විප්‍රවාසය

 ඡායාරූපය:

විප්‍රවාසය

විප්‍රවාසී කවීන් හා සාහිත්‍යධරයන් අප සාහිත්‍ය සමාජයට අමුත්තක් හෝ අමුත්තන් නොවේ. මහගම සේකර නිව්යෝක් සඳ ගැන ලිවීමෙන්, සරච්චන්ද්‍ර ඇදුරිඳුන්ගේ මළගිය ඇත්තන්ගෙන් ආරම්භ වූ මේ විප්‍රවාසී ප්‍රවාහය සාහිත්‍ය ශානරයක් තරමටම ආකර්ෂණීය වී තිබෙනවා.

මහදුරු සිරි ගුනසිංහ සිය සාහිත්‍ය දිවියේ වැඩි කලක් ගෙවුයේ මෙරටින් බැහැරව. මේ පුරෝගාමීන් නොමසුරුව විවිධ රටවල විවිධ සංස්කෘතීන්ගේ නේක වර්ණයන්ගෙන් අපේ කලාව වර්ණගැන්වූවා. මේ මාහැඟි සාහිත්‍යකරුවන්ගේ නිසග ප්‍රතිභාව සමඟ ඔවුන්ගේ විප්‍රවාසී අත්දැකීම් එකතු වීමෙන් අපූර්ව නිර්මාණ සමූහයක් අද අපට ඉතිරි වී තිබෙනවා.

අප නවකතාවේ කඩඉමක් සටහන් කරන ‘මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවරුදු දා’ අපූර්ව නිර්මාණ වන්නේ ඒවායේ කලාත්මක පරිසමාප්තියට අමතරව මේ එකතු වූ අපට ආගන්තුක නොරට ජන සමාජයද නිසයි.

සරච්චන්ද්‍ර සිය කලාත්මක භාවිතාවට විෂය කර ගත්තේ විශ්වීය දැක්මක්. මාර්ටින් වික්‍රමසිංහගේ දේශජ රීතියට ප්‍රතිවිරුද්ධව ඔහු විශ්වීය කලා භාවිතයක යෙදුණා. මනමේ එහි අග්‍ර ඵලය යැයි කියන්න පුළුවන්. ඔහු තොවිලයේ හා නාඩගම්වල සිට නෝ, කබුකි නාට්‍ය කලාව දක්වා විස්තීරණ අවකාශයක සැරිසැරුවා. වික්‍රමසිංහ ජාතික දේහයේ ඇතුළට කාවැදෙමින් ජාතක කතා, සද්ධර්ම රත්නාවලි කතා ඇසුරින් දේශීය කතා කලාවක් ගොඩනඟද්දී සරච්චන්ද්‍ර දේශීය දේ රැගෙන පෙරාපරදිග සැරිසැරුවා. ඔවුන් දෙදෙනාම අපේ කලාවේ පියවරුන් බවට සැක නැහැ. ඒත් ඔවුන් ගමන් කළේ එකිනෙකට වෙනස් මංපෙත්වල.

‘මළගිය ඇත්තෝ’හි නොරිකෝ සං අද පවා පාඨකයා අපූර්වත්වයෙන් ආලෝලනය කරනවා. ඇගේ හාව භාව ලීලා, ඇගේ කතාබහ, ඇගේ සංස්කෘතිය ඇසුරින් අප හමුවේ මැවෙන සියල්ල සිංහල කියවන්නා වෙනස් ලොවකට ගෙනයනවා.

මේ සාහිත්‍ය ප්‍රභේදය වර්තමානය දක්වාම ගලා එනවා කීවොත් නිවැරදියි. මොකද ශමෙල් ජයකොඩි, මංජුල වෙඩිවර්ධන ආදීනුත් නවකතාවෙන් පෙළහර පාන්නේ විප්‍රවාසීව. ඔවුන්ගේ මෑතකදී පළ වූ ‘ප්‍රංශ පෙම්වතා’ හා ‘පැරිස් වලාකුළු’ යන නවකතා ප්‍රංශ අත්දැකීම් පාඨකයා අබියස දිගහරිනවා. වෙඩිවර්ධනගේ ‘පැරිස් වලාකුළු’ සඳහා පාදක වෙන්නේ දිවි ගලවාගැනීමට ප්‍රංශයට පලාගිය මාධ්‍යවේදියෙකුගේ අත්දැකීම්. ලංකාව හා ප්‍රංශය ඔහු ඔහුගේ අපූර්ව රීතියෙන් යා කරනවා. කිලිනොච්චියේ සුප්‍රසිද්ධ වතුර කුළුණේ හා අයිෆල් කුළුනේ සාම්‍යය ගැන වගේම ල ශපෙල් ඈ වීදිවල හා චතුරස්‍ර අතරේ බලහත්කාරයෙන් දිවි ගෙවන්නට සිදු වූ මාධ්‍යවේදියා ගැන අනුවේදනීය කතාවක් ඔහු පැරිස් වලාකුළක අඳිනවා. ශමෙල්ගේ බොහෝ චරිත විප්‍රවාසී අත්දැකීමෙන් බිහි වූවන්. ඇගේ ආරම්භක නවකතා වූ ‘රෝසමාලි’, ‘පියාපත් ලත් දෝණි’ විගමනික අත්දැකීමෙන් පෝෂණය වී තිබෙනවා.

