හුදකලා මිනිස් කටහඬක්

 ඡායාරූපය:

හුදකලා මිනිස් කටහඬක්

අපි එතකොට විවාහ වූ ගමන්මයි. කඩයට ගියත් වීදියේ අප දෙදෙනා ඇවිද ගියේ අත්පටලාගෙනයි. මුළු කාලයම අපි ගත කළේ එකට. එකල ඔහුට “මං ඔයාට ආදරෙයි” කියල මං කියන්න පුරුදුව සිටියා. ඒත් මං ඔහුට කොච්චර ආදරය කළාද කියල හිතාගන්න මට බැරි වුණා. ඒ ගැන මට අදහසක් තිබුණෙ නෑ. ඔහු සේවය කළ ගිනි නිවන බළකා මධ්‍යස්ථානයේ වූ නේවාසිකාගාරයේයි අපි ජීවත් වුණේ. ඒ, එහි පළමු මහලේ. එහි තවත් තරුණ පවුල් තුනක් සිටියා. අපි හැමෝටම තිබුණේ එක කුස්සියයි. ගිනි නිවන යන්ත්‍ර තිබුණේ අපට පහළ බිම් මට්ටමේ. ඒ, රතුපාට ගිනි නිවන යන්ත්‍ර. ඒ, ඔහු වැඩ කරන වෙලාව. ඔහු ඉන්නෙ කොහෙද, ඔහු කරන්නෙ මොනවාද කියල මං නිතරම දැනගෙන සිටියා. මට රෑ මැදියමේ සද්දයක් ඇසුණා. කෑගැසිල්ලක්. මම ජනේලය ඇරලා බැලුවා. ඔහු මාව දැකලා කිව්වා “ජනෙල් ඔක්කොම වහලා ආපහු ඇඳට යන්න. බලාගාරය ගිනි ගන්නවා. මං හුඟ වෙලාවකට එන එකක් නෑ” කියල.

මම පිපිරීම දැක්කෙ නෑ. දැක්කෙ ගිනිදැල් විතරයි. හැම දෙයක්ම කිසියම් විධියකට දිලිසෙමින් තිබුණෙ. මුළු අහසම.... අහස උසට නැඟුණු ගිනිදැල්. මහා දැලි අළු කන්දක්. ගිනි රස්නයක්. මං ඔහු එනකන් දිගටම බලාගෙන සිටියා. දැලි අළු නැඟුණේ ගිනිගෙන දැවෙන තාරවලින්. බලාගාරයේ වහලය ඉන් වැසීගොස් තිබුණා. ඔහු මට කිව්වේ එය උණු තාර මත ඇවිදිනවා වගේ කියල. ඔවුන් ගින්දර නිවන්න උත්සාහ දැරුවත් ගිනි බුර බුරා ඇවිලුණා. ඇවිලෙන මිනිරන් ඔවුන් පයින් ගසා බිම හෙළුවා. ඔවුන් ඔවුන්ගේ කැන්වස් ඇඳුම් ඇඳගෙන නෙවෙයි සිටියේ. ගිනි නිවන්න ගියේ ඔවුන් ඇඳගෙන සිටි කමිසවලින්මයි. කවුරුවත් ඒ ගැන ඔවුන්ට අනතුරු හැඟෙව්වෙ නෑ. ඔවුන් කැඳවූයේ නිකන් සාමාන්‍ය ගින්නක් නිවන්න.

