හඬ මගේ කතාවේ කොටසක්

 ඡායාරූපය:

හඬ මගේ කතාවේ කොටසක්

ඇමෙරිකානු නවකතාකාරිනී ටෝනි මොරිසන්

ටෝනි මොරිසන් ඇමෙරිකාවේ දිවමන් මහා ලේඛිකාවයි. ඈ උපත ලබනුයේ 1931 වසරේ පෙබරවාරි 18 වෙනිදාය. ඒ, ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ලෝරේන් ප්‍රදේශයේය. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් ඇෆ්‍රො ඇමෙරිකා කම්කරු පවුලක දෙවැනි දරුවා ලෙස උපත ලබන ඇය ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන්නියකි. එනම් නවකාකාරියක, ප්‍රබන්ධ නොවන රචනා ලියන්නියක, සාහිත්‍ය සංස්කාරිකාවක, ගුරුවරියක හා ප්‍රින්ස්ටන් සරසවියේ ඊමෙරිටස් මහාචාර්යවරියක වශයෙනි. ඇය ලෝකය හඳුනාගනුයේ 1987 වසරේ එළිදකින ඇගේ Beloved නවකතාවෙනි. එය 1988 වසරේ ඇමෙරිකාවේ පුලිට්සර් සම්මානයත්, ඇමෙරිකන් බුක් අවෝඩ් සම්මානයත් හිමි කරගති. ඇගේ නවකතා අතර The Bluest Eye (1970), Sula (1973), Song of Solomon (1977), Tar Baby (1981), Beloved (1987), Jazz (1992), Paradise (1997), Love (2003), A Mercy (2008), Home (2012), God Help the Child (2015) ආදිය වේ. 1993 වසරේ ඇයට නොබෙල් සාහිත්‍ය ත්‍යාගයද හිමි විය. මේ, Granta සඟරාව සඳහා මෑතකදී ඇය සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකි. එය පවත්වනු ලබනුයේ මාරියෝ කේසර් සහ සාරා ලැපිඩෝ මනියිකා විසිනි.

සාරා ලැපිඩෝ මනියිකා - ඔබ කැමති ඔබට ප්‍රොෆෙසර් කියනවාටද? ඩොක්ටර් කියනවාටද? මහත්මිය හෝ මෙනෙවිය කියනවාටද?

ටෝනි මොරිසන් - මම කැමතියි ටෝනි කියනවාට.

සාරා - ටෝනි?

ටෝනි - ඔව්. මං එතකොට පිළිතුරු දෙන්නම්.

සාරා - ටෝනි, අපට ඔබ එක්ක කථා කරන්න අවස්ථාවක් ලබාදීම ගැන ස්තූතියි.

ටෝනි - මට සතුටුයි.

සාරා - මම එන්නේ නයිජීරියාවේ ඉඳලා! දැනට මිනිත්තුවකට දෙකකට කලින් මට ඔබේ බාත්රූම් එකේදි වෝලෙ සොයින්කා හමු වුණා! (ටෝනි මොරිසන්ගේ අමුත්තන්ගේ නාන කාමරයේ බිත්තිවල එල්ලා ඇති ඡායාරූප අතර නයිජීරියානු නොබෙල් සාහිත්‍යලාභී වෝලේ සොයින්කා සමඟ ඇය සිටින ඡායාරූපයක්ද වෙයි.)

ටෝනි - අහා! ඔව්. අපි ඒ දවස්වල පැරිස්වලට ගිහින් කතා සාද - ඒවා හරි අපූරු කතා - පවත්වන්න පුරුදු වෙලා සිටියා. එහිදී අපි ලෝකයේ පැනනඟින ප්‍රශ්නවලට විසඳුම් සෙව්වා. එහිදී සොයින්කා මොන ප්‍රශ්නයක් වුණත් විසඳන සැටි දැන සිටියා.

සාරා - ඔහු තවමත් එහෙමමයි.

