මත ගැන මගේ මතය

 ඡායාරූපය:

මත ගැන මගේ මතය

'මත' ගැන නොයෙකුත් මත ඇත. යම් යම් මත ගැන නොයෙක් 'මත භේද' ද ඇත. මින් සමහරක් 'කය' හා සම්බන්ධ මත යි. සමහරක් සිත හා සම්බන්ධ මත යි. මේ මත නිසා කෙනෙකු 'මත් වන්ට' බැරි නැත. කය හා සම්බන්ධ මුල් ම මතය 'හා මත' යි.

හා මත

'හා මත' ඇති වන්නේ කුස ගින්නෙන් පෙළෙන විට ය. මෙහි 'හා' යනුවෙන් උච්චාරණය කෙරෙන්නේ 'සා' යන පදය යි. එයින් අදහස් කෙරෙන්නේ 'සා ගින්න' නිසා ඇති වන 'සා මත' යි. මේ 'සා' යන සිංහල පදය 'ක්ෂුධා' යන සංස්කෘතය ඇසුරින් උපන්නකි. වැඩි පුර කෑ විට 'හා මත' නැතිව ගොස් තවත් මතක් එයි. ඒ 'නිදි මත' යි.

නිදි මත

'නිදි මත' එන්නේ 'නින්ද' වුවමනා වූ විට ය. 'නිදි' යන සිංහල පදය එන්නේ 'නිද්‍රා' යන සංස්කෘත පදය ඇසුරිනි. ඇතැම් දේශකයන්ට සවන් දෙන විට ඉබේ ම වගේ 'නිද්‍රාශීලී' භාවයක් ඇති වේ. වැඩි වෙලාවක් යන්නට කලින් ශ්‍රාවකයෝ 'නිද්‍රෝපගත' වෙති. ඊට ම 'බුදි මත' කියාත් කියනු ලැබේ.

බුදි මත

'බුදි මත' යන්නේ 'බුදි' යන පදය සංස්කෘත භාෂාවේ තත්සමයකින් බිඳුණක් නොවේ. එය 'බුදියනවා' යන ක්‍රියා පදය හා බැඳෙන්නකි. සමහර විට එය අපේ රටේ ම උපන් පදයක් විය හැකි ය. එවැනි පදවලට කියන්නේ 'නිෂ්පන්න පද' කියා යි. ඒ පද අයත් වන්නේ විජය රජුන් මෙහි එන විට සිටි යක්ෂ, රාක්ෂස, නාග හා දේව යන ජන වර්ගවල භාෂාවකට ය.

කන්තෝරුවල ඇතැමුන් කෑමෙන් පසු 'ඇලට් පාරක්' දමන්නේ ඒ 'බුදි මත' නැති කර ගැනීම පිණිස ය. සමහරුන්ට රෑට බුදි මත එන්නේ තවත් මතක් සමග ය. ඒ 'වෙරි මත' ය.

වෙරි මත

රා අරක්කු වැනි 'මත් පැන්' බීම නිසා මිනිස්සු 'වෙරි' වෙති. ඔවුන් රෑට 'වෙරි මතින්' ගෙදර එන්නේ හතර ගාතෙනි. ගෙදර ඇත්තන් පොල්ලක් රැගෙන එන විට ඔවුන්ගේ 'වෙරි' නිකම් ම හිඳේ. 'වෙරි මත' කව් ලැකියෙහි හැඳින්වුණේ 'සුරා මත' යනුවෙනි.