අපේ ප්‍රවීණ සාහිත්‍යධර ජයතිලක කම්මැල්ලවීර විප්‍රවාසීව නොසිටියත් ඔහුගේ බොහෝ කෙටිකතා විදෙස්, විශේෂයෙන් ඉන්දියානු අත්දැකීම් පාදක කර නිර්මාණය වී තිබෙනවා. අප කෙටිකතා ක්ෂේත්‍රයේ නොමැකෙන පියසටහනක් වන 'එක්තරා නගරයකදී' කෙටිකතාව මේ සඳහා කදිම නිදසුනක්. තම ඉන්දීය මිතුරෙකු හමු වීමේ අපෙක්ෂාවෙන් එරටට යන ලාංකේය කථකයාට එහිදී අනපේක්ෂිතව හමු වන්නේ ඔහු පෙර දැන සිටි මිතුරා වෙනුවට බීමත්කමින් හා අභාග්‍යයේ පතුලටම වැටුණු බලාපොරොත්තු සුන් වූ මිනිසෙක්. මිතුරා වෙනුවට ඔහුගේ නැඟණිය ඔහුට ආගන්තුක සත්කාර කරනවා. හඳ එළියේ වහලය මත ඔවුන් නිදා සිටින අතර තරුණිය 'ආජාරේ පර්දේසී' ගීය ඉතා මිහිරි ලෙස ගායනා කරනවා. මිතුරා දියුණු වෙමින් පවතින කාර්මික නගරයක් ලෙස මුලදී හඳුන්වා දුන් දූවිල්ලෙන් වැසීගිය නගරයේ කැත පලවා හරින එම ගායනය ගැන දයාබරිතව කථකයා තරුණියට සමු දෙනවා. ඉන්දීය පරිසරය, එහි මාර්ග තදබදය, වහල මත නිදාගැනීම වැනි සමාජ කාරණා හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට අප සාහිත්‍යකරුවා සමත් වෙනවා.

මහගම සේකර නිව්යෝක් හඳ ගැන ලියූ කව අමරණීයයි. මෙල්බර්න් සිට අපට කවි ලියන නිරාශ ගුණසේකර දක්වා කවීන් මේ අපූර්ව භාවිතාවට සිය සම්ප්‍රදානය එක් කරනවා.

මේ අතරේ කවීන්ද්‍ර ආරියවංශ රණවීර විප්‍රවාසයේ ඇති අමිහිර හා තනිකම යන කාරණාව ගැන ලියූ අපූරු කවියක් මතකයට නැඟෙනවා. නොරටක සිටින්නෙකුට තම ජන්ම භූමියේ ඇති උණුසුම හා තම නෑසියන්ගේ අඩුව ගැන මීට වඩා පැහැදිලි කරන කවියක් නැති තරම්. ‘හිම වැටෙන සැඳෑවක තනිවම එතෙර සිට...’ යන ශීර්ෂයෙන් යුතු එම කවියෙන් අභිරම්‍ය ලෙස වර්ණනා කරන්නේ කථකයාට මඟහැරුණ ගමේ තේ කඩයයි.

 

හිම වැටෙන සැඳෑවක තනිවම එතෙර සිට

ඉර අහසට පැන නැඟ රජෙකු වගේ

රැස් වතුරෙන් නහවන විට මුළු ලොව

ඒදණ්ඩෙන් එගොඩ වී පිල්ලෑවේ කඩයට

ඉදි ඉදී වැනෙන කෙසෙල් කැනකින්

ගෙඩියක් දෙකක් කඩාගෙන

කැන්ද කොළ වැස්ම ඉවත්කර

හැලපයක් ද සමග අනුභව කර

උණු තේ වතුර සුරුස්ගා උරවමින් සිටිනාතර කඩපිලේ

කයිවාරුකරුවන් සමඟ මහහඩින් සිනාසෙන

ගමේ මුදලාලිගෙ රවුම් මුහුණේ

කරකැවුණු උඩුරැවුල දකින්නට

ආසයි

[නකුල වැලිසරගේ]

මාතෘකා