ටෝනි - ඔව්. ඔහුගේ ස්වරයෙන් ඔහු කියනවා …. (ඇය වෝලේ සොයින්කාගේ ගැඹුරු කටහඬ අනුකරණය කරයි.)

මාරියෝ කේසර් - සාරාත්, මමත් මිතුරියන් වූයේ ඔබේ පොතක් නිසයි. අපි එතකොට සිටියේ නේවාසික ලේඛක වැඩමුළුවක. අපි එහි කටයුතු කරන අතරේ මම සාරාට කිව්වා දෙවන ලෝක සංග්‍රාමයට සොල්දාදුවන් ලෙස ගිහින් මියගිය මගේ සීයලා ගැන මම කතාවක් ලියනවා කියල. එතකොට සාරා මට ඔබේ Home නවකතාව - පොත සහ එහි හඬ පොත (Audio Book) - දුන්නා.

ටෝනි - ඔව්. ඒක හරි. මොකද මම ඒවා සංයුක්ත තැටියකට කියෙව්වා. මම මගේ කෘති හඬ නඟා කියවන්න කැමතියි. මොකද මම පොතක තත්ත්වය මනින්නේ ඒවා උසුරුවෙන ආකාරය අනුවයි. උසුරුවීමෙන් විතරක් නෙවෙයි එය මැනෙන්නෙ. ඒත් උසුරුවීම මට වැදගත් දෙයක්. මගේ පොතක් මුලින්ම පළ කරන්න ගෙන ගිය වෙලාවේ මට මතකයි ප්‍රකාශකයා පොත (අත්පිටපත) එහි කාටද කියවන්න දුන්නා - ඒ, සංයුක්ත තැටියක ආකාරයෙන් විකුණන්න. ඇත්තටම ඔවුන් හරිම විශිෂ්ට හඬ නිළියන්. ඒත් මම ඔවුන්ට කවදාවත් ඇහුම්කන් දුන්නෙ නෑ. එක දවසක් මම ඔවුන්ගේ හඬට ඇහුම්කන් දුන්නා. මං එවෙලාවේ කිව්වා “නෑ. එහෙම නෙවෙයි ඒක කියවෙන්නෙ!” කියල. මං හිතන්නෙ එය මගේ Beloved නවකතාව. මං කිව්වා ඒක කියවෙන්නෙ “Dat - da - da - da - dat - dat - boom - dat - dat - dat - dat - dat. ‘124 was spiteful. Full of a baby's venom.’” කියල. ඇය එය කියෙව්වෙ කතාවේ යටිපෙළේ ඇති සියුම් තැන් කිසිවක් මතු නොවන විධියට. ඉතින් මම ඒ ඔක්කොම කියවන්න ගත්තා. දැන් මම දන්නවා - අපොයි! හරිම අමාරු වැඩක් - ඒ ඔක්කොම මට ආපසු කියවන්න වෙනවා කියල. මොකද ඔවුන් මට කිව්වා මම කියෙව්වේ සංක්ෂිප්ත කළ පිටපත් කියල. මං ඔබට කියන්න ඕන ඒක මගේ ජීවිතයේ නරකම අත්දැකීම්වලින් එකක් කියල - ඒ කිව්වෙ මම කියවන ඒවා රෙකෝඩින් කරන්න කට්ටියක් එළියේ ඉන්දැද්දි මම ඒ පුංචි කාමරයේ වාඩි වෙලා ඉඳීම. මයික්‍රෆෝනයකට කියවද්දි ඔබ දන්නෙ නෑ ඔබ කොච්චර වැරදි කරනවාද කියල.

මාරියෝ - ඔබේ අලුත්ම කෘතිය වන God Help the Child ආරම්භ වන්නේ හරිම ප්‍රබල වැකියකින්. ඒ තමයි It's not my fault.

ටෝනි - ඔව්. එහෙම තමයි.

මාරියෝ - මවක් ඇගේ අලුත උපන් බිලිඳිය දෙස බලා එසේ කියනවා.

ටෝනි - ඒක බය හිතෙන දර්ශනයක්.

