ගමන

 ඡායාරූපය:

ගමන

ගමන් යෑම කුඩා ළමයින් ඉතා කැමති දේකි. තමන් නොදන්නා පළාතක, නොදන්නා රටක අමුතු පෙදෙස්, අමුතු මිනිසුන් බැහැදැකීමට වැඩිහිටියන්ද ඉතා ප්‍රියය. ප්‍රබන්ධකරණයේදී සිදු වන්නේද මේ දෙයය. එනම් කෙනෙකු නොදන්නා තැනකට ගමනක් යෑමය. මේ ගමන පාඨකයා පමණක් නොවේ යන්නේ, කතාව ලියන කතාකරුවාද යයි. කතාකරුවා එය යන්නේ කෙසේද? ඒ, චරිතයක් හරහාය. කතාකරුවකුෙගන් කතාවක් අැරෙඹන්නේ කිසියම් දේකින් ඇවිස්සීය. ඇවිස්සීම නොහොත් නිර්මාණ උත්තේජනය (Inspiration) නොමැතිව කතාකරුවකුට කතාවකට ප්‍රවිෂ්ට විය නොහැකිය. එහිදී මේ ඇවිස්සීම සිදු වන්නේ බොහෝ විට චරිතයක් මගින්ය. සිද්ධියකින්, අත්දැකීමකින් වුව නිර්මාණ උත්තේජනය සිදු විය හැකිය. එහෙත් එහිද අවසානයේ සිටින්නේ චරිතය. එනිසා කතාවකට පදනම දමන්නේ චරිත බව කිව යුතුය ‐ චරිත නැති කතා මට හමු වී නැති අතර චරිත වැදගත් වන්නේ ප්‍රබන්ධයකට මානුෂික හැඟීම් කැවීම සඳහාය.

ආරම්භයේ කතාකරුවකු අබියස සිටින්නේ චරිතයක ඡායාවකි. චරිතය මේ යැයි හඳුනාගත හැකි ලෙස පැහැදිලිව ඔහුට පෙනෙන්නේ නැත. කෙසේ වුව ඡායාව සමඟ ගමන යන කතාකරුවාට ක්‍රම ක්‍රමයෙන් චරිතය හඳුනා ගැනීමට ලැබේ. එහිදී ඔහු හැඳිනීමට පත් වන තරමට ඒ යන ගමන වඩාත් ආකර්ෂණීය වේ. සුන්දර වේ. එහෙත් චරිතය කෙතරම් තමා හා මුහු වුවද ‐ කතාව ලියන්නේ කතුවරයා වුවද ‐ චරිතය අකමැති දේ කිරීමට කතාකරුවාට බලයක් නැත. ඔහු එහිදී චරිතයේ ගමන් සගයෙක් පමණක් නිසාය. ඇත්ත වශයෙන් ගමන යන්නේ චරිතයය. ඔහුද ගමනාන්තය නොදන්නා අතර ඔහු ගමන යන අතර යම් යම් දේ කරනවා පමණි. කතාකරුවා ‐ කෙළවර පාඨකයා ‐ කරන්නේ චරිතය පසුපසින් ගොස් ඔහු කරන කියන දෑ නැරඹීමය. එහිදී චරිතය යම් තැනකින් ගමන කෙළවර කරයි නම් කතාකරුවාගේ ගමනාන්තයද, පාඨකයාගේ ගමනාන්තයද, කතාවේ අවසානයද එය වේ. ඒ ගමනාන්තය හරි නැතැයි කතාකරුවාට එය වෙනස් කිරීමට හැකියාවක් නැත. එසේ කළොත් කතාව එතැනින්ම බිඳ වැටෙන බැවිනි.