වෙලාව හතරයි. පහයි. හයයි. හයට අපි සැලසුම් කරලා තිබුණෙ ඔහුගේ මහගෙදර යන්න. අපි අර්ථාපල් පැළ කරන්න සිටියේ. අපි පදිංචි නගරය වූ ප්‍රිප්යාට්වල ඉඳලා ඔහුගේ දෙමව්පියන් විසූ ගම වූ ස්පෙරිස්යේ දක්වා දුර කිලෝ මීටර් 40 යි. ඔහු පැළ සිටුවීමටත්, බිම ගඩොල් ඇල්ලීමටත් ප්‍රිය කළා. ඔහු ගම හැරදා නගරයට යනවාට ඔහුගේ අම්මා කැමති නොවූ සැටි අම්මා නිතර කථා කළා. ඔවුන් ඔහුට අලුත් ගෙයක් පවා හැදුවා. එහෙත් ඔහු හමුදාවට කැඳවනු ලබලා මොස්කව්හි ගිනි නිවන හමුදාවේ සේවය කළා. ඔහු ගමට ආවා නම් ආවේ ඔහුට ගිනි නිවීමේ කාර්යයක් එහි තිබුණා නම් විතරයි. ඒ හැර ඔහුට කරන්න ඕන කළ දෙයක් තිබුණෙ නෑ. (ඇය නිහඬ වෙයි.)

සමහර වෙලාවට මට ඔහුගේ කටහඬ ඇසෙනවා වගේ. හරියට ඔහු ජීවත් වෙනවා වගේ.... ඔහුගේ ඡායාරූපවත් ඔහුගේ කටහඬ තරම් මට දැනෙන්නෙ නෑ. ඒත් ඔහු කවදාවත් මට අඬගසන්නෙ නෑ. සිහිනෙන්වත් අඬගසන්නෙ නෑ නෑ. හැම විටම අමතන්නේ මම ඔහුටයි.

උදෑසන හතයි. උදේ හතට ඔවුන් මට කිව්වා ඔහු රෝහල්ගත කරලා කියල. මම විග විගහට එහි දුව ගියා. ඒත් රෝහල වටා පොලිස් ආරක්ෂක වළල්ලක් දමලා. ඔවුන් කිසිවෙකුට ඇතුළට යන්න දෙන්නෙ නෑ. ගිලන් රථවලට විතරයි එහි යන්න පුළුවන්. ගිලන් රථ කිට්ටුවට යන්න එපා කියල පොලිසිය අපට අනතුරු හැඟෙව්වා. (විකිරණශීලීත්වය මනින) ගයිගර් ගණක යන්ත්‍ර පාලනය කළ නොහැකි ලෙස වැඩ කරනවා! එහි සිටියේ මං විතරක් නෙවෙයි. එදා රාත්‍රියේ බලාගාරයේ වැඩ කළ සියලු දෙනාගේ බිරින්දන් එහි පොදිකමින් සිටියා. මේ අතර මං මගේ මිතුරියක හමු වෙන්න දිව ගියා. ඇය මේ රෝහලේ වෛද්‍යවරියක්. ඇය ගිලන් රථයකින් එළියට එද්දීම මං ඇගේ සුදු කබායෙන් අල්ලා ගත්තා. “මට ඇතුළට යන්න දෙන්න!” “මට ඒක කරන්න බෑ. ඔහු ඉන්නෙ දරුණු තත්ත්වයක. ඔවුන් හැම දෙනාම එහෙමයි.” මං ඇයට යන්න දුන්නෙ නෑ. “මට ඕන ඔහු දකින්න විතරයි.” “කමක් නෑ එහෙනම්” ඇය කිව්වා. “ඒත් අපට ඉක්මන් කරන්න වෙනවා. මිනිත්තු පහළොවයි හෝ විස්සයි තියෙන්නෙ.” ඉතින් මම ඔහු දුටුවා. ඔහුගේ සර්වාංගයම ඉදිමිලා. පිම්බිලා. ඇස් මුළුමනින්ම ගිලිලා වගේ. “ඔහුට කිරි ඕන කරනවා. හුඟක් ඕන කරනවා” මගේ මිතුරිය කියා සිටියා. “ඔවුන්ට අඩු තරමේ කිරි ලීටර් තුනක්වත් දෙන්න ඕන.” “ඒත් ඔහු කිරි බොන්නෙ නෑ.” “දැන් ඔහු බෝවි.” අනතුරුව කාලයේ වෛද්‍යවරුන්, හෙදියන්, විශේෂයෙන් රෝහල් කනිෂ්ඨ සේවකයන් බොහෝ දෙනෙක් රෝගාතුර වුණා. පසුව මියගියා. ඒත් ඒ වන විට එවැන්නක් සිදු වෙලා කියල කිසිවෙක් දැනගෙන සිටියෙ නෑ.