මාරියෝ - දැරියගේ සම තමාට වඩා කළු පැහැ බව මව දකිනවා. ඇයට දැරියගේ අනාගතය ගැන බයක් දැනෙනවා.

ටෝනි - ඇගේ අනාගතය ගැනත් ඇයට බයක් දැනෙනවා.

මාරියෝ - ඔබේ කලින් නවකතා මෙන් නොව මෙයට පසුබිම් වෙන්නේ වර්තමානයේ සිදු වන දෙයක්. සමේ වර්ණය තවමත් මේ රටේ මිනිසුන් එකතු කරන්නේ හෝ වෙන් කරන්නේ ඇයි?

ටෝනි - අපි පටන් අරන් තියෙන්නේ එහෙම. මේ රට ආරම්භ වෙලා තියෙන්නෙ අප්‍රිකානුවන්ගේ ශ්‍රමයෙන් - ඒ කිව්වෙ නොමිලේ වැඩ කරපල්ලා සහ ඇති තරම් කම්කරුවෝ පැටව් ගහපල්ලා කියල. මම A Mercy නවකතාව ලියූ වෙලාවේ පොත පිළිබිඹු කළේ වර්ගවාදය මේ රට හඳුනාගත හැකි, මේ රටේ තීරණාත්මක සාධකය වෙන්න පොඩ්ඩකට කලින් තත්ත්වයයි. ඒ කිව්වෙ ආගමික හේතු මත ඔවුන් මිනිසුන් මර මරා යද්දි සලේම් ප්‍රදේශයේ මායාකාරීන් කියා අහිංසක ගැහැනුන් මරා දාන්න හරියටම කලිනුයි. ඒ හැම දෙයක් ගැනම ආගමික පක්ෂය විපිළිසර වුණා. ඒත් සමේ වර්ණය ගැන වද වුණේ නෑ. ඒත් ඉන් පස්සෙ මෙය සිදු වුණා. ඒ කිව්වෙ මිනිස්සු ‘යථා තත්ත්වයට ආවා’ - ඒ විධියට තමයි මිනිස්සු ආපසු එකට එක්කාසු වුණේ. ඒ කිව්වෙ සුදු මිනිස්සු සුදු වුණා. පොඩ්ඩක් ඒ ගැන හිතන්න: ඔබ මේ රටට ජර්මනියෙන්, නැත්නම් රුසියාවෙන් එහෙම නැත්නම් වෙන රටකින් එනවා. ඔබ නැවෙන් බැහැලා අටට ගොඩ බහිනවා. ඒත් ඔබ එහිදී ඇමෙරිකානුවෙක් වෙන්න ඔබට සුදු මිනිහෙක් වෙන්න වෙනවා. ඒකෙන් තමයි රට, මිනිස්සු එක්සේසත් වෙන්නෙ. ඒ කිව්වෙ සුදු ජනගහනයක් ඇති වීමෙන්. මේ වගේම දේවල් දැන් යුරෝපයේ වෙන්න යනවා. මගේ ආකල්පය වෙන්නෙ ඔබ ස්වීඩනයෙන් ආවොත් ඔබ ස්වීඩන් කෙනෙක්. “මම සුදු ස්වීඩන් කෙනෙක්” කියල ඔබ කියන්න ඕන නෑ. මං කියන දේ ඔබට පැහැදිලි වෙනවාද?

මාරියෝ - ඔව්. මට පැහැදිලියි. මම ජර්මානුවෙක්. මම ඇමෙරිකාවේ පදිංචියට එනකන් මම සුදු ජාතිකයි කියල මට කවදාවත් දැනිලා නෑ.