කතාවක ඇත්තේ කල්පනා ලෝකයකි. චරිත ජීවත් වන්නේ ඒ කල්පනා ලෝකය තුළය. කතාකරුවකු කතාවක් ලියන තාක් සිදු වන්නේ ඒ කල්පනා ලෝකය පුළුල් වීමය. ඔහු එය නතර කළ විට සිදු වන්නේ එහි දේශසීමා එතැනින් සලකුණු වීමය. දේශසීමා සලකුණු වුවද එම කල්පනා ලෝකය කල් ඉකුත් වන්නේ නැත. එය අප අතර තවත් රටක් සේ සජීවීව පවතී. එහි චරිත ‐ එහි ගැහැනු, මිනිස්සු ‐ ජීවත් වෙයි. මාර්ටින් වික්‍රමසිංහ ‘ගම්පෙරළිය’ ප්‍රකාශයට පත් කරනුයේ 1944 වසරේය. එහි කතාව දිගහැරෙන්නේ 1905 වසරේ පමණ සිටය. දැන් වන විට හරි නම් එහි චරිත ජීවත් වීමට ඉඩ නැත. එහෙත් දැන් කියවුවද එහි චරිත සජීවීව අප අබිමුව පෙනී සිටී. ප්‍රබන්ධයක විශේෂත්වය මෙයය. ප්‍රබන්ධ නොවන කෘතියක් බොහෝ විට කාලය සමඟ මියගියද ප්‍රබන්ධය මියයන්නේ නැත. එහි චරිත කාලය සමඟ නොනැසී ජීවත් වන සේම කාලය සමඟ ඊට නව අර්ථකථනයන්ද එකතු වේ. එහෙත් මේ සියල්ල සිදු වන්නේ චරිත අව්‍යාජව ගොඩනැඟුණහොත්ය. අව්‍යාජව ගොඩනැඟීම යනු කතාකරුවා චරිතවලට දෙවැනි වීමය. නෑ. මමයි කතාව ලියන්නේ, මං යටතේයි චරිත ඉන්නේ කියා කතුවරයා චරිත තමන්ට කැමති පරිදි මෙහෙයවයි නම් ඒ චරිත අව්‍යාජ වන්නේ හෝ චරිත තවදුරටත් ජීවත් වන්නේ හෝ නැති අතර කාලය සමඟ ඊට අලුත් අරුත් සැපයෙන්ෙන්ද නැත. පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස හා රොසලින්’ මේ ඉරණමට නතු වූ නවකතාවකි - එය බිහි වනුයේ 1905 වසරේය. එය නැවතී ඇත්තේද 1905 තුළය. අනතුරුව ආ ජනතාවාදී සාහිත්‍යයේ ගැටලුවද මෙයය. එහි චරිත හැසිරෙන්නේ කතාකරුවාට වුවමනා ලෙස මිස චරිතවලට වුවමනා ලෙස නොවේ.

චරිතයක ගමන්මඟ කිසිදු කතාකරුවකුට කලින් නිගමනය කළ නොහැකිය. පෘතුගාල ලේ‍ඛක හොසේ සරමාගෝ තමාගේ කවර කතාවක වුව ආරම්භයත්, අවසානයත් කලින් තීරණය කරයි. එහෙත් ඒ ආරම්භක ස්ථානයේ සිට අවසානය තෙක් චරිතය යන මාර්ගය තමා දන්නේ නැතැයි ඔහු කියයි. කතාවක නිපයෙන්නේ රසය. සිදු වන දේ කලින් දන්නේ නම් ඉන් රස නිපයීමට ඉඩක් නැත. සැලළිහිණි සන්දේශයේදී සැලළිහිණියා ගමන් කරනුයේ ජයවර්ධනපුර රජවාසලේ සිට කැලණි විහාරයේ විභීෂණ දේවාලය තෙක්ය. එනම් ආරම්භයත්, අවසානයත් කලින් තීරණය වී ඇත. එහෙත් සැලළිහිණියා යන මාර්ගය පූර්ව නිශ්චිත නැත. ඌට අතරමඟදී මුණගැසෙන දේ පූර්ව නිශ්චිත නැත. සැලළිහිණිය ලියවෙනුයේ සයවන පැරකුම්බා රජු අප රට පාලනය කරන සමයේය. මෙකල රජුට පුත් කුමරකු සිටියේ නැති අතර එහි රජ කිරුළ පිළිබඳ ප්‍රශ්නයක් පැනනැඟීමට ගියේය. ඒ අනුව සැලළිහිණි සන්දේශය යැවෙනුයේ උලකුඩය දේවියට පුත් කුමරෙකු ලබාදෙන ලෙස ඉල්ලමිනි. ඒ, කැලණියේ විභීෂණ දේවාලයේ වැඩ සිටිතැයි සලකන විභීෂණ දෙවියන්ගෙනි. මෙහිදී කොන්තගංතොටින් නික්මෙන සැලළිහිණියාට කැලණි විහාර බිම තෙක් වූ නොයෙකුත් දෑ දක්නට ලැබේ. කවියාට සැලළිහිණියාට ඒ සියලු තැන් විස්තර කර දීමට සිදු වේ. එහිදී විටෙක කැලණි ගංතෙර හමු වන අතර විටෙක නා මෙණෙවියන් මුණගැසේ. එවිට නා මෙනෙවියන් වර්ණනා වේ. අනතුරුව සුන්දර සැන්දෑව එළඹෙන විට සන්ධ්‍යා වර්ණනාවක් සිදු වේ. පසුව කැලණි පුරවරය හමු වන විට පුර වැනුමක් එයි. ගමන පුරා නගර වැනුම්, උදා වැනුම්, උයන් කෙළි වැනුම්, දිය කෙළි වැනුම්, සැඳෑ වැනුම්, නළඟන රැඟුම් වැනුම්, කැලණි ගංතෙර වැනුම් ආදිය සිදු වේ. සැලළිහිණි සන්දේශය සුන්දර වන්නේ මෙසේ මොහොතින් මොහොත අපූරු වර්ණනා, විවරණ සිදු වන නිසාය. ඒවා පූර්ව නිශ්චිත වැනුම් නම් එය සුන්දර කාව්‍යයක් වන්නේ නැත. සරලවම කිවහොත් එහිදී පාඨකයා කරනුයේ සැලළිහිණියා හඹා යෑමය. පාඨකයාට මඟහසර කියා දෙන්නේ සැලළිහිණියාය.