උදෑසන දහයට බලාගාරයේ ක්‍රියාකරුවන් අතර කෙනෙකු වූ ශිෂනොක් මියගියා. ඔහුයි මුලින් මියගියේ. ඒ, පළවෙනි දවසේම. බලාගාරයේ බිඳවැටුණු සුන්බුන් අතර තවත් කෙනෙක් සිර වෙලා කියල අපට ආරංචි වුණා. ඒ, වැලරි ඛොඩෙම්චුක්. ඔහු එළියට ගන්න කිසිවෙකුට හැකි වුණේ නෑ. ඔහු කොංක්‍රීට් අතර වැළලුණා. ඒ, මියගිය අය අතර පළමුවැන්නන් කියල අපි ඒ වන විටත් දැනගෙන සිටියෙ නෑ.

මම ඔහු ඇමතුවා. “වාස්යා, මං මොනවාද කරන්නෙ?” “මෙතනින් එළියට යන්න! යන්නම යන්න! ඔයා දරුවෙක් ලැබෙන්න ඉන්නෙ.” මම සිටියේ ගර්භනී වෙලා. ඒත් මං ඔහු දාලා යන්නෙ කොහොමද? ඔහු මට ආයාචනා කළා. “යන්න මෙහෙන්! දරුවා බේරගන්න!” “ඉස්සෙල්ලා මං ඔයාට බොන්න කිරි ටිකක් ගේන්න ඕන. ඊට පස්සෙ අපි හම්බෙමු.”

මගේ මිතුරිය ටාන්යා කිබෙනොක් හනි හනික දුවගෙන ආවා. ඇගේ ස්වාමි පුරුෂයාත් සිටියේ ඒ වාට්ටුවේම. ඇය සිටියේ ඇගේ තාත්තා එක්ක. ඔහු කාරෙකෙන් ඇය ගෙනැවිත් තිබුණා. අපි තිදෙනාම ඒ කාරයේ නැඟී අලුත් කිරි සොයාගැනීමේ අටියෙන් ළඟම ඇති ගම්මානය බලා පිටත් වුණා. ගම පිහිටා තිබුණේ කිලෝ මීටර් 3 ක දුරකින්. අපි ලීටර් තුනේ කිරි බෝතල් සෑහෙන ගණනක් මිලදී ගත්තා. බෝතල් හයක් අපි මිලදී ගත්තා. එතකොට හැම දෙනාටම ප්‍රයෝජනවත් වේවි කියල හිතුවා. ඒත් කිරිවලින් ඔවුන් බරපතල ලෙස අසනීප වුණා. නිතරම වගේ ඔවුන් සිහි විකල් වුණා. ඔවුනට ඕන දේ ලබාදුන්නේ සේලයින් බෝතල්වලින්. කුමන හෝ හේතුවකට දොස්තර මහත්වරු කියන්න පටන්ගත්තා ඔවුන්ට විෂ වායු ආඝ්‍රාණය වෙලා කියල. ඒත් කවුරුවත් කීවේ නෑ විකිරණශීලී වායු ගැන කතාවක්. මේ අතර නරගය හමුදා ට්‍රක් රථවලින් පිරීගියා. හැම පාරක්ම ඔවුන් අවහිර කළා. දුටු දුටු තැන සිටියේ හමුදා භටයන්. දුර ගමන් සේවා දුම්රියත්, ප්‍රාදේශික දුම්රියත් යන සියල්ලේ ගමන් වාර නැවතුණා. අනතුරුව හමුදා භටයින් කිසියම් කුඩක් භාවිතයෙන් නගරයේ වීදි සෝදාහරින්න වුණා. මං භය වුණේ පහුවදා අලුත් කිරි ගේන්න ගම්මානයට යන්නෙ කොහොමද කියල. විකිරණශීලී වායු ගැන කවුරුවත් කිසිවක් කීවේ නෑ. හුස්ම ගැනීමට හැකි ගෑස් ආවරණ පැළඳ සිටියේ හමුදා භටයන් විතරයි. නගරයේ මිනිස්සු කඩවල්වලින් පාන් අරගනිමින් සිටියා. මුරුක්කු, බුංජි, රසකැවිලි ආදිය මිලදී ගනිමින් සිටියා. පේස්ට්‍රි ආදිය කඩවල්වල විවෘත බන්දේසිවල තිබුණා. ජීවිතය ගලමින් තිබුණේ පෙරදා වගේමයි. වෙනසකට වුණේ පාරවල් අර කුඩෙන් සෝදා හැරීම විතරයි.