ටෝනි - ඒක (සුදු වීම) මෙහි ඉතා වැදගත් කොටසක්. ෆ්‍රෙඩරික් ඩග්ලස් වගේ (කළු ජාතික වහල් පුද්ගලයෙක්) පොතක් ලිව්වාම ඔහු ඒක ලිව්වෙ - නිල වශයෙන්ම - සුදු මිනිසුන්ට. මොකද ඔහුට ඕන වුණා ඔහු අත්දකින දේ ඔවුන්ට දනවන්න. ඔහුගේ වහල්භාවයෙන් මිදෙන්න. ඔහුගේ පාඨක ප්‍රජාව ඔවුනුයි. ඔහුගේ පොත් මට ලියලා නෑ. තෝල්ස්තෝයි ඔහියෝ ප්‍රාන්තයේ පුංචි දැරියන්ට ලිව්වෙ නෑ. ඔහු ලිව්වෙ රුසියානුවන්ට. මම ලියන්නෙ කළු මිනිසුන්ට. මං ලියන්නෙ කළු මිනිස්සු ගැන සහ අනෙක් රටවල කළු මිනිස්සු වෙනුවෙන්. මං ලියූ දේ උසස් නම් ඒක අප්‍රිකානු - අමෙරිකානු නොවන මිනිස්සුත් කියවා අගය කරාවි. මේ ගැන සරලවම කියන්න පුළුවන් ඒ විධියටයි. ඒත් මම කළු මිනිසුන් ගැන ලියන්න සරලම හේතුව ඔවුන් ආකර්ෂණීයයි කියල මට දැනීමයි.

සාරා - ඔව්.

ටෝනි - මෙහි විහිළුව මේකයි. මේ රටින් පිට මිනිස්සු, විශේෂයෙන් යුරෝපීයයන් මේ රටේ මොනවා හරි දෙයක් ගැන හිතනවා නම් හිතන්නෙ හරි, මේ රටේ කැමති වෙන්නේ හරි මෙහි කළු සංස්කෘතියෙන් ආ දෙයකට වීම. ඒක ජෑස් වෙන්න පුළුවන්. භාෂාව වෙන්න පුළුවන්. අපි නැතිව මේ රට මොන වගේ රටක් වෙයිද කියල හිතන්න. එහෙනම් මං මේ රට බලන්න එන්නෙවත් නෑ! මගේ පළවෙනි පොතෙන් මම කියන්න උත්සාහ ගත්තෙ “බලන්න. වර්ගවාදය සැබැවින්ම, සත්‍ය වශයෙන්ම අප රිදවනවා. ඔබට සුදු කෙනෙක් වෙන්න වුවමනා වෙලා, ඒත් ඔබ සුදු කෙනෙක් නෙවෙයි නම් සහ ඔබ තරුණ හා පහසුවෙන් ගොදුරු වෙන කෙනෙක් නම් එය ඔබේ ජීවිතය නැති කර දමාවි” කියලයි. ඒ, මම මුලින්ම ලියන්න ගත් කාලයේයි. මා පොතපත කියවූ, සංස්කරණයේ නියුතු වූ, පුස්තකාලවල වැඩ කළ ඒ මුළු අවුරුදු ගණන තුළ මට හිතුණා “පොඩ්ඩක් ඉන්න. ඇත්තටම මං ගැන ලියවුණු පොතක් මෙහෙ නෑ නේද!” කියල. ඉතින් මට මං ගැන ලියවුණු පොත් කියවන්න ඕන නම් නියතවම එය මට ලිවිය යුතු වුණා.

මාරියෝ - ඔබේ සෙසු කෘති වගේ ඔබේ God Help the Child නවකතාවේත් ළමයින් විඳවනවා. 1960 ගණන්වල මේ රටේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අරගලය පැවති කාලයේ ඔබ ඔබේම දරුවන් දෙදෙනෙකු මෙලොවට බිහි කරනවා. ඒ අරගලයෙන් අමෙරිකාව ඔබේ දරුවන්ට දීප්තිමත් අනාගතයක් ඇති කරයි කියල ඔබ තුළ බලාපොරොත්තු ඇති වුණාද?