චරිත පාඨකයා කැටුව යෑමේ වැදගත්කමක් තිබේ. ඒ, චරිතය පසුපසින් නොයෙක් ලෝකවල සැරිසරන අතර ඔහුට ඔහු ජීවත් වන යථාර්ථ ලෝකය ගැන සත්‍යයන්ද පැහැදිලි වීමය. යථාර්ථ ලෝකය පියවි ඇසින් දුටු විට ඔහුට ඒ සත්‍යයන් පෙනෙන්නේ නැත. ඒ සත්‍යයන් ඔහුට පෙනෙන්නේ චරිත හා මෙවැනි ගමනක නියුතු වන විටය. එළිය දැකීමට නම් පාතාල ලෝකයට කිඳා බැසීමට සූදානම් වන්නැයි හරුකි මුරකාමි කියයි. මේ කියන්නේ සැබෑවටම සිදු වන දේ දැකීමට ප්‍රබන්ධයේ චරිතය/ චරිත සමඟ අන්ධකාරය තුළ දිගු ගමනක් යා යුතු බවය. ප්‍රබන්ධකරණය වෙහෙසකර කටයුත්තක් වේ නම් ඒ වෙහෙසකර වන්නේ මේ තුළය. එහෙත් අඳුරේ නොගොස් එළියක් සොයාගත නොහැකිය.

ගමනක් නැති කතා නැද්ද? මනෝවිශ්ලේෂණ ප්‍රබන්ධවල කතාවක් නැතැයි කෙනෙකුට කිව හැකිය. නිදසුනකට දොස්තොයෙව්ස්කිගේ Notes From the Underground (‘බිම් ගෙයි සිරකරුවා’) කෙටිකතාවේ ගමනක් නැතැයි දැක්විය හැකිය. එහෙත් සැබැවින්ම බැලුවහොත් එහි ගමනක් තිබේ. ගමන යනු චරිතය අත්දකින කතාන්දරයක් නොවේ. සිදුවීම් මාලාවක් නොවේ. චරිතය කොතැනකවත් නොගොස් අත්දැකීම් ලැබිය හැකිය. ගමන යනු කතාකරුවා හා පාඨකයා කතානායකයාගේ අභ්‍යන්තර කල්පනා ලෝකය හා ආබද්ධ වීමය. චරිතයේ සිතුම් පැතුම් හා අනුගත වීමය. ගමන එම කල්පනා ලෝක සවාරියයි.

එක් අතකින් ගමන නොවේ වැදගත් වන්නේ, චරිතය. චරිතයක් සාර්ථකව ගොඩනැඟෙන තරමට ඔහු සමඟ පාඨකයා බැඳෙන අතර එමගින් ගමනක්ද ප්‍රාදූර්භූත වේ. එහි පියවර තුනකි. මුලින් කතාකරුවා (ඔහුගේ අවිඥානය) චරිතයට ආරෝපණය වේ. දෙවනුව චරිතය පාඨකයාට ආරෝපණය වේ. තෙවැනියට ගමනක් ආරම්භ වන්නේ මේ පියවර දෙකේ සාර්ථකත්වයෙනි. ඇතැම් කතා කියවන විට අපට එය කියවාගෙන යෑම දුෂ්කර වන්නේ පළමුව එහි චරිත ව්‍යාජ වීම නිසාය. එනම් කතාකරුවාගේ අවිඥානය වෙනුවට ඔහුගේ විඥානය - සිහිය - චරිතයට ආරෝපණය වීම නිසාය. දෙවනුව ප්‍රබන්ධගෝචර නොවන දේකින් කතාවට ප්‍රවිෂ්ට වීම නිසාය. ඇතැම් කතා කියවීම දුෂ්කර එහි ‘ගමනක්’ මිස චරිත නැති නිසාය. එවැනි කතාකරුවන් ගමන යන්න අවබෝධ කරගෙන ඇත්තේ වාස්තවික සිදුවීම්ය. එනිසා චරිත පසෙක දමා ඔවුහු ඇති තරම් සිද්ධි කතාවට ඇතුල් කිරීමට යති. ප්‍රතිඵලය පෙර කී මුල් පියවර බිඳ වැටීමය. එනම් චරිත නිසි ලෙස ගොඩ නොනැඟීමය. එය පාදම නැති ගොඩනැඟිල්ලක් වැනිය. එනිසා එවැනි කතා ලත් තැනම ලොප් වේ.

ගමන යන්න පෙර කී සේ චරිතය ඔස්සේ ගොඩනැඟෙන්නකි. එය චරිතයෙන් වෙන් කළ නොහැකිය. පාඨකයා ගමන කියා සැබැවින්ම බැඳෙන්නේ කතාන්දරයට නොවේ, චරිතවලටය. චරිත ජීවත් වුවහොත් කතාවද කල් පවතී. එනිසා ප්‍රබන්ධකරුවන් උත්සුක විය යුත්තේ ලස්සන කතා ගොතන්නට නොව කාවදින චරිත බිහි කරන්නටය. එය කළ හැක්කේ නම් සැබෑ ප්‍රබන්ධ කතාකරුවන්ටමය.

මාතෘකා