සුරා මත

'සුරා මත' යනු 'සුරා පානය' නිසා සිතේ ඇති වන මත යි. ගුත්තිල කවියා ද සුරා මතින් පෙළෙන්නන්ගේ ගති සොබා හොඳින් දැනසිටි බව මේ කවියෙන් පෙනේ:

"රැගත් සුරා පිරූ වි තින්

සුරත් තඹුරු පෙතිසෙ නෙ තින්

පුවත් නොදැන බමන ග තින්

නටත් අයෙක් සුරා ම තින්" (122)

මත් පෙති

දැන් දැන් 'මත්' වීමට සුරා අවශ්‍ය නැත. ඒ වෙනුවට 'මත්පෙති' හා 'මත්කුඩු' ඇති හෙයිනි. නොය‍ෙක් දෙනා මුදල් උපයන්නේ 'මත් පෙති' හෝ 'මත් කුඩු' විකිණීමෙනි.

වල් මත් වීම

කැලෑ පාරක යන කිසිවෙකුට පාර වරදින්ට ද ඉඩ ඇත. එය හැඳින්වෙන්නේ 'වල් මත් වීමක්' වශයෙනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 1962 දී 'වල්මත් වී හසරක් නුදුටිම්' යනුවෙන් නවකථාවක් පළ කළේය. "1957 බක් මස, තෝකියෝ නගරයෙහි දී ලියන්ට ආරම්භ කළ මේ කථාව 1962 පොසොන් මස අවසන් කරන ලදි" යනුවෙන් හැඳින්වෙන මේ නවකථාව අවසන් කෙරෙන්නේ මෙසේ ය:

"මම දැන් ලෝක දෙකකට අතර වෙසෙමි. ඒ දෙකට අතර වෙනත් ලෝකයක් තිබේ ද? මා ඇල්ලූ අත්ත මෙන් පය ගසාපු අත්ත ද බිඳ වැටුණි. මම දැන් පය බුරුලෙන් තබා ගමන් කරමි. මට කොතෙක් කල් මෙසේ ජීවත් විය හැකි දැයි මම නොදනිමි."

මයිමතය

'මයිමතය' යනුවෙන් හැඳින්වෙන පොතක් පැරණි ගෘහනිර්මාණ ශිල්පීන් අතර භාවිත විණ. මෙහි මුල්නාමය 'මායා මතය' යි. 'මායා' යනු පුුරාණ කාලයෙහි දඹදිව විසූ වාස්තු විද්‍යාඥයෙකුගේ නාමය යි. ආනන්ද කුමාරස්වාමි මහතා සිය 'Mediaeval Sinhalese Art' ('මධ්‍යකාලීන සිංහල කලා') නමැති කෘතියෙහි 'මායා මතය' නම් සංස්කෘත කෘතිය ගැන විස්තරයක් සපයයි. (පස්වනි පරිච්ඡෙදය)

මතවාද

මේ ආකාරයෙන් 'මත' ගැන මත කීපයක් ම ඇති බව මගේ මතය යි. යම් කිසි කරුණක් ගැන තමන් දරන අදහස තමාගේ 'මතය' යි. හැම දෙනා තුළ ම හැම දෙයක් ගැන ම කුමක් හෝ මතයක් ඇත. මේ සිරිපා කරුණා කරන සමයයි. ජෝන් ස්ටිල් නමැති ඉංගිරිසිකාරයාගේ මතය වූයේ 'එක් වතාවක් වත් සිරිපා නොගිය මිනිසාත් එක් වතාවකට වැඩිය සිරිපා ගිය මිනිසාත් යන දෙදෙනා ම මෝඩයන් බව' යි. ඒ ඔහුගේ මතය යි.

මත භේද

සමනල කන්ද ගැන සිංහල බෞද්ධයන් අතර නොයෙක් මත ඇත. එක් මතයක් නම් මේ කාලයට සමනලයන් දහස් ගණනින් පියාඹා යන්නේ සමනල කන්දේ පිහිටි සිරිපා වඳින්ට කියා ය. අවාරයේ සිරිපා වඳින්ට ගියහොත් වල්මත් වන බවට මතයක් ද ඇත. දෙවිවරුන් සිරිපා වඳින්ට එන්නේ අවාරයෙහි දී යැයි මතයකි. මත නිසා ඇති වන 'මත භේද'ද හිඟ නැත.

මාතෘකා