ටෝනි - නෑ. නෑ. නෑ. මම මෙහි හුඟක් කල් ඉඳලා තියෙනවා. බලන්න. අහිංසක මිනිසුන් ඔවුන් එල්ලන්න ගත්තා. පුවත්පතක කළු තරුණයන් ඝාතනය කළා. කවුරුවත් ඒ ගැන කථා කළේ නෑ. කාටවත් එහි ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබුණෙ නෑ. පසුගියදා ට්‍රේවෝන් මාටින් වගේ කෙනෙක්, එහෙම නැත්නම් අනෙක් පුංචි පිරිමි ළමයා ඔවුන් වෙඩි තබා ඝාතනය කළා. එහිදී විශාල මාධ්‍ය අවධානයක් දිනාගත්තා. මම එතකොට මගේ පුතාට කිව්වෙ “ඒක පුවත්පත් ලිපියකට වටිනවාද කියල කෙනෙකු හිතන්න අවුරුදු පනහකට, හැටකට කලින් ලෝකයකයි මං ජීවත් වුණේ කියල ඔයාට තේරෙනවාද? නැත්නම් එහෙම ඝාතනයක් හොඳ නැහැ කියල හිතන්න අවුරුදු පනහකට, හැටකට කලිනුයි මං සිටියේ කියල තේරෙනවාද?” කියල. ඒ කාලෙ කොහොමටවත් එහෙම දෙයක් වුණේ නෑ. අපි මේ ඊනියා ජනාධිපතිවරයා - ට්‍රම්ප් - එක්ක දැන් පියවරක් පසුපසට යනවා කියල දැනුණත් එදා සිට අද තෙක් යම් යම් වෙනස්වීම් වෙලා තියෙනවා. දැන් තත්ත්වය කොච්චර භයානකද, කොච්චර ඇඟ කීරිගැහෙනවාද කියනවා නම් ඒ ගැන හිතන්නවත් මට ඕන නෑ. මම ඒ ගැන නොසිතා ඉන්න උත්සාහ ගන්නවා. ඒ මිනිහා ඇත්තටම මාව පිස්සු වට්ටනවා.

සාරා - “යළි ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු.” (Make America Great Again - ට්‍රම්ප්ගේ දේශපාලන ප්‍රචාරන පාඨය)

ටෝනි - “යළි ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු” කියන්නෙ “යළි ඇමෙරිකාව සුදු කරමු” (Make America White Again) යන්නයි. ඒත් දැන් මීට වෙනස් විධියකට හිතන මිනිසුන් කොටසක් මතු වෙලා තියෙනවා. කවුරු වගේ කොටසක්ද? මේ මං වගේ.

සාරා - ප්‍රබන්ධ කතා සන්ධ්‍යාවන්හිදී ඔබ ඔබේ කතා කියවන විලාසයට ඇහුම්කන් දෙද්දි ඔබේ කතා කලාවේ සංගීතත්ත්වයත් (Musicality), උච්චාරණයත් (Orality) අවධාරණය වෙනවා. ඔබේ කතා පාඨකයා හඬ නඟා කියවිය යුතු යැයි ඔබ අදහස් කරනවාද?

ටෝනි - පාඨකයා ඒ කතා ඇසිය යුතුය කියල මම හිතනවා. මම ඇති දැඩි වුණේ හැම වෙලාවෙම හඬ නඟා කියවන පවුලක. මගේ සීයා ගැන නිතර කියන - ආඩම්බරයෙන් කියන - කතාවක් මට මතකයි. ඔහු බයිබලය පොතේ කවරයේ ඉඳලා පොත ඉවර වෙනකන් විතරක් නෙවෙයි, පොතේ පසු කවරයත් කියවලා තියෙනවා. පස් පාරක් කියවලා තියෙනවා. කළු මිනිසුන්ට එකල කියවීම තහනම් දෙයක් කියල එක් අවස්ථාවක මම දැනගත්තා. ඒවගේම සුදු මිනිසුන්ට කළු මිනිසුන්ට කියවීම ඉගැන්වීමත් තහනම් කරලා තිබිලා. එහෙම කළොත් එක්කො දඩ ගැසුවා. නැත්නම් හිරේ දැම්මා.

