගයට මගේ ස්තුතිය ඇයට හිමිවෙනවා.

පොතක කවරය අන්තර්ගතයට වැදගත් වන්නේ කුමන ආකාරයටද?

මේ පොතට කවර තුනක් කළා. එහෙම තමයි අවසාන කවරය තෝරාගත්තෙ. මම හිතන්නෙ ඕනෑම කෘතියක කවරය අතිශය වැදගත්. පොදු පාඨකයා පොතේ අභ්‍යන්තරය තේරුම් ගන්නෙ පොතේ පිටකවරයෙන්. කෙනෙකුගේ බාහිර ස්වරූපය දැකලා වුණත් ඔහුගේ අභ්‍යන්තර ස්වරූපය මෙහෙම වෙන්න ඇති කියලා අපි තීරණය කරනවා. හැම විටම ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. ඒත් ඕනෑම දෙයක ඇතුළාන්තය ගැන කිසියම් අවබෝධයක් ලබාගන්න බාහිර ස්වරූපය අතිශය වැදගත් වෙනවා. ඒ විදියට බැලුවොත් පිටකවරයෙන් පොතකට ආලෝකයක් ලබාදෙනවා. පිටකවරය නිර්මාණාත්මක වෙනවා නම් පොතක ගුණාත්මකභාවය සහ අලෙවිය පිළිබඳව ගැටලු මතු වෙනවා අඩුයි.

 

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා