ලිවීම මගේ එකම ගැලවීමයි : මංජුල සේනාරත්න

 ඡායාරූපය:

ලිවීම මගේ එකම ගැලවීමයි : මංජුල සේනාරත්න

කලක් පුවත්පත් කලාවේදියකු ලෙස මෙරට පුවත්පත් කිහිපයක සේවය කර පසුව මව්බිමෙන් බැහැරව ප්‍රංශයේ පැරිස් නගරයේ වාසය කරන අතර ‘කවුළුව’ නමින් මාසික සඟරාවක් සංස්කරණය කළ මංජුල සේනාරත්න අද වඩාත් ප්‍රකටව සිටින්නේ විප්‍රවාසී ප්‍රබන්ධ කතා රචකයකු ලෙසය. ප්‍රංශයේ පැරිස් නගරයේ වාසය කරමින් අඛණ්ඩව සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙන ඔහු රචනා කළ ‘ප්‍රියා සමඟ ඉරිදාවක්’, ‘ආයුබෝවන් නිහැඬියාව’, ‘රෝස මාලිගාවේ මනුසත්තු’, ‘සේන් ගඟේ රැලිත් එක්ක’ සහ ‘ජීවිතයෙන් මාස හයක්’ ඇතුළු නවකතා සහ කෙටිකතා කෘති මෙරට පාඨකයා අතර ඉතා ජනප්‍රිය විය. ඔහුගේ අලුත්ම නවකතාව වන ‘12. 12. 12’ එළඹෙන ජුනි 15 වැනි සෙනසුරාදා සවස 2.30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වෙයි. මියුසස් ප්‍රකාශනයක් ලෙස නිකුත් වන මෙම නවකතාව පාදක කරගෙන පසුගියදා ඔහු සමඟ අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

 ඔබේ අලුත් නවකතාවට 12. 12. 12 වැනි නමක් යෙදීමට තීරණය කළේ ඇයි?

මට අවශ්‍ය වුණේ පොත වඩාත් වැඩි අවධානයට යොමු කර ගත හැකි නමකින් පොත ඉදිරිපත් කරන්න. පොතක් කියන්නේ මූලික වශයෙන්ම වෙළෙඳ භාණ්ඩයක්. අලෙවිය සඳහා එයට ආකර්ෂණීය නමක් තිබිය යුතුයි. ඒ නම ඔස්සේ මූලික වශයෙන්ම පාඨකයාගේ සිත් දිනාගත යුතුයි. ඒ නිසා පොතේ නම ඉතා වැදගත් කියලා මම හිතනවා. යුරෝපයේ සාහිත්‍ය කර්මාන්තයේ නම් පොත්වලට

නම් දාන්න වෙනත් පිරිසක් සිටිනවා. කතුවරයා යෙදූ නම සුදුසු නැතිනම් ඔවුන් කතුවරයා සමඟ සාකච්ඡා කර පොතේ නම වෙනස් කරනවා. මම මේ පොතට 12. 12. 12 කියන නම යොදාගත්තේ මේ කතාවට වඩාත්ම සුදුසු නම එයයි කියා මට සිතුණු නිසයි. මේ කතාවට අදාළ සිද්ධි මාලාව සිදු වන්නේ 2012 වසරේ දෙසැම්බර් මාසයේ 12 වැනිදාට සමගාමීවයි. ඒ නිසා එය පාදක කරගනිමින් පොතට නම තැබීම වඩා සුදුසු බවයි මගේ අදහස වුණේ. මෙය සිංහල නවකතාවක් වෙනුවෙන් ඉලක්කම්වලින් නමක් දැමූ දුර්ලභ අවස්ථාවක් විය හැකියි.

මේ නවකතාව සඳහා තොරතුරු සොයාගැනීමට ඔබ අධ්‍යයනයක් කළාද?

ඔව්. මේ කෘතිය මා ලියූ අනෙක් කෘතීන් අතරින් වෙනස් වන්නේ එය හුදෙක්ම රහස් පරීක්ෂක ශානරයට අයත් වන නිසයි. මෙවැනි පොතක් ලිවීමේදී පාඨකයාගේ විශ්වාසය දිනාගන්නට නම් සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. ඇමෙරිකානු ලේඛක ටොම් ක්ලැන්සිගේ පොත් හැම එකක්ම පාහේ රහස් ඔත්තු සේවාවන්, යුද උපක්‍රම ආදියෙන් පිරී තියෙනවා. ඒ වගේම, ජෝන් ග්‍රිෂම්ගේ පොත් නීතිය සම්බන්ධ තොරතුරුවලින් ගහනයි. අපරාධයක් පිටුපස ප්‍රංශ පොලිසිය ගමන් කරන ආකාරය මම දැන සිටියේ නැහැ. පැරිස් මහා පොලිසියේ අපරාධ මර්දන අංශය පිහිටා ඇති ගොඩනැගිල්ල පවා සුවිශේෂ ස්ථානයක්. සාමාන්‍ය අයෙකුට එහි ඇතුළු වන්න බැහැ. නමුත් මට හැකියාව ලැබුණා එහි සේවය කරන තරුණ පොලිස් පරීක්ෂකවරයෙක් හඳුනාගන්න. ඔහුගේ ආධාරයෙන් මාස හයක පමණ කාලයක් පුරා මේ ස්ථානයේ කටයුතු සිදු වන ආකාරය මට දැකගන්න හැකි වුණා. පොලිස් බන්ධනාගාරය, රස පරීක්ෂණ අංශය, රොබෝ පින්තූර ඇඳීමේ ක්‍රියාවලිය පමණක් නොව, පොලිස් මෘත ශරීරාගාරය පවා දැකගන්න මට හැකියාව ලැබුණා. මෙය මගේ ලේඛනකරණයට පමණක් නොව, ජීවිතයට පවා වැදගත් වුණු අත්දැකීමක්. ඒ වගේම අපරාධ සම්බන්ධයෙන් ලියැවුණු පොත් බොහොමයක් කියවන්න මම උත්සාහ කළා. මගේ හුදු වුවමනාව වුණේ මේ නවකතාව හැකි තරම් පාඨකයා වෙත සමීප කිරීමයි.

රහස් පරීක්ෂක කතා ශානරයේ ඔබ දකින සුවිශේෂත්වය කුමක්ද?

ශතවර්ෂ ගණනාවක සිටම සාහිත්‍ය ලෝකයේ ජනප්‍රියම ශානරය මෙය කියා කිව හැකියි. එහි ඉතිහාසය ඉතා දිගුයි. ‘වන් තවුසන්ඩ් ඇන්ඩ් වන් නයිට්’ (One Thousand and One Night) කෘතියේත් රහස් පරීක්ෂක ගණයේ කතා දකින්නට ලැබෙනවා. දහහත් වන ශතවර්ෂයේ ‘ගොන්ගැන්’ (The Three Apples) නමින් චීනයේ මෙවැනි ආකාරයේ කතා බිහි වුණා. ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes), හර්කියුල් පොයිරෝ (Hercule Poirot) සහ රෙජිනෝල්ඩ් වෙක්ස්ෆොර්ඩ් (Reginald Wexford) වගේ ජනප්‍රිය චරිත අප වෙත එන්නේ මේ ශානරයේ නවකතා හරහායි. මම හිතන්නේ මෙවැනි කතාවලින් කිසි දිනෙක පාඨක සිතුවිලි ගමන් නොකරන ලෝකයක් කරා පාඨකයා රැගෙන යනවා. ඒ වගේම අපරාධයක් පිටුපස පොලිස් පරීක්ෂකවරුන් යද්දී ඒ සොයායෑමට පාඨකයාත් එක්වෙනවා. පාඨකයා කැමතියි පුදුමයට පත් වෙන්න, බියට පත් වෙන්න, බලාපොරොත්තු බිඳ ගන්න. ඒ වගේම අවසානයේ වැරදිකරුවා නීතියට හසු වන බව කීමෙන් පාඨකයා සිතනවා තමන් මේ සමාජයේ සුරක්ෂිතයි කියලා. මේ ශානරයේ පොතකින් හැම වර්ගයේම හැඟීම් ලබාගන්න පුළුවන්. මේ වර්ගයේ පොත්වලින් ත්‍රාසය, භීතිය පමණක් නොව, ප්‍රේමය පවා අප හමුවට එනවා. අනෙක් අතට මහා සංකීර්ණ සාහිත්‍යයක් මෙහි නැහැ. තවත් අතකින් බලන විට පාඨකයා කැමතියි ගැටලුවකට මැදි වෙන්න, ප්‍රහේළිකාවක හිර වෙන්න. මෑත කාලයේ එළි දුටු ‘ද සෙවන් ඩෙත්ස් ඔෆ් එව්ලීන් හාර්ඩ්කාස්ට්ල්’ (The Seven Deaths of Evelyn Hardcastle) වැනි කෘතියකින් කරන්නේ හුදෙක්ම පාඨකයා මුළා කිරීමයි. මේ සාහිත්‍ය මුළාවට අපි වැඩි දෙනෙක් කැමතියි.

මෙවැනි කෘතියකදී පාඨක අවධානය රඳවාගැනීමට ඔබ යොදාගන්නා උපක්‍රමය කුමක්ද?

ලේඛකයෙකුගෙන් මොනවා නැතත් එක වැදගත් දෙයක් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. ඒ තමයි පාඨකයාගේ අවධානය පොත වෙත රඳවා ගැනීම. කෘතිය ඇතුළේ ඕනෑම හරඹයක් කරන්න ලේඛකයාට හැකියාව තියෙනවා. එහෙත් ඒ කිසිම හරඹයක් නිසා පාඨක අවධානය නොබිඳිය යුතුයි. පොතක් එක්ක සටන් වදින්න අපි බහුතරයකට වුවමනා නැහැ. ජීවිතය දැනටමත් සංකීර්ණ තැනක්. එසේ තිබියදී තමන්ගේ එදිනෙදා කියවීම නිසා තවත් හිසරදයක් ඇති කරගන්න අපට වුවමනා නැහැ. පාඨකයෙකු විදියට පොතක් අතට ගත්තාම මම, නොදන්නා ලේඛකයාගෙන් ඉල්ලා සිටින්නේ මගේ අවධානය නොබිඳන ලෙසයි. කොහොම වුණත් මගේ මේ 12. 12. 12 කෘතියේදී පාඨක අවධානය දිනාගන්න උපක්‍රම හොයන්න මම විශාල උත්සාහයක් ගත්තේ නැහැ. මේ කතාවේ සිද්ධි වරෙක ලංකාවේත්, වරෙක ඉතාලියේත්, වැඩි වශයෙන් ප්‍රංශයේත්, අනතුරුව දකුණු ස්පාඤ්ඤයේ මලාගා නගරයේත් සිදු වෙනවා. දින කිහිපයක් පුරා සිදු වන සිද්ධි නිසා එහි ගලායෑම වේගවත්. ඒ වගේම මෙය නිරන්තර ක්‍රියාකාරකම්වලින් පිරුණු කතාවක්. ඒ නිසා පොත මා වෙතින් ඉල්ලා සිටි රීතීන් පිළිපැද්දා මිස පාඨක අවධානය වෙනුවෙන් කියලා මම විශේෂ යමක් කළේ නැහැ. අවසානයේදී මම එය කියවද්දී මගේ අවධානය නොකැඩුණු නිසා මගේ කාර්යය සාර්ථකයි කියලා මම තේරුම් ගත්තා.

ඔබ මෙයට පෙර රචනා කළ කෘතිවලට ලැබුණු ප්‍රතිචාර කෙබඳුද?

ඒ කෘතිවලට යම් යම් සීමාවන් තුළ යහපත් ප්‍රතිචාර ලැබුණා. මා විදේශගතව සිටින නිසා පාඨක ප්‍රතිචාර ගැන වැඩියෙන් දැනගන්න ලැබෙන්නේ නැහැ. වසරකට පෙර මුහුණුපොතට ගොඩවන තුරු මගේ පොත් කියවන පිරිසක් ඉන්නවා කියලා මම දැනගෙන සිටියේ නැහැ. කොහොම වුණත් මෙයට පෙර පළ වූ මගේ අන්තිම කෘතිය වන ‘ජීවිතයෙන් මාස හයක්’ හැරෙන්නට අනෙක් කිසිම පොතක් වෙළෙඳපොළේ නොමැති වීම හොඳ තත්ත්වයක් විදියට මම දකිනවා. මේ වන විට බොහෝ දෙනෙක් පැරණි පොත් නැවත මුද්‍රණය කරන මෙන් ඉල්ලා සිටිනවා. මේ ගතවන මොහොත පෙරට වැඩිය වඩා යහපත් කියලා මම හිතනවා.

ඔබේ ලිවීමේ ක්‍රියාවලිය සිදු වන ආකාරය කුමක්ද?

මා වෘත්තීය ලේඛකයෙක් නොවන නිසා පිළිපැදිය යුතු කාලසටහනක් මට නැහැ. පැරිස් නගරයේ ජීවිතය කලබලකාරීයි, අවිවේකීයි. මෙහිදී මම වැඩි උත්සාහයක් දරන්නේ ලියනවාට වඩා කියවීමටයි. කෙසේ හෝ වේවා, සතියේ දවස් පහක කාලය තුළ දවසකට ලියන කුමන දෙයකින් හෝ පිටුවක් ලියන්න මම උත්සාහ කරනවා. සතියකට හොඳ පිටු පහක් ලියා ගන්නට හැකි වුණොත් මට සතුටු විය හැකියි.

මේ නවකතාව තවදුරටත් සංස්කරණය විය යුතුව තිබුණාද?

මෙය මුලින් පිටු හයසියයක නවකතාවක්. පසුව එයින් පිටු එකසිය පනහක් පමණ මා විසින්ම ඉවත් කරනු ලැබුවා. මේ පොතේ හෝ මගේ අනෙක් පොත්වල සංස්කරණයට ලක් විය යුතු දේ තිබුණා යැයි ලේඛකයා වශයෙන් මට හැඟුණේ නැහැ. පාඨකයාට එවැන්නක් හැඟෙන්න පුළුවන්. පැරිස් නගරයේ ප්‍රකාශන ආයතනවල කටයුතු සිදු වන ආකාරය ගැන යම් තරමක දැනුමක් තියෙන නිසා සංස්කරණය සිදු වෙන්නේ කොහොමද කියලා මම දන්නවා. පැහැදිලිවම කිව යුත්තේ එය පිළිගත් වෘත්තියක් බවයි. ඒ සඳහා විශේෂ අධ්‍යාපනයක් ලැබිය යුතුයි. ඒවගේම සංස්කරණය සිදු වන්නේ ලේඛකයාගේ අනුදැනුම ඇතිවයි. ප්‍රකාශන ආයතනය සෑම විටකම ලේඛකයා සමඟ එක්වී කටයුතු කරනවා.

‘ප්‍රියා සමඟ ඉරිදාවක්’ සහ ‘ආයුබෝවන් නිහැඬියාව’ වැනි කෙටිකතා පොත් ප්‍රමාණවත් අවධානයට ලක්වුණා කියා ඔබ සිතනවාද?

ලක්ෂ, මිලියන ගණනින් පොත් අලෙවි නොකරන තාක් හැම ලේඛකයාම හිතන්නේ තමන්ගේ පොතට පාඨක අවධානය ප්‍රමාණවත් තරම් ලැබුණේ නැහැ කියලයි. මමත් එහෙමයි. එහෙත් එය සිදු වන්නේ ඒ ආකාරයෙන් තමයි. මගේ පොත් මීට වඩා වැඩියෙන් අලෙවි වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම ‘ආයුබෝවන් නිහැඬියාව’ පොතේ එන දිගු කෙටිකතා පහ වෙනස් ආකෘති පහකින් ලිව්වේ. එහි එන ‘භීම සමයේ උදෑසනක්’ කතාව මම ලියපු හොඳම කතාව යැයි මට නිතරම හිතෙනවා. නමුත් එය බලපු කෙනෙක් නැහැ. එය තමයි ලෝක ස්වභාවය. ඒ ගැන මගේ සිතේ විශාල කලකිරීමක් නැහැ. කලින් කිව්වා වගේ මේ යුගය පෙරට වඩා හුඟක් හොඳයි.