මගේ සීයා ඉස්කෝලෙ ගියේ නෑ. ඒත් එක දවසක් ඔහු ඉස්කෝලෙ ගියා. ඒ ගියේ ඔහු ආපසු ඉස්කෝලෙ එන්නෙ නෑ කියල ගුරුතුමාට දැනුම් දෙන්න. ඔහු තමාගේ සහෝදරිය තමන්ට කියවන්න උගන්වයි කියල විශ්වාස කළා. ඔවුන් ඔහුට කිව්වෙ ලොකු තාත්තා (Big Papa) කියල. හුඟක් පස්සෙ කාලෙක මං කල්පනා කළා ඇත්තටම මොනවා ඔහුට කියවන්නද කියල. මොකද ඒ කාලෙ පොත් තිබුණෙ නෑ. පුස්තකාල තිබුණෙ නෑ. තිබුණෙ බයිබලය විතරයි. ඒත් ඒක කියවීම ආපසු ගිලිහීගිය බලය අත්පත් කරගැනීමේ ක්‍රියාවක් වුණා.

අපේ මහ ගෙදර හැම තැනම පොත් තිබුණා. මගේ අම්මා Book of Month සමාජයට බැඳුණා. ඒක ඇත්තටම ප්‍රතිවිරෝධය පෑමක් වගේ. ඒ සමඟ කියවීම කියන දේ කතා කීමක් වුණා. ඔවුන් නිතරම ඒ කතා කිව්වා. කතා ගායනා කළා. ගෙදර දහ දෙනෙක් විතර සිටියා. ඒ ඔක්කොටම පිස්සු.

සාරා - ඔවුන් කියූ කතා කියද්දී වෙනස් කළාද?

ටෝනි - වෙනස් කරන්න පුළුවන්. මොකද ඔවුන් කතා කියන්න අපිව පෙළඹෙව්වා. ඔවුන් කියනවා “අර අහවල් කතාව කියාපන්කො.” කියල. ඔවුන් පුංචි ළමයින්ව කූද්දලා ඇහැරවනවා. එතකොට ඔබට කතාව ටිකක් සංස්කරණය කරන්න පුළුවන්. ඒත් ඔවුන්ට පිස්සු. මම ඔවුන්ට කැමතියි. මොකද ඔවුන් හරියට ….. (ඇය කතාව මඳකට නවතා ගායනා කිරීම අරඹයි - මුලින් පහත් හඬින්, දෙවනුව උස් හඬින්.)….. “Gonna whop, gonna chop my wife's head off!” ඒක මහ හඬින් ගයන ගීතයක්. “Tam- tam, tam-tam, tam-tam. Gonna cut my wife's – HEAD OFF”

මගේ අම්මා නිතරම මොනවා හරි ගායනා කළා - රැයක්, දවාලක් නැතිව. මගේ ජීවිතේ මා ඇසූ සුන්දරම කටහඬ තිබුණේ ඇයටයි. ඇය වැලට රෙදි දාද්දි සිංදු කිව්වා. පිඟන් කෝප්ප හෝදද්දි සිංදු කිව්වා. අවුරුදු 39ක් හෝ එච්චර කාලයක් යනකන් මම නොලිව්වත් ඒ හඬ මගේ කතාවේ කොටසක් වුණා. ඒත් මං ලිව්වාට පස්සෙ භාෂාවට හඬක් තිබීම හරිම වැදගත් වුණා. කතාවේ හඬ මත හුඟක් දේ රඳා පැවතුණා - අරුත නිතරම කතාවේ හඬ මත රඳා පැවතුණා. එදා අපි කියපුවා ඔක්කොම මුව ගොළු වෙන, බය හිතෙන කතා. පුංචි කාලෙ කියවූ කතා ඔබට මතකද? ‘හැන්සල් ඇන්ඩ් ග්‍රේටල්’? හරිම නපුරුයි! මිනිස්සු මැරෙන කතා, පුංචි ළමයි ගෙයින් එළියට ඇදගෙන යන කතා. ඊළඟට මායාකාරියක් ඔබව ගිනි උදුනට ඇදලා දානවා. ඕ දෙයියනේ!

 

මාතෘකා