ඒ, රාත්‍රී කාලයක්. වීදියේ එක් පසෙක බස් රථ පෝළිමක් තිබුණා. සිය ගණනක පෝළිමක්. (නගරයෙන් මිනිසුන් ඉවත් කරන්න දැනටම ඔවුන් සූදානමින් සිටියා.) වීදියේ අනෙක් පස තිබුණේ ගිනි නිවන යන්ත්‍ර සිය ගණනක්. ඔවුන් හැම තැනින්ම ඒවා රැගෙනැවිත් තිබුණා. මුළු වීදියම සුදු පෙණවලින් වැසී පැවතුණා. අපි හඬමින්, සාප කරමින් ඇවිදගෙන ගියේ ඒ පෙණකැටි උඩින්.

ගුවන්විදුලි යන්ත්‍රයෙන් ඔවුන් සිය නිවේදන නිකුත් කළා: “නගරය දින තුනත්, පහත් දක්වා කාලයකට ජනයාගෙන් හිස් කරනු ලැබේ. උණුසුම් ඇඳුම් හා ඇවිදින විට අඳින කලිසම්, ටීෂර්ට් ආදිය ගෙන එන්න. ඔබ කැලයේ ගැසූ කූඩාරම්වල නවතිනු ඇත.” ඒ අසා ජනයා උද්යෝගයට පවා පත් වුණා: ගම්බද ප්‍රදේශයට සවාරියක්! එහෙනම් මැයි දිනය අපි එහි සමරනවා! ඒක නම් අලුත්ම අත්දැකීමක් වේවි. ඔවුන් සවාරියට එළවළු, මස් සහිත අවුළුපත් සූදානම් කළා. වයින් බෝතල් මිලදී ගත්තා. තමන්ගේ ගිටාර්, පෝටබල් ස්ටීරියෝ ශබ්ද විකාශන යන්ත්‍ර අරගත්තා. මැයි දිනයට කවුද අකැමති! හඬමින් පසුවන එකම පිරිස ස්වාමි පුරුෂයන් අසනීප වූ ගැහැනු විතරයි.

(මේ, ස්වෙත්ලානා අලෙක්සියේවිච්ගේ ‘චර්නොබිල් ප්‍රේයර්’ කෘතියේ පළමු පරිච්ඡේදයේ කොටසක සිංහල පරිවර්තනයකි. චර්නොබිල් බලාගාරය පුපුරා යෑමෙන් හටගත් විකිරණ ගින්න නිවා දැමීමට එවක සෝවියට් රජය විසින් ගිනි නිවන හමුදා භටයින් කැඳවනු ලැබූ අතර මෙහි එන්නේ එම විකිරණ වැදී ජීවිතය ක්ෂය වෙමින් යන ගිනි නිවන භටයකු බැලීමට යන ඔහුගේ බිරිඳ කරන විස්තරකථනයයි.)

[එස් පල්ලියගුරුගේ]

මාතෘකා