ඔබේ මුල්ම කෘතිය වූ ‘ප්‍රියා සමඟ ඉරිදාවක්’ 2004 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්ත කෘති අතරට පැමිණෙනවා?

ඒ ගැන මට සතුටක් දැනුණා. ඒ පොතට කිසියම් ඇගයීමක් ලැබෙයි කියලා මම හිතුවා. සාහිත්‍ය සම්මානයක් දිනාගන්න කැමති නැහැයි කියලා කියන්න තරම් අනුවණකමක් නම් මට නැහැ. රටක සාහිත්‍යයේ ගමනට සම්මාන අතිවැදගත් යැයි මට හිතෙනවා. සම්මානයක් දිනාගැනීම ලේඛකයෙකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකියි. ඒ වගේම එය පොතේ අලෙවිය සඳහාත් බෙහෙවින් බලපානවා. සම්මානයක් දිනාගන්න මම නම් සිහින මවනවා. ඒ අතරම, රහස් පරීක්ෂක ශානරයේ කතා ලියලා සම්මාන දිනාගන්න නොහැකි බවත් මම දන්නවා.

නවකතාව සහ කෙටිකතාව අතර වෙනස ඔබ හඳුනාගෙන සිටින්නේ කෙසේද?

සාහිත්‍ය සංකල්ප දෙකක් වශයෙන් ගත්තාම ඒවායේ වෙනසක් මම දකින්නේ නැහැ. එහෙත් චරිත ගොඩනැගීම, චරිත මෙහෙයවිය හැකි සීමාවන්, සිද්ධි, කාල පරාසය, ගැඹුර, කතාවේ ගොඩනැගීම, ආකෘතිය කියන මේ හැම දෙයකදීම කෙටිකතාව සහ නවකතාව වෙනස් අගයන් ගන්නවා. සිනමාපටයක සහ කොටස් දහයක ටෙලි වෘතාන්තයක් අතර වෙනස කුමක්දැයි පැහැදිලියි. කෙටිකතාවක් යනු ක්ෂණික සාහිත්‍ය අත්දැකීමක් කියා එඩ්ගා ඇලන් පෝ කියා තිබෙනවා. එතකොට එයින් අදහස් වන්නේ නවකතාව එසේ නොවෙයි කියන එකයි. කෙටිකතාව සහ නවකතාව සම්බන්ධයෙන් නිවැරදි අර්ථකථනයක් විදියට එය සලකන්න බැහැ. මේ සංකල්ප දෙකට නිසි අර්ථකථනයක් දෙන්න ඇලන් පෝ වගේ කෙනෙකුටත් බැරි වුණා නම් මට එය කෙසේවත් කළ නොහැකියි.

ලංකාවෙන් බැහැරව සිටීම ඔබේ නිර්මාණකරණයට බලපා ඇත්තේ කෙසේද?

විදේශයක ජීවත් වෙමින් මව්බසින් පොත් ලිවීම අපහසු වන්නේ ඒවා ප්‍රකාශයට පත්කර ගැනීමේදී සහ පාඨක අවධානය දිනාගැනීමේදීයි. පොතක් අරන් ප්‍රකාශකයා ළඟට ගියාම ඔවුන් ඒ සඳහා මුදල් ඉල්ලනවා. මොකද මම ප්‍රංශයේ ඉඳන් එන නිසා. පොත පළ වුණාට පස්සේ වෙන්නේ මොනවාදැයි දැනගන්න හැකියාවකුත් අපට නැහැ. පොත් ප්‍රකාශන ආයතනවල ඉන්න උදවිය දන්නේ නැහැ එවැනි පොතක් තමන් අතින් ප්‍රකාශයට පත් වුණාද කියලා. මේ නිසා ප්‍රංශයේ ඉඳන් ලංකාවේ පොත් ගහන එක ඔළුව අවුල් වෙන වැඩක්.

