කවුඵව

 ඡායාරූපය:

කවුඵව

න්ගුගි වා තියොන්ගෝ ජර්මානු සාම ත්‍යාගයකින් පිදුම් ලබයි

ප්‍රකට කෙන්යානු ලේඛක න්ගුගි වා තියොන්ගෝ පසුගියදා එරික් මාරියා රිමාර්කේ නමැති මුල් පෙළේ ජර්මානු සාම ත්‍යාගයකින් පිදුම් ලැබුවා. දැනට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන ඔහුට මේ ත්‍යාගය පිරිනමනු ලැබ ඇත්තේ ඔහු රචනා කළ ‘ඩීකොලනයිසින් ද මයින්ඞ්: ද පොලිටික්ස් ඔෆ් ලැන්ග්වේජ් ඉන් ඇෆ්‍රිකන් ලිටරෙචර්’ (Decolonizing the Mind: The Politics of Language in African Literature) නමැති විචාර ලිපි එකතුව උදෙසායි. හේන්මන් ප්‍රකාශන සමාගම විසින් අප්‍රිකානු ලේඛකයින්ගේ කෘති පෙළකින් එකක් ලෙස 1986 වසරේදී පළ කරනු ලැබ ඇති මේ කෘතිය න්ගුගිගේ විශිෂ්ටතම රචනා එකතුවක් ලෙස පිළිගැනීමට පාත්‍ රවී තිබෙනවා. භාෂාමය යටත්විජිතහරණය සම්බන්ධයෙන් ඉතා වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කෙරෙන මේ ලිපි පෙළ මුල්වරට පළ වුණේ න්ගුගි ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රබන්ධ රචනා කිරීම නවතා දමා ගිකියු නමැති සිය මව්බසින් ලිවීම අරඹා වසර දෙකක් ගතවූ පසුවයි. මේ සම්මානය 2019 වසරේ නොවැම්බර් 29 වැනිදා ජර්මනියේ ඔස්නාබ්‍රක් නගරයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී න්ගුගි වෙත පිරිනැමීමට අපේක්ෂිතයි.


ජපන් ලේඛිකා සෙයිකෝ ටනබි ජීවිතයෙන් සමුගනියි

ජපන් බසින් ප්‍රකාශයට පත් වූ කෘති ගණනාවක් රචනා කරමින් ඉහළ පාඨක අවධානයක් දිනාගත් සම්මානලාභී ලේඛිකාවක වූ සෙයිකො ටනබි පසුගියදා කොබේ නුවරදී මියගියා. මියයන විට 91 හැවිරිදි වියේ පසු වූ ඇය ජපානයේ ඉහළම සම්මාන ගණනාවකින් පිදුම් ලද ලේඛිකාවක්. අන්තර්පුද්ගල සබඳතාවල සැඟවුණු පැතිකඩ සරල හා උත්ප්‍රාසාත්මක ශෛලියකින් ඉදිරිපත් කෙරෙන ප්‍රබන්ධ රචනා කළ ලේඛිකාවක ලෙස ඇය සැලකෙනවා. ජපන් සාහිත්‍යය උදෙසා පිරිනැමෙන ප්‍රකට සම්මානයක් වන අකුතගාවා ත්‍යාගයත් 1964 වසරේදී හිමිකර ගත් ඇයට 2008 වසරේදී සංස්කෘතික විශිෂ්ටතා ඇගයීම් ප්‍රණාමයකුත් පිරිනැමුණා. සුයිෆු කිෂිමොටෝ නමැති කවියාගේ චරිතය පාදක කරගනිමින් ඇය රචනා කළ චරිතාපදාන කෘතිය සඳහා යොමියුරි ත්‍යාගය ඇතුළු සාහිත්‍ය සම්මාන ගණනාවක් හිමි වුණා. සිය ජීවිත කාලය තුළදී ඇය ජපන් සම්භාව්‍ය කෘති රැසක් සඳහා උපකාරක කෘතීන්ද රචනා කළා.


අරුන්දතී රෝයිගේ ලිපි එකතුවක් කෘතියක් ලෙස එයි

බුකර් ත්‍යාගලාභී ඉන්දියානු ලේඛිකා අරුන්දතී රෝයි රචනා කළ ලිපි ඇතුළත් අලුත්ම කෘතියක් පසුගියදා ප්‍රකාශයට පත්වුණා. ‘ඉන් මයි සෙඩිෂස් හාර්ට්’ (In My Seditious Heart) නමින් නිකුත් වී ඇති මේ කෘතියට ඉන්දියාවේ හා ලොව පුරා විවිධ රටවල පැවති ගෝලීයකරණය, පුද්ගලීකරණය හා නියෝලිබරල් ධනවාදය වැනි තත්ත්වයන් අළලා ඇය පසුගිය වසර 25ක කාලය ඇතුළත රචනා කළ ලිපි රැසක් ඇතුළත්ව තිබෙනවා. එහි ආරම්භක ලිපිය ඇය රචනා කර ඇත්තේ ‘ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්’ නමින් පළ වූ සිය ප්‍රථම නවකතාවට මෑන් බුකර් ත්‍යාගය හිමි වී වසර දෙකක් ගතවීමෙන් පසුව 1999 වසරේදීයි. එවකට පැවති සමාජ දේශපාලන තත්ත්වයන් දෝෂදර්ශනයට ලක්කරමින් ඇය රචනා කළ ඒ ලිපිය බොහෝ අයගේ අවධානයට ලක් වුණා. එයින් පසුව විවිධ විෂය කරුණු ඔස්සේ ඇය රචනා කළ මෙවැනි ලිපි මඟින් අනාවරණය වූ ඇතැම් කරුණු ආන්දෝලනාත්මක තත්ත්වයන් පවා ඇතිකිරීමට සමත් වුණා.

මාතෘකා