ඔබ ලියන්නේ ඇයි?

මම ලියන්නේ මට. එය මගේ එකම ගැලවීම. මගේ ජීවිතය විවිධ ඉහළ පහළ යෑම්වලින් ගලවා ගත්තේ ලිවීමෙන්. එයට අමතර වශයෙන් මා ලියූ දේ අනෙක් අය කියවනවා දකින්න මම කැමතියි. ඔවුන් ඒවා ගැන සිතන දේ දැනගන්නත් මම කැමතියි. සාහිත්‍යය යනු සමාවක් නැති මේ ජීවිතයෙන් මිනිසාව ගලවා ගන්නට බිහි වුණු බලවේගයක් යැයි මට හිතෙනවා.

මුහුණුපොත ඔස්සේ කෙරෙන සාහිත්‍ය මැදිහත්වීම ඔබ දකින්නේ කෙසේද?

මේ යුගය අපූරු යුගයක් බව යළිත් කිව යුතුයි. විශේෂයෙන් මුහුණුපොත හරහා සිදු වන සාහිත්‍ය කතාබහ අතිසුවිශේෂ සංසිද්ධියක් ලෙස මම දකිනවා. ගෙවුණු කාලයේදී සාහිත්‍යකරණයේ මා බඳවා තබාගත්තේ මුහුණුපොතයි. මගේ ලියවිලි කියවන පිරිසක් සිටිනා බව මම තේරුම් ගත්තේ මුහුණුපොත හරහායි. මේ අලුත් පොත බිහි වෙන්නේත් මුහුණුපොතෙන් මා හඳුනාගත් ගුණවත් අය නිසයි. විශිෂ්ට කවීන් මා හඳුනාගත්තේ මුහුණුපොතෙන්. මෙහි සිදු වන සාහිත්‍ය විචාරය පමණක් නොව, මඩගසා ගැනීම් පවා වැදගත් කියලා මම සිතනවා. අදහස් හුවමාරු කරගැනීමට අලුත් වේදිකාවක් ඇතිවීම කොතරම් අපූරුද?

ලේඛකයා සහ ප්‍රකාශකයා අතර තිබිය යුතු සම්බන්ධතාව ඔබ විස්තර කරන්නේ කුමන ආකාරයටද?

හේතු ගණනාවක් නිසා පොත් ලිවීම මට අප්‍රිය වී තිබුණු මොහොතක, ආයේ කිසි දිනෙක පොත් ලියන්නේ නැතැයි තීරණය කරගෙන සිටි මොහොතක මියුසස් ආයතනය මා ගලවා ගත්තා. මේ 12. 12. 12 ප්‍රකාශයට පත් කරන්න ඉදිරිපත් වීමෙන් ඔවුන් මට අලුත් ජීවිතයක් ලබාදුන්නා. ප්‍රකාශකයෙකු සහ ලේඛකයෙකු අතර මෙරතම් සමීප සබඳතාවක් ඇති විය හැකිදැයි මම දැනගෙන සිටියේ නැහැ. අත්පිටපත භාරදුන් මොහොතේ සිට දොරට වැඩීමේ උළෙල දක්වා වූ හැම පියවරකදීම ඔවුන් මා සමඟ අත්වැල් බැඳගෙන හිටියා. ඔවුන් තරුණ පිරිසක්. ඔවුන් සතුව නව අදහස් තිබෙනවා. ඒ වගේම පොතක අලෙවිය වෙනුවෙන් යා හැකි උපරිම දුර යන්නට ඔවුන් සූදානම්. මේ ක්ෂේත්‍රයට ඔවුන්ගේ පැමිණීම බොහෝ දේ වෙනස් කරනු ඇතැයි මම සිතනවා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා